ඉල්මාසය පැමිණේ – අතීතය අමතක නොකළ යුත්තේ අනාගතය උදෙසාය!

_47760393_009204683-1

මේ එක් අතකින් සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා වෙනස්වීමේ කතාවකි. එසේම එය 2011 සිට 2016 දක්වා අප ආ ගමනේ ආවර්ජනයක ස්වරූපයද ගනී.

පළමුවෙන් එක් දෙයක් සටහන් කළ යුතුව ඇත. අපි මේ පවතින සූරාකෑමේ සමාජ ආර්ථික ක්‍රමය ප්‍රතික්ෂේප කරමු. එසේම ඒ දුෂ්ට අවනීතික සමාජයේ පැවැත්මට එරෙහි වාම දේශපාලන අරගලයක් හා සමාජවාදී සමාජ පරිවර්තනයක් විශ්වාස කරමු. ඒ වමේ දේශපාලනය ජනතාවගේ උවමනාවන් හා බැදුනු එකකි. ඒ නිසාම වීදියේදී අතිශය සාමාන්‍ය අරගල පවා දේශපාලන වැදගත්කමක් උසුලයි. එසේම වාම දේශපාලනය වීදියේ අරගලයක් පමණක් නොවේ. එම අරගලයේ ස්වභාවය න්‍යායගතකිරීමෙන් තොරව තමන් කරන්නේ කුමක්දැයි පසුවිපරම් කරමින් ස්වයංවිවේචනාත්මක ලෙස වාම දේශපාලන ව්‍යාපාරයක් බිහිකරගත නොහැකිය.

ලංකාවේ වමේ දේශපාලනයේ අව්‍යාජ ගමන ලෙස සිතමින් අප පාසල් අවදියේ සිට එක්ව බැදුණු ජනතා විමුක්ති පෙරමුණ, පවතින ධනපති ක්‍රමයේම ගොදුරක් බවට පත්ව තිබිණි. විකල්ප දේශපාලන බලයක් වෙනුවට එම ව්‍යාපාරය පවතින ක්‍රමයේ බල ව්‍යාපෘතියක් බවට පත්වීමෙන් පසුව අප තීරණය කළේ එය නිවැරදි කරගත යුතු බවටයි. ඒ සදහා ගෙන ගිය අරගලයේ අවසානය වූයේ ජවිපෙ නායකත්වය සතුරු ප්‍රතිවිරෝධයක් බවට පත්වීමෙන් පක්ෂය දෙකඩ වීමය.

ජාතිකවාදී මතය උස්සමින් වාමාංශික මතය දෙවැනි තුන්වැනි තැනට ඇද දමන, ප්‍රතිසංස්කරණවාදී දේශපාලන අරගල හා පාර්ලිමේන්තුවාදී සන්ධාන ප්‍රතික්ෂේප කරන්නටත් ආ මග වැරදි පිළිබද ස්වයංවිවේචනාත්මකව දකිමින් නිවැරදි වන්නටත් ගත් තීරණ ක්‍රියාවට නැගුනේ නැත. වංචා දූෂන විරෝධී හුදු ප්‍රතිසංස්කරණවාදී පත්තරකලාව වෙනුවට ‘ලංකා‘ වාම විකල්ප පත්තරයක් බවට පත් වියයුතු බව පුවත්පතට සම්බන්ධ සහෝදර සහෝදරියන් අතර කෙරුනු සංවාදය වැරදි ලෙස අර්ථ ගන්වා තිබිණි. ඒ නිසාම වාම දේශපාලන අරගලය වෙනුවෙන් ‘රිබෙල්‘ නමින් සැලසුම් කළ විශේෂ අතිරේකයද ජවිපෙ නායකයන්ට ප්‍රශ්නයක් විය. ‘කැරලිකාරයා පැමිණේ‘ යනුවෙන් අප ඒ සදහා ගෙන ගිය පූර්ව ප්‍රචාරක දැන්වීම පක්ෂය කලබලයට පත්කර තිබිණි.

පුවත්පතේ සිදුවූ ප්‍රශ්නය ගැන බොහෝ දෙනා විමසා සිටිති. ඒ දිනවල ඒ ගැන අප කළ පැහැදිලි කිරීම ජවිපෙට සමීප මාධ්‍ය ව්‍යපාරික බලය යොදා ගෙන පවත්වාගෙන ගිය ප්‍රචාරය හරහා බාහිර සමාජය තුළ මකා දමන්නට හැකි විය.

“ආපහු එකට ගමනක් යන්න බැරිද සහෝදරයා?“

අදත් සමහර සහෝදරවරුන්ගේ කම්පාව එසේ පළ වන්නේ පසුවසරකට පෙර සිදුවූ ඒ වේදනාකාරී වෙන්ව යාමේ දේශපාලන තීරණාත්මක බව හරිහැටි වටහා නොගනය. එහෙත් යම් වාම දේශපාලන අදහසක් තිබුනු සැමට අප කී කාරණය අමතක විය නොහැකිය. ‘ලංකා‘ පුවත්පත පිළිබද කතා කරන්නට, විජිත සහෝදරයා විසින් අප පැළවත්ත මූලස්ථානයට කැදවූ අවස්ථාවේ ව්‍යාජ සිනහවක් මිස කිසිදු දෙයක් පැහැදිලි වූයේ නැත.

“මල්ලි මොකද ඉතින් පත්තරේ වැඩ… අවුලක් නෑනෙ… ?“

ටිල්වින් සහෝදරයා එදා මගෙන් එසේ විමසා සිටියේය.

“අයියෙ පත්තරේ අවුලක් නෑ. අපිට ප්‍රශ්නෙ පක්ෂෙ මොකද වෙන්නෙ කියන එක. පක්ෂෙ ප්‍රශ්න බෙරගන්න, පත්තරේ පෙළගස්වගන්න වෙන්නෙත් ප්‍රශ්න විසදගෙන පක්ෂෙ හරියට පෙළ ගස්වා ගත්තොත් නේද?“ යනුවෙන් මම ඇසුවෙමි.

ඔහු ඒ ගැන කිසිවක් කීවේ නැත. එය මෙතෙක් අපගේ අවසන් හමුවීම විය. ඉන්පසුව ජවිපෙ තවදුරටත් පැරනි දේශපාලන අගතීන් තුල සිරගතවන ලකුනු පෙන්වමින් අප ද්‍රෝහීන් ලෙස නම් කර සාමාජිකයන්ට ගල්ගැසීමට උසිගන්වන ලදී.

ඒ ආකාරයෙන් අප නික්ම ආවේ අප පරම පිවිතුරු පත්තරකාරයන් හෝ පරමාදර්ශී විප්ලවවාදීන් යැයි පුරසාරම් දොඩවන්නට නොවේ. අදත් අප විසින් කළ යුතු කාර්යයක් ඇත. එදා අප ‘ජනරළ‘ ආරම්භ කළේ ඒ අරමුන ඇතිවය. අප වාම දේශපාලනයේ පැමිනි ගමන ආපසු හැරී බැලීමටත් අඩුපාඩ් හදුනාගනිමින් වාම පත්තරකලාව තවදුරටත් හදාරමින් නිවැරදි ලෙස ජනතාව වෙත තොරතුරු සහ දේශපාලන අධ්‍යාපනය ගෙනයන්නටත් අපට අවශ්‍ය විය. එහෙත් සිදුවන්නේ ධනපති ප්‍රාග්ධන ක්‍රියාදාමය තුළ පවතින්නට බැරි පත්තරයක් ලෙස ‘ජනරළ‘ නැවතීමය. කමුත් අප නැවතී හෝ පරාජය වී නැත.

අපේ දේශපාලන අරගලය ධනපති මාධ්‍ය විසින් වාරණය කරන නමුත් අපි ජනතාව ආමන්ත්‍රණය කිරිමේ විවිධ ක්‍රම අනුගමනය කරමින් ධනපති මාධය තුළ ලැබෙන අවස්ථා පාවිච්චි කරමින් එසේ නොවන අවස්ථාවල ජනතාව හමුවට යමින් අපේ කාර්යය ඉටුකරන්නට උත්හාහ කරමු. මේ ගමන නිසැකවම දුෂ්කරතා බහුල ගිරිදුර්ඝ මාර්ගයක් මැදින් වැටී ඇත. අප සමග ගමන්ගත් සහෝදර සහෝදරියන් බොහෝ දෙනා වෙහෙසට පත්ව මග ඇද වැටුණ නමුත් ඔවුන් දිරිමත් කරමින් නොනැවතී ඉදිරියට යාම අපේ අරමුණය. මග දෙපස හිද අපට කැට මුගුරු හා වසුරු හෙළනවුන් ගැන අපට ඇත්තේ උපේක්ෂාවක් නොවේ. ඒ අපේ පන්තියේ මිනිසුන්මය. පන්ති අරගලයේ තීව්‍රතාවය මත හා දේශපාලන බල අරගලයේ වාම මංසලකුනු අතර ඔවුන් අප හදුනාගන්නා දවසක් එනු ඇත. එකේ අපි ධෛර්යමත් ලෙස අරගල බිමේ දෙපයින් සිට සටන් වදිමු!

අප නියෝජනය කරන්නේ අප හා අත්වැල් බැදගත්තවුන් පමනක් නොවේ. අප දෙස අපේක්ෂා තබන හෝ මේ කිසිවක් නොදැන අප දෙස බලා සිටින එසේම අපට අවමන් කරන සියලු පීඩිතයන්ගේ නියෝජනය පිලිබද අපට වැටහීමක් ඇත. අප විසින් ඔසවා ගෙන යන රතු ධජය යම් දිනක ඒ හැම දෙනාටම සෙවණ සදනු ඇත එතෙක්, ඔව්, ඒ සාමුහික ප්‍රයත්නය තෙක් පෙරමුණු ධජය ඔසවා හිදින්නට තරම් ශක්තිය හා ධෛර්ය ඉතිහාසයේ සටන් කළ මිනිසුන් විසින් අපට දී තිබේ!

ඉල් විරුවන් නමින් වේවා, අප්‍රෙල් විරුවන් නමින් වේවා, නාදුනන අරගලකරුවන් ලෙස වේවා වහල් යුගයේ ස්පාටකස්ලාගේ සිට අද දක්වා අරගලයේ මාවත එකලු කළ ප්‍රභාමත් ඇස් අපට මග පෙන්වයි.

  1. චන්දන……මේ වෙළඳ පොල තුල, මුදලාලිලාගේ පත්තර ටිකවත් පවත්වාගෙන යන්නේ අමාරුවෙන් කියලයි අහ්න්න ලැබෙන්නේ. පාඨකයා අන්තර්ජාලයෙන් කියවීමත් හේතුවක්. කිසිම රටකට දැන් මුද්‍රිත පුවත්පත් ගෙන්වන්නේ නැතුව ඇති. එහෙම වාතාවරනයක ජනරළ වගේ පත්තරයක් රැකෙන්නේ කොහොමද? අනිත් එක තමයි සාමාන්‍ය පාඨකයාට ලංවෙනවාට වඩා සාමාජිකයා ඉලක්ක කර දේශපාලනික වදන් භාවිතය නිසා කියවීම අපහසු කිරීම.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න