Archive for the ‘ Appreciation ’ Category

ඇඹිලිපිටියේ කොවුල්ආර සිට එන, සුභ පතන කොවුලකු බදා වැළඳගමි!

(සජිත් චින්තක කවිකාර සහෘදයාගේ ‘රාමු නොකළ පින්තූරය’ කාවය සංග්‍රහය වෙනුවෙන් මා විසින් ලියු පෙරවදන මෙහි සටහන් කරමි)

සජිත් චින්තක යන නම පුවත්පත් කවි පිටු අතරින් හමුවන්නට පටන් ගෙන දිග කාලයකි. පත්තරකාර ජීවිතේ සුන්දර කළේ ඈත ගම් දනව්වල සිට ජීවිතේ ගැන ලියූ උන්මය. එහෙත් ඒ කවිවල ඇති ආත්මීය සමීපකමක් තිබිණි. සජිත්ගේ කවිය මා හඳුනාගත්තේ කවියා පෞද්ගලිකව හඳුනාගන්නට පෙරාතුවය. තවත් කලකින් අගනුවර කවි පොත් දොරට වැඩුම්වලදී සජිත් හමු විය. පොත් දොරට වැඩුමක්, චිත‍්‍රපට උළෙලක් හෝ වෙනත් කලා සාහිත්‍යමය කටයුත්තක් වෙනුවෙන් දුෂ්කර මග ගෙවාගෙන කොළඹ බලා එන සහෘදයන් අතේ ඇගිලි ගණනටය. එහෙත් සජිත් බොහෝ වර එස් හමුවන්නේද නැත. ඔහු නිතර හමුවන්නේ පෙරකී පුවත්පත් කවි පිටුවලින්ය. අතරවාරයේ සජිත් දුරකථනයෙන් කිසියම් දෙයක් ගැන කතාබහට එයි. ඔහු එහිදී කතා කරන්නේද එක්කෝ කවියක් ගැනය. නැත්නම් තමන් විසින් කියවන ලද දෙයක් හෝ ඇඹිලිපිටියේ ස්වකීය ජීවිතයේදී අසන්නට දකින්නට සිදුවූ යමක් ගැනය.

”සදාචාරාගාරෙ
ලොකු සර් මුගටියා
උප හැපින්න දඩයමේ
වල් රබර් යායෙන් නැගිටින කොටම
අටේ පන්තියෙ මාලක්ක
මං ගාව
සිප්පෙක හැදුවෙ
වින්කලේ ගාව
ඉතින් අපි අපේ පාසැල සුරකිමු”

ඇත්ත, කවියා ලෝකය වෙත විවර වූ නෙත්වලින් යුක්ත විය යුතුය. සජිත් සංවේදී මිනිසෙක් බව ඇත්ත. ඒ ඔහු ගැන කියන්නට ඇති සරලම අදහසකි. ඔහුගේ කවිය ගැන පූර්විකාවකට එය අත්‍යවශ්‍ය කතාවකි. නමුත් එහි ව්‍යතිරේකයක් ඇත. සංවේදී ලේබලය ගසාගත් මිනිසුන් මැද සජිත් ඉතා නිහඩ ලෙස එහෙත් කවියෙන් නිහඩතාව බිඳ හෙළන මිනිසෙකි. පුද්ගලයා වනන්නට යාමෙන් මේ පෙරවදන වැනෙන සුලූ අදහසක් වීමේ අනතුර ගැන මා දැනුවත්ය.

සජිත්ගේ කවිය ගැන කතා කළ හැක්කේ සජිත් හා අප සැම ජීවත්වන වටපිටාව මැදය. සංවේදී නායකයන් මේ රට සිය පවුලේ ආහාර වේලක් බවට පත්කරගත් මෑත දසකය තුළ කටහඩ අවදි කළ මිනිසුන් අතර කවි කිවිඳියෝ රැසකි. දිලිප්, ටිමා, ඩොමා, බෙනා, සජිත්,…. නම් කියන්නට ගියහොත් එය දිගු ලැයිස්තුවකි. කවියෙන් සටන් කරන්නට නොහැකි යයි සමහරු කියති. කලාකරුවා නම් සුපේශල ශික්ෂාකාමී රසවතකු වියයුතු යැයි තවත් පිරිසක් තලූමරති. එහෙත්, මිනිස් සමාජය එක තැන පල්වන්නක් නොවේ. එය සිය දුර්ගුණයන් කියවමින්, එකී දුර්ගුණයන්ට එරෙහිව සටන් වදිමින් වඩාත් යහපත් ත්වයන් නිර්මාණය කරගන්නා මිනිස් ක‍්‍රියාදාමයකි. එය එසේ වන්නේ ඇයි? සහජයෙන්මත්, මිනිසා සිය පරිණාම ක‍්‍රියාවලියෙන්මත් ඔප්පුකොට ඇත්තේ තමන් ජීවත්වන පරිසරය මෙන්ම තමන්ට දී ඇති ලෝකය වෙනස් කරගැනුමේ අරගලයක නිරතවන බවයි.

”කිරි අප්පුගෙ හෝටලේ
චන්දරෙත් එක්ක
සිංහල තේ බොනව
දලං හජ්ජියාර්,
උඹලගේ සමහර ටෝච්වලින්
පාර පේන්නෑ නාන
සිග්නල් නොදාම
ස්කූටරේ වමට හැරවුණා
යන්නං චන්දරේ
ඉබේටම කියවුණා”

මිනිසුන් ලෙස අප සතු බොහෝ දුර්ගුණයන් ගැන නිතර නිතර නැවත නැවත කියමින් විවේචනය පමණක් සාධාරණ නොවේ. ඒ නිසාම හෝද හෝදා මඬේ දමන යළි ඒවා කිළිටි යැයි දෙස් දෙවොල් තබන පැවැත්මකට වඩා කිළිටි වූ දේ පිරිසිදුකරනවා මෙන්ම සප‍්‍ර`යෝජනවත් වෙනත් කාරියකට මැදිහත්වීම වැදගත්ය. ඇතැම් දුර්ගුණයන්, කිලිටිව වැරහැලිව ගිය වස්ත‍්‍ර හා සමානය. අත්හළ යුතු දේ අත් හළ යුතුමය. පිළිකෙව් කළ යුතු දේ හඳුනාගන්නට මිනිසාට හැකිය. වැළඳගත යුතු දේ තරව ගන්නටත් එහිදී වැලඳගන්නා දේ පවා විවේචනාත්මකව වටහා ගන්නටත් සමත් වියයුතුය.

කවිය වේවා, වෙනත් කලාකෘතියක අප වැලඳගන්නට උත්සාහ කරන්නේ අප ජීවත්වන සමාජ සංස්කාතික යථාර්ථයට සරිලන යමකි. එක්කෝ අපි පවතින යථාර්ථය අපගේ පැවැත්ම සමග සාධාරණිකකරණය කරගනිමු. නැත්නම් එය අපේ පැවැත්මට හරස්වන දෙයින් කලකිරෙමු, නැතිනම් මුසපත් වෙමු. කලාකරුවා කළ යුත්තේ මේ යැයි නිර්දේශ කළ නොහැකිය. නමුත් එක් දෙයක් පැහැදිලිය. පවත්නා දෙය එසේත් නැතිනම් අප ජීත්වන, අපට දී ඇති සමාජ යථාර්ථය බොහෝ දුර්ගුණයන් උරුම කරගත් සහජයෙන්ම අපගේ මිනිස් ජීවිතය පීඩාවෙන් ආසාදනය කරවන ගති ලක්ෂණවලින් යුක්තය.

අපි හැම දෙනාම අඩු වැඩි වශයෙන් ඒ ගති ලක්ෂණවලින් පීඩා විඳිමු. අපි ඒ ගති ලක්ෂණවලන් පීඩා විඳිමින් එහි ජීවත් වෙමු. නමුත් පීඩාවට එරෙහිව සටන් කරන්නට අවශ්‍යතාවක් තිබේ. ඇතැමුන් කියන ආකාරයට පවතින සමාජ යථාර්ථය නිර්දය ලෙස විවරණය කරවීමත් එයට එරෙහි සටනේ එක් කොටසකි. අපි අමුවට කිවහොත්, අප ජීවත්වන සමාජ ආර්ථික ක‍්‍රමයේ දුර්ගුණ සහ එයින් අප මත පටවන පීඩාව අප වෙලාගන්නට සමත්වන්නේ අප එයට යටත් වුවහොත් පමණකි. අප එම තත්වය වෙනස් කරන්නට ප‍්‍රයත්න දැරිය යුත්තේ එක් අතකින් අප එහි ගිලී යාම වැලැක්වීමටය. අනෙක් අතට පවතින තත්වයන්ට, අපට දී ඇති තත්වයන්ට, අපව පෙළන සමාජ පරිසරයට එරෙහිව සටන් වැදීම මනුෂ්‍යත්වයේ ඓතිහාසික උරුමයකි. අප එයට පිටුපෑම යනු, අප මනුෂ්‍යත්වයෙන් දුරස් කරවන, දී ඇති තත්වයන්ට, අප පෙළන සමාජ පරිසරයට යටත් වීමකි.

”සිපිරි හිමි හා දරු රකින
විජයපත් සිල්ලරේ බැරිම තැන
ඇඟ ඇගුම් බස්සෙකෙන් බසී දම්මි
දුටිමි මට දාව ගැබ්ගත් දාරියක්

වමටත් දකුණටත් නැති
දූලි හුළං කතාවක්
ලියනවා මං තාම
පෙම්පතක් ගානටම නුඹ නොගත්”

ඉතින් එක් දෙයක් පැහැදිලිය. අප සටන් වැදිය යුතුය. සටන් වැදිය යුත්තේ කෙසේද යන්න ගැන අප අතර විවාද තිබිය හැකිය. ඇතැමුන් කියන ආකාරයට සටන් කළ යුත්තේ ස්වාධීන කලාකරුවන් ලෙසය. පවතින සමාජ පරිසරය විසින් දී ඇති ව්‍යුුහයන් සමග එක්ව එවැනි සටනක් තළ නොහැකිය. අප අත්දකින හා අත්විඳින ලෝකයට පිටතින් සිට බලමින් එය කළ යුතුය වැනි සංවාද තිබේ. කලාකරුවා සම්බන්ධ කාරණාවලට අප පිවිසනේනේ එතැනදීය.

එක් අතකින් කලාකරුවාගේ භාවිතය ප‍්‍රඥාව උපයාගැනීමේ ක‍්‍රියාදාමයට සම්බන්ධය. කලාව විඳීම, විචාරය, එන්නේ එතැන් පටන්ය. වෙනත් තලයකින් පිවිසුණහොත් එය කලා කෘතිය, රසිකයා හා විචාරකයා අතර සම්බන්ධය මිනිසා සිය ජිවිතයේ පවතින තත්වයන්ට එරෙහිව සිදුකරන අරගලය හා බැඳී තිබෙන්නකි. පොදු මිනිස් සමාජය පීඩාව විඳිමින් එයට එරෙහිව අරගලයක නිරත වේ. ඇතැම්විට එම අරගලය පෙරලා සමාජයීය පීඩාව පෝෂණය කරන්නකි. කලාකරුවන්ට හිමිව ඇත්තේ ඒ මිනිස් සමාජය වෙත ප‍්‍රඥාව සපයාගත හැකි අරුත් සම්පාදනය කිරීමේ භූමිකාවකි. කුමන තත්වයක් යටතේ වුව ද කලාකරුවන්ට ප‍්‍රකෘතිය ප‍්‍රතිනිර්මාණය කිරීමේ දී එය ස්පර්ශ කිරීම හෙවත් ජීවිතාවබෝධය වැදගත් වේ. එනම් විවිධ අත්දැකීම්, අනුභූතීන් පාදක කරගන්නට සිදු වේ. ලෝකයේ සියලූ මිනිසුන් අත්දැකීම් ලබන නමුත් කලාකරුවා එසේ ලබන අත්දැකීම් සිය නිර්මාණ සඳහා අනුභූතීන් ලෙස යොදා ගනී. නැවත එම කලා කෘති රසවිඳිනවුන්ට නැතහොත් රසිකයන්ට තමන්ම විඳි අත්දැකීමක් කලාකරුවාගේ අනුභූතියක් ලෙස කියවා ගන්නට ලැබේ. එහි දී රසිකයා ප‍්‍රඥා සම්පන්න කිරීමේ ක‍්‍රියාවලිය ඇරඹේ.

”පූසාරි මව්ලවි
එලවා ගුවනින්
රූප පෙට්ටියෙන්
පදලංගලින්
මාවරලින්
රැුව් දේ දිවා ?
දකුණේ ආඩම්බර
වෙඩි බණ සීතලෙන්”

සජිත් මෙම කාව්‍ය එකතුව මුද්‍රිත කෘතියක් ලෙස සහෘදයන් වෙත ලබා දෙමින් කියා සිටියේ ඔහු යෙදී සිටින කාව්‍යකරණය ඉදිරි පියවරක් තබන බවයි. නැවත නැවත ඒ කවි කියවමින් විඳිමින් පද අරුත් ගලපමින් ඔහු විසින් අත් විඳි සමාජ යථාර්ථයේ සියුම් පදාස අප වෙත ළඟා කරවන්නට ඔහු උත්සාහ ගනී. එහිදී ඔහුගේ භාෂාව, කාව්‍යාලංකාර ආදිය ගැන විචාර විවාද තරන්නට හැතියාව තිබේ. ඔහු තුළ පවතින සීමාකම්ද මේ කවි අතර ගැබ් වේ. නමුත් මා අදහස් කරන්නේ එතැනට යාම වෙනුවට සජිත් විසින් පරිහරණය කරන මාර්ගය ඔහුගේ කවි කියැවීමට, රසවිඳිමට හා විචාරයට සීමා නොකර සමස්ත කාව්‍ය ව්‍යාපාරයේ ගමන්මග තුළ කියවා ගන්නටය. අපේ කාලයේ කාව්‍ය ව්‍යාපාරය නිසැකවම වෙනස් පැති මානවලින් සමන්විත, විවිධ මතවාදවලින් හැඩ ගැන්වුණු එහෙත් මානවවාදය හරය කොට ගත්තක් බවට සැක නැත.

කවි පොත් සිය ගණනක් වසරකට පළ වන අතර පුවත්පත් කවි පිටුවල අලූත් කවි කිවිඳියන්ගේ හැඩ තළ මතු වේ. පොදුවේ 70 දසකයෙන් උපන් කිසියම් සමාජ විචාරාත්මක කලා භාවිතයක සෙවණැල්ල වත්මන් කවිය මතද වැටී තිබේ. ඒ අතරම අපේ කාලයේ කලා සාහිත්‍ය කතිකාව නව පැතිමානයන්ගේ ආලෝක ධාරාවලින් සමන්විතය. එයද නැවත කාව්‍යකරණයේ යදෙනවුන්ට බලපෑම් සහගතය. ඒ නිසාම වඩා සුබවාදී අදහසකින් සජිත්ගේ කවි පොත සහෘද පාඨකයන් විසින් පිළිගනු ඇතැයි සිතමි. සජිත් චින්තක කවියා සිය කාව්‍යකරණයේ දක්වන සීමාසහිත තත්වයන් ඉක්මවා යන්නට සමත් කඩඉමක් බවට මෙම කාව්‍ය සංග‍්‍රහයේ පැමිණීම විසින් සටහන් කරනු ඇතැයිද අපේක්ෂා කරමි.

”සිදුහත් වගේ ෆාදර් පල්ලිය හැර ගියත් හනිකට
තන්හා රති රගා තාමත් නටනවා මංගල්ලෙ දවසට
කිසා ගෝතමියක් වගේ ක‍්‍රිස්ටිනා දුවනවා දැක දැක
රාහුලෙක් උපන්නට මං ගරහන්නෙ නෑ ක‍්‍රිස්තු චරිතෙට


පසුව ලියමි

දිලිප් කුමාර කතා කළේ මධ්‍යම රාත‍්‍රියට ආසන්නයේය.
”චන්දන අයියෙ, කවි පොත එනවා. පුලූවන්කමක් තියෙනවා නම් එදාට ඇවිත් යන්න එන්න”
ඔහු කිව් දිනයේ කිසියම් වැඩක් යොදාගෙන තිබුණද නැද්ද යන්න නොතකාම මම ඒ සොඳුරු ඇරැුයුමෙන් ආනන්දයට පත් වීමි.
බෙනාගේ මීළඟ කවි පොත දොරට වැඩුම ගැනද සුභාරංචිය ලැබුණේ ඊයෙ පෙරේදාය. එළඹෙන දින කීපයේ කලා සංස්කෘතික කටයුතු ගැන ආරංචි ලැබෙද්දී පපුව හිරවෙන්නට පටන් ගැණුනි. සජිත්…. සජිත්ගෙ කවි පොත මුද්‍රණය කරන්න සූදානමින් ඇති බව … මට එහි වගකීමක් පැවරී ඇති බව….
”චන්දන අයියෙ, මගෙ වැඬේ කෙරෙනවා නේද?” ඔහු එසේ ඇසූ වාර ගණනද වැඩිය. මා දුන් පොරොන්දුද වැඩිය. සජිත් චින්තකගේ කවි පොතට ලියන පෙරවදන, ඒ පොතටම නැත්නම් කවියටම, සීමා කළ යුතු යැයි නොසිතුවෙමි.
අද රාත‍්‍රියේ එය කෙසේ හෝ ලබා දෙන බවට මම පොරොන්දු වූ විට ඔහුගේ ප‍්‍රතිචාරය කෙටියෙන් ෆේස්බුක් පණිවිඩයක් ලෙස සටහන් විය.
”බදා ගමි”
පොොරන්දුව ඉටු කළ යුතු බවද නිශ්චිත විය. සජිත් පළමු වරට ඒ කවි පොත සදහා කවි තෝරාගෙන සූදානම් වූයේ මීට වසරකට පමණ පෙරාතුවය. එදා මා වෙත එවු කවි පෙළ මා වෙත තිබියදී කල් ඉකුක් විය. එයට එක් හේතුවක් වූයේ මාය. එපමණක් නොවේ. මුද්‍රණය කරගන්නට ඔහු අත මුදල් ප‍්‍රමාණවත් නොවීය. මෑතකදී සජිත් තවත් කවි එක් වී කවි පොතකට පිටු සකසා මා වෙත එවූයේ මේ වතාව නම් පොත ගහනවාමයි කියමින්. නමුත් දැන් මාස දෙකක් තුනක් ගතවී ඇත. මා විසින් පෙරවදනක් ලියා නොදුන් වරදකාරිත්වය මැද මෙය සටහන් කළෙමි.

චන්දන සිරිමල්වත්ත
2017-07-25

පාද සටහනක්-  දිලිප්ගෙ සහ බෙනාගෙ කෘති ජනගතකරන දා ඒහි යන්නට නොහැකවීම ගැන දුක් වෙමි

Advertisements

රජා, මං වහලා – සාදුකාරෙන් ගිගුම් දෙඤ්ඤං….

raja man wahala

චාමික හත්ලහවත්ත නිර්මාණය කළ ‘රජා මං වහලා‘ අපූර්ව වේදිකා නාට්‍යයක්. වරක් එක්තරා කාව්‍ය කෘතියක් ගැන අදහස් දක්වද්දි පරාක්‍රම කොඩිතුවක්කු කවියා විසින් කියූ දෙයක් මෙහිදී සිහිපත් වෙනවා.
“මේ කවි මාව ආසාදනය කළා…මේව කියවලා මට උන ගැණුනා….!“
රජා මං වහලා නැරඹූ පසුව මට ඇති වූ ආතුර තත්වය විස්තර කරන්න වෙනත් වචන නෑ. මෑතකදි මම වැඩි වශයෙන් නැරඹුවේ නැති නමුත් වේදිකාව තුළ මාව මහත් කම්පනයට පත්කළ මගේ මනස ඇවිලවූ කෘතියක් ලෙසත් ‘රජා මං වහලා‘ හදුන්වන්න පුලුවන්. ජාත්‍යන්තර රංග වේදිකා තරණය කරන්න මේ නාට්‍ය සමත් වුණේ ඒ නිසාම වෙන්න ඇති.
umayanganaසනත් විමලසිරි, උමයංගනා වික්‍රමසිංහ, තෙරුණි අශංසා, සරත් කරුනාරත්න, තිලංක ගමගේ අපූර්ව රංග කාර්යයක යෙදෙනවා. ඔවුන් දෙබස් කියනවා, ිනා වෙනවා, අඩනවා, ඉගි බිගි පානවා, ගායනා කරනවා, නටනවා, වාදනය කරනවා, සර්කස් ජවණිකා වැනි දුෂ්කර රංගකාර්යයන්ගෙන් පවා මේ නාට්‍ය වෙත දායක කරමින් ඔවුන් මහත් වෑයමක් දරනවා…ඒ රංග ව්‍යායාමය මහත් විශිෂ්ට කාර්යයක්. නාට්‍ය අවසානයේ ඔවුන් වැළදගන්න තරම් උද්වේගයක් මා තුළ ජනිත කරවූවා. මා ඒ බව චාමිකට කිව්වා.
නාට්‍ය විසින් ස්පර්ශ කරන්නෙ වර්තමාන මිනිස් සමාජය විසින් කාලාන්තරයක් වෙහෙස මහන්සියෙන් සොයන රහසක් ගැන. වීරයා කවුද? වීරත්වය තියෙන්නෙ කොහෙද? ‘රජා මං වහලා‘ සංවාදයට ලක් කරන්නෙ පරමාදර්ශ සහ වීරත්වය අන්යුයන් සොයා යාම වෙනුවට ජිවිතයම අභියෝගයක් කරගෙන මිනිස් ජීවිතය තුළ ජයග්රරහන කරා යාමේ අභියෝගය ගැනයි.මේ නාට්යඅ තුළ ගැයෙන තේමා ගීතයක් වැනි ගායනාව තුළ තියෙන්නෙ කුකංකුණාවෙ හිමියන්ගෙ කවියකින් ගත්ත අදහසක්.
“අනේ කුහුඹින්නේ
තොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ
ඒ නිසාවෙනි අප තැවෙන්නේ
රජෙක් ලැබුනොතින්
කැවුම් කිරිබත් කඤ්ඤං
පෙරහර කරඤ්ඤං
සාදුකාරෙන් ගිගුම් දෙඤ්ඤං“
මේ අපේ සමාජය තුළ වීරයා, ගැලවුම්කාරයා ගැන ඇති ජනප්‍රිය හා සම්මත අදහස. අප විසින් විදින දුෂ්කරතා ජයගැනීමට තමන් තුළ ඇති ශක්‍යතා පුබුදා ගන්නවා වෙනුවට ගැලවුම්කාරයෙක්, දියසේන කුමාරයෙක් අපේක්ෂාවෙන් අපි බොහෝ දෙනා ඉන්නෙ.
අපි කුඩා කාලෙදි අහන සුරංගනා කතා තුළ වීරයා ලෙස මවන මනුෂ්‍යත්වයට වඩා වෙනස්, අධිමානුෂික බලය ඇති, සුරංගනාවන්ගෙන් සුරදූතයන්ගෙන් අනුග්‍රාහකත්වය ලබන ඊනියා වීරයා වෙනුවට අප විසින් වීරත්වය අප තුළම සොයාගත යුතු නැද්ද කියලා ‘රජා මං වහලා‘ නාට්‍ය කෘතියෙන් විමසා සිටිනවා.
sarathදුටුගැමුණු වීරයෙක් ලෙස අපට උගන්වන අධ්‍යාපනය ඇත්ටම අපව ලෝකය විනිවිද දකින්න යොමු කරනවාද නැත්නම් මායා පටලයකින් අපේ ඇසි වසා දමනවාද කියන ප්‍රශ්නය ‘රජා මං වහලා‘ නාට්‍යෙයන් ප්‍රශ්න කරනවා.
අපේ කාලෙය් කතාවක් ලෙස මෙම නාට්‍යෙය් ප්‍රතිනිර්මාණය වන ප්රේනමතිලකගේ සහ නිල්මිණිගෙ කතාව විසින් නාට්යෙලය් සමස්තාර්ථ සහිත වර්තමානයට අප කැදවා යනවා. අප ලබන අධ්‍යාපනය, අපව ශික්ෂණය කරනවාය කියන ආගම, අපගේ ජීවිත බැද දමා ඇති සම්මතයන් ඇත්තටම ඒවා අප තව මිනිස් ජීවිතය තුළ ඔසවා තබනවාද? නැත්නම් අපව කූඩු කරවා අප අන්දවා මංමුලා කරනවාද? පාසල් වයසේ ප්‍රේමය පරාජය වෙද්දි පෙම්වතියට පිහියෙන් ඇන මරා දමන ප්‍රතිවීරයා ගැන අප සිතිය යුතුයි.
රජෙක් ලැබුණොත් අමන්දානන්දනය වෙන්න බලාගෙන ඉන්න, අපේ පීඩාව එසේම තිබියදී මංමුලා වෙන්න බලාගෙන ඉන්න සමාජයක් අපි. ගුටි කන්නෙ නිල් පාලකයගෙන්ද කොළ පාලකයගෙන්ද කාගෙන්ද කියලා තීරණය කරද්දි අවුරුදු කීපයකට වරක් පෝලිමේ ගිහින් කතිරෙ ගහන්නෙත් අපි. වගාඩම්බර පෙන්වන අපටම කෙළවන පාලකයන් වෙනුවෙන් අපි සාදුකාර දෙන්නෙ අපිව අමතක වෙලා, අපි ඉන්න මුලාවත් අමතක වෙලා යන්නයි.
‘රජා මං වහලා‘ නාට්‍ය නරඹා අවසන් වෙද්දි විශාල කැලඹීමක් අප තුළ ඉතිරි කරනවා. සුරංගනා කතාවෙ වීරයා වගේ පරමාදර්ශ වීරත්වය අපි ජිවිත කාලෙම හොයනවා. ලැබෙන්නෙ ද්‍රෝහී අත්දැකීම් ප්‍රමාණයක්. එක් කුස උපන් සහෝදරයා, වදාපු දරුවා, අම්මා අප්පා විශ්වාස නැති සමාජයක් අපට හිමි වෙලා තියෙන්නෙ. අපි අධ්‍යාපනය ජයගන්නවා කියලා කරන්නෙ එකිනෙකා වටහා නොගන්නා එකිනෙකා ඈත් කරවන හිරගෙදරක දොරවල් ඇතුළට කඩා වැදීමයි. අන්තිමේට අපිට ආදරය කරන්නෙ කවුද අපි මිනිස්සු විදියට ඇසුරු කරන්නෙ කොහොමද කියලාවත් පාසල් අධ්යානපනයෙන්, ආගමික ඉගැන්වීම්වලින් මගපෙන්වන්නෙ නෑ. අපි අයාලෙ යන්නෙම සම්මත ජිවිත යන්ත්‍රයට හසුවීම නිසා.
ඉතින් අපේ ජිවිත මොන වගේද කියා ආපහු හැරිලා බලන්න ‘රජා මං වහලා‘ නාට්‍යෙයන් ආලෝක ධාරා එල්ල කරනවා. නාට්‍යෙය් ගායනා කෙරෙන විදියටම ‘ස්වර තන්තු බිදෙන කං අපි සිංදු කියනවා‘. අපිට අපිව අමතක වෙනකං සාධු නාදෙන් ගිගුම් දෙනවා. ඒත් මේක ඉවරයක් විය යුතු නැද්ද? සුරංගනා කතාවලින් හරි දුටුගැමුණුලාගෙ කතාවලින් හරි අපට ජීවිත ඉදිරියට ගෙන යන්න පුලුවන්ද? එහෙම් නැත්නම් මේ වෙනත් පිටස්තර වීරයෙක් හොයලා ඉවර කරන්න පුලුවන් දෙයක්ද?
අප පිලිතුරු සොයාගත යුතුයි!

ඊට කළින් චාමික, ඔබට ස්තුතියි. ඔබේ කණ්ඩායමටත්…! මේ මගේ අදහස්. පක්ෂග්‍රාහි වුණාට කමක් නෑ… ඒඅදහස් පිට කැසීමක් නොවෙන්න වගබලාගන්න ඕනත්…. නාට්‍ය කණ්ඩායමේ සහෝදර සහෝදරියනි, ඔබලාමයි.

තව වැඩ කරමු, ජිවිතය අහිමි කරගත්ත සමාජයකට ජිවිතය කියවගන්න හැකි මේ වගේ නාට්‍ය කරන්න විතරක් නෙවෙයි, මිනිස් ජීවිතය නැවත ගෙන එන්න එක්ව වැඩ කරමු අපි.

Save

සුනිල් මාධවගේ පුවත්පත් කලාවේ අක්මුල් සොයායාම

Sunil1‘අටවෙනි පිටුව‘ ඇසුරෙන් වාම පුවත්පත් කලාවේ අත්පොත් තැබූ පරපුරක ගමන් සගයෝ බොහොමයකි. ‘සත්‍යවාදියාගේ දිනපොත‘ සිය සමාජාවබෝධයේ මුල් පොත බවට පත්කරගත් අපේ කාලයේ මිනිස්සු දහස් ගණනකි. එහෙත් සුනිල් මාධව නම් පත්තර කලාවේ සෙන්පතියා ඒ සියල්ල පරදුවට තබා පත්තර කොම්පැනිකාරයාගෙන් මිදී වීදියට බැස්සේ මුදලට වඩා තම ප්‍රතිපත්ති අගය කළ නිසාය. ඉන් අනතුරුව සුනිල් අයියා ‘ලක්මිණ‘ පුවත්පතේ නව විකල්ප පුවත්පත් කලාවක් වෙනුවෙන් කළ අත්හදා බැලීම වැරදුනි. අධෛර්යයට පත් නොවී ඔහු සිය සගයන් සමග තවදුරටත් ප්‍රයත්න දැරුවේ පත්තරකාරයන් ලෙස පිටකොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්නටය.

ඒ සියලු සගයන් එක්ක ‘ලක්දිව‘ සහ ‘හිරු‘ යන විකල්ප පුවත්පත් ඇසුරින් නව විකල්ප පුවත්පත් කලාවක් ලෙස වමේ පත්තර කලාවට අකුරු කළෝ අතලොස්සකි.

එය එසේ වූයේ ඇයි?  එය වරදක් ලෙස කියවන්නට පෙර වමේ පුවත්පත් කලාව යනු කුමක්දැයි තම තම නැණ පමණින් කියවා ගන්නට කියවන සහෘදයන්ට ආරාධනා කරමි. මන්ද එය මේ යැයි අරුත් දක්වන්නට යාම සපත්තුවේ තරමට කකුල කැපීමක් විය හැකි නිසාය.  වම යනු ඉතා පුළුල් සමූහයක් නිරූපිත පර්යායකි. එසේම වම යනු දකුණ මේ යැයි සනිටුහන් කරන වැදගත් නිර්ණායකයකි. ‘ආරම්භයේදී දෙවියන් විසින් පොළොව හා දිව්‍ය ලෝකය මැවී‘ යැයි බයිබලය කියයි. එහෙත් වම බිහිවූයේ එවැනි මනුෂ්‍යත්වයට ඔබ්බෙහි නම් නොවේ. රාජ වංශය පිළිබද තීන්දුවක් ගන්නට ප්‍රංශ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ රාජ වංශය ආරක්ෂා කළ යුතු බවට තර්ක කළෝ දකුණු පස අසුන් වෙතත් රාජ වංශය අවසන් කර සමූහාණ්ඩුවට බලය අත්පත් කරගත යුතු බව කීවෝ වම් පස අසුන් වෙතත් ගොනු වූ බවට සමහරු කියති. ප්‍රතිගාමිත්වය හා ප්‍රගතිශීලිත්වය යන අරුත් දනවන්නට දකුණ හා වම යන වචන යොදාගන්නේ යම් යම් ඇඟට දැනෙන හේතු නිසාය. දකුණ යනු බොහෝ මිනිසුන්ට සිය එදිනෙදා ක්‍රියාකාරකම්වලදී හුරු වූ පැත්තයි. වම යනු අඩු පිරිසකගේ හුරු පැත්තයි. මේ නිසාම දුර්වලයන් වෙනුවෙන් කරන දේශපාලනය සංකේතවත් කරන්නට වාමා දේහපාලනය යන අදහස ගත් බවටද මතයක් පවතී. සරලව කිවහොත් මිනිස් සමාජයේ පීඩිතයන්, අවවරාප්‍රසාදිතයන් වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් වැඩ කරන මිනිස් ක්‍රියාකාරිත්වය වාමාංශය ලෙස වටහා ගන්නට පුළුවන.

සුනිල් මාධව ප්‍රේමතිලක පත්තරකාරයකු වූයේ 70 දසකයේ වුවද ඔහු  සිය වාම නැඹුරුව සක්‍රිය ලෙස අත්පත් කරගන්නේ 1977න් ඇරඹි එක්සත් ජාතික පක්ෂ පාලන කාලයයි. නව ලිබරල් සමාජ ආර්ථික ප්‍රතිසංස්කරන යටතේ ජේ.ආර්. – රොනී ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළට සක්‍රිය සෙ විරෝධය දැක්වූවන් අතර 1980 ජූලි වර්ජකයන් මෙන්ම සරච්චන්ද්‍ර වැනි බුද්ධිමතුන්ද විය. සුනිල් මාධව, දයාසේන ගුනසිංහ, බී.ඒ. සිරිවර්ධන, සිරිලාල් කොඩිකාර ආදී වශයෙන් වාම පුවත්පත්කලාවේදීන්ගේ භූමිකාව සලකුණුවන්නේ 1980 වර්ජනයෙන් පසුව ඇති කළ නිහැඩියාවට ප්‍රතිචාර ලෙස ඒ දේශපාලන රික්තය පිරවිමටය. එම නිහැඩියාව මහෝඝයක් වන්නේ වමේ පක්ෂවල නිද්‍රාශීලිත්වය අභිබවා වාම සමාජ ව්‍යාපාරයක් ලෙස පැන නැගුණු ජනතා විමුක්ති පෙරමුණේ පැමිණීමෙනි. ජවිපෙ දේශපාලනය 70 දසකයේ මේ බිමේ පැළ වී තිබුණද 80 දසකයේ අතු ඉති ලා වැඩෙන්නේ 80 වර්ජනය කුඩු පට්ටම් කර ඇති කළ මර්දනය තුළ ජයවර්ධනගේ පාලනයට අභියෝග කරන්නට වෙනත් දේශපාලන අවියක් නොවූ බැවිනි. සුනිල් අයියා අටවෙනි පිටුව තුළ දේශපාලන නියෝජනය ලබාදෙන්නේ ඒ අලුත් දේශපාලන රුධිරය සප්‍රාණික කරනු පිණිසය. අටවැනි පිටුවේ නිර්මාණ පල කරමින් සුනිල් අයියාගේ සෙවනේ වැඩුනු තරුණ නිර්මාණකරුවන් ඇත්ත වශයෙන්ම දේශපාලන වශයෙන් වාම හෘදය සාක්ෂියක් ඇත්තෝ වූහ. ඉනික්බිති, සියල්ල සතුටින් අවසන් වූයේ නැත.

1987 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ගෙන ගිය අරගලය සමාජ ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යන විප්ලවකාරී අවස්තාවක් බවට පත්කරගන්නට දැරූ උත්සාහය ලෙයින් යකඩින් මර්දනය කෙරිනි. සුනිල් මාධව වැන්නෝ 87-89 අරගලය අවසන් වූ පසුද සිය කාර්යභාරය අත්හරින්නට සූදානම් නොවූහ. ඔහු සිය පුවත්පත් කලාව අපරාජිත අරගලයක් බවට පත්කරවිය. තමන් විසින් දසකයකට පෙර ඇරඹි වාම පුවත්පත් කලාව අඛන්ඩ ලෙස ඉදිරියට ගෙන යමින් සුනිල් අයියා ප්‍රසිද්ධියේ පෙනී සිටියේ වාම සමාජ ව්‍යාපාරයක යළි පැමිණිම වෙනුවෙනි. වඩා නිශ්චිතව කිවහොත් මරා, නිහඩ කරන්නට හෝ සිරගත කර අක්‍රිය කරන්නට හැකි නොවන වමේ හෘදසාක්ෂිය පිළිබද සුනිල් අයියාට දෙගිඩියාවක් නොතිබිණි.

1992 ජනවාරි මස 26 ඔහුගේ ප්‍රධාන කර්තෘත්වයෙන් ඇරඹි  ‘ලක්දිව‘ පුවත්පතතේ ප්‍රධාන පුවත වූයේ ‘ජවිපෙ නැවතත් ප්‍රසිද්ධ දේශපාලනයට‘ යන්නයි. සුනිල් අයියා ගැන පමණක් මෙහි සටහන් කළද එම පුවත්පත් ක්‍රියාවලිය තවත් සාමුහික පරිශ්‍රමයක් බව කිවයුතුව තිබේ. වැදගත්වන්නේ එහි මූලිකත්වය ගන්නට සමත් සවිමත් දේශපාලන පක්ෂපාතිත්වයක් සුනිල් මාධව ප්‍රේමතිලක සතුව තිබීමය. ඒ නිසා සුනිල් මාධව දේශපාලන පක්ෂයක ලේබලය තුළ පිහිටුවන්නට හෝ ඊට විරුද්ධ වන්නට වාද කිරීම අවශ්‍ය නැත. ‘හඩනු මැන නිදහස‘ පරිවර්තනය කරමින් ‘ස්ටීව් බිකෝ“ ගැන ඔහු ලිව්වේ ‘කලු විඥානය‘ නමැති බිකෝගේ ජාතිකවාදී දේශපාලන සංවිධානය උත්කර්ෂයට නංවන්නට නොවේ. පිඩාවට එරෙහිව නැගී සිට කුඩුපට්ටම් කළ ජනසමාජයකට යුක්තිය වෙනුවෙන් සටන් කිරීමේ ධෛර්ය ඔහු ගෙනාවේ එසේය. වාම පුවත්පත් කලාවක අත්පොත් තබමින් සිටි සහෘදයන් හමුවට ‘ඩොනල්ඩ් වුඩ්ස්‘ දකුනු අප්‍රිකාවේදී ඉටු කළ භූමිකාවේ වැදගත්කම පෙන්වා දෙන්නට සුනිල් අයියා සමත් විය. වැදගත් වූයේ එයයි. නැවත නැගී සිටිය යුතු බව ජනසමාජයටත් එහි ඉදිරිගාමීන්ටත් සංඥා කරන්නට මෙන්ම එකී සංඥාකරුවන් ලෙස නව පුවත්පත් කලාවක් මග කියන්නට සුනිල් අයියා ඇතුළු ලක්දිව, හිරු වැනි පුවත්පත් තුළ පෑන දේශපාලන අවියක් ලෙස යෙදවූ කණ්ඩායම ඉටුකළ කාර්යභාරය සුවිශේෂය.

එහෙත්, ඇත්ත නම් තිත්තය. යළිත්, සියල්ල සතුටින් අවසන් වූයේ නැත. වමේ දේශපාලන ව්‍යාපාරයක් දකුණේ භූමිකාව  රඟ දක්වන්නට යාමෙන් දේශපාලන ව්‍යාපාරයත් එහි ක්‍රියාධරයනුත් එකවර සතුරු කඳවුර වෙත පාවා දෙනු ලැබිණි. ධනපති දේශපාලනයේ බල ක්‍රීඩාවක ඉත්තන් අදින්නට යන බවට සාටෝප බස් කියුවද ඉත්තන් වූයේ තමන්මයැයි වටහා ගත්තෝ ගමන වෙනස් කරද්දී සුනිල් අයියා වැන්නවුන් දුර්මුඛ වූ බව සටහන් කළ යුතුය. සමාජ ව්‍යාපාරයක් විසින් තමන් නියෝජනය කරන දේශපාලනය වෙනස් කරන විට එහි සාමාජිකයන්, හිතවතුන් යන සියල්ලගේම ඉරණම් ගමන එයයි. එපමණකින් නොනැවතී වාම ව්‍යාපාරයක් එම වෙනස්කම කරන්නේ වමේ සිට දකුණටය. මුළුමහත් සමාජයක ඉරණම් ගමන තීරණය වූයේ එසේය. වාම දේශපාලන දැක්මක සිට පටු ජාතිවාදය පරයන්නට තැත් කළ අවිය වූයේ ජාතිකවාදයයි. පසුගාමී ධනපති සමාජයක ජාතිකවාදය යනු හුදු මතවාදයක් නොව ජාතිවාදයේ නිවුන් සොයුරකු බව සනාථ විය. පීඩිත ජනකායකගේ අරමුණු වෙනුවට උන්ගේ පීඩකයන්ගේ අරමුණු සිය දේශපාලන බල ක්‍රීඩාවට යොදාගත් වමේ දේශපාලන පක්ෂයක් වියයුතු පරිදිම දකුණන් අවසන් ගමන් ගියේය.

සමාජ ව්‍යාපාරයක් පිළිබඳ විශ්වාසයෙන් දේහපාලනය කළ සුනිල් මාධව වැනි බොහෝ මිනිසුන් මනුෂ්‍යත්වය අහිමි කළ සමාජයක හුදකලා කරනු ලැබිණි. විප්ලවය, සහෝදරත්වය වැනි වචනවලින් ජීවිතය දෙස බැලූ සුනිල් අයියාට මනුෂ්‍යත්වය, ප්‍රේමය වැනි පොදු තේමා ගැන කියන්නට සිදුවූ සමාජ දේහපාලන පසුබිම සකස්වූයේ එසේය.

‘දැන් සුනිල් අයියා විප්ලවය ගැන කතා කරනවා අඩුයි. ඒ ඇයි?“ සහෘදයන් එසේ විමසූ විට ඔහු කීවේ එවැනි දේ සර්වකාලීනව වැදගත් වුවද මේ අප ජීවත්වන මොහොතේ දේශපාලන මංමුලාවන් මැද වඩා අවධානය තැබියයුතු කරුණක් ගැනයි. නවලිබරල් ධනවාදය විසින් හුදකලා කරනු ලැබූ, යන්ත්‍ර බවට පෙරලා දමනු ලැබූ ජනසමාජයකදී වමේ දේශපාලනය දකුණට යාම ගැන විග්‍රහ කරන්නට සිදුවන්නේ එම ජනසමාජයේ ඉරණමට සාපේක්ෂවය. එහිදී බල්ලො මරා හෝ සල්ලි හොයන තරමේ පටු අරමුණු රජකරන ජනසමාජය පළමුව මනුෂ්‍යත්වය වෙත හා ආදරය වෙත කැඳවාගන්නට අවශ්‍ය බව සුනිල් අයියා කියන විට එහි වරදක් නැත. එහෙත් එය දේශපාලනික වැඩක් ලෙස ඔහු පවා වටහාගෙන තිබුනේ නැත. දකුණට කැරකුණු වමේ දේශපාලන සගයන්ට මනුෂ්‍යත්වය, සහෝදරත්වය, ප්‍රේමය, වැනි මිනිස් හැගුම් විපරිත වූ විට එවුන් ගැන විශ්වාසය තැබූවන්ට කවර කතාද?

සුනිල් අයියා විප්ලවය අත්හැර ඇතැයි ඇතැමුන් කියන විට ඔහු එය එසේ නොවන බව පෙන්වා දුන්නේ සක්‍රියභාවයෙනි. ඔහු ලක්ජන පුවත්පත ආරම්භ කරන්නට එක් කරගත්තේ තමන් සෙවනේ වාම පුවත්පත්කලාවේ අත්පොත් තැබූ සගයන් පිරිසකි. එහෙත් ධනපති ප්‍රාග්ධනය හමුවේ හෘදසාක්ෂිය ආරක්ෂා කරගෙන වාම පත්තර කලාව ඉදිරියට ගෙනයන්නට ඉඩක් නැති බව ඔහු දැන සිටියේය. මෙතෙක් රාජ්‍ය මාධ්‍ය මෙන්ම ධනපති පත්තර ආයතනවල ලද අත්දැකීම් ඔහු සතු විය. ඒ අතරම, ‘මිනිසෙක්‘, ‘මොහොමඩ් අලිගෙ කතාව‘, ‘අන්ධකාරයේ දරුවා‘ වැනි කෘති හරහා ඔහු සිය දේශපාලන අරමුණ ප්‍රකට කළේය. වෙනසක් වූයේ සමාජ ව්‍යාපාරයක් විසින් ලබාදුන් ජවය නොමැතිව හුදෙකලාභාවයට පත් ලේඛකයකු ලෙස සුනිල් අයියා සදෘෂ්‍ය වීමය.

සුනිල් අයියාගේ පත්තර ජීවිතයට 50 වසරක් සපිරීම වෙනුවෙන් සහෘදයන් පිරිසක් විසින් සංවිධානය කරනු ලබන උත්සවය ‘උපහාර උලෙලක්“ ලෙස නම් කර ඇත. එහෙත් සුනිල් මාධවගේ පුවත්පත් කලා භූමිකාවට ඇත්ත උපහාරයක් කරන්නට හැකිවන්නේ එම පුවත්පත් කලාව ගැන සැබෑ කියැවීමකිනි. මන්ද යත්. සුනිල් මාධව නම් මිනිසා ස්වකීය ජීවිතකාලයෙන් වැඩි කාලයක් යෙදවූයේ පිඩිතයා වෙනුවෙන් හඬ නගන්නටය. පිඩිතයන්ට විමුක්තිය අත්පත් කරගෙදන දේශපාලන ව්‍යාපාරයක් පැන නැගිය යුතු බවත් එය සමස්ත ජනයාගේ ජයග්‍රාහී අවසානයක් කරා එනම් විප්ලවයක් කරා යායුතු බවත් සුනිල් අයියා අවංකව විශ්වාස කළේය. ඒ වෙනුවෙන් ලියුවේය. කතා පැවැත්වීය. සාහිත්‍යකරයේ යෙදුනේය. ඔහු විසින් තවදුරටත් එවැනි කාර්යභාරයක් ඉටු කරනු ඇතියි අපේක්ෂා කළ නොහැකිය. ඔහු ශාරීරිකවත් අධයාත්මිකවත් දුර්වල වී හමාරය. එය අප වටහාගත යුතුව ඇත. එහෙත් සුනිල් මාධව ප්‍රේමතිලක අමරණීය කාර්යභාරයක ජීවමාන හිමිකරුවෙකි. ඔහුගේ භූමිකාව මින් ඉදිරියට ප්‍රාණවත් කර සජීවි කළ හැක්කේ එම කාර්යභාරය ඉදිරියට ගෙන යාමෙනි.

එය ඉටු කළ හැක්කේ සුනිල් මාධව හෝ සුනිල් අයියා දශක ගනනකට පෙර සටහන් කළ දේ යළි සිය සටහන්වල කොපි ගැසීමෙන් ද  නොවේ. ඒ වෙනුවට අපේ කාලයේ වාම පුවත්පත් කලාව වෙනුවෙන් ක්‍රියාකාරී වීමක් අවශ්‍ය වී තිබේ. හුදු උපහාර උළෙලකින් අවධාරණය කළ හැක්කේ සුනිල් මාධව භුමිකාවේ සමාජ දේහපාලන සලකනු කවරේද යන්නය. එය ඉතිහාස වේදිකාව මත කරනු ලබන අගය කිරීමකි. සුනිල් මාධව වැනි සැබෑ මිනිසුන් මහත් ආයාසයෙන් සනිටුහන් කළ වාම පුවත්පත් කලාව වර්ථමානයට කැඳවා ගැනීම සිදුවිය යුත්තේ ඔවුන්ගේ භූමිකාව නිසි ලෙස ඇගැයීමෙන් හා එය වර්ථමාන කාලයේ රෝපණය කිරීමෙනි. එවැන්නකට ජන සමාජය තුළ වඩාත් පීඩාවට පත් සාතිශය බහුතරයකගේ ආයාචනාවක් ආරාධනාවක් තිබේ. සුනිල් මාධව ප්‍රේමතිලකගේ පුවත්පත් කලාවේ 50 වැනි වසර සලකුණු කරන්නට කෙරෙන විවෘත ඇරැයුම තුළ එම ආරාධනාව ද ගැබ්ව ඇතැයි මම සිතමි.

සුනිල් මාධවගේ සිට අපේ කාලය දක්වා….

Sunil1සුනිල් මාධව ගැන ලියූ පසු ඒ ගැන විවිධ ප‍්‍රතිචාර ලැබුණා. සමහරු ඒ ලිවීම සුනිල් මාධව පේ‍්‍රමතිලක විවේචනය කිරීමක් ලෙස තේරුම් අරගෙන තිබුණා. තවත් සමහරුන්ට එය සුනිල් මාධව ගැන ඇති මිශ‍්‍ර අදහස් වෙනුවට නිශ්චිත අදහසක් ලෙස සලකුණු කරගත හැකි වුනා. සුනිල් මාධව වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන සොයුරු සොයුරියන්ට මේ සටහන දැණුනේ දිරිමත් කිරීමක් ලෙසයි. ඔවුන් විසින් සුනිල් අයියගේ පත්තරකලාව සහ ලේඛක ජිවිතය පිළිබඳ ඇගැයීම් අවස්ථාවක් සංවිධානය කරන්න කටයුතු යොදමින් ඉන්නවා.

සුනිල් අයියා ජිවත්වන හුදෙකලාභාවයෙන් පිටතට ගන්න හැකි නම් එවැනි උත්සාහයන් අවශ්‍යයි. ඒ අන්දමේ උත්සාහයන් වෙනත් සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ හෝ වෙනත් වැඩිහිටියන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අරභයා සිදු විය යුතුයි. හතු පිපෙනවා වගේ කෙරෙන කලාකරු උපහාර උත්සව වෙනුවට වෙනස් දේවල් තෝරාගන්න වෙනවා. සුන්දර මිනිසකු වූ සුනිල් අයියා වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගනිද්දි එවැනි උත්සාහයන් සමාජමය ක‍්‍රියාවලියක් ලෙස ස්ථාපිත කරන්න හැකි කොහොමද කියලා කල්පනා කළ යුතුයි.
ජීවිතය හැමවිටම ගෙන එන අත්දැකීම් සුන්දර යැයි අපි අපේක්ෂා කරමු. එහෙත් ඇත්තටම සුන්දර වන්නේ කටුක තත්වයන් මැද ගලා යන ජීවන අත්දැකීම්ය. හැමවිටම සුන්දර නොවන ඒ අත්දැකීම් විසින් අපව ඇද දමන්නේ එක්වරම වටහා ගත නොහැකි, එක්වරම සමස්තයක අර්ථ ගෙන නොදෙන හුදෙකලාභාවයටය. පත්තරකාරයන් බවට පත්වූ විට දිනපතා ගෙවෙන්නේ අලූත්වන තොරතුරු මැදය. ඒ තොරතුරු වරෙක සුන්දර වුවද බොහෝ විට අප ඇද දමන්නේ චිත්ත පීඩාවකටය. සමාජ අත්දැකීම් ඇත්තකු වුවද යොමුවන්නේ නිතර අසන්නට දකින්නට ඇති දේ පිටස්තරයකු ලෙස භාරගැනීමටය. එහෙත් වාමාංශික පුවත්පත්කලාව විසින් සාමුහික ජිවිතයක් අරමුණු කළ දැක්මක් වෙත යොමු වූ පත්තරකාරයන්ට එය එසේ නොවේ.

එදිනෙදා සිදුවන දෙයින් කම්පාවට හෝ සතුටට පත්වන සංවේදීභාවයක් ඇතිකරගැනීම පහසුවන්නේ සමාජ අරමුණු ඇති අයටමය. ඒ නිසා පොදු අත්දැකීම්වල තමන්ද ජීවත් වෙමින් එම හැඟීම් බෙදාහදා ගනිමින් පත්තර කලාව කරන්නට වාමාංශික පුවත්පත්කලාවේදියාට පුළුවන. වරදවා තේරුම් නොගතයුතු කාරණය නම් වාමාංශික පුවත්පත්කලාවේදියා යනු හුදෙක් වමේ පත්තරයක පුවත්පත්කලාවේදියා නොවන බවයි.

ධනපති පුවත්පත්වල සේවය කරමින් වමේ අරමුණු වෙනුවෙන් පත්තරකලාව මෙහෙයවූ මිනිසුන්ගේ අත්දැකීම් අපට ඇත. සුනිල් මාධව වැනි සුප‍්‍රකට උදාහරණ වගේම අද තත්වයන් අත්දැකීම් ලෙස තිබේ. කලක් ‘ලංකා’ පුවත්පතේ මෙන්ම පසුව ‘ජනරළ’ සමඟ වැඩ කළ බොහෝ පත්තර මිත‍්‍රයන් දැන් වෙනත් ආයතනවල සේවය කරමින් සිටී. ඔවුන් විවිධ ඉදිරිගාමී අරමුණු හා ප‍්‍රාග්ධන ප‍්‍රහාරයේ පසුබැසීම් සහිත තත්වයන් මැද ඉටුකරමින් ඉන්නේ සමාජ අරමුණු ජයග‍්‍රහණය කරවීමේ පුළුල් ක‍්‍රියාවලියට හැකි පමණින් දායකවීමේ උත්සාහයකයි. සුනිල් මාධව වැනි පත්තර කලාවේ පතාක යෝධයන් ඇද වැටුණු අවස්ථා ගැනත් නොවැටී සටන් කළ අවස්ථා ගැනත් පසු විපරමක් කරමින් අපේ කාලයේ වාම පත්තර කලාවකට සූදානම්වන්නන්ට අවස්ථාවක් තිබිය යුතුය.

පත්තරකාරයන් අත එක්රැුස්වන ජිවන තොරතුරු, සමාජ අත්දැකීම් සියල්ල ප‍්‍රමාණවත් මනුෂ්‍ය ඇගැයීම් පද්ධතියකින් විග‍්‍රහ කළවිට ඔවුන්ගේ දෘෂ්ටි පථය යොමුවනු ඇත්තේ වඩා යහපත් ලෝකයක් වෙතය. හැමදාම අත්විඳින දේ එලෙසින්ම බාර නොගන්නා මිනිස්සු ලෝකය වෙනස් කළ බව අප දන්නා දෙයයි.

පවතින සමාජ ආර්ථික දේශපාලන පරිසරය හමුවේ පෙරලා සටන් වදින හුදෙකලා පුද්ගල පෞරුෂයන් මෙන්ම මිනිස් සාමුහිකයන් අවසානයේ සන්නිවේදනය කරන්නේ ඒවා වෙනස් කරන්නට ඇති ජව බලයයි. ඒ වගේම පත්තරකාරයන් ඒ සන්නිවේදන කාර්යයෙන් පිටතට ඇවිත් සිය ජීවිතයෙන් එකී ක‍්‍රියාවලියට සම්බන්ධ වියයුතුය. හුදු පෑන් ලෙලවමින් සමාජමය අරමුණු ඒකරාහිකරන අප වාමාංශික පත්තරකලාවක සිරගත වියයුතු නැත.

වාමාංශික ජීවිතයක හා වාමාංශික දේශපාලනයක ක‍්‍රියාකාරිත්වයට එක් නොවුනොත් අප විසින් ධනවාදයේ ගොදුරු බවට පත්වීම වැළැක්විය නොහැකියි. මා නැවතත් සුනිල් අයියාගේ ජිවිතය කියවන්නට ආරාධනා කරන්නේ ඔහු පුද්ගලයකු ලෙසින් පෙන්වූ සද්භාවය හා ශක්‍යතාවය පිළිබඳ ඇගයීමකටයි. තනිව නොව, වාම අරමුණු ඇතිව, වාමාංශික ව්‍යාපාරය සමඟ නැගී සිටි පෑන් සමාජයීය ප‍්‍රවාහයක් වියයුතුයි.

වාමාංශික මිනිස් සාමුහිකයෙන් පිටස්තරව ස්ථානගත වූ හැම විටම වමේ මිනිස්සු ප‍්‍රතිගාමී බලවේගවල ගොදුරක් ලෙස පාවිච්චි කිරීමට ලක්වීම වැළැක්විය යුතුයි. එක් එක් තනි තනි සාමාජිකයා මෙන්ම වාම දේශපාලන ව්‍යාපාරය විසින් ඒ බව වටහා ගත යුතුයි. තනිව නැගී සිටින්නට, හැකි වෙන්නේ සීමිත ජිවිත අභිලාෂයන් තුළ පමණයි. ජිවිතයේ අරගලය දේශපාලන අරගලයක් නොවුණු තැන ගොවියාට, කම්කරුවාට, ශිෂ්‍යයාට හෝ වෙනත් අරගලකාරී සමාජ බලවේගවලට මුහුණ දෙන්නට සිදුවන ඉරණමත් ඒකමයි.

ඒ නිසා වාමාංශික පත්තරකාරයන්ට ඒ ඉරණමෙන් ගැලවෙන්න තමන් සතු පෑනේ හයිය විතරක්ම ප‍්‍රමාණවත් නෑ. වාම හෘද සාක්ෂිය යනු හැඟීම්, අදහස් හා සටන් සූදානම ප‍්‍රකාශනයකින් අවසන් නොවන දෙයක්. ඒ නිසා වාම දේශපාලනයේ සාමුහික ඉරණමෙන් පිටස්තරව වාමාංශික භාවිතාවක් හෝ වාම පුවත්පත් කලාවක් පවත්වාගැනීමම අභියෝගයක්.

හඬනු මැන නිදහස!

sunil madhawaකිසිවක් කරන්නට නොහැකි කිසිවක් කළත් කිසිදු වෙනසක් නොවන දවස්වල මිනිසුන්ට පෑන වෙනුවට අවි අතට ගන්නට බලකරනු ලැබිණි. එහෙත් අවි දරන මිනිසුන් හුදු ආත්මලාභයෙන් අවි දරන්නේ නම් ඒ ගැන ලියන්නට කිසිදු යමක් ඉතිරි නොවේ. සත්‍ය නම්, අවි දරන්නට තරම් සමාජ ආර්ථික හා දේශපාලන හේතු පවතින විට මිනිසුන් අවි අතට ගන්නා බවය. පෑන වුවද අවියක් ලෙස යොදාගන්නට හේතු ඇති අවස්ථාවක එය පැහැර හැරිය නොහැකි විය. පෑන අතට ගන්නට පොළඹවා ලූ හේතු මත තවදුරටත් තීරු ලිපි ලියන්නට හේතු මට ඇත.

එවකට පෑන අවියක් කරගත් පත්තර කලාවේ සෙන්පතියන් තීරු ලිපි ලිවීමේ කාර්යට මා පොළඹවාලූයේ සිය පත්තර පිටු මතින්මය. ඔවුහු මට අකුරු කරවූයේ සිය තීරු ලිපිවලින්මය. මා ගැන කියනවාට වඩා මගේ සහෝදර පත්තර සගයන් බොහෝ දෙනාටද සමාජ අසාධාරණයට එරෙහිව පෑන අවියක් කරගන්නට මඟපෙන්වූ ආලෝකමත් ආදර්ශය තබා ඇත්තේ දයාසේන ගුණසිංහ, සුනිල් මාධව පේ‍්‍රමතිලක බඳු අතේ ඇඟිලි ගණනින් කිව හැකි හුදෙකලා එහෙත් දැවැන්ත සමාජ බලවේගයක් පුවත්පත් වටා ඒකරාශී කළ පත්තර කලාවේ අදීන සෙන්පතියන් විසිනි. සුනිල් මාධව පේ‍්‍රමතිලක අද ශාරීරිකව දුබලව සිටී. ඔහුගේ පත්තර කලාව වුවද අකාලයේ මිය ගිය බව සටහන් නොකරන්නට හේතු මට නැත. ඔහු එවන් ඉරණමකට පත් කරවූ විවිධ හේතු අතර දේශපාලන වශයෙන් පාවිච්චි කිරීම එකකි. එසේ පාවිච්චි කරනු ලැබීමෙන් වෙන්වන්නට නොහැකි වීම සුනිල් අයියාගේ මෙන්ම මා ඇතුළු ඔහුගෙන් මඟ හසර අසාගත් පත්තරකාරයන්ගේද අඩුවකි.
අදත් සහෘදයන් විසින් සුනිල් අයියාගේ දුක සැප බලන්නට යමින් ඔහු පෙරලා සමාජ සංවාදයේ සලකුණක් බවට පත් කරන්නට දරන උත්සාහයන් තිබේ. ඇත්ත වශයෙන්ම සුනිල් මාධව පේ‍්‍රමතිලක විසින් සිය සලකුණ අපේ පත්තර කලාව තුළ නිශ්චිත ලෙස සටහන් කර අවසන්ය. පෞද්ගලිකව සුනිල් අයියාට ආදර ගෞරවයක් වශයෙන් එය නැවත කැඳවන්නට හෝ සිහිපත් කර දෙන්නට අවශ්‍ය නොවේ. සුනිල් මාධවගේ පුවත්පත්කලාව ඇගයිය යුතු වන්නේ හුදු පුණ්‍ය චේතනාවකින් ඒ අදීන පුවත්පත් කලාවේදියාගේ වර්තමාන ජිවිතය වෙනුවෙන් කරන ආයාචනාවක් ලෙසද නොවේ. ඔහු සිය පෑන අවියක් කර ගත්තේ හුදකලා වන්නට නොවේ. ඔහු සමාජ ව්‍යාපාරයක කොටස්කරුවකුව සිටි, නිරන්තරව ඒ සමාජ ව්‍යාපාරය ගැන ආශ්වාදයෙන් ලියූ, ඒ සමාජ ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය තැබූ තනි මිනිසෙකි.

අද වනවිට සුනිල් අයියා තනිව කිසිවක් කරගන්නට නොහැකි තත්වයකය. ඔහු වැනි වැඩිහිටියකුට අවශ්‍යවන්නේ ආදරය, කරුණාව හා පිළිගැනීමය. එහෙත් අද වැඩිහිටියකුට නොලැබෙන්නේද එයමය. සුනිල් මාධව වේවා අන් කවර හෝ වෘද්ධ මිනිසකුට ඒ ඉරණම අත්විය හැකිය. අප වටහාගත යුතුවන්නේ මිනිසකුට සිය අවසන් කාලයේ ආන්තිකභාවයකින් හුදෙකලාභාවයෙන් තොරව, පරාජිතභාවයෙන් තොරව ජිවත්වන්නට හැකි සමාජයක් බිහි කරන්නට නොහැකි මන්ද යන්න ගැනය. පත්තර කලාවේ අප වැනිවුන් බිහිකරන්නට යම් ආලෝකයක් සැපයූ සුනිල් මාධව පෙනී සිටියේ එවන් සමාජයක් වෙනුවෙනි.

13357800‘පේ‍්‍රමදාස අපි සූදානම්!’ වැනි සිරස්තලයකින් පෙ%්මදාස ජනාධිපතිවරයාගේ අත්තනෝමතිකත්වයට අභියෝග කර පුවත්පතක් පළ කරන්නට සමත් වූයේ ඒ සමාජ ව්‍යාපාරයේ ශක්තියයි. එය හුදකලා ශක්තියක් නොවීය. එය හුදු පුද්ගල ආත්ම විශ්වාසය පිළිබඳ සටහනක් නොවීය. සමාජ අසාධාරණය නිර්දය ලෙස විවේචනයට ලක් කරන දුසිම් ගණනක් පත්තරකාරයන් අතර සුනිල් මාධව පේ‍්‍රමතිලක සලකුණ එයයි. ලංකාවේ සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් සිහින දකිමින් ඒ වෙනුවෙන් වැඩකරන මිනිසුන් අතර එක් මිනිසකු ලෙස සුනිල් අයියා නිසැකව සිය අනන්‍යතාව සටහන් කළේ පුද්ගලයකු ලෙස තනි මිනිසකු ලෙස ඉස්මතු වන්නට නොවේ. ඒ වෙනුවට ආත්මලාභය පමණක් ගරුකරන මුදලින් පමණක් සියල්ල තක්සේරු කරන මනුෂ්‍ය පැවැත්ම පරාජය කරන සමාජ ව්‍යාපාරයක් කෙරෙහි ඔහු විශ්වාසය ලැබීය. ධනය හා බලය වෙනුවෙන් තරගයක යෙදෙන සමාජය තුළ පුද්ගලයකු ලෙස හුදකලා වන්නට සිදුව ඇත්තේ ඔහු ඊට එරෙහිව සටන් කළ තත්වයකය.

ඒ නිසා සුනිල් අයියා ගැන යළි යළිත් ලියන්නට හෝ කතා කරන්නට අවශ්‍ය නම්, කළ යුත්තේ ඇත්තටම සුනිල් මාධව පේ‍්‍රමතිලක පත්තර කලාවේ අදීනයකු ලෙස සිය සලකුණ තැබුවේ කෙසේ දැයි නැවත කියවා බැලීමය. වැරදියට කියවා බැලූවන් කියවනු ඇත්තේ ආදරය හා මනුෂ්‍යත්වය ඉල්ලා සිටි පරාජිත සුනිල් මාධවයන් ගැනය. වැරදියට ගණන් බැලූවන් උත්සාහ කරනු ඇත්තේ සුනිල් මාධව වෙනුවෙන් අරමුදල් තර කරන්නටය. සමාජ ව්‍යාපාරයක් කෙරෙහි තබනු ලැබූ විශ්වාසය බිඳී ගිය සුනිල් මාධවගෙන් ‘හඩනු මැන නිදහස’ වැනි කෘති බිහි  නොවීම තේරුම්ගත හැකිය. දේශපාලන අරගලය ගැන ලියනු වෙනුවට සිය ජීවිතයේ සටන්කාමී සමය අවසාන කරමින් ඔහු පසුකාලයකදී ආදරය හා මනුෂ්‍යත්වය ගැන ලියන්නට පටන්ගත් බව සිහියට නඟනු කැමැත්තෙමි.

මහා සමාජ ව්‍යාකූලතා පැන නඟද්දී තවදුරටත් සමාජ ව්‍යාපාරයක කාර්යභාරය ගැන විශ්වාසයක් නොමැති මිනිසකුට පසුබසින්නට සිදුවන්නේ එවැනි බංකරයක් තුළටය. ඒ බංකරය තුළ හිඳ ලියද්දී ඔහුට ලේක්හවුසියේ වැඩ කරන්නට නැවත අවස්ථාව හිමි විය. දේශපාලකයන්ගෙන් වරදාන හිමි විය. අනුන්ගේ ව්‍යාපෘතිවලට කරගසන්නට සුනිල් මාධව පාවිච්චි කරන තැරුව්කරුවන් පිරිසක්ද බිහි විය. ඔහු එවැනි තත්වයකට පත් කරවූයේ සුනිල් මාධව තදින් විශ්වාස කළ සමාජවාදී විප්ලවය වෙනුවට ප‍්‍රතිසංස්කරණවාදයට යටපත් කළ සමාජ ව්‍යාපාරයේ බිඳවැටීම්ය. ඒ නිසාම සුනිල් මාධව පේ‍්‍රමතිලක නමැති අදීන පත්තරකාරයා සටහන් කළ පුවත්පත් කලාවේ සුවිශේෂ සලකුණ විවිධ අයට විවිධ අරුත් ගැන්වීමට හැකි දෙයක් ලෙස නොසිතමි. එය, ඔහු සිය සටන්කාමී පත්තරකලාව තුළ වෙනත් අරුත්ගැන්විම් කළ නොහැකි ලෙසම තබා ඇත.

අද දවසේත් සුනිල් අයියා ගැන ලෙංගතුව ඔහුගේ ශාරීරික සෞඛ්‍ය හා පවුලේ පැවැත්ම වෙනුවෙන් වැඩ කරන සහෘදයන් පැසසිය යුතුය. එහෙත් මිනිසුන්ගේ දේශපාලන අරමුණු බිඳවැටෙන තරමේ හේතු මත මිනිසුන් විවිධ හුදකලා බංකර්වල ලැඟුම්ගන්නා ඇත්ත හේතු වටහා ගතයුතුව ඇත.

‘පසන් මචං’ගැන අවසන් නොකළ මතකයෙන් 

pasan-kodikara2කලාතුරකින් හමුවන වර්ගයේ නිහඬ මිනිසකු වුවත් ඔහු යම් කාරණාවක් ගැන කතා කිරීමේ දී නිශ්ශබ්ද පුද්ගලයකු වූයේ නැත. අප ඔහු හැඳින්වූයේ ‘පසන් මචං’ හැටියටයි.

පරිවර්තකයකු ලෙස බොහෝ දෙනා හඳුන්වන නමුත් ඔහු සාහිත්‍යකරුවකු වශයෙන් කොටු කරනවාට වඩා යම් ජීවිත දර්ශනයක් ඇතිව සමාජ අරමුණකින් වැඩ කළ මිනිසකු ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. මිතුරන් අතර ඔහු ගැන කියැවෙන විවිධ රසකතා මැද වුවද ඔහු පෙන්වන්නේ යම් කාර්යයකට අත ගැසූ විට වගකීම් සහගතව වැඩ කිරීමේ ගුණයක් සහිත ජව සම්පන්න මිනිසකු බවයි. 53 වැනි වයසේ දී ජීවිත වේදිකාවෙන් බැස ගිය පසන් කොඩිකාර සහෝදරයා පළමුවෙන්ම මට මුණ ගැසුණේ කොතැනදැයි කිව නොහැකිය. එහෙත් කොළඹ නගරයේ ජීවිතයට පැමිණි 90 දශකයේ මැද භාගයේ දී ඔහු රුසියානු ශාස්ත‍්‍රීය අධ්‍යාපන කටයුතු අවසන්කොට මෙරටට පැමිණ කලක් ගත වී තිබිණි. වරින්වර පුවත්පතක ලියූ ලිපියකින් අපගේ සාකච්ඡුාව ආරම්භ විය. නැතිනම් විදේශීය චිත‍්‍රපට උළෙලකදි ඔහු නිතර මුණ ගැසුණි. නිරහංකාර මිනිසකු වූ පසන් කිසිවිටක තමන් විසින් උපයාගත් ශාස්ත‍්‍රීය දැනුම හෝ වෙනත් පෞද්ගලික ආකල්පයක් මත අදහස් කොටුකර තැබීමට සූදානම් නොවීය.
ඔහු මාක්ස්වාදය පිළිබඳ වෙහෙස වී ලබාගත් දැනුමකින් යුතුව සෙසු දාර්ශනික මතවාද පිළිබඳ අධ්‍යයනයක් සහිත වූ විද්වතකු විය. ඔහු දැනුම ආභරණයක් කර නොගත් නිසාම දාර්ශනික සාකච්ඡුාවල පන්න පන්නා යන මිනිසකු නොවීය. එහෙත් ‘පසන් මචං’ සතු වූ දැනුමක් මෙන්ම මැදිහත්වීමේ සාධනීය බවක් තිබිණි. ඔහු තමන් ඉගෙන ගත් දැනුම මෙරට ජන සමාජය වෙනුවෙන් යොදවන්නට තීරණය කළ අයෙකි. එහි එක් ආකාරයක් ලෙස ඔහු පරිවර්තන කාර්යයන් වෙත යොමු විය. නාට්‍ය කලාව වෙතද ඔහුගේ විශේෂ නැඹුරුතාවක් තිබිණි. නාට්‍ය වැඩමුළු, කලා සාහිත්‍ය කටයුතුවල නිරතවීමෙන් ඔහු විශේෂ තෘප්තියක් ලැබුවේ ඒවා පෞද්ගලිකව යමක් උපයන්නට පාදක කර නොගත් පිරුණු මිනිසකු ලෙසයි.
සෝවියට් දේශයේ අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනා කියන්නට කැමැති කාරණයක් නම් තමන් මාක්ස්වාදය ඇතුළු දේශපාලන දාර්ශනික සංකල්පවල පරප‍්‍රාප්තවූවන් බවයි. විජේවීර මෙරට සිදු කළ ඓතිහාසික මැදිහත්වීමෙන් පසුව සෝවියට් දේශයේ හෝ ලන්ඩනයේ ඉගෙනගෙන මෙහි පැමිණි ඇතැම් පුද්ගලයන් කියූ ‘පොර ටෝක් කතා’ හාස්‍යජනක තත්වයට පත් විය. සෝවියට් රජය බෙලහීනවෙමින් පැවැති 80 දශකය අවසානයේ ලූමුම්බා මිත‍්‍රත්ව සරසවියෙන් අධ්‍යාපනය ලැබීමට ඔහුට අවස්ථාව සැලසුණේ කොමියුනිස්ට් පක්ෂයේ මැදිහත්වීමෙන් මෙරට තරුණ ක‍්‍රියාකාරිකයන්ට හිමි වූ ශිෂ්‍යත්ව ක‍්‍රමය නිසාය. 89 සෝවියට් බලය බිඳවැටීමෙන් පසුව රුසියානු වෛද්‍ය අධ්‍යාපනය සාරවත් ආයෝජනයක් වුවද ඉන් පෙරාතුව මෙරට තරුණ තරුණියන් සෝවියට් සමාජ ජයග‍්‍රහණ බෙදා හදාගැනීමේ ක‍්‍රමයක් යටතේ ඇත්ත සමාජ හිතකාමී අධ්‍යාපනයට යොමු කරවන ලද බවට හොඳම සාධකයක් ලෙස ගෙනහැර දැක්විය හැක්කේ පසන්ගේ භූමිකාවයි.

එහෙත් පසන් සෝවියට් නිලධාරිවාදයේ මර්දනය ගැනද සිය අත්දැකීම් අප සමඟ බෙදාහදා ගත්තේය. මාක්ස් ලෙනින්වාදය විකෘති කරන ලද සෝවියට් පරිහාණි යුගයේ දී තමන් විසින් එක්තරා මාක්ස්වාදී සංවිධානයකට සම්බන්ධ වීමේ කතාව ඔහු වරින්වර කියූ කතාවලින් වටහා ගන්නට පුළුවන. එවකට මාක්ස්වාදී කණ්ඩායමක් ලෙස සංවිධානය වූවන් රහසිගතව කටයුතු කළ යුතු විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ශිෂ්‍යත්වයක් හිමි වුවද සෝවියට් පාලනයේ විකෘතිය ප‍්‍රශ්න කළ විජේවීරට යළි ලූමුම්බා මිත‍්‍රත්ව සරසවියේ අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට එරට බලධාරීන් ඉඩ දුන්නේ නැත. පසන් ඇතුළු කණ්ඩායමක් විසින් උත්සාහ කළ කාර්යය සපුරා ගන්නට නොහැකි වූයේද කේජීබියෙන් මත වූ බලපෑම්ය. වරක් එම සංවිධානය වෙනුවෙන් ලියන ලද කඩදාසි කිහිපයක් නිසා පසන් මාරකයකින් බේරී ඇත්තේ අනූනවයෙනි.

‘යාඩ්‍රො’ නමින් හඳුන්වන එම සංවිධානය පටන්ගෙන තිබුණේ මාක්ස්වාදී අධ්‍යයන කණ්ඩායමක් ලෙසයි. ‘න්‍යෂ්ටිය’ යන තේරුම ඇති මෙම කණ්ඩායමේ සංවිධාන ව්‍යවස්ථා ලියැවිල්ලක් ලිවීමේ වගකීම ගෙන තිබුනේ පසන් විසිනි. මාක්ස්වාදය විසින් ඉදිරිපත් කළ සමාජ වෙනස්කම් ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගයක් බවට පත් කළ රාජ්‍යය පිරිහී ගිය පසුව ජීවිතය නතර කළ හැකිද? දෙවොල හිසමත කඩා වැටුණු සමයක සියල්ල අවසන් වූයේ යැයි සිතන්නටත් අත් පොරවා හිඳින්නටත් අකැමැති මිනිස්සු සෝවියට් පරිහාණි යුගයේ ජීවමානව සිටියහ. ඒ සියල්ලගේ අරමුණ සමඟ එකතු වූ පසු මර්දනයට හසු නොවී මාක්ස්වාදී සංවිධානයක් වෙනුවෙන් වැඩකිරීමේ අරමුණින් ඔහු එය සටහන් කළේය. එය සෙසු සගයන්ට කියැවීමට දීමේ අරමුණින් ගෙනයන්නට ඔහු තෝරාගත්තේ කිසිදු ආවරණයක් නැති සාමාන්‍ය කවරයකි. සැකයක් ඇති නොවන ආකාරයෙන් අතේ ගෙන ගිය කඩදාසි මිටිය අතැතිව ඔහු මොස්කව් නගරයේ ගමන් ගත්තේ අධික ලෙස කැකෑරුණු ශීත කුණාටුවක් ඇති මොහොතකයි. එක් තත්පරයකදී කවරයෙන් මිදුණු කඩදාසි හිම තලා ඉහළින් සුළගට ගසා යන්නට විය. කඩදාසි එකතු කිරීමේ කාර්යයට එළඹුනහොත් සැකයක් ඇතිවීමට හා නගරයේ නිතර සැරිසරන කේජීබී ඔත්තුකරුවකුගේ ඇසට හසුවීමේ අවදානම තිබිණි. කිසිවක් නොවූ ආකාරයෙන් එතැනින් ඉවත්ව පලායන්නට පසන් තීරණය කළේ ඉන්පසුවයි.

පසන් ලූමුම්බාවෙන් පසුව ගොර්කි සාහිත්‍ය කලා අධ්‍යයනායතනයේ අධ්‍යයනය සඳහා යොමු විය. සිය ආචාර්ය උපාධිය අවසන් කිරීමෙන් පසුව ඔහු ලංකාවට පැමිණියේය. එහෙත් ඔහුගේ දැනුමෙන් නිසි ප‍්‍රයෝජනයක් ගන්නට මෙරට විශ්වවිද්‍යාල සූදානම් වූයේ නැත. කාලයක් ඔහු නොසැලකිල්ලට භාජනය වෙමින් ආරාධිත කථිකාචාර්යවරයෙක් ලෙස සිය දැනුම සරසවි ශිෂ්‍ය ප‍්‍රජාවට දෙන්නට උත්සාහ කළේය. ශාස්ත‍්‍රීය අධ්‍යාපනයට වඩා යාන්ත‍්‍රික ක‍්‍රියාදාමයක කොටු කෙරුණු ඇදුරු ශිෂ්‍ය නිලධාරි ලෝකයක ඔහුගේ වටිනාකම තහවුරු කරන්නට ප‍්‍රමාද විය. පසුගිය දා අවසන් ගමන් යනවිටත් ඔහු හොරණ ශ‍්‍රීපාලි මණ්ඩපයේ කථිකාචාර්යවරයකු ලෙස සිටියද ඔහුට ඇත්ත වටිනාකමින් සිය දැනුම සහ සක‍්‍රීය මැදිහත්වීම කරන්නට ඉඩක් සපයා තිබුණේ නැත. ඒ ගැන සරසවි ප‍්‍රජාව අතර ද ඇත්තේ නොපහන් හැඟීමකි.

අතෘප්තිමත් භූමිකාවක ඇදුරකු ලෙස කටයුතු කළද ඔහු ඉඩ ලද හැමවිටම ලේඛන කාර්යයට යොමු විය. මාස්ටර් සහ මාගරිටා, අර්බාත් දරුවෝ, ඔහු කළ විශේෂත්වයක් සහිත රුසියානු සාහිත්‍ය පරිවර්තනයන් අතර වේ. වැදගත් වන්නේ ඉංගී‍්‍රසියට නඟන ලද විදේශ සාහිත්‍ය කෘති නැවත සිංහලයට නැඟීමෙන් වන ගුණ හානිය වැළැක්වීමට ඔහු විසින් කළ මැදිහත්වීමයි. රුසියානු බස මැනවින් උගත් ලාංකිකයන් අතර පරිවර්තනයට යොමු වූවන් හිඟය. දැදිගම වී රුදිරිගු, සිරිල් සී පෙරේරා වැන්නවුන්ගෙන් පසුව ඔහු රුසියානු කෘති සිංහලයට නැඟීමේ කාර්යයට යළි පණ දුන්නේය. ඒ සියල්ලට නොදෙවෙනි ලෙස ඔහු මෙරට සිංහලෙන් කියවන ජනයාට එක් කළ කෘතිය නම් චාල්ස් ඩාවින් විසින් 1859 දී ලියූ On the Origin of Species කෘතිය පරිවර්තනය කිරීමයි. 2011 වසරේ හොඳම පරිවර්තනය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද ‘සත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය’ කෘතිය අපට වැදගත් වන්නේ එය මිනිස් ජීවිතයේ සම්භවය හා පරිණාමය ගැන කියැවෙන නිසාය.

මාසයකට දෙකකට පෙරාතුව අවසන්වරට ඔහු මට හමුවූයේ කොට්ටාව දෙසට යන බස් රියකදීය. විවිධ මාතෘකා කීපයක් ගැන අප අතර ඇති වූ කෙටි කතා බහ නිරායාසයෙන් යොමු වූයේ ලේඛක කාර්යයන් පිළිබඳවය. ප‍්‍රකාශන ආයතනවල කම්කරුවකු ලෙස මෙරට ලේඛකයන්ට මුහුණදෙන්නට සිදුව ඇති පීඩාව ඔහු හොඳින් දැන සිටියේය. ‘නමක් හදාගත්තම ප‍්‍රකාශන ආයතන ලේඛකයන්ව විකුණාගන්නට පොර කරනවා. ඒත් ලේඛකයන් වෙන්න උත්සාහ කරන මිනිස්සුන්ට දහදුක් විඳින්න වෙනවා. මේක වෙනස් වෙනකම්ම ලංකාවෙ සාහිත්‍යයට අලූත් යමක් නම් වෙන හැඩක් නෑ.’ ඔහුගේ අදහස වූයේ එයයි. සමකාලීන සමාජ දේශපාලන අත්දැකීම් පිළිබඳ කතාබහෙන් අපගේ හමුව කෙළවර කරන්නට සිදුවිය. රාජපක්ෂ පාලනයේ දුෂ්ටත්වය ගැන කියන ගමන් ඔහු පලවා හරින්නට සූදානම් වෙන්නේ කවුදැයි පසන් ඇහුවේ දිගුව වැවුණු සිය ගන රැුවුල් ගස් අතරින් සාවඥ සිනාවක් මදෙස හෙළමිනි.

ඒ කතාබහෙන් කෙටි කාලයක් තුළ නොසිතූ ලෙස මේ නිහ`ඩ සාන්තුවර මිතුරා නික්ම යතියි මම සිතුවේ නැත. ඔහුගේ දේහය කොළඹ කනත්ත ඉදිරිපස මල් ශාලාවේ දී දකින විට පසන් සිය සුපුරුදු මුහුණින් වැතිර සිටියේය. ඔහු පසෙකින් ජනාධිපතිවරයාගේ ශෝකය පළ කෙරෙන මල්වඩමක් ද සුපුරුදු ලෙස තැන්පත්ව තිබිණි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද පසන් ඉගෙනගත් ගෝර්කි අධ්‍යයනායතනයේ ඉගෙන ගත්තකු බව මා අසා තිබේ. පසන්ගේ සාවඥ සිනාව මට මැවී පෙනෙන්නට විය. පසන් වෙනුවෙන් කෙටි සටහනක් තබා මම එතැනින් නික්ම ආවෙමි.
“නිහඬ මිතුරෙක්
වචනයේ අරුතින්ම විද්වතෙක්
‘පසන් මචං’ අපි ඔහුට දුන් නමයි.
ඇත්තෙන්ම ඔහු එවැනි සරල චරිතයක් විය.”

සංවේගයෙන් දැනුම් දීමයි (මල් වඩම් අනවශ්‍යයි)

නිකලස්ප‍්‍රවීණ ගීත රචකයකු – සිනමා තිරනාටක රචකයකු හා සිනමා ලේඛකයකු වූ කේ.ඞී. නිකලස් කලාකරුවා පසුගිය 29 වැනිදා බොරැුල්ල කනත්තෙන් අවසන් ගමන් ගියේය. කෙටි කලක් රෝගාතුරව සිටි ඔහු මිය යනවිට 70 වැනි වියේ පසුවිය.

ඒ මරණය ගැන බොහෝ දෙනා බොහෝ දේ කියන කාලයක ඔහුගේ මරණය ගැන කතා කරනවාට වඩා ජීවිතය ගැන කතා කිරීම අවශ්‍ය යයි අපි සිතමු.
‘ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු’ ආදී ජනප‍්‍රිය ගීත සහ චිත‍්‍රපට ගීත රැුසක් ඔහු විසින් රචනා කොට ඇත. කේ.ඞී. නිකලස් අතින් රචනා වූ චිත‍්‍රපට තිර නාටක සංඛ්‍යාව 40කට අධිකය. බිතුසිතුවම්, ආයාචනා, සඳමාලි, නුවන් රේණු, මධුවන්ති, සඳකඩපහන, ඇසළ සඳ, අරලියා මල්, ගුඞ් බායි ටෝකියෝ, චන්නයි කෙල්ලො දෙන්නයි, වැඩ බැරි ටාසන් 1 ඉන් කිහිපයකි. ‘සුරඟන යහන’ සිනමාපටයට ඔහු ලියූ ‘බඳවා උඩු වියන් බඳවා’ ගීතයට හොඳම ගී රචනයට හිමි ජනාධිපති සම්මානය ද හිමි විය. සරසවිය සිනමා උළෙලේ ‘බිතු සිතුවම්‘ චිත‍්‍රපටය සඳහා හොඳම තිර නාටක රචකයාට හිමි සම්මානය දිනා ගත්තේ කේ. ඞී. නිකලස්ය. තිරගත වූ ඇතැම් ජනප‍්‍රිය චිත‍්‍රපට රැුසකම නිල නොලත් තිර නාටක රචකයා වූයේ ද නිකලස්ය.

කෙසේ වෙතත් ‘ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු’ ගීතය පිළිබඳ අවලාද නඟන සිදුවීම් කිහිපයක් නිසා මෙම කලාකරුවාගේ කලා භාවිතය පවතින වත්මන් ජාතිකවාදී පාලක පෙළැන්තිය අතින් ගර්හාවට ලක් විය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ද මෙම ගීතය ගැන කතා කරන්නට ගොස් කලාව ගැන සිය අවබෝධයත් මහින්ද චින්තනය යටතේ භාවිතයට ගැනෙන විචාරක මිනුම් ද`ඩුත් හෙළිදරව් කරන ලදී. මේ 2011 මැයි 03 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති 162 වැනි වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පළ කළ අදහසයි.

”රටක්‌ විනාශ කරන්න තියෙන හොඳම මඟ තමයි කුඩා දරුවන්ගේ හිතට, හදවතට, උපන් රටට හිනාවෙන අදහස්‌ කාවැද්දීම. මෑත කාලයේ ලියවුන ඇතැම් ගීතවල මම අහලා තියෙනවා ”‍ඒ රටේ මිනිස්‌සු තනිකර කෙලින්නෙ පිස්සු”‍ කියලා. මේ රට ලෝකයේ නරකම රටක්‌ හැටියට කියලා හිනා වෙනවා. නමුත් අතීතයේ ලියැවුණු ගීතවල තිබුණේ ”‍ලෝකෙන් උතුම් රට ලංකාවයි”‍ කියලා. මේවායින්, රට නිදහස්‌ කරගන්න සටනට ලොකු සේවයක්‌ වුණා, ඒ වගේම රටට හිනාවෙන ගීතවලින් රට දෙකඩ කරන්න සටන්කරන අයටත් ලොකු වාසියක්‌ වුණ බව මතක තියාගන්න  ඕනෑ.”
රාජපක්ෂ පවුලේ ගෝලයන් ද මේ ගීතය නිසා කෝපයට පත් වූ අවස්ථා වාර්තා විය. ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සම්බන්ධ සාදයක දී සුනිල් පෙරේරා මෙම ගීතය ගායනා කරන්නට සූදානම් වන විට වී.කේ. ඉන්දික නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ගෝරනාඩුවක් කරමින් යකා නැටුවේය. ‘රාජපක්ෂ පවුල ගැන කියැවෙන’ මෙවැනි ගීත තමන් ඉදිරියේ දී ගායනය කරන්නට ඉඩ දිය නොහැකි බව ඔහු පවසා තිබිණි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කේ.ඞී. නිකලස්ගේ මෘත දේහයට අවසන් ගෞරවය පිණිස මල්වඩමක් ද එවා තිබිණි. ඔහු රෝගාතුරව සිටිය දී ලක්ෂ ගණනක් රෝහල් ගාස්තු ගෙවා ගන්නට නොහැකිව සිටි බව ජනාධිපතිවරයා දැන සිටියේ නැත. ඒ නිසා ජනාධිපති අරමුදලේ සතයක්වත් ඒ සඳහා ලැබුණේ නැත. එහෙත් ජනාධිපතිවරණයක් ආසන්න නිසා හෝ කලාකරුවකුගේ මරණය අවස්ථාවේ ‘ජනාධිපති මහින්ද රාජපක්ෂ’ගේ නමින් මල්වඩමක් ප‍්‍රදර්ශනය කරන්නට කටයුතු කර ඇත.

කලාකරුවන් මිය යන විට මල්වඩම් අවශ්‍ය නැත. ඔවුන් සිය ජීවිත කාලය පුරා පුබුදවන කලාවට ධෛර්යයක් දෙන්නට හැකි නම්, මල් හතයි කියන්නට අපට පුළුවන. කලාකරුවකුගේ නිර්මාණාත්මක අදහසක් ගරහාවට ලක් කළ පසුව මල්වඩම් කුමටද? පාලකයන්ට ස්වාධීනව කටයුතු කරන කලාකරුවන් පෙනෙන්නේ හතුරන් විදියටය. කොහොමටත් ඒ පාලකයන්ගේ හැටියකි. හැබැයි කලාකරුවන් ද සිය ඉරණමට වගකිව යුතුව ඇත. රාජපක්ෂ පවුලේත් ආණ්ඩුවේ සෙසු ලොක්කන්ගේත් පිට කහන සහ ඇට මිරිකන කලාකරුවන් යෙහෙන් වැජඹෙති. මහා කලාකරුවන් අරලියගහ මන්දිරයේ කිලිටි සේදීමට ගිය පසුව සෙසු කලාකරුවන් ගැන ද ඔවුන් හිතන්නේ ඒ මිම්මෙනි.

 

පද රචනය : කේ.ඞී. නිකලස් – ගායනය : දීපාල් සිල්වා

ඔළුව තදින් නරක් චෙච්ච – මිනිසුන් පිරිසක් රැඳිච්ච

අරුම පුදුම රටක් තියෙනව ඕයි…

මහ මුහුදින් වට කෙරිච්ච අඹ ගෙඩියක හැඩය වෙච්ච

ඒකට මරු නමක් කියනව ඕයි…

ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සූ///

ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු ඕයි…

 

එකෙක් නඟිනකොට ඉහළට – ඇහේ කටු ඇනෙයි අනෙකට

අදියි බිමට හෙලයි පහළට ඕයි…

නිස්සො සුදුස්සෝ යටකොට – පුස්සො වැඩදෙනව යමරෙට

සෙතක් වේද එහෙම රටකට ඕයි…

බඩට නැති වුණත් ලූණුකැඳ – ඇඟට ඕනෙමයි විල්ලූද

ඒකයි හෙනම සන්තෝසෙ ඕයි…

නැති බැරි අගහිඟකම් මැද – බිය සැක ලෙඩ දුක් විඳ විඳ

පෙන්නයි ලෝකෙට පරකාසෙ ඕයි….

ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සූ///

ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු ඕයි…

 

රටවටකර සාගරයයි – එහි සම්පත් ආකරයයි

පිටින් මාළු රටට ගේනව ඕයි…

රටවට තනි වෙල් යායයි – බැලූවම හරි සිරියාවයි

නැවෙන් ගෙනත් හාල් බානව ඕයි…

දකින දකින මිනිහ අතේ බැඳල ඔරලෝසු ඇතේ

ටයිම් එකට කිසිම වැඩක් නෑ ඕයි…

උන් 7 කියන්නෙ 8ට පුතේ – 8 කිව්වොත් 9 වෙතේ

කැත පුරුදු අතඅරින්නෙ නෑ ඕයි…

ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සූ///

ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු ඕයි…

 

Mahinda-Flower-wreath

ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ ———————————————————–