Archive for the ‘ Pen In the Struggle ’ Category

ඇඹිලිපිටියේ කොවුල්ආර සිට එන, සුභ පතන කොවුලකු බදා වැළඳගමි!

(සජිත් චින්තක කවිකාර සහෘදයාගේ ‘රාමු නොකළ පින්තූරය’ කාවය සංග්‍රහය වෙනුවෙන් මා විසින් ලියු පෙරවදන මෙහි සටහන් කරමි)

සජිත් චින්තක යන නම පුවත්පත් කවි පිටු අතරින් හමුවන්නට පටන් ගෙන දිග කාලයකි. පත්තරකාර ජීවිතේ සුන්දර කළේ ඈත ගම් දනව්වල සිට ජීවිතේ ගැන ලියූ උන්මය. එහෙත් ඒ කවිවල ඇති ආත්මීය සමීපකමක් තිබිණි. සජිත්ගේ කවිය මා හඳුනාගත්තේ කවියා පෞද්ගලිකව හඳුනාගන්නට පෙරාතුවය. තවත් කලකින් අගනුවර කවි පොත් දොරට වැඩුම්වලදී සජිත් හමු විය. පොත් දොරට වැඩුමක්, චිත‍්‍රපට උළෙලක් හෝ වෙනත් කලා සාහිත්‍යමය කටයුත්තක් වෙනුවෙන් දුෂ්කර මග ගෙවාගෙන කොළඹ බලා එන සහෘදයන් අතේ ඇගිලි ගණනටය. එහෙත් සජිත් බොහෝ වර එස් හමුවන්නේද නැත. ඔහු නිතර හමුවන්නේ පෙරකී පුවත්පත් කවි පිටුවලින්ය. අතරවාරයේ සජිත් දුරකථනයෙන් කිසියම් දෙයක් ගැන කතාබහට එයි. ඔහු එහිදී කතා කරන්නේද එක්කෝ කවියක් ගැනය. නැත්නම් තමන් විසින් කියවන ලද දෙයක් හෝ ඇඹිලිපිටියේ ස්වකීය ජීවිතයේදී අසන්නට දකින්නට සිදුවූ යමක් ගැනය.

”සදාචාරාගාරෙ
ලොකු සර් මුගටියා
උප හැපින්න දඩයමේ
වල් රබර් යායෙන් නැගිටින කොටම
අටේ පන්තියෙ මාලක්ක
මං ගාව
සිප්පෙක හැදුවෙ
වින්කලේ ගාව
ඉතින් අපි අපේ පාසැල සුරකිමු”

ඇත්ත, කවියා ලෝකය වෙත විවර වූ නෙත්වලින් යුක්ත විය යුතුය. සජිත් සංවේදී මිනිසෙක් බව ඇත්ත. ඒ ඔහු ගැන කියන්නට ඇති සරලම අදහසකි. ඔහුගේ කවිය ගැන පූර්විකාවකට එය අත්‍යවශ්‍ය කතාවකි. නමුත් එහි ව්‍යතිරේකයක් ඇත. සංවේදී ලේබලය ගසාගත් මිනිසුන් මැද සජිත් ඉතා නිහඩ ලෙස එහෙත් කවියෙන් නිහඩතාව බිඳ හෙළන මිනිසෙකි. පුද්ගලයා වනන්නට යාමෙන් මේ පෙරවදන වැනෙන සුලූ අදහසක් වීමේ අනතුර ගැන මා දැනුවත්ය.

සජිත්ගේ කවිය ගැන කතා කළ හැක්කේ සජිත් හා අප සැම ජීවත්වන වටපිටාව මැදය. සංවේදී නායකයන් මේ රට සිය පවුලේ ආහාර වේලක් බවට පත්කරගත් මෑත දසකය තුළ කටහඩ අවදි කළ මිනිසුන් අතර කවි කිවිඳියෝ රැසකි. දිලිප්, ටිමා, ඩොමා, බෙනා, සජිත්,…. නම් කියන්නට ගියහොත් එය දිගු ලැයිස්තුවකි. කවියෙන් සටන් කරන්නට නොහැකි යයි සමහරු කියති. කලාකරුවා නම් සුපේශල ශික්ෂාකාමී රසවතකු වියයුතු යැයි තවත් පිරිසක් තලූමරති. එහෙත්, මිනිස් සමාජය එක තැන පල්වන්නක් නොවේ. එය සිය දුර්ගුණයන් කියවමින්, එකී දුර්ගුණයන්ට එරෙහිව සටන් වදිමින් වඩාත් යහපත් ත්වයන් නිර්මාණය කරගන්නා මිනිස් ක‍්‍රියාදාමයකි. එය එසේ වන්නේ ඇයි? සහජයෙන්මත්, මිනිසා සිය පරිණාම ක‍්‍රියාවලියෙන්මත් ඔප්පුකොට ඇත්තේ තමන් ජීවත්වන පරිසරය මෙන්ම තමන්ට දී ඇති ලෝකය වෙනස් කරගැනුමේ අරගලයක නිරතවන බවයි.

”කිරි අප්පුගෙ හෝටලේ
චන්දරෙත් එක්ක
සිංහල තේ බොනව
දලං හජ්ජියාර්,
උඹලගේ සමහර ටෝච්වලින්
පාර පේන්නෑ නාන
සිග්නල් නොදාම
ස්කූටරේ වමට හැරවුණා
යන්නං චන්දරේ
ඉබේටම කියවුණා”

මිනිසුන් ලෙස අප සතු බොහෝ දුර්ගුණයන් ගැන නිතර නිතර නැවත නැවත කියමින් විවේචනය පමණක් සාධාරණ නොවේ. ඒ නිසාම හෝද හෝදා මඬේ දමන යළි ඒවා කිළිටි යැයි දෙස් දෙවොල් තබන පැවැත්මකට වඩා කිළිටි වූ දේ පිරිසිදුකරනවා මෙන්ම සප‍්‍ර`යෝජනවත් වෙනත් කාරියකට මැදිහත්වීම වැදගත්ය. ඇතැම් දුර්ගුණයන්, කිලිටිව වැරහැලිව ගිය වස්ත‍්‍ර හා සමානය. අත්හළ යුතු දේ අත් හළ යුතුමය. පිළිකෙව් කළ යුතු දේ හඳුනාගන්නට මිනිසාට හැකිය. වැළඳගත යුතු දේ තරව ගන්නටත් එහිදී වැලඳගන්නා දේ පවා විවේචනාත්මකව වටහා ගන්නටත් සමත් වියයුතුය.

කවිය වේවා, වෙනත් කලාකෘතියක අප වැලඳගන්නට උත්සාහ කරන්නේ අප ජීවත්වන සමාජ සංස්කාතික යථාර්ථයට සරිලන යමකි. එක්කෝ අපි පවතින යථාර්ථය අපගේ පැවැත්ම සමග සාධාරණිකකරණය කරගනිමු. නැත්නම් එය අපේ පැවැත්මට හරස්වන දෙයින් කලකිරෙමු, නැතිනම් මුසපත් වෙමු. කලාකරුවා කළ යුත්තේ මේ යැයි නිර්දේශ කළ නොහැකිය. නමුත් එක් දෙයක් පැහැදිලිය. පවත්නා දෙය එසේත් නැතිනම් අප ජීත්වන, අපට දී ඇති සමාජ යථාර්ථය බොහෝ දුර්ගුණයන් උරුම කරගත් සහජයෙන්ම අපගේ මිනිස් ජීවිතය පීඩාවෙන් ආසාදනය කරවන ගති ලක්ෂණවලින් යුක්තය.

අපි හැම දෙනාම අඩු වැඩි වශයෙන් ඒ ගති ලක්ෂණවලින් පීඩා විඳිමු. අපි ඒ ගති ලක්ෂණවලන් පීඩා විඳිමින් එහි ජීවත් වෙමු. නමුත් පීඩාවට එරෙහිව සටන් කරන්නට අවශ්‍යතාවක් තිබේ. ඇතැමුන් කියන ආකාරයට පවතින සමාජ යථාර්ථය නිර්දය ලෙස විවරණය කරවීමත් එයට එරෙහි සටනේ එක් කොටසකි. අපි අමුවට කිවහොත්, අප ජීවත්වන සමාජ ආර්ථික ක‍්‍රමයේ දුර්ගුණ සහ එයින් අප මත පටවන පීඩාව අප වෙලාගන්නට සමත්වන්නේ අප එයට යටත් වුවහොත් පමණකි. අප එම තත්වය වෙනස් කරන්නට ප‍්‍රයත්න දැරිය යුත්තේ එක් අතකින් අප එහි ගිලී යාම වැලැක්වීමටය. අනෙක් අතට පවතින තත්වයන්ට, අපට දී ඇති තත්වයන්ට, අපව පෙළන සමාජ පරිසරයට එරෙහිව සටන් වැදීම මනුෂ්‍යත්වයේ ඓතිහාසික උරුමයකි. අප එයට පිටුපෑම යනු, අප මනුෂ්‍යත්වයෙන් දුරස් කරවන, දී ඇති තත්වයන්ට, අප පෙළන සමාජ පරිසරයට යටත් වීමකි.

”සිපිරි හිමි හා දරු රකින
විජයපත් සිල්ලරේ බැරිම තැන
ඇඟ ඇගුම් බස්සෙකෙන් බසී දම්මි
දුටිමි මට දාව ගැබ්ගත් දාරියක්

වමටත් දකුණටත් නැති
දූලි හුළං කතාවක්
ලියනවා මං තාම
පෙම්පතක් ගානටම නුඹ නොගත්”

ඉතින් එක් දෙයක් පැහැදිලිය. අප සටන් වැදිය යුතුය. සටන් වැදිය යුත්තේ කෙසේද යන්න ගැන අප අතර විවාද තිබිය හැකිය. ඇතැමුන් කියන ආකාරයට සටන් කළ යුත්තේ ස්වාධීන කලාකරුවන් ලෙසය. පවතින සමාජ පරිසරය විසින් දී ඇති ව්‍යුුහයන් සමග එක්ව එවැනි සටනක් තළ නොහැකිය. අප අත්දකින හා අත්විඳින ලෝකයට පිටතින් සිට බලමින් එය කළ යුතුය වැනි සංවාද තිබේ. කලාකරුවා සම්බන්ධ කාරණාවලට අප පිවිසනේනේ එතැනදීය.

එක් අතකින් කලාකරුවාගේ භාවිතය ප‍්‍රඥාව උපයාගැනීමේ ක‍්‍රියාදාමයට සම්බන්ධය. කලාව විඳීම, විචාරය, එන්නේ එතැන් පටන්ය. වෙනත් තලයකින් පිවිසුණහොත් එය කලා කෘතිය, රසිකයා හා විචාරකයා අතර සම්බන්ධය මිනිසා සිය ජිවිතයේ පවතින තත්වයන්ට එරෙහිව සිදුකරන අරගලය හා බැඳී තිබෙන්නකි. පොදු මිනිස් සමාජය පීඩාව විඳිමින් එයට එරෙහිව අරගලයක නිරත වේ. ඇතැම්විට එම අරගලය පෙරලා සමාජයීය පීඩාව පෝෂණය කරන්නකි. කලාකරුවන්ට හිමිව ඇත්තේ ඒ මිනිස් සමාජය වෙත ප‍්‍රඥාව සපයාගත හැකි අරුත් සම්පාදනය කිරීමේ භූමිකාවකි. කුමන තත්වයක් යටතේ වුව ද කලාකරුවන්ට ප‍්‍රකෘතිය ප‍්‍රතිනිර්මාණය කිරීමේ දී එය ස්පර්ශ කිරීම හෙවත් ජීවිතාවබෝධය වැදගත් වේ. එනම් විවිධ අත්දැකීම්, අනුභූතීන් පාදක කරගන්නට සිදු වේ. ලෝකයේ සියලූ මිනිසුන් අත්දැකීම් ලබන නමුත් කලාකරුවා එසේ ලබන අත්දැකීම් සිය නිර්මාණ සඳහා අනුභූතීන් ලෙස යොදා ගනී. නැවත එම කලා කෘති රසවිඳිනවුන්ට නැතහොත් රසිකයන්ට තමන්ම විඳි අත්දැකීමක් කලාකරුවාගේ අනුභූතියක් ලෙස කියවා ගන්නට ලැබේ. එහි දී රසිකයා ප‍්‍රඥා සම්පන්න කිරීමේ ක‍්‍රියාවලිය ඇරඹේ.

”පූසාරි මව්ලවි
එලවා ගුවනින්
රූප පෙට්ටියෙන්
පදලංගලින්
මාවරලින්
රැුව් දේ දිවා ?
දකුණේ ආඩම්බර
වෙඩි බණ සීතලෙන්”

සජිත් මෙම කාව්‍ය එකතුව මුද්‍රිත කෘතියක් ලෙස සහෘදයන් වෙත ලබා දෙමින් කියා සිටියේ ඔහු යෙදී සිටින කාව්‍යකරණය ඉදිරි පියවරක් තබන බවයි. නැවත නැවත ඒ කවි කියවමින් විඳිමින් පද අරුත් ගලපමින් ඔහු විසින් අත් විඳි සමාජ යථාර්ථයේ සියුම් පදාස අප වෙත ළඟා කරවන්නට ඔහු උත්සාහ ගනී. එහිදී ඔහුගේ භාෂාව, කාව්‍යාලංකාර ආදිය ගැන විචාර විවාද තරන්නට හැතියාව තිබේ. ඔහු තුළ පවතින සීමාකම්ද මේ කවි අතර ගැබ් වේ. නමුත් මා අදහස් කරන්නේ එතැනට යාම වෙනුවට සජිත් විසින් පරිහරණය කරන මාර්ගය ඔහුගේ කවි කියැවීමට, රසවිඳිමට හා විචාරයට සීමා නොකර සමස්ත කාව්‍ය ව්‍යාපාරයේ ගමන්මග තුළ කියවා ගන්නටය. අපේ කාලයේ කාව්‍ය ව්‍යාපාරය නිසැකවම වෙනස් පැති මානවලින් සමන්විත, විවිධ මතවාදවලින් හැඩ ගැන්වුණු එහෙත් මානවවාදය හරය කොට ගත්තක් බවට සැක නැත.

කවි පොත් සිය ගණනක් වසරකට පළ වන අතර පුවත්පත් කවි පිටුවල අලූත් කවි කිවිඳියන්ගේ හැඩ තළ මතු වේ. පොදුවේ 70 දසකයෙන් උපන් කිසියම් සමාජ විචාරාත්මක කලා භාවිතයක සෙවණැල්ල වත්මන් කවිය මතද වැටී තිබේ. ඒ අතරම අපේ කාලයේ කලා සාහිත්‍ය කතිකාව නව පැතිමානයන්ගේ ආලෝක ධාරාවලින් සමන්විතය. එයද නැවත කාව්‍යකරණයේ යදෙනවුන්ට බලපෑම් සහගතය. ඒ නිසාම වඩා සුබවාදී අදහසකින් සජිත්ගේ කවි පොත සහෘද පාඨකයන් විසින් පිළිගනු ඇතැයි සිතමි. සජිත් චින්තක කවියා සිය කාව්‍යකරණයේ දක්වන සීමාසහිත තත්වයන් ඉක්මවා යන්නට සමත් කඩඉමක් බවට මෙම කාව්‍ය සංග‍්‍රහයේ පැමිණීම විසින් සටහන් කරනු ඇතැයිද අපේක්ෂා කරමි.

”සිදුහත් වගේ ෆාදර් පල්ලිය හැර ගියත් හනිකට
තන්හා රති රගා තාමත් නටනවා මංගල්ලෙ දවසට
කිසා ගෝතමියක් වගේ ක‍්‍රිස්ටිනා දුවනවා දැක දැක
රාහුලෙක් උපන්නට මං ගරහන්නෙ නෑ ක‍්‍රිස්තු චරිතෙට


පසුව ලියමි

දිලිප් කුමාර කතා කළේ මධ්‍යම රාත‍්‍රියට ආසන්නයේය.
”චන්දන අයියෙ, කවි පොත එනවා. පුලූවන්කමක් තියෙනවා නම් එදාට ඇවිත් යන්න එන්න”
ඔහු කිව් දිනයේ කිසියම් වැඩක් යොදාගෙන තිබුණද නැද්ද යන්න නොතකාම මම ඒ සොඳුරු ඇරැුයුමෙන් ආනන්දයට පත් වීමි.
බෙනාගේ මීළඟ කවි පොත දොරට වැඩුම ගැනද සුභාරංචිය ලැබුණේ ඊයෙ පෙරේදාය. එළඹෙන දින කීපයේ කලා සංස්කෘතික කටයුතු ගැන ආරංචි ලැබෙද්දී පපුව හිරවෙන්නට පටන් ගැණුනි. සජිත්…. සජිත්ගෙ කවි පොත මුද්‍රණය කරන්න සූදානමින් ඇති බව … මට එහි වගකීමක් පැවරී ඇති බව….
”චන්දන අයියෙ, මගෙ වැඬේ කෙරෙනවා නේද?” ඔහු එසේ ඇසූ වාර ගණනද වැඩිය. මා දුන් පොරොන්දුද වැඩිය. සජිත් චින්තකගේ කවි පොතට ලියන පෙරවදන, ඒ පොතටම නැත්නම් කවියටම, සීමා කළ යුතු යැයි නොසිතුවෙමි.
අද රාත‍්‍රියේ එය කෙසේ හෝ ලබා දෙන බවට මම පොරොන්දු වූ විට ඔහුගේ ප‍්‍රතිචාරය කෙටියෙන් ෆේස්බුක් පණිවිඩයක් ලෙස සටහන් විය.
”බදා ගමි”
පොොරන්දුව ඉටු කළ යුතු බවද නිශ්චිත විය. සජිත් පළමු වරට ඒ කවි පොත සදහා කවි තෝරාගෙන සූදානම් වූයේ මීට වසරකට පමණ පෙරාතුවය. එදා මා වෙත එවු කවි පෙළ මා වෙත තිබියදී කල් ඉකුක් විය. එයට එක් හේතුවක් වූයේ මාය. එපමණක් නොවේ. මුද්‍රණය කරගන්නට ඔහු අත මුදල් ප‍්‍රමාණවත් නොවීය. මෑතකදී සජිත් තවත් කවි එක් වී කවි පොතකට පිටු සකසා මා වෙත එවූයේ මේ වතාව නම් පොත ගහනවාමයි කියමින්. නමුත් දැන් මාස දෙකක් තුනක් ගතවී ඇත. මා විසින් පෙරවදනක් ලියා නොදුන් වරදකාරිත්වය මැද මෙය සටහන් කළෙමි.

චන්දන සිරිමල්වත්ත
2017-07-25

පාද සටහනක්-  දිලිප්ගෙ සහ බෙනාගෙ කෘති ජනගතකරන දා ඒහි යන්නට නොහැකවීම ගැන දුක් වෙමි

Advertisements

සමුගැනීමේ සටහන

crucifixion-small‘නුඹත් වෙයන් ස්පාටකස් කෙනෙක්
ඒත් එපා මැරෙන්නට ඒ වගේ’

ස්පාටකස් නමැති වහල් නායකයා වහල් හිමියන්ට විරුද්ධව සටන් කළ හැටි අප කියැවූයේ සිත්තර පත්තරේ ෂෙල්ටන් සහෝදරයාගේ කතාව ලීලාරත්න සහෝදරයාගේ සිතුවමින් පණ ගැන්වුණු ආකාරයටය. පසු කාලයක ස්පාටකස් නවකතාව සහ චිත‍්‍රපට නරඹන්නට හැකි විය. එහෙත් ස්පාටකස්ලා ගැන අප තුළ පළමු සටහන තැබුවේ ෂෙල්ටන්ලා ලීලාරත්නලා විසිනි.
ස්පාටකස් මිය ගිය පසුව ඔහුගේ අරගලය ඉදිරියට ගෙන යන පුතකු ගැන ‘ස්කාගස්’ නමින් ඉදිරිපත් කළ චිත‍්‍රකතාවට හේතුපාඨය වූයේ ඉහත වැකියයි.

ස්පාටකස් අභියෝග කළේ හීනෙන්වත් පරාජය කිරීමක් ගැන හිතන්නට බැරි දැවැන්ත සන්නද්ධ බලයක් හා විශාල ධනස්කන්ධයක් හිමි රෝම අධිරාජ්‍යයටය. වහල් ක‍්‍රමයට එරෙහිව කැරලි ගැසූ වරදට ස්පාටකස් ඇතුළු වහලූන් දහස් ගණනක් කුරුස ගස්වල ඇණ ගසා ප‍්‍රදර්ශනය කරන ලදී. එහෙත් රෝම අධිරාජ්‍යය සමතලා කරමින් වහල් ක‍්‍රමය බිඳ වැටුණේ ස්පාටකස්ලා ඇරඹූ අරගලයේ පසුකාලීන අවස්ථා ජයග‍්‍රාහී අවසානයක් කරා ගෙන යමිනි.
අද වාමාංශික පත්තරකාරයන් ලෙස අප හමුවේ ඇත්තේද ස්පාටකස්ලා කළ අන්දමේ අරගලයකට මුල පුරන්නටය. සියවස් ගණන් පැවැති ධනපති පත්තර හා දැවැන්ත ප‍්‍රාග්ධන මෝගල්වරුන්ගේ ජනමාධ්‍ය ව්‍යාපාර සමඟ තරග කරමින් වමේ පත්තරයක් කරන්නට අපි උත්සාහ කළෙමු. එහෙත් ඔවුන් සමඟ කරට කර තරග කරන්නට තබා ඔවුන්ගේ ප‍්‍රචාරක යන්ත‍්‍රයේ බලපරාක‍්‍රමය හමුවේ කොතරම් බලපෑමක් කරන්නට අප සමත් වූවාදැයි නැවත සිතිය යුතුව ඇත. සතියකට තාප්ප පුරා වසා දමන වෙනත් ජනමාධ්‍ය, පෞද්ගලික අධ්‍යාපන ආයතන, විනෝදාස්වාද ව්‍යාපාරවල ප‍්‍රචාරක පෝස්ටර් යුද්ධයේදී අපට කිසිවක්ම කරගන්නට නොහැකි විය.

එහෙත් ‘ජනරළ’ වරක් නැවතී යළි පටන් ගත්තේ අප කළ නොහැකි දේ පවා කළ යුතුව ඇති බව පිළිගත් නිසාය. ධනපති ප‍්‍රචාරක මාධ්‍ය විසින් ඔසවා තබන මාධ්‍ය යුද්ධයකට කඩාවැදීම ස්වයංනාශක මුග්ධකමක් යැයි කිසිවකු පවසනු ඇත. එහෙත් අපි උත්සාහය අත් නොහළෙමු. වරක් දෙවරක් නොව, කිහිපවරක්ම සනාථ වී ඇති ආකාරයට ධනපති මාධ්‍ය යුද්ධය මැද විකල්ප අදහස් වෙනුවෙන් පෙනී සිටින ජනමාධ්‍ය කෙටිකාලයක් ආයු වළඳා කම් වූ පරදිදෙන් මිය පරලොව ගිය බව ඇත්තකි. නැතහොත් විකල්ප යන අරමුණු අත්හැර සම්මත ජනමාධ්‍ය ආයතන ලෙස ස්ථාපිත වූ අවස්ථාද නැතුවා නොවේ. එහෙත් අපි පරාජය භාරගන්නට සූදානම් නැතිව යළි යළි සටන් බිම වෙත පැමිණිය යුතුව ඇත. ඒ නිසාම 2011 ඔක්තෝබරයේ ආරම්භ කළ අරගලය තවමත් අවසන් යැයි අපි පිළිගන්නේ නැත. එහෙත් එහි යම් තර්කානුකූල විරාමයකට අපව කැඳවා තිබේ.

2013 ඔක්තෝබරයේ හිටි අඩියේ නැවතුණු පසුව මාස කිහිපයක විරාමයක් ගෙන අපි යළි පැමිණියේ දැවැන්ත සාමූහික ශ‍්‍රමයක ප‍්‍රතිඵලයක් වශයෙනි. එහෙත් ආරම්භයක් තබන අවස්ථාවේම සිදු වූ වෙනස්කම් හේතුවෙන් ඉදිරියට යාමේ අපේක්ෂා බොඳ කරන ලද අත්දැකීම් අපට තිබේ. ඒ වෙනස්කම් නිසා ජනරළ නැවත පැමිණීම සිදු වූයේ අපේක්ෂිත ඉලක්ක සපුරා නොගෙනමය. දැන් වසර දෙකක ඇවෑමෙන් අපට යළිත් පාඨකයන් හමුවේ කියන්නට සිදුව ඇත්තේ තාවකාලික පසුබැසීමකට අවස්ථාව එළඹ ඇති බවය.
‘ජනරළ’ විසින් පසුගිය දෙවසර තුළ මෙන්ම ඉන් පෙර දෙවසර තුළද ආරක්ෂා කරන්නට උත්සාහ කළ දේශපාලන සදාචාරයක් විය. එනම් පොදු සාමුහික අරමුණු වෙනුවෙන් සටන්වදින මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිනවා හැර පටු පෞද්ගලික අරමුණු වෙනුවෙන් පෙනී නොසිටීමය. අප වටහාගත් ප‍්‍රමාණයට එම සීමාව ආරක්ෂා කරගන්නට හැකිව තිබේ. අප වචනයට නැඟුවේ සටන්කාමී මිනිසුන් විසින් සහෝදර ජනසමාජය වෙත කිවයුතු අදහස්මය. එවැනි පුළුල් අරමුණු වෙනුවෙන් ‘සටන් කරන අකුරු’ ලියැවුණේ එක් අයකුගේ දෙදෙනකුගේ වෙහෙස මහන්සියෙන් නොවන බව ඔබ දැනගත යුතුය.

සටන් කරන අකුරු, අදහස් පෙළගස්වමින් කර්තෘ මණ්ඩලයේත් ප‍්‍රාදේශීය මාධ්‍ය සගයන්ගේ හා නිදහස් ලේඛකයන්ගේ නම් මේ පිටුමත ලියැවුණද ඔවුන් පළ කළ සටන්කාමීත්වය හා බැඳුණු තවත් නම් සිය ගණනකි. එක්කෝ දුරකථනයෙන් නැතිනම් ලියුමකින් හෝ ඊමේල් මඟින්, එසේත් නැත්නම් හමු වූ අවස්ථාවල විවිධ තොරතුරු දෙමින් සටන් කරන අකුරු සවිමත් කළෝ විවිධ පරාසයක සිටිති. ඔවුන් කිසිදාක ඒ සහයෝගය ‘ජනරළ’ වෙත ලබාදුන්නේ පත්තර පිටුවක සිය නම් පළ කිරීමේ අරමුණකින් හෝ වෙනයම් පටු අරමුණකින් නොවේ. පුවත්පතට ලිපි සැපයීමේ සිට එය මුද්‍රණද්වාරයෙන් වෙළෙඳපොළට යැවීම දක්වා සාමූහික අරමුණකින් ස්වෙච්ඡුාවෙන් ශ‍්‍රමය වැගිරවූවන් මෙහි සටහන් කිරීමට පවා නොඑැකි තරමේ නම් වැලකි.

සෑම බ්රහ්සපතින්දාවකම ‘ජනරළ’ මුද්‍රණය කිරීමේ කාර්යට සම්බන්ධවන මුද්‍රණාල කාර්ය මණ්ඩලයේ සහෘදයන් මෙන්ම බෙදාහැරීමේ පාර්සල් සැකසීම සහ ඒවා ලොරි මඟින් ගෙන යාම දක්වා කායික ශ‍්‍රමයෙන් හා නිදිවර්ජිතව වැඩ කළ සොයුරු සොයුරියන් සිය ගණනකි. ඉන්පසුව පුවත්පතේ අළෙවි අංශය වෙනුවෙන් ස්වෙච්ඡුාවෙන් කැප වෙමින් ඉලක්ක සැපිරීමේ අරමුණින් වැඩ කළ සහෝදර සහෝදරියන් අමතක කළ නොහැකිය.

අගනුවර වීදි මැද විරෝධතා දක්වමින් පහරකමින් ජන අරගලය අවුළුවන සහෝදර ජනයාගෙන් මෙන්ම ඈත ගම් නියම්ගම්වල ජීවිතයේ පීඩාවන්ට එරෙහිව නැඟී සිටින ජනයාගේ කාහල නාදය අසමින් අපට ‘ජනරළ’ නවතා දමන්නට සිදුව තිබේ. ඇත්තෙන්ම මුද්‍රිත මාධ්‍යයක් ලෙස ජනරළ වෙළෙඳපොළෙන් බැස ගියද සැබෑ නිදහස වෙනුවෙන් පැන නැෙඟන ජනරළ රටපුරාම පැනනැෙඟමින් තිබේ. පසුබැසීමේ පීඩාව අබිබවා අප තුළ අපේක්ෂා ඇති කරවන්නේ එයමය. උස් මිනිස් නිදහස වෙනුවෙන් සැබෑ ජනරළ සමඟ එක්වන අදහසින් අපි තාවකාලිකව නවතිමු. එහෙත් අපේ එසැවූ අත්වල ලෙලදෙන පෑන් කිසිදා අත්නොහරින්නෙමු. යළිත් දවසක සටන් කරන අකුරු සමඟ එන අරමුණින් මේ සටහන අවසන් කරන්නට මෙසේ පවසමු.

සහෝදරියනි, සහෝදරවරුනි,
පසුබසින්නට බලකරනු ලැබ තිබේ, එහෙත්…
‘සටන් කරන අකුරු’ තවදුරටත්
සටන් කරන අරමුණින්ය….

සුනිල් මාධවගේ සිට අපේ කාලය දක්වා….

Sunil1සුනිල් මාධව ගැන ලියූ පසු ඒ ගැන විවිධ ප‍්‍රතිචාර ලැබුණා. සමහරු ඒ ලිවීම සුනිල් මාධව පේ‍්‍රමතිලක විවේචනය කිරීමක් ලෙස තේරුම් අරගෙන තිබුණා. තවත් සමහරුන්ට එය සුනිල් මාධව ගැන ඇති මිශ‍්‍ර අදහස් වෙනුවට නිශ්චිත අදහසක් ලෙස සලකුණු කරගත හැකි වුනා. සුනිල් මාධව වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන සොයුරු සොයුරියන්ට මේ සටහන දැණුනේ දිරිමත් කිරීමක් ලෙසයි. ඔවුන් විසින් සුනිල් අයියගේ පත්තරකලාව සහ ලේඛක ජිවිතය පිළිබඳ ඇගැයීම් අවස්ථාවක් සංවිධානය කරන්න කටයුතු යොදමින් ඉන්නවා.

සුනිල් අයියා ජිවත්වන හුදෙකලාභාවයෙන් පිටතට ගන්න හැකි නම් එවැනි උත්සාහයන් අවශ්‍යයි. ඒ අන්දමේ උත්සාහයන් වෙනත් සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ හෝ වෙනත් වැඩිහිටියන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අරභයා සිදු විය යුතුයි. හතු පිපෙනවා වගේ කෙරෙන කලාකරු උපහාර උත්සව වෙනුවට වෙනස් දේවල් තෝරාගන්න වෙනවා. සුන්දර මිනිසකු වූ සුනිල් අයියා වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගනිද්දි එවැනි උත්සාහයන් සමාජමය ක‍්‍රියාවලියක් ලෙස ස්ථාපිත කරන්න හැකි කොහොමද කියලා කල්පනා කළ යුතුයි.
ජීවිතය හැමවිටම ගෙන එන අත්දැකීම් සුන්දර යැයි අපි අපේක්ෂා කරමු. එහෙත් ඇත්තටම සුන්දර වන්නේ කටුක තත්වයන් මැද ගලා යන ජීවන අත්දැකීම්ය. හැමවිටම සුන්දර නොවන ඒ අත්දැකීම් විසින් අපව ඇද දමන්නේ එක්වරම වටහා ගත නොහැකි, එක්වරම සමස්තයක අර්ථ ගෙන නොදෙන හුදෙකලාභාවයටය. පත්තරකාරයන් බවට පත්වූ විට දිනපතා ගෙවෙන්නේ අලූත්වන තොරතුරු මැදය. ඒ තොරතුරු වරෙක සුන්දර වුවද බොහෝ විට අප ඇද දමන්නේ චිත්ත පීඩාවකටය. සමාජ අත්දැකීම් ඇත්තකු වුවද යොමුවන්නේ නිතර අසන්නට දකින්නට ඇති දේ පිටස්තරයකු ලෙස භාරගැනීමටය. එහෙත් වාමාංශික පුවත්පත්කලාව විසින් සාමුහික ජිවිතයක් අරමුණු කළ දැක්මක් වෙත යොමු වූ පත්තරකාරයන්ට එය එසේ නොවේ.

එදිනෙදා සිදුවන දෙයින් කම්පාවට හෝ සතුටට පත්වන සංවේදීභාවයක් ඇතිකරගැනීම පහසුවන්නේ සමාජ අරමුණු ඇති අයටමය. ඒ නිසා පොදු අත්දැකීම්වල තමන්ද ජීවත් වෙමින් එම හැඟීම් බෙදාහදා ගනිමින් පත්තර කලාව කරන්නට වාමාංශික පුවත්පත්කලාවේදියාට පුළුවන. වරදවා තේරුම් නොගතයුතු කාරණය නම් වාමාංශික පුවත්පත්කලාවේදියා යනු හුදෙක් වමේ පත්තරයක පුවත්පත්කලාවේදියා නොවන බවයි.

ධනපති පුවත්පත්වල සේවය කරමින් වමේ අරමුණු වෙනුවෙන් පත්තරකලාව මෙහෙයවූ මිනිසුන්ගේ අත්දැකීම් අපට ඇත. සුනිල් මාධව වැනි සුප‍්‍රකට උදාහරණ වගේම අද තත්වයන් අත්දැකීම් ලෙස තිබේ. කලක් ‘ලංකා’ පුවත්පතේ මෙන්ම පසුව ‘ජනරළ’ සමඟ වැඩ කළ බොහෝ පත්තර මිත‍්‍රයන් දැන් වෙනත් ආයතනවල සේවය කරමින් සිටී. ඔවුන් විවිධ ඉදිරිගාමී අරමුණු හා ප‍්‍රාග්ධන ප‍්‍රහාරයේ පසුබැසීම් සහිත තත්වයන් මැද ඉටුකරමින් ඉන්නේ සමාජ අරමුණු ජයග‍්‍රහණය කරවීමේ පුළුල් ක‍්‍රියාවලියට හැකි පමණින් දායකවීමේ උත්සාහයකයි. සුනිල් මාධව වැනි පත්තර කලාවේ පතාක යෝධයන් ඇද වැටුණු අවස්ථා ගැනත් නොවැටී සටන් කළ අවස්ථා ගැනත් පසු විපරමක් කරමින් අපේ කාලයේ වාම පත්තර කලාවකට සූදානම්වන්නන්ට අවස්ථාවක් තිබිය යුතුය.

පත්තරකාරයන් අත එක්රැුස්වන ජිවන තොරතුරු, සමාජ අත්දැකීම් සියල්ල ප‍්‍රමාණවත් මනුෂ්‍ය ඇගැයීම් පද්ධතියකින් විග‍්‍රහ කළවිට ඔවුන්ගේ දෘෂ්ටි පථය යොමුවනු ඇත්තේ වඩා යහපත් ලෝකයක් වෙතය. හැමදාම අත්විඳින දේ එලෙසින්ම බාර නොගන්නා මිනිස්සු ලෝකය වෙනස් කළ බව අප දන්නා දෙයයි.

පවතින සමාජ ආර්ථික දේශපාලන පරිසරය හමුවේ පෙරලා සටන් වදින හුදෙකලා පුද්ගල පෞරුෂයන් මෙන්ම මිනිස් සාමුහිකයන් අවසානයේ සන්නිවේදනය කරන්නේ ඒවා වෙනස් කරන්නට ඇති ජව බලයයි. ඒ වගේම පත්තරකාරයන් ඒ සන්නිවේදන කාර්යයෙන් පිටතට ඇවිත් සිය ජීවිතයෙන් එකී ක‍්‍රියාවලියට සම්බන්ධ වියයුතුය. හුදු පෑන් ලෙලවමින් සමාජමය අරමුණු ඒකරාහිකරන අප වාමාංශික පත්තරකලාවක සිරගත වියයුතු නැත.

වාමාංශික ජීවිතයක හා වාමාංශික දේශපාලනයක ක‍්‍රියාකාරිත්වයට එක් නොවුනොත් අප විසින් ධනවාදයේ ගොදුරු බවට පත්වීම වැළැක්විය නොහැකියි. මා නැවතත් සුනිල් අයියාගේ ජිවිතය කියවන්නට ආරාධනා කරන්නේ ඔහු පුද්ගලයකු ලෙසින් පෙන්වූ සද්භාවය හා ශක්‍යතාවය පිළිබඳ ඇගයීමකටයි. තනිව නොව, වාම අරමුණු ඇතිව, වාමාංශික ව්‍යාපාරය සමඟ නැගී සිටි පෑන් සමාජයීය ප‍්‍රවාහයක් වියයුතුයි.

වාමාංශික මිනිස් සාමුහිකයෙන් පිටස්තරව ස්ථානගත වූ හැම විටම වමේ මිනිස්සු ප‍්‍රතිගාමී බලවේගවල ගොදුරක් ලෙස පාවිච්චි කිරීමට ලක්වීම වැළැක්විය යුතුයි. එක් එක් තනි තනි සාමාජිකයා මෙන්ම වාම දේශපාලන ව්‍යාපාරය විසින් ඒ බව වටහා ගත යුතුයි. තනිව නැගී සිටින්නට, හැකි වෙන්නේ සීමිත ජිවිත අභිලාෂයන් තුළ පමණයි. ජිවිතයේ අරගලය දේශපාලන අරගලයක් නොවුණු තැන ගොවියාට, කම්කරුවාට, ශිෂ්‍යයාට හෝ වෙනත් අරගලකාරී සමාජ බලවේගවලට මුහුණ දෙන්නට සිදුවන ඉරණමත් ඒකමයි.

ඒ නිසා වාමාංශික පත්තරකාරයන්ට ඒ ඉරණමෙන් ගැලවෙන්න තමන් සතු පෑනේ හයිය විතරක්ම ප‍්‍රමාණවත් නෑ. වාම හෘද සාක්ෂිය යනු හැඟීම්, අදහස් හා සටන් සූදානම ප‍්‍රකාශනයකින් අවසන් නොවන දෙයක්. ඒ නිසා වාම දේශපාලනයේ සාමුහික ඉරණමෙන් පිටස්තරව වාමාංශික භාවිතාවක් හෝ වාම පුවත්පත් කලාවක් පවත්වාගැනීමම අභියෝගයක්.

කළු නැති ජූලියක් වෙනුවෙන්….

DSC09249මහින්ද රාජපක්ෂ නැවත වරක් බලයට පත්කිරීමට පෙළ ගැසුණු බලවේග ක‍්‍රියාත්මක වනු ඇත්තේ මේ රටේ ලක්ෂ ගණනක් ජීවිත විනාශ කරපු ජාතිවාදයට නැවතත් පණ පෙවීමටයි. ‘මහින්ද වීරයා’ යුද්ධය අවසන් කළ බවට ජයපැන් බිව් සිංහල අන්තවාදීන් මහින්ද නැවත බලයට පත් කිරීමේ ‘වගකීම’ වෙනුවෙන් පස් කනවා.

උතුරේ තමිල් ජනයා සංහාරය කරමින් පැවැති මර්දනකාරී යුද්ධය අවුරුදු තිහක කාලයකදී මේ රටේ සිංහල, දෙමළ හා වෙනත් ජන ප‍්‍රජාවන් එකිනෙකාගෙන් දුරස් කළා. එකිනෙකාට සතුරු ලෙස පෙළ ගැස්වූවා. තමිල් ජනයාට සිංහලයන් සතුරන් ලෙස හුවා දක්වමින් තමිල් ජාතිවාදීන් කළේ තමිල් ජනතාව අතර සිය බල ව්‍යාපෘතිය පිහිටුවීමයි. ඒ සමගම ඔවුන් සුළුතර ප‍්‍රජාවන්ට සතුරු සිංහල නායකයන්ගෙ පිළිවෙත් ඉස්මතු කරමින් මුස්ලිම් ජනයා අතරත් සිංහල විරෝධයක් ඇවිලවීමට උත්සාහ කළා. කෙසේ වෙතත් සිංහල ජාතිවාදී දේශපාලන නායකයන් යුද්ධ කාලයේ තමිල් සංහාරය වෙනුවෙන් මුස්ලිම් ජාතිවාදී බලවේග සිය වසඟයට ගන්නත් කටයුතු කළා. එල්ටීටීඊය පරාජය කිරීමේ මුවාවෙන් තමිල් පීඩිතයන් මර්දනය කිරීමට මුස්ලිම් කණ්ඩායම් සහාය කරගන්න මහින්දගේ මර්දනකාරීත්වයට හැකි වුණා. මේ අතරතුර සිංහල ජාතිවාදීන් මුස්ලිම් විරෝධයකුත් නඩත්තු කළා. උතුරේ යුද්ධය අවසන් කළ පසුව දකුණේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගිනිතැබීමට යොදාගත්තෙ මේ සිංහල ජාතිවාදයයි.

ඇත්තටම මේ ජාතිවාදී දේශපාලනයේ ක‍්‍රියාකාරිකයන් වෙන්නෙ පොදු ජනතාව නොවේ. ඒ වෙනුවට මැර කණ්ඩායම් යොදවා ජාතිවාදී ප‍්‍රහාර කළමනාකරණය කරනු ලබනවා. විවිධ ව්‍යාපාරික අරමුණු නිසා ප‍්‍රතිවිරුද්ධ ව්‍යාපාරික තරගකරුවන් අතුගා දමන්නත් ජාතිවාදී දේශපාලනය පාවිච්චි වෙනවා. හැමවිටම ජාතිවාදී අරගල ආරම්භ වන්නෙ ව්‍යාපාරික ස්ථානවලට එල්ල වන ප‍්‍රහාරවලින්. එහිදී ඇත්තටම සක‍්‍රියකාරී බලවේගය වෙන්නෙ ව්‍යාපාරික අරමුණු මත ප‍්‍රතිවාදියා ව්‍යාපාර ලෝකයෙන් අහෝසි කරන්න මාන බලන ධනවාදී සිතීමයි. අපරාධකාරී ලෙස ලාභ කොල්ලකෑමෙන් තොරව ධනය උපයන්න බෑ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැම මහා පරිමාණ ධන සම්භාරයක් පිටුපසම ඇත්තෙ මහා පරිමාණ අපරාධ බව ලෝකය පුරාම ධනපතියන්ගෙ ජීවිත කතාවලින් සනාථ වෙනවා. ඒ අපරාධ අතරට තමන්ගේ දරුවන්, බිරිය වැනි සමීපතමයන්ගේ සිට ප‍්‍රතිවාදී ව්‍යාපාරිකයන් දක්වා සියලූ දෙනා ගොදුරු වෙනවා. ජාතිවාදී ලෙස ගැටුම් ඇවිලවීමෙන් ලාබ ලබන ව්‍යාපාරික බිම් අත්පත් කරගැනීමට උත්සාහ ගැනීම පුදුමයක් නෙවෙයි.

මේ ගැන අපට හොඳම නිදසුන් ඇත්තෙ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ආරම්භ කර, පෝෂණය කර නඩත්තු කරනු ලැබූ බොදු බල සේනා, සිහල රාවය, රාවන බලය වැනි සංවිධානවල ක‍්‍රියාකාරිත්වයයි. 1983 කළු ජූලියේ ආරම්භය සටහන් කෙරුණෙත් කොළඹ ප‍්‍රධාන ව්‍යාපාරික කලාපවලයි. තමිල් ව්‍යාපාරික ස්ථාන කොල්ලකෑම හා ගිනිතැබීම අගනුවර සිට ප‍්‍රාදේශීය නගර කරා රැුගෙන ගියෙත් එක්සත් ජාතික පක්ෂයේ අනුග‍්‍රහය හා නායකත්වය ලැබූ ප‍්‍රාදේශීය දේශපාලන – මැර කණ්ඩායම්.

1983 කළු ජූලිය ගැන විතරක් නෙවෙයි, රාජපක්ෂ රෙජිමය යටතේ සිදු කළ ජාතිවාදී ගිනිතැබිම් ගැන සටහන් කරන්න ඒ කාරණා සිහිපත් කරගන්න වෙනවා. ඒ කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය ජාතිවාදයට එරෙහි සටන් පාඨයට නායකත්වය දුන්නෙ නෑ. ඒ තමයි ධනපති දේශපාලනය ජාතිවාදය පරාජය කරනවා වෙනුවට ඒ ප‍්‍රතිවිරෝධතා බලය ඩැහැගැනීම වෙනුවෙන් කළමනාකරණය කරන ආකාරය. ඒක අදත් හෙටත් එහෙමයි. අතීත වාර්තාවත් එහෙමයි. 1983 ජූලි සිදුවීම්වලදි දිවයින පුරා තමිල් ජනයා සංහාරය කරන්න සිංහල ජාතිවාදී මැරයන් උසි ගැන්වූයේ එක්සත් ජාතික පක්ෂය විසින්. අද වන විට මහ මැතිවරණය තුළ රාජපක්ෂ රෙජීමය නැවත පැමිණීමට එරෙහිව ප‍්‍රධාන විවේචකයන් ඉන්නෙත් එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ. නමුත් රාජපක්ෂ වටා පෙළ ගැසෙන ජාතිවාදයට එරෙහිව කට අරින්න ඒ දේශපාලන පක්ෂ සමත් වෙලා නැහැ. බඬේ බිජු තියාගෙන දේශපාලනය කිරීමේ ප‍්‍රතිඵලය ඒකයි.

එහෙත් ජාතිවාදයට එරෙහි ධජය අතට ගන්න හැකියාව තියෙන්නෙ වමට. වමේ ධජයක් යටතේ මිස ජාතිවාදයට කොන්දේසි විරහිතව අභියෝග කරන්න වෙනත් බලයක් මිනිස් ඉතිහාසයේ බිහි වෙලා නෑ. ‘සකල දේශවාසී නිර්ධනයන්’ ගැන කතාකරන්න විතරක් නෙවෙයි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගෙ අරමුණු වෙනුවෙන් සටන් කරන්න නම් ජාතික, ආගමික හෝ ප‍්‍රාදේශීය බෙදුම් රේඛා පිටුදකින අදහස් තිබිය යුතුයි. එපමණක් නෙවෙයි මිනිස් ඉතිහාසයේ සාමූහික ජයග‍්‍රහණ හා සාමූහික වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් තිබිය යුතුයි. සාමූහිකත්වය වෙනුවට එක් එක් බෙදීම් පාවිච්චි කරමින් පටු අරමුණු වෙනුවෙන් පෙනී සිටින නිල්, කොළ, රතු සායම් ගාගත් කුමන්ත‍්‍රණකාරී දේශපාලනය පරාජය කිරීම මේ ජූලි මාසයේ තීරණාත්මක අවශ්‍යතාවයක් වෙනවා.