කළු ජනවාරිය!

pen

නිවේදන නිකුත්කරන  ජනමාධ්‍ය සංවිධානවලට සහෝදර ඇරැයුම…

මහින්ද රාජපක්ෂ පාලනය කාලෙ ජනවාරිය එළඹෙන විට තැති ගැන්මක් ඇති විය. ජනවාරිය යනු ලසන්ත වික‍්‍රමතුංග මරා දැමූ මාසයයි. ප‍්‍රගීත් එක්නැලිගොඩ

අතුරුදන් කළ මාසයයි. මේ ජනවාරිය කියන්නේ දෙසැම්බර් 10 වැනිදාවක පැහැරගෙන ගිය ලලිත් හා කුගන් සොයාගන්නට නොහැකිව ගෙවෙන හතරවැනි අවුරුද්දත් ලබන බවයි. අනෙක් අතට මේ ජනවාරිය යනු, රාජපක්ෂ පාලනයට අභියෝග කළ පුවත්පතක කතුවරයෙක් ලෙස මා හතරවැනි තට්ටුවේ කූඩු කළ මතකය අවදි කරන මාසයයි.

2010 ජනාධිපතිවරණය ආසන්නවන විට ප‍්‍රගීත් අතුරුදන් කරනු ලැබ තිබුණා. හරියටම ජනවාරි 24 වැනිදාවක ඔහු පැහැර ගෙන ගියේ කොළඹ නගරයේ මුර කපොලූ මැදින්. එයින් දින පහකට පසු මහ දවාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මා රැුගෙන ගියේ  කට උත්තරයක් ගන්නට අවශ්‍ය බව කියමින්. ඒත් එතැන පැය ගණනක් රස්තියාදු කර ඔවුන් කීවේ මා වෙනුවෙන් රැුඳවුම් නියෝගයක් තිබෙන බවයි. එය අනපේක්ෂිත තත්වයක් නොවුණත් බිය උපදවන අත්දැකීමක්.

සති දෙකක ඇවෑමෙන් මට නිදහස් වෙන්න හැකි වුණේ මා නිදහස් කරගන්න සටන් කළ දේශපාලන ක‍්‍රියාකාරීන්, ජනමාධ්‍ය ක‍්‍රියාකාරීන් හා වෙනත් ජනතා විරෝධයන් නිසාමයි. මා නිදහස් කරගැනීම වෙනුවෙන් අන්තර්ජාතික තලයෙදි සටන් කළ ලාංකික හා විදේශීය මානව හිමිකම් ක‍්‍රියාකාරින් හා ජීවිතාරක්ෂාව වෙනුවෙන් රට හැර ගිය මාධ්‍ය සගයන් අමතක කරන්න බෑ. එදා සිට මහින්ද රාජපක්ෂ බලයෙන් නෙරපා හරින්න කටයුතු සූදානම් කෙරෙන තුරුම ඒ අරගලය සක‍්‍රියව ඉදිරියට ගෙන යන්න සියල්ලන්ම ඒකරාශි වුණු බව මගේ මතකයයි. මාධ්‍ය සංවිධානයක ක‍්‍රියාකාරිකයෙක්  හැටියට එහිදී මා එක් වුණේ ජනමාධ්‍යකරුවන්ගේත් ජනමාධ්‍ය ආයතනවලත් ආරක්ෂාව තහවුරු කරන්න නම් අරගලයක් කළ යුතු නිසාය. ඒ වනවිටත් ජනමාධ්‍ය ක‍්‍රියාකාරිකයන් 44ක් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මරා දමා තිබුණා. මාධ්‍ය ආයතන ඉලක්ක කළ ප‍්‍රහාර, ගිනි තැබීම්, බෝම්බ පිපිරවීම් ගණනාවක් මෙන්ම මර්වින් සිල්වා රූපවාහිනි සේවකයන් දඩයම් කිරීමට උත්සාහ ගැනීමත් අපේ විරෝධයට හේතු වුණා.

ඒ දවස්වල මාධ්‍ය සංවිධාන එකමුතුව හැටියට අප වැඩ කළේ සාමුහිකව එක්රැුස් වී සාමුහික අරමුණු වෙනුවෙන් සටන්කාමී ලෙස මැදිහත්වෙමින්. අනෙක් සංවිධානවල අරමුණු මොනවා වුණත් මා නියෝජනය කළ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය’ උත්සාහ කළේ ජනතාවගේ නිදහසේ ප‍්‍රධාන අංගයක් ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ඇති කිරීමේ කොන්දේසියක් ලෙසත් ජනමාධ්‍යකරුවන්ට හා ජනමාධ්‍ය ආයතනවලට නිදහස් පරිසරයක් උදා කර ගැනීමේ අරමුණ වෙනුවෙන්. රාජපක්ෂ ආණ්ඩුවෙන් තවදුරටත් මර්දනය මිස නිදහස හිමි නොවන බව දැන් සිටි නිසා අපිට ආණ්ඩුව රකින්න හෝ ආණ්ඩු පිහිටුවන්න අවශ්‍යතාවක් තිබුණෙ නෑ. කොහොම වෙතත් ඇතැම් අවස්ථාවල අපේ මහන්සියෙන් පෝස්ටර් ගස්සවා ගන්න වගේ දේවල්වලට ජනමාධ්‍ය සංවිධානවල සමහරු සූදානම් වන බව වැටහෙමින් තිබුණා.

ඒවා ඉවසා මර්දනයට එරෙහි සටන මුවහත් කරන්න අපි නොමැළිව මැදිහත් වූ නමුත් අපව කඬේ යවන්නට සමහර මාධ්‍ය ව්‍යාපාරවලට අවශ්‍යව තිබුණා. අපි මාධ්‍ය සංවිධාන එකමුතුවට සම්බන්ධ වනවිට ජනමාධ්‍ය සංවිධාන හයක් ඊට එක්ව සිටියා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මූලිකත්වයෙන්, වෘත්තිය පුවත්පත්කලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, දෙමළ මාධ්‍ය සංගමය, මුස්ලිම් ජනමාධ්‍ය සංසදය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමය ඒ සංවිධානයි. හත්වැනි සංවිධානය ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් මාධ්‍ය සංවිධාන එකමුතුවෙ මූලික කමිටුව නියෝජනය කරන්නට මා උනන්දු වුණේ එක් පැත්තකින් මහින්ද රාජපක්ෂ පාලනයෙ මර්දනයට කිසිදු ජනමාධ්‍යවේදියකුට තනිවම මුහුණ දෙන්න නොහැකි වටපිටාවක් නිර්මාණය වී තිබීමත් අනෙක් පසින් මා අත්අඩංගුවට පත් අවස්ථා කිහිපයකදීම මා වෙනුවෙන් එම සංවිධාන පෙනී සිටීමත් පිළිබඳ කෘතවේදිත්වය නිසා. මාධ්‍ය නිදහස සහ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් අප ‘කළු ජනවාරිය’ විරෝධතාව පළමුවෙන්ම සංවිධානය කළේ 2012. 2013දි රාජපක්ෂ බත්බැලයො එය කොටුවෙ පැවැත්වීම තහනම් කරන්න කටයුතු කළත් අප මර්දක බලයට අභියෝග කරමින් ලිප්ටන් වටරවුමෙදි කළු ජනවාරිය පැවැත්වූවා.

එහෙත් අවසානයේ 2014 ජනවාරියෙදි කළු ජනවාරිය සංවිධානය කෙරුණේ මාධ්‍ය සංවිධාන නියෝජිතයන් නොදැනුවත්ව. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මූලිකයන් කිහිපදෙනකු ඒ වෙනුවෙන් මහත් කැපවීමෙන් වැඩ කරන්න පටන් ගත්තා. වෙනදා මෙන් එහි සංවිධාන වැඩ බෙදා හදාගෙන කරන්න කරපු යෝජනා වතුරෙ ගියා. අවසානෙට ජනවාරි 28 වැනිදා තිබුණෙ එක්සත් ජාතික පක්ෂය හයිඞ් පිටියෙ පවත්වපු  රැුලියට කළු ජනවාරිය පූට්ටු කරන උද්ඝෝෂණයක්. අප එහි ගියත් ඊට සම්බන්ධවීම ප‍්‍රතික්ෂේප කර පැත්තකට වුණා.

මාධ්‍ය සංවිධාන හතක් වශයෙන් අපි සාමුහික ශ‍්‍රමයකින් වැඩ කළත් සමහරු තුළ තිබුණේ පටු දේශපාලන ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන යාමේ අරමුණක් බව එයින් තහවුරු වුණා. මා කනගාටුවට පත් වුණේ ඒ ගැනයි. එදා මෙදා තුර අවුරුදු දෙකක් මාධ්‍ය සංවිධාන කටයුතුවලට සම්බන්ධ නොවී කිසිවක් හෙළි නොකර ඉන්නට මා කටයුතු කළා. නමුත් ඇත්ත හෙළි කළ යුතුයි. අප දන්නා ඇත්ත පමා වී හෝ හෙළි කළ යුත්තෙ ඒ ඇත්ත, ඇත්ත නිසාම පමණක් නොවේ. ඇත්ත වෙනුවට බොරුව රජකරන අවස්ථාවක ඇත්ත මොකක්දැයි නිරවුල් කරගන්න අප කියන දේ ප‍්‍රයෝජනවත් වනු ඇතැයි සිතන නිසා.

අදත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෝ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෝ මේ රටේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී ඉන්න බව මා ප‍්‍රතික්ෂේප කරන්නෙ නෑ. එහෙත් තමන් ඇත්තටම පෙනී ඉන්නන් තෝරාගත් බල ව්‍යාපෘතියකටද නැත්නම් හැමදෙනාගෙම අදහස් පළ කිරීමේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස භාවිත කිරීමේ නිදහස වෙනුවෙන්දැයි පෙන්විය යුත්තේ ඔවුන්මය.  එසේම එය නිවේදන නිකුත්කිරීමෙන් නොව ක්‍රියාකාරිත්වයෙන් පෙන්විය යුතු දෙයකි.

Advertisements

වීරයන්ගේ ඇස් – වීරත්වයේ දවස්

Memorඑකම නමක් සහිත එහෙත් අහසට පොළොව මෙන් වෙනස්කම් සහිත මිනිසුන්ද ජීවිතයේදී අපට හමු වේ. ඉන් එක් අයකුගේ නමද මහින්ද විය. පාසල් ශිෂ්‍යයකු ලෙස සිටියදී ඔහු මට හමුවූයේ ශිෂ්‍ය සගයකුගේ මැදිහත්වීමෙනි. ඒ දිනවල භීෂණය උත්සන්න වී තිබිණි. එහෙත් මඟහැර යා නොහැකි යුතුකම් තිබේ. මා සමඟ සිය නිවෙස බලා යමින් සිටි ශිෂ්‍ය සගයා මට මහින්ද හඳුන්වා දුන්නේ ධවල මර්දනයට එරෙහිව සක‍්‍රිය අරගලයේ යෙදෙන සගයකු ලෙසයි.
එදා අපි 18වැනි අපේ‍්‍රල් විරු සමරුවට අවශ්‍ය රතු සහ සුදු වර්ණ පොලිතින් ගෙන සැරසිලි සූදානම් කළෙමු. ආරක්ෂක හමුදා සහ පොලිසියට අමතරව නිල නොවන කුලී ඝාතකයන් සැරිසරන ගම් නියම්ගම්වල පවා අරගලයේ වර්ණය සටහන් කළ යුතු විය. වසර 18කට පෙරාතුව දිවි පිදූ පුරෝගාමීන් වෙනුවෙන් කළ යුතු අවම දේ ඉටු කරන්නට මහින්ද යුහුසුලූව ලෑස්ති වෙමින් සිටියේය. මැණික්හින්න නගරයට ආසන්න ගමකදී පළමුවරට හා අවසන්වරට මට ඔහු මුණගැසුනේ
එසේය. දින කිහිපයකට පසුව අපේ‍්‍රල් අරගලයේ සමරුව සඳහා නගර, ගම් සූදානම් කෙරිණි. වීදිවල රතු පටියක් සහිත සුදු කොඩි ලෙළදුන් අතර තාප්පවල විරු සමරු පෝස්ටර් ඇලවිණි. විශාල බිත්තිවල ආකර්ෂණීය අකුරින් සටන්කාමී සමරු කවි ලියැවිණි.
”පිපි මල් පරව විසිරී ඇත දෙරණ මත
විහිදූ සුවඳ ඉදිරියටත් මියෙනු නැත
ඔපවත් කරන්නට එසුවඳ අපරිමිත
සුවහස් ගණන් සුපිපෙන්නට කැකුළු ඇත”
රතු හා කලූ පැහැ අකුරු සහ සිතුවමින් අලංකාර සමරු පාඨ උද්වේගයක් හා සටන්කාමීත්වයක් ජනිත කරවීය. මියගිය පුරෝගාමී සහෝදරවරුන් හා සහෝදරියන් වෙනුවෙන් හුදු රොමැන්ටික් අනුරාගයක් වඩවනු වෙනුවට දේශපාලනික ජවයක් හා විචාරාත්මක ආවර්ජනයක් කරන්නට එම සමරු පාඨ විසින් ප‍්‍රවේශයක් ලබා දෙමින් තිබිණි. අරගලකාරී තරුණයන් විසින් ජනතාව අතර පතුරුවා හරින ලද නියෝගයක් වූයේ අරගලයේ සමරුව වෙනුවෙන් අපේ‍්‍රල් 5වැනිදා රාත‍්‍රියේ සෑම නිවසකින්ම අහස්කූරු 18ක් නිකුත් කළ යුතු බවයි. ඒ සඳහා අහස්කූරු ලබාගැනීමට උදයේ සිට වැඩිහිටියන්, තරුණ තරුණියන් හා බාල දරු දැරියන් යුහුසුලූ වූ බව දක්නට ලැබිණි.
කෙසේවෙතත් දවස උදා වී මඳ වෙලාවකින් ගිනිඅවියෙන් සන්නද්ධ වූ හමුදා සෙබලූන් ගෙයක් ගානේ යමින් අහස් කූරු එකතු කරන්නට විය. බොහෝ දෙනා කීවේ තමන් අහස්කූරු 18ක් ගෙනැවිත් නැති බවයි. එහෙත් නිවසේ ඇති අහස්කූරු සියල්ල තමන් වෙත භාරදෙන ලෙස හමුදා සෙබළු බලකර සිටියහ. රාත‍්‍රියේ අහස්කූරු යැවුවහොත් දරුණු ප‍්‍රතිවිපාක අත්විය හැකි බව ඔවුහු තර්ජනාත්මකව කීහ. ඒ නිසාම අහස්කූරු සඟවාගෙන සිටියවුන්ද ඒවා සවස්යාමයේදී පත්තු කරන්නට මැළි වූහ. නිවෙස්වලින් එකතුකරගෙන ගිය අහස්කූරු එදින රාත‍්‍රියේ හමුදා කඳවුරුවලින් නිකුත් කළ බව අසන්නට ලැබුණි.
මේ අතර ටික දවසකින් අසන්නට ලැබුණේ මහින්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔහු සොයන්නට මවුපියන් හිතවතුන් දැරූ ප‍්‍රයත්නය සාර්ථක වූයේ නැත. දිනපතා මරා දමන ලද දේශපාලන ක‍්‍රියාකාරිකයන්ගේ සිරුරු මහමග ප‍්‍රදර්ශනය කෙරිණි. සම්පූර්ණයෙන් හෝ අඩක් දැවුනු සිරුරු ටයර්සෑවලය. වෙඩි උණ්ඩයෙන් ළය පසා කළ පසු මිය ගිය හෝ තවමත් ගොර හඩින් හුස්ම ගන්නට තතනන මිනිසුන්ගේ පණ ගැහෙන සිරුරු දැක ළය කම්පාවෙමින් එහෙත් මරණභයෙන් නිහ`ඩවන්නට සිදුවුණු මිනිසුන් අතර දැවෙමින් සිටියෙමු. එක් මරණයක් නොව සිය ගණනක් එක දවසකදී අසන්නට ලැබිනි. ගංගාවල සිරුරු පා කෙරිණි. ඇතැම් ස්ථානවල ගොඩ ගසා තිබුණේ මිනිස් හිස්ගෙඩි පමණකි. ප‍්‍රාණවත් යැයි ද සිතිය හැකි ඒ මිනිස් ශීර්ෂයන් ඇස් අයා බලා සිටින ආකාරය කිසි දිනක අමතක කළ නොහැකිය. එක්සත් ජාතික පක්ෂයේ ධවල භීෂණය හමුවේ සියල්ල තලා දමන ලද නිසා කාලයාගේ ඇවෑමෙන් මහින්ද ඇතුළු අත්අඩංගුවට පත් හා පැහැරගෙන ගිය සහෝදර සහෝදරියන්ගේ කතාව යටපත් විය.
අද අපි සූදානම් වන්නේ එදා ජනතා අරගලය වෙනුවෙන් මරණය නොතකා අරගලයේ මාවත තෝරාගත් වරදට අතුරුදන් කරනු ලැබූ මහින්දලා ගැනයි. අරගලයකදී වීරත්වය පිළිබඳ සීමා සටහන්වන්නේ අරගලයේ අරමුණු හා වීරත්වයේ සමාජමය ස්ථානගතවීම තුළින්වීම නොවැළැක්විය හැක්කකි. 1818 මාතලෙන් ඇරඹුණ කැරැුල්ලේ මෙන්ම 1848 ඌව වෙල්ලස්ස කැරැල්ලේ අරමුණ වූයේ ඉංග‍්‍රීසි ආධිපත්‍ය පලවා හැර පැරණි රාජ්‍ය බලය හා රදළ ආධිපත්‍ය යළි පිහිටුවීමය. එබැවින් කැප්පෙටිපොළලා සහ පුරන් අප්පුලා වීරයන් වන්නේ එදා පැවැති අරගලයට සාපේක්ෂවය. එදා වෙල්ලස්සේ පීඩිතයන් සටන් වැදුණේ රදළ නායකත්වය යටතේය. ඒ නිසා පීඩිතයන්ගේ විමුක්තිය වෙනුවෙන් කළ අරගලයක් ලෙස හඳුනාගන්නවාට වඩා යටත්විජිත ආධිපත්‍යයට එරෙහි කැරැල්ලක් ලෙස වටහා ගත හැකිය.
1971 සහ 1987 කළ නැගිටීම් පීඩිතයන්ගේ විමුක්තිය වෙනුවෙන් පීඩිතයන්ගේ නායකත්වයක් වටා පෙළ ගැසුනකි. අවසාන අරමුණ ලෙස තිබුණේ එක් අයකු රජකරවීම නොව සාමූහික ජයග‍්‍රහණ පිළිබඳ අදහසකි, පීඩිතයන් කිසිදු භේදයකින් තොරව පෙළගස්වා ජයග‍්‍රහණ සඳහා කැඳවාගෙන යන සමාජවාදය පිළිබඳ අරමුණකි.
උතුරේ අරගලයේ නායකත්වය මෙන්ම සාමාජිකත්වයද කළේ පීඩනයෙන් මිදීමේ අරගලයක් බව ඇත්තකි. සතුරා හමුවේ වීරත්වය පෙන්වා සටන් වැදුණු උතුරේ තරුණ තරුණියන් පිළිබඳ පුවත් ඉතිහාසයෙන් වළලා දැමිය නොහැකිවනු ඇත. එහෙත් ඔවුන්ගේ අරගලයේ අරමුණ වූයේ පොදු මිනිස් ජයග‍්‍රහණ වෙනුවෙන් කැපවීමට වඩා ජාතික සීමාවක කොටු කළ ජයග‍්‍රහණයකි. අපේක්ෂිත අවසන් ජයග‍්‍රහණය පවා පවතින ධනේශ්වර රාජ්‍ය සීමාවෙන් වටකරනු ලැබ තිබිණි. ඒ නිසා උතුරේ අරගලය සමඟ 1971 හෝ 1987 අරගල සමපාත කිිරීම ‘නිවැරදි කළ හැකි’ වරදකි.

පරාජයට තනිව මුහුණ දීම

‘චින්තක එල්ලිලා මැරිලා’
ඒ ආරංචිය උදෙන්ම ආවෙ. හේතුව මොකක් වුණත් චින්තක ජීවිතේ පරාජය භාර අරගෙන. පරාජිත මිනිස්සු කොච්චර ඉන්නවද? සමස්තයක් හැටියට අපි හැමෝම එක් එක් ආකාරයට ජීවිතය පරාජය වෙලා. අපිට තියෙන්නෙ තනිවම ජයගන්න පුළුවන් අභියෝගයක් නෙවෙයි කියලා තේරුම් ගන්නෙ කීප දෙනයි. ඒත් චින්තක තනිවම පරාජය බාර අරගෙන.
මට විඳ දරාගන්න බැරි කාරණයක් තියෙනවා. දවසක් මමයි දුවයි මහරගමදි චින්තක දැක්කා. දුවට පාසල් උපකරණ වගයක් ගන්න පොත් කඬේකට ගියාම චින්තක ආවා. මම මුහුණට මුහුණ දැක්ක ගමන් චින්තක මූණ හරවාගෙන වෙන පැත්තකට ගියා. මට මූණ දෙන්න බැරිකමක් චින්තකට තියෙන්න ඇති. ඒත් මම කම්පා වෙන්නෙ පස්සෙන් ගිහින් පිටට තට්ටු කරලා කතා කරන්න මම කල්පනා නොකිරීම ගැනයි. දුවගෙ අවශ්‍යතාවට මුල්තැන දීලා මම වෙළෙඳ සේවකයට කතා කරන ගමන් චින්තක ඉන්න පැත්ත ගැනත් අවධානය යොමු කළේ කතා කරන්න අවස්ථාවක් ගන්නයි. නමුත් චින්තක ඉක්මනින්ම අවශ්‍යතාව ඉටුකරගෙන හෝ නොගෙන පිටවෙලා ගියා.
ජීවිතය විවිධ දුෂ්කරතා මතු කරනවා. චින්තක එක් දරු පියෙක් බව මම දැනගෙන හිටියා. එදා පොත් කඬේට එන්න ඇත්තෙත් දරුවගෙ පාසලට මොනවා හරි ගන්න වෙන්න ඇති. ඒත් මින් පස්සෙ චින්තක හමුවෙලා කතා කරන්න ඉඩක් නෑ.
චින්තක හමු වුණේ අහම්බයකින් තමයි. ඒත් ඒක අහඹුවක් විතරමත් නෙවෙයි. සරත් අයියා අපිට කාර්යාලයට තැනක් හොයාගෙන ආවා. ඇඹුල්දෙනියෙන් පන්නිපිටියට තැන මාරුකරන කොට ඒ ස්ථානය භාරව හිටියෙ චින්තක. කාලයක් ව්‍යාපාරික ස්ථානයක් ලෙස පාවිච්චි කරපු තැන චින්තකගෙ අක්කගෙ. විදේශගතව ඉන්න අක්කා වෙනුවට ඒ වගකීම භාර අරගත්තෙ චින්තක.
එක දවසක් චින්තක ආවා සුදු හඳුන් පැල දෙකක් අරගෙන. නැකත වෙලාවක් බලාගෙන ඒ වෙලාවට නියමිත දිහාවක් බලලා ඒ පැළ දෙක හිටෙව්වා. පැලවලට වතුර දාලා බලාගන්න පුළුවන්ද කියලා ඔහු අපෙන් ඇහුවා. අපි ඒක සතුටින් බාර ගත්තා. නමුත් කෙටි කාලයකින් අපේ අවධානයෙන් ගිලිහිලා ගිය නිසා පැළ දෙකම මැරිලා ගියා. චින්තකට ඒ බව කියන්නත් බෑ. චින්තක ආවෙත් නෑ. අන්තිමට සුදු හඳුන් පැළ ගෙනාව චින්තක තනිවම අවසන් ගමන් ගිහිල්ලා.
පසුකාලයක චින්තක විවිධ බැරි අමාරුකම්වලට මුහුණදෙද්දි අක්කා ඒ වගකීම එයාගෙන් නිදහස් කරලා තිබුණා. චින්තකට බොහෝ අය උදව් කරන්න උත්සාහ කළා. අක්කා විදේශගතව ඉඳිද්දි චින්තකගේ ණය තුරුස් නිදහස් කරගන්න උදව් කළා. ඒ අතරම වෙනස් ජීවිතයක් ගෙනියන්න චින්තක විවිධ සුළු සුළු කටයුතු කළා. වෙලාවක නිමි ඇඳුම් අලෙවි කළ ඔහු තවත් වෙලාවක ගෘහභාණ්ඩ ව්‍යාපාරික හිතවතකු ළඟ සේවය කළා. ඒත් තනිවම කරන්න උත්සාහ කළ ව්‍යාපාරික කටයුතුවලදි ඔහු අමාරුවෙ වැටුණා.
ණයකරුවන් තවදුරටත් ඔහුට සහනයක් දෙන්න කැමැතිවුණේ නෑ. ඒවට මුහුණ දෙන්න පවා ඔහු ශක්තිමත් ආකාරයට උත්සාහ ගත්තා කියන්න අමාරුයි. චින්තක ජීවිතය ගොඩනඟාගෙන තිබුණෙ වෙනස් විදියට. මත්පැන් සහ වෙනත් දේවල් ඔහුගෙ ජීවිතයේ වින්දනය ලෙස තෝරාගෙන තිබුණා. වෙනත් ජීවිත ගැටලූ ඔහුට තිබුණද නැද්ද කියලා දන්නෙ නෑ. නමුත් චින්තක හිතවත්කමින් ඇසුරු කරන්න පුළුවන් හොඳ මිනිහෙක් බව නම් ඇත්ත. චින්තක ගැන දන්න කියන බොහෝ දෙනෙක් ඒ කාරණේ පිළිගන්නවා. ඒත් චින්තකගෙ දුර්වලකම් විතරක් නෙවෙයි, ඔහුට වෙනස් කරන්න බැරි තත්වයන් ඇති.
ඇබ්බැහි වෙච්ච දේවල් නිසා ජීවිතය වෙනස් කරගන්න අපි බොහෝ දෙනකුට අමාරු නිසා චින්තකට විතරක් දොස් කියන්න අමාරුයි. ඒත් චින්තක ඇසුරු කරපු අයට ඔහුගෙ හිනාව, කටහ`ඩ අහපු අයට ඒක හීනියට ඇනෙන වේදනාවක්. කවුරුත් එක්ක හොඳින් සුහදව හිටිය මිනිහෙක් ජීවිතයට තනිවම මුහුණ දෙන්න උත්සාහ කරලා, පරාජය බාර අරගෙන තනිවම තීරණයක් අරගෙන.
සියදිවි නසාගැනීම්වලදි මේක පොදු තත්වයක්. හොඳින් ඇසුරු කරන අයට පවා හිතාගන්න බැරි විදියට ගන්නා ඒ තීරණය ගුප්තයි. මනෝ වෛiවරු එවැනි අවස්ථා ගැන විවිධ සාධක සමඟ විස්තර කරනවා. මොළයේ රසායනික වෙනස්කම් ගැනත් කියනවා.
ඒත් චින්තක වගේ කෙනෙක් ගැන දන්න නිසාම ඒ සාධක මොනවා වුණත් ජීවිතයෙ පරාජය විඳ දරාගන්න බැරිවෙන සාධක දිවිනසාගැනීමකදි ප‍්‍රමුඛ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. රජරට ගොවියන් සියදිවි නසාගත් කාලෙදි සමහරු කීවෙ ජොලියට වහ බොනවා කියලා. ඇත්ත හේතු වෙනස් කරන එකට වඩා ඒ වගේ මුග්ධ උත්තර දෙන එක ලේසියි.
විදේශගතව ඉන්න සහෝදරිය එනතුරු චින්තකගෙ මළගමේ අවසන් කටයුතු සෙනසුරාදාට නියමිතයි. පණ තියෙන චින්තකට පිටට තට්ටු කරලා සුහදතාව පළකරන්න අවස්ථාව අහිමි කරගත් මට ප‍්‍රාණ නිරුද්ධ චින්තකගෙ මළගමට යන්න හිත හදාගන්න වෙනවා.

පහේ ශිෂ්‍යත්ව උගුලෙන් දරුවන් නිදහස් කළ යුතු

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල නිකුත්වීම නිසා එම විභාගයට මුහුණ දුන් දරුවන්ට හා මවුපියන්ට සතුට හා දුක මුසු තත්වයන් උද්ගත වී තිබෙනවා.

පසුගිය අගෝස්තු 23 වැනිදා ඒ තරගකාරි විභාගයට මුහුණ දුන් තුන්ලක්ෂ හතළිස් එක්දහසකට ආසන්න දරුවන් අතර මගේ දියණියත් සිටියා. ඇය ලැබූ ප‍්‍රතිඵලයත් සමත් යැයි සම්මත ලකුණු සංඛ්‍යාවත් අතර පරතරය නිසා ඇය මහත් කනගාටුවට පත් වුණා. ශිෂ්‍යත්වය කියන්නෙ එක් විභාගයක් පමණක් බවත් ලැබූ ලකුණ ගැන සෑහිමකට පත් වී ඉදිරි ඉගෙනුම් වැඩ කරගෙන යෑම අවශ්‍ය බවත් පන්තියට යන්නට පෙරාතුවම මම ඇයට පැහැදිලි කළා. ඒත් ඇයට දුකක් තිබුණා. ඇගේ පන්තියේ අඩු ලකුණු ලැබූ යාළුවන් කඳුළු පෙරමින් සිටි නිසා ඇගේ දුක තවත් වැඩි වුණා. පාසලේදී ඔවුන් අස්වසමින් කරුණු පැහැදිලි කිරීමක් කෙරුනාද දන්නෙ නෑ. පාසලෙන් පිටතට පැමිණි මට ඇතැම් මවුපියන් මූණ අඳුරු කරගෙන ඉන්න හැටි පෙනුණා.

පාසල අවසන් වී නිවසට ආ දියණිය කීවේ වැඩි ලකුණු අපේක්ෂාවෙන් හිටිය යාළුවන් අඩු ලකුණු ලැබූ නිසා ගෙදර ගියාම ගුටි කයිද දන්නෙ නෑ කියලා. ඇයට එවැනි වදයක් ශිෂ්‍යත්වයට පෙරාතුවත් නොදුන් නිසා විභාග ප‍්‍රතිඵලය ගැන අඩු සැලකිලි නොලැබෙන බව දියණිය දැනගෙන හිටියා. ඒත් මින් පෙර අවුරුදුවලදි දරුවන්ගෙ ප‍්‍රතිඵල අඩුවීම නිසා මවුපියන් තම දරුවන්ට වධහිංසා කළ බව ඇය දන්නවා.  ඔවුන් වැඩි දෙනා තම දරුවන් ජනප‍්‍රිය පාසල්වලට යවන හීනයක හිටි අයයි. ඇත්ත වශයෙන්ම ජනප‍්‍රිය පාසල් ලෙස හඳුන්වන පාසල්වලට හැමදෙනාගෙම දරුවන් යවන්න ඉඩ නෑ. නමුත් සල්ලි බාගෙ අතදිග හැර වියදම් කරන අයට ඒක කජ්ජක් නෙවෙයි. ශිෂ්‍යත්වයෙන් අඩු ලකුණු ලබන දරු දැරියන්ගෙ මවුපියන් ඊළඟට බලන්නෙ යම් මුදලක් වියදම් කරමින් ජනප‍්‍රිය පාසලකට දරුවන් ඇතුළු කිරීමටයි. ඒ මුදල වියදම් වෙන්න, ජනප‍්‍රිය පාසලේ ආදි ශිෂ්‍ය හෝ වෙනත් පදනමකින් ආධාර කිරීමටයි. එහෙමත් නැත්නම් කාර්යාල සේවකයාගේ සිට ඉහළ බලධාරින් ලවා අල්ලස් ලබාදීමටත් මවුපියන් වියදම් කරනවා.

නිදහස් අධ්‍යාපන ක‍්‍රමය ලෙස හඳුන්වන රටාව තුළ ශිෂ්‍යත්ව ක‍්‍රමය ආරම්භ කෙරුණේ අව වරප‍්‍රසාදිත පවුල්වල දරුවන්ට වඩා පහසුකම් හිමි පාසල්වල අධ්‍යාපනය ලැබීමේ අවස්ථා සැලසීමක් හැටියටයි. ලක්ෂ ගණනක් විභාගයට පෙනී සිටියත් රජයෙන් අඩු ආදායම්ලාභීන්ට ලැබෙන ශිෂ්‍යාධාරය හිමි වෙන්නෙ එයින් 10%කට පමණයි. ජනප‍්‍රිය පාසලකට යන්න අවස්ථා ලැබෙන්නෙ එයිනුත් කොටසකටයි. ඒ නිසා ශිෂ්‍යත්ව විභාගයේ මුල් තේරුම ගිලිහී ගිහින්. මේ නිසා පහේ ශිෂ්‍යත්වයට මුහුණදීම සඳහා තම දරුවන් ටියුෂන් පන්ති කීපයකට යවමින් මහා ධාවන තරගයක යොදවන මවුපියන් ලකුණු අඩු වීම ගැන දුර්මුඛ වීම අහන්න දෙයක් නෑ. නමුත් දරුවන් ඒ ධාවනය නිසා හති වැටෙන එකත් දරුවන්ගෙ අයිතිවාසිකම් අහිමි කෙරෙන එකත් ගැන කවුරුවත් වගකියන්නෙ නෑ.

මම පහේ පන්තියෙදි විභාගයට සූදානම් කෙරුණෙත් ශිෂ්‍යත්ව පන්තියකට සහභාගි වෙමින්. ඒ මීට අවුරුදු 33කට කලින්, 1982දි. ශිෂ්‍යත්වයට ඉගැන්වීමෙන් ප‍්‍රතිඵල ලබාදුන් ආචාර්යවරියක් ටියුෂන් පන්තියේ ඉගැන්වුවා. පාසලේදිත් පන්තිභාර ගුරුවරයා පමණක් නෙවෙයි, අනෙක් පන්තිවල ගුරුවරුත් අපට ඉගැන්වුවා. මම ඉගෙන ගන්න කාලෙ පාතදුම්බර මහ විද්‍යාලයේ පහේ පන්ති තුනක් තිබුණා. ඒ පන්ති තුනේම ගුරුවරු සහයා්ගයෙන් අපට ඉගැන්වුවා. හදිසියේ අසනීප වීමකින් එක ගුරුවරයෙක් ආවෙ නැත්නම් අනෙක් පන්තියේ ගුරුවරයා ඒ පන්තියට ඇවිත් පන්ති දෙකටම ඉගැන්වුවා. පහේ පන්තියෙදි, ඒ කියන්නෙ අවුරුදු 10දී ළමුන්ගෙ ක‍්‍රියාකාරිත්වය හිතුවම ඒක එතරම් සරල වැඩක් නෙවෙයි. අපේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 12ක් ඒ වතාවෙ ශිෂ්‍යත්වයෙන් සමත් වුණා. ඒ අවුරුද්දෙ මහනුවර දිස්ත‍්‍රික්කයේ ඉහළම ලකුණු ගත්තෙත් අපේ පන්තියෙ ශිෂ්‍යයෙක්.

අද පහේ පන්තියෙ දරුවන්ගෙ, ගුරුවරුන්ගෙ වගේම මවුපියන්ගෙ ක‍්‍රියාකාරිත්වය ගත්තත් යාන්ත‍්‍රික බවක් මට පෙනෙනවා. ගුරුවරු අතර සහයෝගය නැත්තටම නැති වෙලා කියන්න බෑ. ඒත් තරගකාරිත්වය නිසා අනෙක් පන්තියෙ දරුවන්ට වඩා තමන්ගෙ පන්තිය ගැන හිතන්න ගුරුවරු පෙලඹෙනවා. අසනීපෙන් ගුරුවරයෙක් ආවෙ නැත්නම් උදව් කරන්නත් යනවා. නමුත් අපි ඉගෙන ගත්ත කාලෙ තරම් මානුෂිකත්වයක් පහේ පන්තිවල ඉගෙන ගන්න දරුවන්, ගුරුවරු, මවුපියන් අතර නෑ. ඒක සිදුවෙන්නෙ මුළු සමාජයෙම අවමානුෂිකකරණයේ ප‍්‍රතිඵලයක් ලෙසයි.

මා අසා ඇති එක සිදුවීමකදී දරුවෙක් තමන්ගෙ අම්මා එක්ක හිටියෙ තරහෙන්.  තමන් ශිෂ්‍යත්වය සමත් කිරීම වෙනුවෙන් ඇය විසින් කරන හිරිහැරය නිසා ඔහු හෙම්බත්ව හිටියෙ. පන්තිවලට යවන්න, උදයෙන් අවදි කරන්න, ගෙදර වැඩ කරවන්න අම්මා උනන්දු වුණාට දරුවට ඒක මහා පීඩාවක් වෙලා. ශිෂ්‍යත්වය දවසෙ ඔහු විභාග ශාලාවට ගියේ මෙහෙම කියාගෙන.

”අද තමයි මම අම්මට හොඳ පාඩමක් උගන්වන්නෙ…”

ආරංචි විදියට දරුවා ප‍්‍රශ්න පත‍්‍රයේ එක ප‍්‍රශ්නයකටවත් පිළිතුරු ලියලා නෑ. ඒ දරුවා සහ මව ගැන ඉන්පස්සෙ තොරතුරු මට දැනගන්න ලැබුණෙ නෑ. කොහොම නමුත් මේ වගේ සිදුවීම් අනුව අපේ දරුවන්ගෙ පෞරුෂ වර්ධනයට හානිකර නිදහස් සිතුම් පැතුම් මොට කරන ශිෂ්‍යත්ව විභාග ධාවනය ගැන නැවත හිතා බලන්න අපට සිදු වෙනවා. නැත්නම් අපි හැමෝම එකිනෙකා පරයාගෙන, එකිනෙකා රවටමින් විනාශය කරා යන එක නවත්වන්න බැරි වෙනවා.

අඩුම ගානෙ තමන්ගෙ දරුවන් ගැන හිතලා මේ තත්වය වෙනස් කරන්න අපි හැමෝම කල්පනා කළ යුතු වෙනවා.

උපාධි විකිණීම හා දැන්වීම් ආදායම

CAM03877මාලඹේ පිහිටා ඇති මුදලට වෛද්‍ය උපාධි පිරිනමන බව කියන ආයතනය ගැන අප විසින් කාලයක් තිස්සේ කළ හෙළිදරව්ව කිසිදු බලධාරියකුගේ කනට ඇසුණේ නැත.

විශේෂයෙන් රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි මෛත‍්‍රීපාල සිරිසේන පවා උපාධිය මුදලට විකුණන කාර්යයට සහාය පළ කළේය. එවකට උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක කීවේ අධ්‍යාපනය පෞද්ගලික අංශයට අවකාශ දෙන එක සිය රාජ්‍ය ප‍්‍රතිපත්තිය බවයි. එහෙත් සරසවි ශිෂ්‍ය ප‍්‍රජාව ඊට විරෝධය පළ කරමින් නිරන්තර අරගලයක යෙදුණි. ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙමින් අන්තරය නිදහස් අධ්‍යාපන අයිතීන් රැකගැනීම පිණිස වෙහෙස මහන්සි වී ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කරමින් සටන් වැදුණි.

නිදහස් අධ්‍යාපන අයිතීන් රැකගැනීමේ සිසු ජන පෙළගැස්ම සඳහා මමද එක් වූයෙමි. එහෙත් රට පුරා හතළිස් තුන් ලක්ෂයක් ශිෂ්‍ය ප‍්‍රජාවටත් ඔවුන්ගේ මාපියන්ටත් එස්බීගේ අත්තනෝමතිකත්වයට අභියෝග කිරීම පහසු නොවීය. කවුරුන් කෙසේ කීවත් ඒ පිළිවෙත ඉදිරියට ගෙන යන බව කී ඔහුගේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සරසවි සිසුන් ගෙන ගිය විරෝධය වෙඩි තබා, කුලූ පොලූ පහර දී පොඩි පට්ට්ම් කෙරිණි. ජානක හා සිසිත වැනි ශිෂ්‍ය නායකයන්ට අබිරහස් මරණය හිමි විය. සිය ගණනක් සිසුන්ගේ පන්ති තහනම් කෙරිණි. තවත් සිය ගණනකට ව්‍යාජ චෝදනා නගමින් විනය පරීක්ෂණ කැඳවන ලදී.  දුසිම් ගණනක් සරසවි ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන්ට සරසවි බිම තහනම් කෙරිණි. දාහක් හෝ සරසවියෙන් ඉවත් කර දමා එය ක‍්‍රියාවේ යොදවන බවට එස්.බී. වහසි බස් කීවේය. අවසානයේ එස්.බී. ඇතුළු රාජපක්ෂ පාලනය ගෙදර යවමින් මහා ජන පෙළගැස්මක් නිර්මාණය වූයේ අධ්‍යාපන අයිතීන් වළලා දමන එස්.බී. ඇතුළු රාජපක්ෂ පාලනයට එරෙහිව දීර්ඝතම අරගලයක් ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ගෙන ගිය නිසාය. විරෝධයේ පළමු ගිනිදලූ ඇවිළවූයේ ශිෂ්‍ය ව්‍යාපාරයයි. සෙසු ජනතා බලවේග නිද්‍රාවට පත්ව සිටියදී ඔවුන් අවදි කළේ වීදි පුරා විරෝධතා සටන් පාඨ මුරගාමින් කඳුළු ගෑස් හා ඇමෝනියා ජල පහර කමින් ඇද වැටෙමින් යළි නැඟිටිමින් සටන් වැදුනු ශිෂ්‍ය ක‍්‍රියාකාරින් විසින්ය.

එදා රාජපක්ෂ පාලනයේ රස මසවුලූ වළෙඳමින් යෙහෙන් වැජඹුණු කිසිදු ඇමැතියෙක් ශිෂ්‍ය අරගලය වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඒ නිසාම මාලඹේ උපාධි කඩය පවත්වාගෙන යාමට හැකිවූයේ වත්මන් ජනාධිපති සිරිසේනගේද දායකත්වයකි. රාජපක්ෂ පාලනය ගෙනගිය පිළිවෙතට අනුව එදා අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කරන්නට වහසි බස් දුන්, මාලඹේ උපාධි කඩය වෙනුවෙන් පෙනී සිටි එස්.බී. අද ඔහුගේ ඇමැති මණ්ඩලයේ සමාජ සුභසාධන ඇමැතිවරයාය.

අද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පෞද්ගලික උපාධි ආයතන පවත්වාගෙන යාමට විරුද්ධ නැත. රාජපක්ෂ පලවා හැරි පසුව ඔහුගේ පාලනය සියතට ගෙන ඉදිරියට ගෙනයාම හැර විකල්පයක් සිරිසේන-රනිල් හවුල් ආණ්ඩුවට නැත. ඒ නිසාම ශිෂ්‍ය ව්‍යාපාරය අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහිව ගෙන ගිය අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුව ඇත.

රාජපක්ෂ පාලනය හෝ වත්මන් හවුල් පාලනය අධ්‍යාපනය විකිණීමේ පිළිවෙතක සිටින බව දැන් රහසක් නොවේ. එහෙත් ජනතාව වෙනුවෙන් වැඩ කරනවාය කියන විවිධ පුද්ගලයන් රාජපක්ෂ පාලනය යටතේද දැන්ද ඊට අනුග‍්‍රහය දක්වන බව හෙළිදරව් විය. මේ අතර විවිධ ජනමාධ්‍ය ආයතන මාලඹේ උපාධි කඩයට කඬේ යමින් සිටී. සත්‍ය වෙනුවෙන් බයිලා කියන මේ ඇතැම් මාධ්‍ය ආයතන වෛද්‍ය උපාධි විකුණන්නට මාලඹේ පිහිටුවන ලද ආයතනය සහ ඊට අනුබද්ධ රෝහල දක්වා ක‍්‍රියාවලියේ වංචනික බව වසන් කරති. මේ ජනමාධ්‍ය ආයතනවලට මිලියන ගණනින් දැන්වීීම් ලැබෙන නිසා නිදහස් අධ්‍යාපන අයිතීන් වළලා දැමීම ඔවුන්ට එතරම් ගැටලූවක් නොවේ. වරක් එක්තරා සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතක මුල් පිටුවේ පුවතකට වෛi නෙවිල් ප‍්‍රනාන්දු නම් ව්‍යාපාරිකයාගේ ප‍්‍රකාශයක් ගෙන තිබුණි. ඔහු පවසා තිබුණේ මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට විරුද්ධ වන අයට ශාප වන බවයි. ජාතික මට්ටමේ පුවත්පතක මෙවැනි පුවතක් පළ වන්නේ ඇයි? විශේෂයෙන්ම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සිටින පුවත්පත්වල මෙබඳු ජුගුප්සාජනක තත්වයන් ඇති වන්නේ මිලියන ගණනින් ගෙවන දැන්වීම්වලට පුවත්පත්කලාව යටපත් කෙරෙන බැවිනි.

එක්තරා විද්‍යුත් මාධ්‍ය ආයතනයක උදෑසන සංවාදයක් සඳහා මාතෘකාව වූයේ උපාධි විකුණන්නට  ඇරඹුණු මාලඹේ පිහිටි ආයතනය පිළිබඳවයි. එහිදී එම ආයතනයට පක්ෂ කිහිපදෙනකු සාකච්ඡුාවට සම්බන්ධ වූවද ඊට විවේචන ගෙන එන කිසිවකු සම්බන්ධ නොකෙරිණි. ඒ ගැන විමසීමට ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයකු දුරකථනයෙන් කතා කළ විට ලැබී තිබුණේ අපූරු පිළිතුරකි. අදාළ ආයතනයේ ප‍්‍රකාශකයෙක් කියා සිටියේ තම ප‍්‍රධානීන්ට එල්ල වුණු දේශපාලන බලපෑමක් නිසා මෙවැනි ආකාරයට පක්ෂග‍්‍රාහී වන්නට සිදුව ඇති බවයි. දේශපාලන පක්ෂපාතීත්වය නිසා විවිධ පහත් වැඩ කරන ආයතන විසින් මෙවැනි බොරු හේතු දැක්වූවද ඇත්ත කාරණය නම් හතළිස්තුන් ලක්ෂයක ශිෂ්‍ය ප‍්‍රජාවට වඩා ඔවුන්ට හිමි වන මිලියන ගණනින් දැන්වීම් ආදායම් වැඩි වටිනාකම් සහිත බවයි.

ප‍්‍රධාන කර්තෘවරුන් ලෙස පත්ව සිටින ප‍්‍රවීණ පත්තරකාරයන් ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටියද ඔවුන්ට තම පුවත්පත්වලදී එවැනි යමක් පෙන්වන්නට නොහැකි වන්නේ ඊට වඩා මේ දැන්වීම් ආදායම් බලවත් නිසාය. නිදහස් අධ්‍යාපන අයිතිවාසිකම් භුක්ති විඳිමින් විවාදවල නිදහස් අධ්‍යාපනය ගැන තර්ක කළ පුද්ගලයන් මාධ්‍ය ආයතනවල වගකීම් ඉසිලූවද ඔවුන්ට පවා දැන්වීම් ආදායම් ප‍්‍රශ්නය හමුවේ හෘදසාක්ෂිය හකුලන්නට සිදුව ඇත.

‘නරක උන්‘ සහ ‘හොඳ උන්‘ ඇසුරෙහි…

‘මචං මම කවි පොතක් ගැහුවා….’
ඒ සතුටුදායක පුවත මා සමඟ බෙදා ගත්තෙ කාලයක් තිස්සෙ හිතවත් පත්තර මිත‍්‍රයෙක්. පසුගිය දිනවල පොත් සල්පිලේදි එසේ පළ කළ පොත් ගැන බොහෝ සහෘදයන්ගෙන් අසන්නට ලැබුණා.
මවකට පියකුට අලූත දරුවකු ලැබීමට සමාන සතුටක් එයින් උපදවනවා. ඒ පුවත නිසා සතුටක් වගේම කනගාටුවක් මට ඇති කරවනවා. මිතුරා කාලාන්තරයක් වැගිරූ නිර්මාණාත්මක ශ‍්‍රමය එක්තැන් කරමින් පොතක් වශයෙන් පළ කිරීම ගැනයි සතුට. ඒත්, එහෙම කවි පොතක් කරන්න අදහසක් තිබුණත් ඒ සඳහා බර පැන සොයාගන්න බැරිව ළතැවෙන මිතුරන් කිහිපදෙනකු ගැන මම දන්නවා. ඇඹිලිපිටියෙ සජිත් චින්තක කවියා ඉන් එක්කෙනෙක්. ප‍්‍රියන්ත ලියනගේ සහෝදරයා තවත් කෙනෙක්. සාහිත්‍ය මාසෙට සමාන්තරව පොත් පළ කරන්න උනන්දු වන බොහෝ දෙනා ඒ හීනය සඵල කරගන්නෙ ණය වීමෙන්. ඒත් හැමෝටම ඒක කරන්න අමාරුයි.
සමහර සහෘදයන් තමන්ගෙ පොතක් පළ කරන්න උදව් කරන්න පුළුවන්ද කියලා අහනවා. පත්තර කතුවරයෙක් විදියට මාව දන්න නිසා උදව් ඉල්ලන වෙලාවට ඔවුන්ට කියන්න උත්තරයක් හොයාගන්න අමාරුයි. පත්තරයක් කියන්නෙ ප‍්‍රකාශන ආයතනයක් ලෙස ඔවුන් දකින්නෙ. ප‍්‍රකාශන ආයතනයක වගකීමක් දරන කෙනෙක් හැටියට ඔවුන් ඒ ඉල්ලීම කළත් පොතක් පළ කරනවා කියන්නෙ එකවර මුදලක් වැය කිරීමක්. ඒ මුදල හොයාගන්න බැරිව බොහෝ ලේඛකයන් අසරණ වෙනවා. අවුරුදු ගාණක ඉඳලා මමත් එවැනි බලාපොරොත්තුවක් සඟවාගෙන ඉන්නෙ. රාජපක්ෂ පාලනය යටතෙ හතරවෙනි තට්ටුවට ගෙන ගිය අත්දැකීම ගැන මා ලියූ ලිපි එකතුව පළ කරන්නත් කවි පොතක් පළ කරන්නත් හීනයක් තියෙනවා.
මේ කාරණාවෙම තවත් පැත්තක් තමයි පළ කරන පොතක් සඳහා පාඨක සහෘදයන්ගෙන් අවධානයක් හිමිවීම. චූලානන්ද සමරනායක සහෝදරයාගේ ‘නරක උන් ඇසුරෙහි’ කියන පරිවර්තිත කෘතිය පසුගිය දවසක ජනගත වුණා. චූලා සහෝදරයාගෙ සාහිත්‍ය වැඩකට යන එක අපේ යුතුකමක් හැටියට තිබුණත් අගහිඟකම් මැද්දෙ එවැනි තැනකට යන එකට වෙලාව වෙන්කර ගන්න එකයි අමාරු. එවැනි අමාරුකම් මැද පැමිණි බොහෝ දෙනා අතර සිටි රණසිංහ සහෝදරයා චූලානන්ද සමරනායක කියන ලේඛකයගෙ කාර්යභාරය පැසසීමට කවියක් සටහන් කළා. ඒක චූලා අතට දෙන්න සූදානම් වෙමින් රණසිංහ සහෝදරයා කිව්වෙ ‘චූලා වගේ කෙනකුට අපට දෙන්න පුළුවන් මේ වගේ දෙයක් විතරයිනෙ’ කියලා. ඇත්තටම සහෘදයකු පළ කරන පොතක් මිලදී ගන්න පවා අමාරුකම් ඇති පීඩිත පන්තියේ සහෘදයන් තමන් වෙනුවෙන් ශ‍්‍රමය වගුරන ලේඛකයන් ගැන හැඟීමකින් ඉන්නවා. ඒත් ඔවුන්ට ලේඛක සහෘදයන් වෙනුවෙන් කළ හැකි දේ සීමිතයි. ඒ හේතුව නිසාම බොහෝ ලේඛකයන් පොත් ප‍්‍රකාශකයන් ඉදිරියෙ අසරණයි.
ලේඛකයා ණය වෙලා හරි පොතක් පළ කර ගත්තත් ප‍්‍රකාශකයගෙන් කර්තෘභාගය ගන්න හරිම අමාරුයි. ප‍්‍රකාශකයන් කියනවට වඩා පොත් මුදලාලිලා හැටියටයි ඔවුන් හඳුන්වන්න වෙන්නෙ. කාලයක් තිස්සෙ ලිවීමෙන් දුක් මහන්සියෙන් උපයාගන්නා සංකේතීය වටිනාකම පවා එවැනි මුදලාලිලාගෙ ලාභ උල්පතක් බවට පත් වෙනවා. එහෙම නමක් ඇති ලේඛකයකුගෙ පොතක් පළ කිරීම ආයතනික වශයෙන් ලාභදායක බව පොත් මුදලාලිලා දන්නවා. එවැනි ලේඛකයන්ට නිතර නිතර සොච්චමක් දීලා ඔවුන් ඇද බැඳ තබා ගන්න තරම් කපටිකමක් පොත් මුදලාලිලාට තියෙනවා.
චූලගෙ පොත ගැන දැනගන්න රුසියානු මධ්‍යස්ථානයට ආව අය අතර කාලයකින් හමු වුණු සහෘදයන් හිටියා. කුමාරි කුමාරගමගේ සහෝදරී ඒ අතරින් කෙනෙක්.
”චන්දන මං අහන්න හිටියෙ. පත්තරෙත් අමාරුවෙන් හරි කරගෙන යනවා නේද? කොහොමද ඉතින් ජීවිතේ?”
”ජීවිතේ ඉතින් පත්තරේම තමයි… අමාරුයි තමයි ඒත් කරන්න දෙයක් නෑ. අමාරුකම් මැද ගැටගහගෙන යනවා” මං පිළිතුරු දුන්නා.
”අමාරුකම් තියෙන බව දන්නවා. ඔයාගෙ ප‍්‍රශ්නයක් අපිත් එක්කත් බෙදාගන්න බලන්න. අපිටත් මොනවා හරි කරන්න පුලූවන් වෙයි”
ඈ කියපු වචන කාන්තාරයකදි දකින ක්ෂේමභූමියක් වගේ. පත්තරේ අමාරුවෙන් කරගෙන යන බව දන්න බොහෝ දෙනා පත්තරේ ගැන නිතර අහනවා. ඒත් ඒ අයට පවා ලොකුවට ආර්ථික හයියක් නැති නිසා උදව් කරන්න අමාරුයි. කොහොම වෙතත් ඒ අමාරුකම් මැද්දෙ ජීවිතේ පවත්වාගෙන යන්න අපට උදව් කරන්නෙ දිවයින පුරාම විසිර ඉන්න ඒ වගේම විදේශගතව ශ‍්‍රමය වගුරන සහෘදයන්. ඔවුන් නැත්නම් මේ වෙනකොටත් ‘ජනරළ’ නිහ`ඩ වෙලා.
නම් කරලා ඉවර කරන්න බැරි තරම් පිරිසක් පාඨකයන් ලෙස අපේ ජීවිත සමඟ බැඳී ඉන්නවා. ඔවුන් විසින් පත්තරේ මිලදී ගැනීමෙන් වැය කරන මුදල අපට විශාල ශක්තියක්. ඒත් සමහර සහෘදයන් පත්තරේ මුදල විතරක් නෙවෙයි, පත්තරේ කට්ටිය ජීවත් කරවන්නත් යම් දායකත්වයක් දක්වනවා. ඒක කවදාවත් අපේ ලිවීමෙන්, කෘතවේදී වීමෙන් පමණක් පියවන්න හැකි උපකාරයක් නෙවෙයි. ඒ සහයෝගය අගය කරන්න වෙන්නෙ අපේ ක‍්‍රියාකාරිත්වයෙන්මයි. ‘ජනරළ‘ කට්ටියගෙ පෑන්වලට ධෛර්ය සපයන, සටන් කරන අකුරු පණගන්වන වචනයකින් හෝ සුළු මුදලකින් හෝ කියැවෙන්නෙ අප ජීවත්වන විදිය වෙනස් කරන්න ඇති අධිෂ්ඨානයයි.
එහෙම අධිෂ්ඨානයක් ඇති මිනිසුන් අතර උරෙන් උර ගැටෙමින් සටන් කරන්න අපි අපේ පෑන් තව තවත් වේගවත්ව සවිමත්ව අල්ලා ගත යුතුයි. කෲරත්වය, අධමත්වය රජකරන විට ඊට එරෙහිව නැඟී සිටින උන් පවා සමහරවිට වැඩ කරන්නෙ ඒ කෲරත්වයටම දායකත්වය දෙමින්. නගර වීදියේ හෝ පිටිසර ප‍්‍රදේශයක විරෝධතා දක්වන මිනිසුන් සබුද්ධික කරන්න රුධිරයෙන් වුවත් ලියන්න වෙන්නෙ ඒ තත්වය වෙනස් කරන්න කැපවුණු අධිෂ්ඨානයකින්.

අරගලයේදී හුදෙකලා වීමක් නැත…..!

“ෆී එක දෙන්න පුළුවන්ද? අවුලක් නැද්ද….“

එවැනි වචන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. අධිකරණයකදී අමිහිරි අත්දැකීම් අතර එය අපූරු අත්දැකීමකි. උසාවියෙන් නැඟිට එළියට එන්න සූදානම් වන අවස්ථාවේ නීතිඥවරිය මා වෙත ආවේ ඊළඟ නඩුව පිළිබඳ කතාබහ කරන්නටය. ඉන්පසුව මම පසුම්බිය එළියට ගත්තෙමි.
නීතිඥවරිය ඇසූ පැනය අධිකරණ භූමියකදී මා ඇසූ සුන්දරම වචන කීපය බව කිව යුතුය. වසර කිහිපයක්ම අධිකරණයේ පෙනී සිටින මට ඒ අත්දැකීම අලූත්ය. ඒ නිසා කිවහැක්කේ කළුකෝට්කාරයන් ගිනිකන කට්ටිය බවට කියන කතා සියල්ල සත්‍ය නොවන බවය. පුවත්පත් කලාවේදීන් වෙනුවෙන් කෙසේ වෙතත් යුක්තිය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් සටන් කිරීමේ වරදට චෝදනා ලැබූවන් වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකොට පෙනී සිටින නීතිඥවරු සිටිති.

එවැනි මිනිසුන් අධිකරණයේ මෙන්ම පොදු සමාජයේද අඩු බව ඇත්තය. එහෙත් මිනිස් ආධ්‍යාත්මයක් ඇතිව සිය වගකීම ඉටු කරන පිරිසක් සෑම සියලූ ක්ෂේත‍්‍රයකම සිටිති. එහෙත් අපේ යුගයේ වඩා අමිහිරි කාරණය නම් අයහපත් මිනිසුන්ගේ ක‍්‍රියාකාරිත්වය නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාව බවට කියමනක් තිබේ. යහපත් මිනිසුන් සක‍්‍රීය බවෙන් අඩු වුවහොත් මේ ලෝකය නීරස අපායක් වනු ඇත.
පත්තරකාරයෙක් හැටියට වසර දහනවයක කාලය තුළ මා අධිකරණයට කැඳවූ පළමුවැනි අවස්ථාව වූයේ ලේක්හවුස් ආයතනය පිළිබඳ හෙළිදරව් කිරීම් සහිත ලිපි පෙළකි. එහිදී ‘ලංකා’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ හැටියට මට එරෙහිව පළමුවැනි විත්තිකරු ලෙස චෝදනා නඟමින් නඩු තුනක් පවරනු ලැබිණි. දෙවැනි හා තෙවැනි විත්තිකරුවන් වූයේ ප‍්‍රකාශක හා මුද්‍රණකරුය. ඉන්පසුව, අධිකරණයට යන්නට මට සිදු වූයේ රාජපක්ෂ ජනාධිපතිවරයා විවේචනය කළ වරදටය. 2010 වසරේ ජනාධිපතිවරණයට පසු ජනවාරි 28 වැනිදා මා අත්අඩංගුවට ගනු ලැබූවේ රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයෙනි. දින 18ක් තිස්සේ හතරවැනි තට්ටුවේ රඳවා තබනු ලැබූ මා පෙබරවාරි 16 වැනිදා ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිණි. කිසිදු චෝදනාවක් ඉදිරිපත් කරන්නට අදහස් නොකරන බව පවසනු ලැබූ නිසා මා නිදහස් කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා උපදෙස් දුන්නේය. ඉන්පසුව අවස්ථාවක කලූතොට මුල්‍ය ආයතනය සම්බන්ධව විවේචනාත්මකව ලියැවුණු පුවතක් නිසා අධිකරණය වෙත යන්නට සිදු විය.

@seminarමේ ආකාරයට ‘ලංකා’ පුවත්පතට අදාළව නඩු අටකට මුහුණ දෙන්නට මා හට සිදු විය. ඉන්පසුව ‘ජනරළ’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ වශයෙන්ද පවරනු ලැබූ නඩුවක් සඳහා අධිකරණය වෙත ගියෙමි. මෙසේ පුවත්පත් කතුවරයකු වීමෙන් එහි වගකීම යටතේ ලියැවෙන පුවත් හා ලිපි වෙනුවෙන් අධිකරණයට යාමට සිදු වීම නිසා කළුකබාකාරයන්ගේ ඇසුරක් ලැබිණි. ප‍්‍රගතිශීලී මිනිසුන් මෙන්ම අමු කුහකයන්ද ඒ අතර විය. ඒ බොහෝ අවස්ථා ඇත්ත වශයෙන්ම ජීවිතයට අලූත් පාඩම් කියාදෙන අධ්‍යාපනික අත්දැකීම් විය.
දේශපාලන හේතු මත ‘ලංකා’ පුවත්පතෙන් ඉවත්වන්නට තීරණය කළ පසුව නීතිඥ වටගල මා වෙනුවෙන් පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවද එවැනි තවත් අත්දැකීමකි. ‘ලංකා’ පුවත්පත වෙනුවෙන් අධිකරණයට යන්නට සිදු වීම කනගාටු වන්නට හේතුවක් නොවීය. එහෙත් එක්ව සටනක යෙදුණු මිනිසුන් ඒ සටන වෙනුවෙන් පෙනී සිටීමට ප‍්‍රතික්ෂේප කිරීම දරාගන්නට සිදුවන ඇත්ත තත්වයකි.

පත්තරකාරයකුගේ සටන් බිම තුළ ඉන්නේ තොරතුරු මූලාශ‍්‍ර සපයන මිනිසුන්, පත්තර කලාවේ සගයන් හා පාඨක සහෘදයන්ය. පසුගිය සතියේ සටහන් කළ ආකාරයට බැණ වදින්නට, අගය කරන්නට හෝ වෙනත් ප‍්‍රතිචාර දක්වන්නට පාඨක සමාජයක් සිටී. ඔවුන්ගේ අරමුණු වෙනස් විය හැකිය. නමුත් පත්තරකාරයාගේ අරගලය සුබපැතුම් සහිතව ආරක්ෂා කරන්නන් දුලබය.
අධිකරණ භුමියේ කළුකබා යටින් හදවත් ගැහෙන රිද්මය මට ඇසේ. නීතිඥවරුන්ට විශාල මුදලක් ගෙවන්නට හැකියාවක් අපට නොමැත. නමුත් හැකි ආකාරයෙන් ගෙවීමක් කරන්නට අවස්ථාව දෙන නීතිඥවරුද අයකිරීමකින් තොරව ඉදිරිපත් වන නීතිඥවරුද සිටිති. වමේ දේශපාලනය යනු සාමූහිකව කරන අරගලයක් බව ප‍්‍රකට කාරණයකි. එහෙත් දක්ෂිණාංශික දේශපාලනයේදීද ඇත්තේ සාමූහිකත්වය පිළිකෙව් කරන සාමූහික ප‍්‍රයත්නයකි. වමේ දේශපාලනය යනු හුදු සාමූහිකත්වය නොව, සාමූහික මිනිස් ජයග‍්‍රහණ වෙනුවෙන් පෙළගැසෙන මිනිස් සාමූහිකත්වයකි. එය, පීඩිතභාවයට එරෙහිව සහෝදරත්වයෙන් සාමූහිකත්වයෙන් පෙළගැසෙන්නකි. ඒ නිසා වමේ දේශපාලනයේදී පත්තරකලාව පවා සාමූහිකත්වය තුළ පෙළගැසෙන්නකි. වමේ පත්තරකලාවක් නැතැයි කියන පත්තර කලාවේ යෙදෙන වුන් අතර සහෘදයන් මෙන්ම වෙනත් මාවත්වල යන්න වුන්ද සිටී.

කෙසේවෙතත්, අධිකරණයට කැඳවන ලද බොහෝ අවස්ථාවල යන්නට සිදු වූයේ තනිවමය. වෙනකක් තබා ඒ නඩුවට ප‍්‍රස්තුත වූ පුවත හෝ ලිපිය ලියූවන් පවා අධිකරණය වෙත පැමිණියේ නැත. සටන් බිමක හුදෙකලා වීම අමිහිරි යැයි ලිවිය හැක්කේ ඒ අත්දැකීම් හේතුවෙනි. එහෙත්, සාමූහික අරමුණු වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් සටන්බිමේ හුදෙකලා වීම නිතර සිදුවන දෙයකි. එයින්ම අරගලයේ යෙදෙන වුන් පන්නරය ලබයි. සටනේ සාමූහිකත්වය ආරක්ෂා කළද ඒ හුදෙකලා මිනිසුන් තුළද අරගලයක් විය යුතුව ඇත. සාමූහිකත්වය මෙන්ම සාමූහිකත්වය වෙනුවෙන් කොන්දේසි විරහිත අරගලයද වැදගත්ය. නීතිඥවරියකගේ මුවින් පිට වූ ඒ වචන කීපය නිසාම මගේ පීඩිත හදවත තුළ පැවැති මෙවන් අදහස් පෙළක් සටහන් විය. එය කිසිවකුගේ දෝෂයක් ගැන කියන්නට නොව, ලැබූ අත්දැකීම් මෙසේ සටහන් කෙරෙන්නේ මතු දවසේ හෘදසාක්ෂියක් ඇතිව පෑන අල්ලන සගයන්ට මේ අත්දැකීම් පවරා දිය යුතු බැවිනි.

Advertisements