Archive for the ‘ Social Justice ’ Category

බල්ලන්, බූරුවන් පරාජය කළ ශිෂ්‍යයෝ…!

panhindaඅධිකරණයට අයත් වැඩ ද තිබේ. අධිකරණය වුවද අත නොගැසිය යුතු වැඩ ද තිබේ. බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යා යුතු නැති බව නීතිය නොවේ අකුරක් පවා නූගත් ගැමියෝ වුවද හොඳහැටි දනිති. එහෙත් අපේ රටේ ජනතාව ගොන්නුන් යැයි සිතා සිටින බූරු වහන්සේලාට ජයවේවා! උන් නීතියට මුවා වී ආණ්ඩුවේ මල අසූචි හෝදන්නට යන බව ඔප්පු වී හමාරය. අසූචි නාගන්නේ ඒ ආකාරයෙන් තමන්ට අයිති නැති දේ කරන්නට යන පක්කලි මහත්වරුන් නෝනාවරුන්ය. ඇතැම් විට එවැනි පක්කලියන් විනිශ්චය ආයතනවලට පත් කරන්නේ ද ආණ්ඩුව කරවන උන්මය. උන් උන්ගේ හැටියට වැඩ කරති. පාලකයෝ පාලනය ගෙන යන්නේ ජනතාව පෙළමින්ය. ඒ පාලනය සාධාරණිකකරණය කිරීම පක්කලියන්ගේ රාජකාරිය විය හැකිය. එහෙත් එය අධිකරණයේ කාරිය විය නොහැකිය.

මේ පූර්විකාව කියන්නට සිදු වූයේ ජනතාවට විරෝධය පළ කිරීමේ අයිතියක් නැති බවට පූර්ව නිගමනයකින් යුතුව කටයුතු කරන විනිසුරුවරුන් සිටින නිසාය. එවැනි විනිසුරුවරුන්ට කිව යුත්තේ තනතුරේ ගෞරවය ආරක්ෂා කරන්නට නොහැකි නම් පාලකයන්ගේ ගෙවල්වල වළං පිඟන්, කිළිටි රෙදි සෝදා යැපෙන්නට සූදානම් වන ලෙසය. ඇතැම් විනිසුරුවරු වෘත්තීය සමිති නායකයන්ට අයිතීන් දිනා ගන්නට සටන් කිරීම ගැන නියෝග පනවති. තවත් විනිසුරුවරු මහජන උද්ඝෝෂණවල යෙදී සිටි හේතුව නිසා මිනීමැරුම්වලට සම්බන්ධ යැයි පොලිසිය විසින් කියන ගම්වාසීන් වැලිකඩට දක්කති.

තවත් විනිසුරුවරු පාලකයන්ගේ පඩුරු පාක්කුඩම් ලබා ගන්නට උන්ගේ මන්දිරවලට බඩ ගාති. එහෙත් කොට්ටෝරුවා කොටා ගෙන ගොස් කෙසෙල් ගහට කෙටූ විට සිදු වන්නේ හොට පැටලීමයි. ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ඊයේ පෙරේදා පැවැත්වූ පෙළපාළිය නිසා එසේ හොට පටලවා ගත් උන් කීප දෙනෙක්ම වූහ. මේ ශිෂ්‍යයන් විරෝධය පළ කළේ හේතු ඇතිවය. ‘සම සෞඛ්‍ය’ උපාධිය කප්පාදු කිරීම ගැන තමන් ගෙන යන විරෝධතාව ගණනකට නොගත් නිසා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට ඊට විරෝධය පළ කර සිටීම ශිෂ්‍යයන් සතු අයිතියකි. එය උදුරා ගන්නට පාලකයන්ට හෝ පාලකයන් විසින් උසි ගැන්වූ පොලිසියට හෝ පාලකයන් විසින් කඬේ යවනු ලබන විනිසුරුවනට නොහැකිය.

සම සෞඛ්‍ය උපාධි අයිතිය ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කැඳවා තිබුණු විරෝධතා පෙළපාළිය ගැන අධිකරණය දී තිබුණේ අපූරු නියෝගයකි. එහි දී කියා තිබුණේ සිසුන් කොළඹ නගරයේ ස්ථානවල විරෝධය කළ යුතු නැති බවයි. කරනවා නම් උද්ඝෝෂණය කොටුව දුම්රියපොළ ඉදිරිපිට කළ යුතු බව අධිකරණයේ නියෝගය විය. විරෝධතාවක් පළ කරන්නේ යම් විරෝධයක් ඉදිරිපත් කිරීමටය. විරෝධය පළ කරන්නට සුදුසු තැන එය නොකර වෙනත් තැනක විරෝධය පළ කරන්නේ නිවටයන්ය. ශිෂ්‍ය ව්‍යාපාරය කිසිදා නිවටකම් කරන්නේ නැති බව පසුගිය දා යළි සනාථ කළේය. ඒ ශිෂ්‍ය විරෝධය සංවිධානය කරන බව දැනගත් වහාම පාලකයන්ගේ නියමයෙන් පොලිසිය බත්බැලයන් පිරිසක් කළේ අරුම පුදුම නාඩගමක් නැටීමය.

ඔවුහු අධිකරණය හමුවට ගොස් ශිෂ්‍ය උද්ඝෝෂණ පැවැත්වේ යැයි ඔත්තු සේවා වාර්තා කළ ස්ථානවල දී කිසිදු විරෝධතාවක් හෝ නොපැවැත්විය යුතුය යන නියෝගයක් අධිකරණයෙන් ලබා ගත්හ. ඒ මදිවාට උද්ඝෝෂණ කළ යුතු තැන ලෙස කොටුව දුම්රියපොළ ඉදිරිපිට අධිකරණය හරහා නම් කිරීමට ද මේ බත්බැල නිලධාරීහු සමත් වූහ. අධිකරණය කළ යුත්තේ යුක්තිය පසිඳලීම මිස බල්බැලයන් කියන කියන විදිහට පාලකයන්ට අවශ්‍ය නියෝග නිකුත් කිරීම නොවේ.

ඉතින්, විරෝධය පළ කිරීමේ අයිතිය තමන් සතු බව අධිකරණයට වඩා හොඳින් දන්නා ශිෂ්‍යයෝ අධිකරණ නියෝගවලින් පසුබැස ගියේ නැත. ඒ ශිෂ්‍ය ව්‍යාපාරය අඩපණ කිරීමට අධිකරණය හරහා ශිෂ්‍ය නායකයන් පිරිසක් නම් කරමින් ඔවුන්ට විරුද්ධව නියෝග ගැනීමට ද පාලකයන්ගේ කටු ලෙව කන නිලධාරීහු සමත් වූහ. ඉතින් උන්ට මකුළු දැලින් හමන සුළං වැළකිය හැකි වූයේ නැත. ශිෂ්‍ය නායකයන්ගේ මව්පියන්ට තම නිවෙස් අයිති ප‍්‍රදේශයේ පොලිසියට වාර්තා කරන ලෙසට දන්වා තිබේ. ජනතාව මර්දනය කිරීමේ කැත හෙලූව මේ තරම් ඉක්මනින් පෙන්වීමට පාලකයන් ඉදිරිපත්ව තිබේ. තම දරුවන් වයස අවුරුදු 18 ට වැඩි නිසා ඔවුනට යම් මතයක් දැරීමට හා ක‍්‍රියාමාර්ග ගැනීමට අයිතිය ඇති බව මව්පියන් විසින් පොලිසියේ දී ප‍්‍රකාශ කර තිබේ.

පාලකයන්ටත් බත්බැල පොලිසියටත් බල්ලාගේ වැඬේ කරන්නට යන අධිකරණයේ බූරුවන්ටත් පාඩමක් ඉගෙන ගන්නට නොහැකි වූ බව දනිමු. මන්ද නියෝග කඩකල ශිෂ්‍ය නායකයන්ගෙන් පලිගැනීම අරඹා ඇති බැවිනි. අධිකරණය තමන්ට අයිති නැති නියෝග නිකුත් කිරීම මෙතැනින් නවතින්නේ නැති බව ද සහතිකය. එහෙත් බල්ලාගේ වැඬේ කරන්නට යන බූරුවන් කොහේ සිටියත් උන්ට හිස නැවිය යුතු නැති බව පෙන්වා දුන් ශිෂ්‍ය ව්‍යාපාරයට ජයවේවා! නියෝග කඩදාසිය දෙකට නවා …. ගසා 07 වැනිදා පැවැති පෙළපාළියට ගිය ශිෂ්‍යයන්ට සුබ පතමින් මේ සටහන නිමා කරමි.

Advertisements

පශ්චාත්තාපයේ කවිය

[චෝදනා නැතිව, අවුරුදු දාසයක් කූඩුකර, දේශපාලන රැඳවි ජීවිතේ ගෙවන, තිරුමගල්නැඟෙණිය ඇතුළු සියලුම දෙමළ සහෝදර සහෝදරියන් වෙනුවෙනි.]

ලියුවා ඇහුවාම

නුඹ ගැන

තිරුමගල් නංගියේ

උඹලාව කූඩුකරවන්නට
හිතාගෙන ලියුවේ නැතත්
කූඩුවේ හිටි අපි
ලියූ දේ ඇවිළී
අද උඹලා මෙන්ම
අපිත් පිච්චි පිච්චී
දැවෙනවා නංගියේ

පිටතත් ගිනි
ඇතුළතත් ගිනි
පිටතින්…..
අපි ලියූ අකුරු
පුච්චා නළලේ අළු ගා
කෝවිලට අරක්ගත්
හොර පූසාරිගේ දුම්මල වරම

ඇතුළතින්
උඹලා කූඩුකර
උඹලගෙත් අපෙත්
හිත්වල ඇවිළවූ ගින්දර

ඊටත් වැඩියි
සියොළඟ දවයි
ලියූ අකුරු ගැන
පශ්චාත්තාපය

නොහැකියි ගිනි නිවන්නට
දැන් ඉතින්…
නිවී සැනසිය නොහැක
ඇවිළ යන අපේ ගිනි
තව තවත් අවුළුවා
නුඹත් අපත් පෙළන
ගිනිගත් ලෝකය
අවසානයක් කළයුතුය

දැවේවා, අළු ධූලි විය යුතු සියල්ල
දැවේවා, නුඹලා කූඩු කළවුන්
දැවේවා, අපේ හදවත් ගිනි තැබූ උන්

නොලියා සිටිය නොහැකිය

කෙටිකතාවක් කියවලා හැඟීම්බර වෙලා කඳුලක් ආවා. ඒ කතාව ලියු සහෘදයට දුරකථනයෙන් ඇමතුවා.

ඔහු ජිවකවරයෙක්. ඈත ගම්මානයක ළමා වෛද්‍ය සායනයක අත්දැකීම් ඔහු ලියලා තිබුණෙ. දරාගන්න බැරි වේදනාවක් ඇති වෙන කරුණු.

දුප්පත්කම, නොදැනුවත්කම, පසුගාමිත්වය, සමාජ අසාදාරනය මේසේරම එකට පෑහිලා…

දරුවො හැටියට කරපු නැති වරදකට දරන්න බැරි වේදනා විඳින කොට….

මට මගේ දරුවගෙ මූන පෙනුනා. කරන රස්සාවෙ හැටියට ඈටත් නිතරම දුක් පීඩා විඳින්න නියමිතය.

ඒත් ඈ විතරක්ද?
ඈත ගම්මානවලත්, මෑත නගර වීදිවලත් දරුවො… කුසගින්න, සූරාකෑම, අනාරක්ෂිතකම….

උන් හැමදාම නොකරපු වරදකට වද වේදනා විඳනවා. කවදා කොහොම මේ අයුක්තිය වෙනස් වේවිද?

භාරතියාර් නම් දකුණු ඉන්දිය කවියාගේ කියමනක් මට මතක් වුණා.
”එක් දරුවෙක් හෝ කුසගින්නේ හඩයි නම්, දියතම මකාලමු අපි!”

සාප නොකරන්, මහත්වරුනේ !

‘‘ළමුන් දෙදෙනා යොදවා සොරකම් කළ වටිනා භාණ්ඩ අතර සෙල්ලම් කාර් දෙකක්’’

–    පුවතක්

රට ගැන හිතන, ටීවී බලන
මහත්වරුනි, කරුණාවන්ත
සාප නොකරනු මැන
අපේ මවුපියන්ට….
නොදරුවන් සොරකමේ යැවු වරදට

සමාජ ශෝධකයිනි,
රහසින්වත් පවු නොකරන
පේන නොකියන්
‘අපොයි මේ මුං පුංචි කාලෙනෙ
තව ලොකු වුනොත් රටම කයි’
දැනටම අපට කන්න දෙයක් නැතුවා

පත්තරකාර මහත්වරුනේ
නොඅසන් මයික් අල්ලා
‘‘ඇයි සොරකම් කළේ නුඹලා?’’
උපන් ගෙයි හොරුන් මෙන්
මානනු එපා කැමරා අප වෙත

අහන්න බැරිද ඔබට
‘ඇයි දරුවනේ නුඹලාට
සිද්ද වුනේ සොරකම් කරන්න ?’
අහන්න බැරි ඇයි
‘මේ තත්වයට ඔබ
ඇද දැමුවෝ කවුරුන්ද?’

සොයන්න බැරිනම් උත්තර
අහන්න ඒවා….
පාඨකයන්ගෙන්
පේ‍්‍රක්ෂකයන්ගෙන්
එස්එම්එස් ගෙන්වන්න නොව,
ඔවුන්ටම හිතන්න !

සුළෙඟ් දැවටෙන තතු – Blowin in the wind

කෙතරම් දුරක් මග ගෙවා යායුතුද
මිනිසකු බව ඔහු ඔබ පිලිගන්නට
කෙතරම් දුර සුදු පරෙවියකු යායුතුද
වාලූකාවේ ඉසිඹුවක් ලබන්නට
වෙඩි උණ්ඩ සදහට නිහ`ඩ කරන්නට
කොපමණ වෙඩි අපි මුදාහරිමුද
පිළිතුර ඇත්තේ මගෙ මිතුරේ
හමන සුළෙඟ පමණයි

කන්දක් සේදී යනු පෙර මුහුදට
තිබියුතුද කොපමණ කාලයක්
නිදහස ලබනා දින එළඹෙන තෙක්
මිනිසුන් කොතරම් කලක් දිවි රැුකගන්නද
කොපමන දවසක් හිස හරවන්නද
කිසිවක් නොපෙනෙන බව අඟවන්නට
පිළිතුර ඇත්තේ මගෙ මිතුරේ
හමන සුළෙඟ පමණයි

අහස කුසම හරිහැටි දැක ගන්නට
මිනිසකු කොපමන හිස ඔසවන්නද
කොපමණ කන් මිනිසකුට අවැසිවෙද
මිනිසුන් හ`ඩනා බව දැනගන්නට
කොපමන පිරිසක් මිය යාතු වෙද
මිනිසුන් මියයන බව දැනගන්නට
පිළිතුර ඇත්තේ මගෙ මිතුරේ
හමන සුළෙඟ පමණයි

——————————————————————————

‘Blowin in the wind’ on YouTube

මෙහි පළවන්නේ
බොබ් ඩිලන්, Bob Dylan (Robert Allen Zimmerman) නමැති අමෙරිකානු ගායකයා විසින් ලියා ගායනා කළ , “Blowin’ in the Wind“,  නමැති ජනප‍්‍රිය ගීතයේ පරිවර්තනයයි. ඔහු ගැයු මෙම ගීතය සහ  ‘The Times They Are a-Changin’ යන ගීතය, අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයටත්  ‘වියට්නාම යුද විරෝධී ව්‍යාපාරයටත් මහත් ජවයක් ගෙන දෙන ලදී.

අප රටේ ‘වීදියේ සටන්කරුවා’ යැයි විරුදාවලි ලද ආචාර්ය ගාමිණි හත්තටෙුවේගම විසින් මෙය මින් පෙර පරිවර්තනය කර සිය වීදි නාට්‍ය සඳහා යොදාගත්තේය. ඔහු විසින් මෙම ගීතය සුගායනීය ලෙස පරිවර්තනය කර තිබුණේ,
‘මිනිසකු වන්නට සුදුසකු වන්නට
මහමං කීයක් තරන කරන්නද’
යනුවෙනි.

කුසගින්නේ සිටිනවුන්ගේ තීන්දුව

තනාපති නිවහනකින් කොස් ගෙඩියක් සොරකම් කළ වරදට දස දහසක් ශරීර ඇප
කොස්ගෙඩිය විනාශ කරන්නට නියෝග

–    අගනුවර අධිකරණයෙන් ඇසුනු පුවතක්

කුස ගිනි ඇවිලෙන විට
සිහිපත් නොවේ නීතිය
මහපුටුවල උත්තමයන් උත්තමාවියන්
කෙසේ නම් වටහාගන්නද
කුසගින්නේ රඟ?

පිටස්තරයන්ය දැන්
ජිවත්වන බිමේ අප…
තානාපතිවරුන් පමනක්ද
විදේශ කොම්පැනිකරුවන්
සූරාගෙන යති අපේ හිමිකම්

වියරුව නැගෙන විට කුසගිනි
නිවනට ආයාචනා කරමු
එවිට….
මුනිවත රකිති නායකයෝ
නිවාගන්නට තැත්කරමු
අපි අපිම කුසගිනි
එවිට….
නීතිය පැමිණේ එරෙහිව

අමාරුවෙන් සොයාගත්
කොස්ගෙඩියද අහිමිය
එයයි නිතියේ පිලිතුර…
මගේ උන් කුසගින්නේ
විනාශ කරති උන් ආහාර
එයයි උන්ගේ යුක්තිය

ඉල්ලා සිටිමු වැඩි වැටුප්
නාස්ති කරති උන් රටේ ධනය
අයිතිවාසිකම් අහිමිව
සුරසැප විඳිති උන් රිසි ලෙස
මේ අවනඩුව විසඳන්නට
සොරකම් කළ යුතුය
උන් අත ඇති බලය

සබඳ අපි කඳු නොවෙමු

‘‘සළන සුසුම සැඩ සුළඟයි
ගලන කඳුළු වැහි වතුරයි
දුකින් වෙලී අන්ධකාරයේ
යන මේ ගමනේ….
අපේ පැතුම් නැවුම් ලොවට
පාර කියනවා….’’
1990 වසරේ කටුගස්තොට ශාන්ත අන්තෝනි ශාලාවේදී ඒ ළයාන්විත ස්වරය සජීවි ලෙස ඇසුවේ ශිෂ්‍යයකු ලෙසය. පේ‍්‍රක්ෂක සමූහය මීයට පිම්බාක් මෙන් නිහ`ඩ කරමින් එහෙත් රසික රසභාව කම්පනය කරමින් ‘කම්පන’ පැමිණියේය. එතෙක් අසා තිබුණු ගුණදාස කපුගේ නම් ගායකයාගේ විශේෂත්වය තුළම නැවුම් හා හෘදයංගම සලකුණක් එදා දැකගත හැකි විය.
සීතල සඳ එළියේ, උන්මාද සිතුවම් ආදී කැසට්පටවලින් ඇසු කපුගේ නම් අපූර්ව ගැඹුරු කටහ`ඩ මේ තරමින් අපගේ මනුෂ්‍ය සිත් ප‍්‍රකම්පනයට ලක්කරවූයේ කෙසේද? ශිෂ්‍යයන් ලෙස අපගේ හදවත්වල විශේෂත්වයක් සටහන් කළ ඔහුගේ පූර්ව ගායනයන් අදත් කපුගේ ගායන අනන්‍යතාවය තුළ ඉන්ද්‍රඛීලයන් බඳුය.
‘‘විදුලි මිණි පහන් දිලී
බොළඳ ගී සිනා රුළි
නිලංකාර අඳුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ….’’
එවකට පාසලේ මිතුරන් අතර ගැයුණු ඒ පදවැල් සමාජ අසාධාරණය පිළිබඳ අප උගත් දෛනික ජීවන අත්දැකීම් විනිවිදිමින් ගැඹුරු මානුෂීය චින්තනයක් කරා අප මෙහෙයවූ සංඥා එළි වූයේය. විශේෂත්වයක් සහිත ගී පදවැල් ඇසෙන මේ රළු එහෙත් ළයාන්විත ගායනය අපගේත් විවිධ වයස් කාණ්ඩවල රසික රසිකාවන්ගේත් ආදර ගෞරවය දිනා සිටින බව පළමුවරට දැකගන්නට ලැබුනේ ‘කම්පන’ ප‍්‍රසංගය රටවටා යන අතරතුරදීය. ඒ වනවිටත් කපුගේගෙන් පළිගන්නට ඔහු ගුවන්විදුලියෙන් ඉවත්කළවුන් පරාජය වී තිබිණි.
එහෙත් ඒ බව පිළිගන්නට අසමත්කම නිසා කම්පන රටපුරා රසිකයන් අතර ඒකපුද්ගල ගී ප‍්‍රසංගයක් ලෙස මිස එවකට රාජ්‍ය ඒකාධිකාරය සහිත වූ ගුවන්විදුලි මාධ්‍යයෙන් අසන්නට නොලැබිණි. කැසට් පටයක් ලෙසින් කම්පන අප අතරට පත්වනවිට රසික සමූහය සිය දහස්ගණනින් වැඩිවී තිබිණි. බිහිසුණු අත්දැකීම්වල භීතියෙන් මුසපත්ව තිබුණු නිසා එවකට නිද්‍රොපගතව සිටි මිනිස් සමාජය දේශපාලනික පෙලගැසීම ඔස්සේ යළි පනගසන්නට විය.
එහෙත් ගුණදාස කපුගේ වඩ වඩාත් මානුෂීය ගායනා විලාසයක් ඔස්සේ වඩා දේශපාලනික නිර්මාණ අප අතරට පත්කර තිබිණි.
‘‘බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු
නිම්න භූමියේ මනරම් මාළිගාව කෝ’’

‘‘අහස උසට නැගගියාට නැහැනෙ අහසෙ රැුඳෙන්නේ
අහසෙ මාළිගා හැදුවට අප පොළොවෙයි සිටින්නේ’’

‘‘සබඳ අපි කඳු නොවෙමු උන්නු පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන’’

‘‘වියළි ගිය දෙතනේ නැත කිරිබිඳුවක් එරුනේ
වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් තැනුනේ’’
මේ ගීත සමුචචය විශේසයෙන් යොව්න වයසේ ලාංකීය මිනිස් ප‍්‍රජාව මුහුණ දෙන ඉරණම විනිවිද දකින්නට ගෙන තිබුනු උත්සාහය සමාජ අසාදාරණයට එරෙහි යොවුන් පරපුරේ අවදානයට ලක් විය. නිසැක වහයෙන්ම එය හුදු තරු උන්මාදයක් නිසා ගීත කලාව පසුපස යන වර්තමාන තරුන තරුණියන්ගේ ප‍්‍රවනතාවයට වඩා අතිශය ගැඹුරු රසිකත්වයක් තරුන පරපුර තුළ ඇතිකරවීය. ඒ නිසා ම ගුණදාස කපුගේ ගායනා කළ ගීතවල සාහිත්‍යමය හා හෘදයංගම බව වින්දනය කළ තරුණ තරුණියන්ට හිමිවූයේ ව්‍යාජ රසිකත්වයක් නොව ජිවිතාවබෝධයකි.
‘‘දුක හාදු දෙන රැුයේ සිත පතුලට ම වලා
යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා’’

‘‘වැරහැලි හැඳ අඩු කුලියට සළු මසන කුමාරි
ඉඳිකටුව අතේ ඇණුනාදෝ නිදන කුමාරී’’

‘‘සීත පිනිබිඳු කඳුළු සලනා මළානික තරු වැලපෙනා
පාලූ මාවත තනිවෙලා
නැගෙණියේ නුඹ කා පතාදෝ මගබලා ඉන්නේ’’

මේවනවිට වාණිජවාදයට යටවුනු පුරුෂාර්ථයන් නිසා පටු හා පැතලි පරිභෝජනවාදයක ගිලී සිටින අපේ සමාජයට එකී ගොහොරුවෙන් මිදෙන්නට යම් ශක්තියක් උපදවන්නට හැකිවන්නේද ගීතය, සාහිත්‍ය බඳු කලා මාධ්‍යයන් තුළින් බව අපගේ හැඟිමයි. දැනුවත්ව සාහිත්‍ය කලාව පෝෂණය කිරීමත් රසවින්දනයට යොමුකරවීමත් අපේ කාලයේ ජනමාධ්‍යකරුවාට හිමි වගකීමක් වන්නේ එබැවිනි.
ගුණදාස කපුගේ ඉතිරිකර තබා ගිය දෙයක් තිබේ. එසේම අපේ කාලයේ විකල්ප ගීත අභ්‍යාසයන්හි යෙදෙන නැවුම් තරුණ ගායක ගායිකාවන් කලාතුරකින් හෝ යම් දැක්මක් සහිතව වැඩකරනු දැකගත හැකිය. එවැනි උත්සාහයන් දිරිමත් කිරීමත් වැඩි වැඩියෙන් සමාජ අවධානයට පත්කිරීමත් අවශ්‍යය. වසර අටකට පෙර අප අතරින් නික්ම ගිය ගුනදාස කපුගේ සම්බන්ධව ලියැවුණු මේ සටහන තුලින් එවැනි යමක් කරන්නට ඔබ ධෛර්යමත් වූවා නම් එසේ වූ කපුගේ සැමරුම හරයාත්මක වටිනාකමක් සහිත කටයුත්තක් වනු ඇත.

Advertisements