Archive for the ‘ Journalism ’ Category

උපාධි විකිණීම හා දැන්වීම් ආදායම

CAM03877මාලඹේ පිහිටා ඇති මුදලට වෛද්‍ය උපාධි පිරිනමන බව කියන ආයතනය ගැන අප විසින් කාලයක් තිස්සේ කළ හෙළිදරව්ව කිසිදු බලධාරියකුගේ කනට ඇසුණේ නැත.

විශේෂයෙන් රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි මෛත‍්‍රීපාල සිරිසේන පවා උපාධිය මුදලට විකුණන කාර්යයට සහාය පළ කළේය. එවකට උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක කීවේ අධ්‍යාපනය පෞද්ගලික අංශයට අවකාශ දෙන එක සිය රාජ්‍ය ප‍්‍රතිපත්තිය බවයි. එහෙත් සරසවි ශිෂ්‍ය ප‍්‍රජාව ඊට විරෝධය පළ කරමින් නිරන්තර අරගලයක යෙදුණි. ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙමින් අන්තරය නිදහස් අධ්‍යාපන අයිතීන් රැකගැනීම පිණිස වෙහෙස මහන්සි වී ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කරමින් සටන් වැදුණි.

නිදහස් අධ්‍යාපන අයිතීන් රැකගැනීමේ සිසු ජන පෙළගැස්ම සඳහා මමද එක් වූයෙමි. එහෙත් රට පුරා හතළිස් තුන් ලක්ෂයක් ශිෂ්‍ය ප‍්‍රජාවටත් ඔවුන්ගේ මාපියන්ටත් එස්බීගේ අත්තනෝමතිකත්වයට අභියෝග කිරීම පහසු නොවීය. කවුරුන් කෙසේ කීවත් ඒ පිළිවෙත ඉදිරියට ගෙන යන බව කී ඔහුගේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සරසවි සිසුන් ගෙන ගිය විරෝධය වෙඩි තබා, කුලූ පොලූ පහර දී පොඩි පට්ට්ම් කෙරිණි. ජානක හා සිසිත වැනි ශිෂ්‍ය නායකයන්ට අබිරහස් මරණය හිමි විය. සිය ගණනක් සිසුන්ගේ පන්ති තහනම් කෙරිණි. තවත් සිය ගණනකට ව්‍යාජ චෝදනා නගමින් විනය පරීක්ෂණ කැඳවන ලදී.  දුසිම් ගණනක් සරසවි ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන්ට සරසවි බිම තහනම් කෙරිණි. දාහක් හෝ සරසවියෙන් ඉවත් කර දමා එය ක‍්‍රියාවේ යොදවන බවට එස්.බී. වහසි බස් කීවේය. අවසානයේ එස්.බී. ඇතුළු රාජපක්ෂ පාලනය ගෙදර යවමින් මහා ජන පෙළගැස්මක් නිර්මාණය වූයේ අධ්‍යාපන අයිතීන් වළලා දමන එස්.බී. ඇතුළු රාජපක්ෂ පාලනයට එරෙහිව දීර්ඝතම අරගලයක් ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ගෙන ගිය නිසාය. විරෝධයේ පළමු ගිනිදලූ ඇවිළවූයේ ශිෂ්‍ය ව්‍යාපාරයයි. සෙසු ජනතා බලවේග නිද්‍රාවට පත්ව සිටියදී ඔවුන් අවදි කළේ වීදි පුරා විරෝධතා සටන් පාඨ මුරගාමින් කඳුළු ගෑස් හා ඇමෝනියා ජල පහර කමින් ඇද වැටෙමින් යළි නැඟිටිමින් සටන් වැදුනු ශිෂ්‍ය ක‍්‍රියාකාරින් විසින්ය.

එදා රාජපක්ෂ පාලනයේ රස මසවුලූ වළෙඳමින් යෙහෙන් වැජඹුණු කිසිදු ඇමැතියෙක් ශිෂ්‍ය අරගලය වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඒ නිසාම මාලඹේ උපාධි කඩය පවත්වාගෙන යාමට හැකිවූයේ වත්මන් ජනාධිපති සිරිසේනගේද දායකත්වයකි. රාජපක්ෂ පාලනය ගෙනගිය පිළිවෙතට අනුව එදා අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කරන්නට වහසි බස් දුන්, මාලඹේ උපාධි කඩය වෙනුවෙන් පෙනී සිටි එස්.බී. අද ඔහුගේ ඇමැති මණ්ඩලයේ සමාජ සුභසාධන ඇමැතිවරයාය.

අද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පෞද්ගලික උපාධි ආයතන පවත්වාගෙන යාමට විරුද්ධ නැත. රාජපක්ෂ පලවා හැරි පසුව ඔහුගේ පාලනය සියතට ගෙන ඉදිරියට ගෙනයාම හැර විකල්පයක් සිරිසේන-රනිල් හවුල් ආණ්ඩුවට නැත. ඒ නිසාම ශිෂ්‍ය ව්‍යාපාරය අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහිව ගෙන ගිය අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුව ඇත.

රාජපක්ෂ පාලනය හෝ වත්මන් හවුල් පාලනය අධ්‍යාපනය විකිණීමේ පිළිවෙතක සිටින බව දැන් රහසක් නොවේ. එහෙත් ජනතාව වෙනුවෙන් වැඩ කරනවාය කියන විවිධ පුද්ගලයන් රාජපක්ෂ පාලනය යටතේද දැන්ද ඊට අනුග‍්‍රහය දක්වන බව හෙළිදරව් විය. මේ අතර විවිධ ජනමාධ්‍ය ආයතන මාලඹේ උපාධි කඩයට කඬේ යමින් සිටී. සත්‍ය වෙනුවෙන් බයිලා කියන මේ ඇතැම් මාධ්‍ය ආයතන වෛද්‍ය උපාධි විකුණන්නට මාලඹේ පිහිටුවන ලද ආයතනය සහ ඊට අනුබද්ධ රෝහල දක්වා ක‍්‍රියාවලියේ වංචනික බව වසන් කරති. මේ ජනමාධ්‍ය ආයතනවලට මිලියන ගණනින් දැන්වීීම් ලැබෙන නිසා නිදහස් අධ්‍යාපන අයිතීන් වළලා දැමීම ඔවුන්ට එතරම් ගැටලූවක් නොවේ. වරක් එක්තරා සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතක මුල් පිටුවේ පුවතකට වෛi නෙවිල් ප‍්‍රනාන්දු නම් ව්‍යාපාරිකයාගේ ප‍්‍රකාශයක් ගෙන තිබුණි. ඔහු පවසා තිබුණේ මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට විරුද්ධ වන අයට ශාප වන බවයි. ජාතික මට්ටමේ පුවත්පතක මෙවැනි පුවතක් පළ වන්නේ ඇයි? විශේෂයෙන්ම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සිටින පුවත්පත්වල මෙබඳු ජුගුප්සාජනක තත්වයන් ඇති වන්නේ මිලියන ගණනින් ගෙවන දැන්වීම්වලට පුවත්පත්කලාව යටපත් කෙරෙන බැවිනි.

එක්තරා විද්‍යුත් මාධ්‍ය ආයතනයක උදෑසන සංවාදයක් සඳහා මාතෘකාව වූයේ උපාධි විකුණන්නට  ඇරඹුණු මාලඹේ පිහිටි ආයතනය පිළිබඳවයි. එහිදී එම ආයතනයට පක්ෂ කිහිපදෙනකු සාකච්ඡුාවට සම්බන්ධ වූවද ඊට විවේචන ගෙන එන කිසිවකු සම්බන්ධ නොකෙරිණි. ඒ ගැන විමසීමට ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයකු දුරකථනයෙන් කතා කළ විට ලැබී තිබුණේ අපූරු පිළිතුරකි. අදාළ ආයතනයේ ප‍්‍රකාශකයෙක් කියා සිටියේ තම ප‍්‍රධානීන්ට එල්ල වුණු දේශපාලන බලපෑමක් නිසා මෙවැනි ආකාරයට පක්ෂග‍්‍රාහී වන්නට සිදුව ඇති බවයි. දේශපාලන පක්ෂපාතීත්වය නිසා විවිධ පහත් වැඩ කරන ආයතන විසින් මෙවැනි බොරු හේතු දැක්වූවද ඇත්ත කාරණය නම් හතළිස්තුන් ලක්ෂයක ශිෂ්‍ය ප‍්‍රජාවට වඩා ඔවුන්ට හිමි වන මිලියන ගණනින් දැන්වීම් ආදායම් වැඩි වටිනාකම් සහිත බවයි.

ප‍්‍රධාන කර්තෘවරුන් ලෙස පත්ව සිටින ප‍්‍රවීණ පත්තරකාරයන් ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටියද ඔවුන්ට තම පුවත්පත්වලදී එවැනි යමක් පෙන්වන්නට නොහැකි වන්නේ ඊට වඩා මේ දැන්වීම් ආදායම් බලවත් නිසාය. නිදහස් අධ්‍යාපන අයිතිවාසිකම් භුක්ති විඳිමින් විවාදවල නිදහස් අධ්‍යාපනය ගැන තර්ක කළ පුද්ගලයන් මාධ්‍ය ආයතනවල වගකීම් ඉසිලූවද ඔවුන්ට පවා දැන්වීම් ආදායම් ප‍්‍රශ්නය හමුවේ හෘදසාක්ෂිය හකුලන්නට සිදුව ඇත.

Advertisements

‘නරක උන්‘ සහ ‘හොඳ උන්‘ ඇසුරෙහි…

‘මචං මම කවි පොතක් ගැහුවා….’
ඒ සතුටුදායක පුවත මා සමඟ බෙදා ගත්තෙ කාලයක් තිස්සෙ හිතවත් පත්තර මිත‍්‍රයෙක්. පසුගිය දිනවල පොත් සල්පිලේදි එසේ පළ කළ පොත් ගැන බොහෝ සහෘදයන්ගෙන් අසන්නට ලැබුණා.
මවකට පියකුට අලූත දරුවකු ලැබීමට සමාන සතුටක් එයින් උපදවනවා. ඒ පුවත නිසා සතුටක් වගේම කනගාටුවක් මට ඇති කරවනවා. මිතුරා කාලාන්තරයක් වැගිරූ නිර්මාණාත්මක ශ‍්‍රමය එක්තැන් කරමින් පොතක් වශයෙන් පළ කිරීම ගැනයි සතුට. ඒත්, එහෙම කවි පොතක් කරන්න අදහසක් තිබුණත් ඒ සඳහා බර පැන සොයාගන්න බැරිව ළතැවෙන මිතුරන් කිහිපදෙනකු ගැන මම දන්නවා. ඇඹිලිපිටියෙ සජිත් චින්තක කවියා ඉන් එක්කෙනෙක්. ප‍්‍රියන්ත ලියනගේ සහෝදරයා තවත් කෙනෙක්. සාහිත්‍ය මාසෙට සමාන්තරව පොත් පළ කරන්න උනන්දු වන බොහෝ දෙනා ඒ හීනය සඵල කරගන්නෙ ණය වීමෙන්. ඒත් හැමෝටම ඒක කරන්න අමාරුයි.
සමහර සහෘදයන් තමන්ගෙ පොතක් පළ කරන්න උදව් කරන්න පුළුවන්ද කියලා අහනවා. පත්තර කතුවරයෙක් විදියට මාව දන්න නිසා උදව් ඉල්ලන වෙලාවට ඔවුන්ට කියන්න උත්තරයක් හොයාගන්න අමාරුයි. පත්තරයක් කියන්නෙ ප‍්‍රකාශන ආයතනයක් ලෙස ඔවුන් දකින්නෙ. ප‍්‍රකාශන ආයතනයක වගකීමක් දරන කෙනෙක් හැටියට ඔවුන් ඒ ඉල්ලීම කළත් පොතක් පළ කරනවා කියන්නෙ එකවර මුදලක් වැය කිරීමක්. ඒ මුදල හොයාගන්න බැරිව බොහෝ ලේඛකයන් අසරණ වෙනවා. අවුරුදු ගාණක ඉඳලා මමත් එවැනි බලාපොරොත්තුවක් සඟවාගෙන ඉන්නෙ. රාජපක්ෂ පාලනය යටතෙ හතරවෙනි තට්ටුවට ගෙන ගිය අත්දැකීම ගැන මා ලියූ ලිපි එකතුව පළ කරන්නත් කවි පොතක් පළ කරන්නත් හීනයක් තියෙනවා.
මේ කාරණාවෙම තවත් පැත්තක් තමයි පළ කරන පොතක් සඳහා පාඨක සහෘදයන්ගෙන් අවධානයක් හිමිවීම. චූලානන්ද සමරනායක සහෝදරයාගේ ‘නරක උන් ඇසුරෙහි’ කියන පරිවර්තිත කෘතිය පසුගිය දවසක ජනගත වුණා. චූලා සහෝදරයාගෙ සාහිත්‍ය වැඩකට යන එක අපේ යුතුකමක් හැටියට තිබුණත් අගහිඟකම් මැද්දෙ එවැනි තැනකට යන එකට වෙලාව වෙන්කර ගන්න එකයි අමාරු. එවැනි අමාරුකම් මැද පැමිණි බොහෝ දෙනා අතර සිටි රණසිංහ සහෝදරයා චූලානන්ද සමරනායක කියන ලේඛකයගෙ කාර්යභාරය පැසසීමට කවියක් සටහන් කළා. ඒක චූලා අතට දෙන්න සූදානම් වෙමින් රණසිංහ සහෝදරයා කිව්වෙ ‘චූලා වගේ කෙනකුට අපට දෙන්න පුළුවන් මේ වගේ දෙයක් විතරයිනෙ’ කියලා. ඇත්තටම සහෘදයකු පළ කරන පොතක් මිලදී ගන්න පවා අමාරුකම් ඇති පීඩිත පන්තියේ සහෘදයන් තමන් වෙනුවෙන් ශ‍්‍රමය වගුරන ලේඛකයන් ගැන හැඟීමකින් ඉන්නවා. ඒත් ඔවුන්ට ලේඛක සහෘදයන් වෙනුවෙන් කළ හැකි දේ සීමිතයි. ඒ හේතුව නිසාම බොහෝ ලේඛකයන් පොත් ප‍්‍රකාශකයන් ඉදිරියෙ අසරණයි.
ලේඛකයා ණය වෙලා හරි පොතක් පළ කර ගත්තත් ප‍්‍රකාශකයගෙන් කර්තෘභාගය ගන්න හරිම අමාරුයි. ප‍්‍රකාශකයන් කියනවට වඩා පොත් මුදලාලිලා හැටියටයි ඔවුන් හඳුන්වන්න වෙන්නෙ. කාලයක් තිස්සෙ ලිවීමෙන් දුක් මහන්සියෙන් උපයාගන්නා සංකේතීය වටිනාකම පවා එවැනි මුදලාලිලාගෙ ලාභ උල්පතක් බවට පත් වෙනවා. එහෙම නමක් ඇති ලේඛකයකුගෙ පොතක් පළ කිරීම ආයතනික වශයෙන් ලාභදායක බව පොත් මුදලාලිලා දන්නවා. එවැනි ලේඛකයන්ට නිතර නිතර සොච්චමක් දීලා ඔවුන් ඇද බැඳ තබා ගන්න තරම් කපටිකමක් පොත් මුදලාලිලාට තියෙනවා.
චූලගෙ පොත ගැන දැනගන්න රුසියානු මධ්‍යස්ථානයට ආව අය අතර කාලයකින් හමු වුණු සහෘදයන් හිටියා. කුමාරි කුමාරගමගේ සහෝදරී ඒ අතරින් කෙනෙක්.
”චන්දන මං අහන්න හිටියෙ. පත්තරෙත් අමාරුවෙන් හරි කරගෙන යනවා නේද? කොහොමද ඉතින් ජීවිතේ?”
”ජීවිතේ ඉතින් පත්තරේම තමයි… අමාරුයි තමයි ඒත් කරන්න දෙයක් නෑ. අමාරුකම් මැද ගැටගහගෙන යනවා” මං පිළිතුරු දුන්නා.
”අමාරුකම් තියෙන බව දන්නවා. ඔයාගෙ ප‍්‍රශ්නයක් අපිත් එක්කත් බෙදාගන්න බලන්න. අපිටත් මොනවා හරි කරන්න පුලූවන් වෙයි”
ඈ කියපු වචන කාන්තාරයකදි දකින ක්ෂේමභූමියක් වගේ. පත්තරේ අමාරුවෙන් කරගෙන යන බව දන්න බොහෝ දෙනා පත්තරේ ගැන නිතර අහනවා. ඒත් ඒ අයට පවා ලොකුවට ආර්ථික හයියක් නැති නිසා උදව් කරන්න අමාරුයි. කොහොම වෙතත් ඒ අමාරුකම් මැද්දෙ ජීවිතේ පවත්වාගෙන යන්න අපට උදව් කරන්නෙ දිවයින පුරාම විසිර ඉන්න ඒ වගේම විදේශගතව ශ‍්‍රමය වගුරන සහෘදයන්. ඔවුන් නැත්නම් මේ වෙනකොටත් ‘ජනරළ’ නිහ`ඩ වෙලා.
නම් කරලා ඉවර කරන්න බැරි තරම් පිරිසක් පාඨකයන් ලෙස අපේ ජීවිත සමඟ බැඳී ඉන්නවා. ඔවුන් විසින් පත්තරේ මිලදී ගැනීමෙන් වැය කරන මුදල අපට විශාල ශක්තියක්. ඒත් සමහර සහෘදයන් පත්තරේ මුදල විතරක් නෙවෙයි, පත්තරේ කට්ටිය ජීවත් කරවන්නත් යම් දායකත්වයක් දක්වනවා. ඒක කවදාවත් අපේ ලිවීමෙන්, කෘතවේදී වීමෙන් පමණක් පියවන්න හැකි උපකාරයක් නෙවෙයි. ඒ සහයෝගය අගය කරන්න වෙන්නෙ අපේ ක‍්‍රියාකාරිත්වයෙන්මයි. ‘ජනරළ‘ කට්ටියගෙ පෑන්වලට ධෛර්ය සපයන, සටන් කරන අකුරු පණගන්වන වචනයකින් හෝ සුළු මුදලකින් හෝ කියැවෙන්නෙ අප ජීවත්වන විදිය වෙනස් කරන්න ඇති අධිෂ්ඨානයයි.
එහෙම අධිෂ්ඨානයක් ඇති මිනිසුන් අතර උරෙන් උර ගැටෙමින් සටන් කරන්න අපි අපේ පෑන් තව තවත් වේගවත්ව සවිමත්ව අල්ලා ගත යුතුයි. කෲරත්වය, අධමත්වය රජකරන විට ඊට එරෙහිව නැඟී සිටින උන් පවා සමහරවිට වැඩ කරන්නෙ ඒ කෲරත්වයටම දායකත්වය දෙමින්. නගර වීදියේ හෝ පිටිසර ප‍්‍රදේශයක විරෝධතා දක්වන මිනිසුන් සබුද්ධික කරන්න රුධිරයෙන් වුවත් ලියන්න වෙන්නෙ ඒ තත්වය වෙනස් කරන්න කැපවුණු අධිෂ්ඨානයකින්.

අරගලයේදී හුදෙකලා වීමක් නැත…..!

“ෆී එක දෙන්න පුළුවන්ද? අවුලක් නැද්ද….“

එවැනි වචන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. අධිකරණයකදී අමිහිරි අත්දැකීම් අතර එය අපූරු අත්දැකීමකි. උසාවියෙන් නැඟිට එළියට එන්න සූදානම් වන අවස්ථාවේ නීතිඥවරිය මා වෙත ආවේ ඊළඟ නඩුව පිළිබඳ කතාබහ කරන්නටය. ඉන්පසුව මම පසුම්බිය එළියට ගත්තෙමි.
නීතිඥවරිය ඇසූ පැනය අධිකරණ භූමියකදී මා ඇසූ සුන්දරම වචන කීපය බව කිව යුතුය. වසර කිහිපයක්ම අධිකරණයේ පෙනී සිටින මට ඒ අත්දැකීම අලූත්ය. ඒ නිසා කිවහැක්කේ කළුකෝට්කාරයන් ගිනිකන කට්ටිය බවට කියන කතා සියල්ල සත්‍ය නොවන බවය. පුවත්පත් කලාවේදීන් වෙනුවෙන් කෙසේ වෙතත් යුක්තිය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් සටන් කිරීමේ වරදට චෝදනා ලැබූවන් වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකොට පෙනී සිටින නීතිඥවරු සිටිති.

එවැනි මිනිසුන් අධිකරණයේ මෙන්ම පොදු සමාජයේද අඩු බව ඇත්තය. එහෙත් මිනිස් ආධ්‍යාත්මයක් ඇතිව සිය වගකීම ඉටු කරන පිරිසක් සෑම සියලූ ක්ෂේත‍්‍රයකම සිටිති. එහෙත් අපේ යුගයේ වඩා අමිහිරි කාරණය නම් අයහපත් මිනිසුන්ගේ ක‍්‍රියාකාරිත්වය නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාව බවට කියමනක් තිබේ. යහපත් මිනිසුන් සක‍්‍රීය බවෙන් අඩු වුවහොත් මේ ලෝකය නීරස අපායක් වනු ඇත.
පත්තරකාරයෙක් හැටියට වසර දහනවයක කාලය තුළ මා අධිකරණයට කැඳවූ පළමුවැනි අවස්ථාව වූයේ ලේක්හවුස් ආයතනය පිළිබඳ හෙළිදරව් කිරීම් සහිත ලිපි පෙළකි. එහිදී ‘ලංකා’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ හැටියට මට එරෙහිව පළමුවැනි විත්තිකරු ලෙස චෝදනා නඟමින් නඩු තුනක් පවරනු ලැබිණි. දෙවැනි හා තෙවැනි විත්තිකරුවන් වූයේ ප‍්‍රකාශක හා මුද්‍රණකරුය. ඉන්පසුව, අධිකරණයට යන්නට මට සිදු වූයේ රාජපක්ෂ ජනාධිපතිවරයා විවේචනය කළ වරදටය. 2010 වසරේ ජනාධිපතිවරණයට පසු ජනවාරි 28 වැනිදා මා අත්අඩංගුවට ගනු ලැබූවේ රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයෙනි. දින 18ක් තිස්සේ හතරවැනි තට්ටුවේ රඳවා තබනු ලැබූ මා පෙබරවාරි 16 වැනිදා ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිණි. කිසිදු චෝදනාවක් ඉදිරිපත් කරන්නට අදහස් නොකරන බව පවසනු ලැබූ නිසා මා නිදහස් කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා උපදෙස් දුන්නේය. ඉන්පසුව අවස්ථාවක කලූතොට මුල්‍ය ආයතනය සම්බන්ධව විවේචනාත්මකව ලියැවුණු පුවතක් නිසා අධිකරණය වෙත යන්නට සිදු විය.

@seminarමේ ආකාරයට ‘ලංකා’ පුවත්පතට අදාළව නඩු අටකට මුහුණ දෙන්නට මා හට සිදු විය. ඉන්පසුව ‘ජනරළ’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ වශයෙන්ද පවරනු ලැබූ නඩුවක් සඳහා අධිකරණය වෙත ගියෙමි. මෙසේ පුවත්පත් කතුවරයකු වීමෙන් එහි වගකීම යටතේ ලියැවෙන පුවත් හා ලිපි වෙනුවෙන් අධිකරණයට යාමට සිදු වීම නිසා කළුකබාකාරයන්ගේ ඇසුරක් ලැබිණි. ප‍්‍රගතිශීලී මිනිසුන් මෙන්ම අමු කුහකයන්ද ඒ අතර විය. ඒ බොහෝ අවස්ථා ඇත්ත වශයෙන්ම ජීවිතයට අලූත් පාඩම් කියාදෙන අධ්‍යාපනික අත්දැකීම් විය.
දේශපාලන හේතු මත ‘ලංකා’ පුවත්පතෙන් ඉවත්වන්නට තීරණය කළ පසුව නීතිඥ වටගල මා වෙනුවෙන් පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවද එවැනි තවත් අත්දැකීමකි. ‘ලංකා’ පුවත්පත වෙනුවෙන් අධිකරණයට යන්නට සිදු වීම කනගාටු වන්නට හේතුවක් නොවීය. එහෙත් එක්ව සටනක යෙදුණු මිනිසුන් ඒ සටන වෙනුවෙන් පෙනී සිටීමට ප‍්‍රතික්ෂේප කිරීම දරාගන්නට සිදුවන ඇත්ත තත්වයකි.

පත්තරකාරයකුගේ සටන් බිම තුළ ඉන්නේ තොරතුරු මූලාශ‍්‍ර සපයන මිනිසුන්, පත්තර කලාවේ සගයන් හා පාඨක සහෘදයන්ය. පසුගිය සතියේ සටහන් කළ ආකාරයට බැණ වදින්නට, අගය කරන්නට හෝ වෙනත් ප‍්‍රතිචාර දක්වන්නට පාඨක සමාජයක් සිටී. ඔවුන්ගේ අරමුණු වෙනස් විය හැකිය. නමුත් පත්තරකාරයාගේ අරගලය සුබපැතුම් සහිතව ආරක්ෂා කරන්නන් දුලබය.
අධිකරණ භුමියේ කළුකබා යටින් හදවත් ගැහෙන රිද්මය මට ඇසේ. නීතිඥවරුන්ට විශාල මුදලක් ගෙවන්නට හැකියාවක් අපට නොමැත. නමුත් හැකි ආකාරයෙන් ගෙවීමක් කරන්නට අවස්ථාව දෙන නීතිඥවරුද අයකිරීමකින් තොරව ඉදිරිපත් වන නීතිඥවරුද සිටිති. වමේ දේශපාලනය යනු සාමූහිකව කරන අරගලයක් බව ප‍්‍රකට කාරණයකි. එහෙත් දක්ෂිණාංශික දේශපාලනයේදීද ඇත්තේ සාමූහිකත්වය පිළිකෙව් කරන සාමූහික ප‍්‍රයත්නයකි. වමේ දේශපාලනය යනු හුදු සාමූහිකත්වය නොව, සාමූහික මිනිස් ජයග‍්‍රහණ වෙනුවෙන් පෙළගැසෙන මිනිස් සාමූහිකත්වයකි. එය, පීඩිතභාවයට එරෙහිව සහෝදරත්වයෙන් සාමූහිකත්වයෙන් පෙළගැසෙන්නකි. ඒ නිසා වමේ දේශපාලනයේදී පත්තරකලාව පවා සාමූහිකත්වය තුළ පෙළගැසෙන්නකි. වමේ පත්තරකලාවක් නැතැයි කියන පත්තර කලාවේ යෙදෙන වුන් අතර සහෘදයන් මෙන්ම වෙනත් මාවත්වල යන්න වුන්ද සිටී.

කෙසේවෙතත්, අධිකරණයට කැඳවන ලද බොහෝ අවස්ථාවල යන්නට සිදු වූයේ තනිවමය. වෙනකක් තබා ඒ නඩුවට ප‍්‍රස්තුත වූ පුවත හෝ ලිපිය ලියූවන් පවා අධිකරණය වෙත පැමිණියේ නැත. සටන් බිමක හුදෙකලා වීම අමිහිරි යැයි ලිවිය හැක්කේ ඒ අත්දැකීම් හේතුවෙනි. එහෙත්, සාමූහික අරමුණු වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් සටන්බිමේ හුදෙකලා වීම නිතර සිදුවන දෙයකි. එයින්ම අරගලයේ යෙදෙන වුන් පන්නරය ලබයි. සටනේ සාමූහිකත්වය ආරක්ෂා කළද ඒ හුදෙකලා මිනිසුන් තුළද අරගලයක් විය යුතුව ඇත. සාමූහිකත්වය මෙන්ම සාමූහිකත්වය වෙනුවෙන් කොන්දේසි විරහිත අරගලයද වැදගත්ය. නීතිඥවරියකගේ මුවින් පිට වූ ඒ වචන කීපය නිසාම මගේ පීඩිත හදවත තුළ පැවැති මෙවන් අදහස් පෙළක් සටහන් විය. එය කිසිවකුගේ දෝෂයක් ගැන කියන්නට නොව, ලැබූ අත්දැකීම් මෙසේ සටහන් කෙරෙන්නේ මතු දවසේ හෘදසාක්ෂියක් ඇතිව පෑන අල්ලන සගයන්ට මේ අත්දැකීම් පවරා දිය යුතු බැවිනි.

පුවත්පත් කලාවේදී දිනයේ කුණුහරුප සංග‍්‍රහයක්

pen in tears‘අඩෝ — —- පුතා, තෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂෙට —- දෙනවද?’
දුරකථන මාර්ගයෙන් ඒ ප‍්‍රශ්න කිරීම අසන්නට ලැබුණේ පසුගිය 8 වැනිදාය. ජාත්‍යන්තර පුවත්පත් කලාවේදීන්ගේ සහරයෝගිතා දිනය තුළ එවැනි උපහාරයක් ලබාගන්නට පත්තරකාරයකුට හැකිවන්නේ කලාතුරකිනි. මගේ ජංගම දුරකථනය වෙත ඒ ඇමතුම ආවේ උදෑසන 10.30ට පමණය. එවැනි ඇමතුමක් ආවේ හේතුවක් ඇතිවය. ඒ හේතුඵල සම්බන්ධය සටහන් කරමි.
හෝමාගම ප‍්‍රදේශයේ පෝස්ටර් අලවමින් සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සගයකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් හිතවත් මාධ්‍යවේදීන්ට හා වෙනත් දන්නා හඳුනන අයට දැනුම් දීමක් කරන්නට කල්පනා කළෙමි. මෙම අත්අඩංගුවට ගැනීමේ විශේෂත්වයක් තිබේ. එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ව පිහිටුවන ලද හවුල් ආණ්ඩුවෙන් දේශපාලන හේතු මත අත්අඩංගුවට ගැනුණු පළමු පුද්ගලයා ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයාය.
‘අන්දන ඡුන්දේ ඉවරයි, විඳවන ප‍්‍රශ්න බොහොමයි… බලා ඉඳිමුද? සටන් වදිමුද?’ යන අදහස එකී පෝස්ටරයේ සඳහන් විය.
එකී අත්අඩංගුවට ගැනීම විසින් සනාථ කෙරෙන්නේද පෝස්ටරයෙන් කියැවෙන තත්වයමය. මෙම පෝස්ටරය ඇලවීම සඳහා දවසේ වේලාසනින් අලූයමින් අවදි වී අධික ශීතල නොතකා ගමන් කරමින් සිටි සගයකු එසේ අත්අඩංගුවට ලක්වන්නේ නගරයේ පරිසර අලංකාරය විනාශ කිරීමේ චෝදනා මතය. මෙවැනි චෝදනාවක් මින් පෙරාතුව පුරවැසියන්ට එල්ල කළේ මහින්ද රාජපක්ෂ පාලනය විසිනි. කෙසේවෙතත් පසුගිය ජනවාරි 8 වැනිදා පලවා හැරි රාජපක්ෂ යළි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකි. ඔහු බලයේ සිටියදී පැනවූ නීති සක‍්‍රීය කරමින් ඉන්නේ රාජපක්ෂ පලවා හැර බලයට පත් හවුල් ආණ්ඩුවේ පොලිසිය විසිනි.
එදා රාජපක්ෂ හෙළා දකිමින් ඔහු ගෙදර යැවීම දක්වා වැඩ කළ මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදීහු දැන් මේ ගැන කියන්නේ කුමක්දැයි ප‍්‍රශ්නයක් මතු වේ. බොහෝ යහපාලන විප්ලවවාදීන් මෙවැනි සිදුවීම් හමුවේ නිහ`ඩය. ඇතැමුන් කියනු ඇත්තේ ‘නීතිය ඉදිරියේ කවුරුත් සමානය’ වැනි උදාන වාක්‍ය විය හැකිය. රාජපක්ෂ ආණ්ඩුව යටතේ පවා මර්දනය සිදු වන විට කීවේ එයයි.
ශිෂ්‍ය උද්ඝෝෂණවලට පොලිසිය බාධාකරන ලද්දේ මාර්ග අවහිර වීම නිසා ජනතාවට ප‍්‍රවාහන ගැටලූ ඇති වේ, යන තර්කයෙනි. කම්කරු උද්ඝෝෂණවලටද එම තර්කයම ගෙනැවිත් තිබිණි. මහජන සාමයට බාධා විය හැකිය යන පදනමෙන් මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් නියෝග ගෙන ජනතා උද්ඝෝෂණ තහනම් කරන ලදී. එසේ රාජපක්ෂගේ මර්දන නීති ක‍්‍රියාත්මක කරමින් එදා පොලිසිය විසින් ජනතාවගේ රැුස්වීමේ, සංවිධානය වීමේ හා අදහස ප‍්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කර තිබිණි. කෙසේ වෙතත් නීතියට හසුනොවන තෝරු මෝරු කිසිවක් නොවුණු ලෙස වාසය කරති.
දේශපාලන අදහසක් පැවසීමේ අඩු වියදම් ක‍්‍රමය භාවිත කිරීමේ වරදට හෝමාගමදී
අත්අඩංගුවට ගත් සගයා පොලිසිය විසින් අධිකරණයට පමුණුවා රුපියල් පන්දහසක දඩයක් අයකරගෙන නිදහස් කරන ලදී.
එම අත්අඩංගුවට ගැනීම හවුල් ආණ්ඩුවේ පාලනය යටතේ වමේ දේශපාලන ක‍්‍රියාකාරිකයකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව විය. ඒ ගැන එස්එම්එස් පණිවිඩයක සඳහන් කිරීමේ හේතුව මත ලියුම්කරුට ‘තිත්ත කුණුහරුපයෙන්’ සංග‍්‍රහ කළේද අප ජීවත්වන සමාජයේ පීඩාවට පත් සමාජ කණ්ඩායම් අතර එකකු බවට සැක නැත. තමන්ට යම් හානියක් සිදු නොවන තාක් අනෙකාගේ පීඩාව ගැන නොතකා ජීවත්වන්නට අපේ සමාජයේ වැඩි පිරිසක් පුරුදු කරනු ලැබ තිබේ.
මර්දනය තමන් අබියසට තුවක්කු මානාගෙන එන තුරුම අවට සිදුවන පහරදීම්, පැහැරගෙන යාම්, අත්අඩංගුවට ගැනීම් හෝ ඝාතන වැනි මහා මර්දනකාරීත්වයන් නොදැනෙන වුන් සිටී. අපේ සමාජයේ පවතින මෙම කුහක තත්වය වෙනස් කරන්නට පෑන හසුරුවන්නට ගත් තීරණය මෙවැනි බියසුලූ පුද්ගලයන්ගේ තර්ජනයකින් නතර නොකරමි.
මා මෙන්ම බොහෝ පිරිසක් අලූත් පාලනයේ හවුල් මර්දනයට එකඟ නොවන බව දනිමි. ඔවුන් රාජපක්ෂගේ මූණ වෙනුවට රනිල්ගේ හෝ මෛත‍්‍රීගේ මූණ අලවන්නට උත්සුක වූයේ නැති බව දනිමි. ඒ නිසා ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන් පාඨවලට හීලෑ නොවී ඇත්ත ජනතා අරගලයකට යාමේ ශක්‍යතාව සමාජය තුළ ඉතිරිව තිබේ.

මට නොව, අපට පුළුවන්!

පාසල් නිමවී පියා සමඟ යමින් සිටි දැරිය මැසිවිලි නඟමින් යමක් කියයි. දරුවා අස්වසන්නට පියාට නොහැකිය.
”යාළුවො කණ්ඩායමක් හැදිලා මල් හදන්න කිව්වෙ. ඉතින් මගෙ යාළුවො කවුරුත් මල් හදන්න උදව් කළේ නෑ. අන්තිමේට ටීච කිව්වා ගෙදරදි තනි තනිව හදාගෙන එන්න කියලා….”
ඇය දිගටම සිය පන්තියේ මිතුරු මිතුරියන් සමඟ ඇති වූ ආරවුල ගැන පැමිණිලි කරමින් සිටී.
”ඇයි දුව ඔයා දන්නෙ නැද්ද යාළුවො කණ්ඩායමක් එකතු වෙලා කරන වැඩ එහෙම තමයි.. හැබැයි සමගියෙන් ඒ වැඩ කරන්නත් පොඩි කාලෙ ඉඳලම පුරුදු වෙන්න ඕන… ලොකු වුණාමත් සමගියෙන් ඉන්න පුරුදු වෙන්නෙ පුංචි කාලෙදිමයි..”
පාසල් දරුවන්ට සමගියෙන් වැඩ කිරීමට හා සාමූහිකත්වයේ අගය කියාදීමට වටුවැද්දාගේ කතාවත් දරකෝටුව හා දරමිටිය උදාහරණත් යොදා ගනු ලබයි. කොතරම් නිදසුන් සහිතව පාඩම් කළත් සමගිය යනු සංකල්පයක් පමණක් නොවේ. එය කුඩා අවදියේ සිටම වර්ධනය කළ යුතු මිනිස් භාවිතයකි. එහෙත් පංති කාමරයේ ලබන අධ්‍යාපනයේදී සාමූහිකත්වය පලවා හරිනු ලබයි. පන්තියේදී අධ්‍යාපනය ලබන්නේ තනි තනිව සමත්කම් පෙන්වීමටය, තමන් විසින් ලකුණු වැඩියෙන් ගන්නටය, තනිව වෙහෙස වී විභාග ජයගන්නටය.
මා දන්නා ඇතැම් පාසල්වල පංති කාමරයේ ප‍්‍රදර්ශනය කරන උදාන වාක්‍ය පුවරු ඇත.
‘ශැි ෂ ක්‍්බ ෟ’ යන්න එහි සටහන් වේ. කුඩා කාලයේ සිටම පන්ති කාමරයේ උගනින දරුවන් සාමූහිකයක් ලෙස ක‍්‍රියාකාරකම්වලට යොමු කිරීම අධ්‍යාපන මූලධර්මවල සිට එන්නකි. නිවසේදී මම, මගේ යන අදහස හඳුනාගන්නා දරුවාට සමාජ ජීවිතයේ පාඩම කියා දෙනු ලබන්නේ පංති කාමරයේදීය. එහෙයින් ‘මට පුළුවන්’ යන අදහස කියනවාට වඩා ‘අපට පුුළුවන්!’ වැනි අදහසකින් දරුවන් අතර සාමූහිකත්වයේ ආකල්ප වර්ධනය කිරීම අවශ්‍ය වේ.
කණ්ඩායම් කි‍්‍රයාකාරකමක් ලෙස විසිතුරු කඩදාසි යොදාගෙන මලක් නිමැවීමට දුන් අවස්ථාවේ පහේ පන්තියේ දරුවන් කටයුතු කළ ආකාරය ඉහත දැරිය විසින් හෙළිදරව් කළාය. පහේ ශිෂ්‍යත්ව විභාගයට දිවීමක නිරත වූ ඔවුහු දැන් නිපුණතා ක‍්‍රියාකාරකම්වල යෙදෙති. අගෝස්තු මාසය වනවිට විෂය නිර්දේශය අවසන් කර ඇතත් ක‍්‍රියාකාරකම් සහිත අධ්‍යාපන කටයුතුවල යෙදවීම අවශ්‍යය. එහෙත් පසුගිය මාස අටකදී සාමූහිකත්වය හෝ පොදු හැඟීම වර්ධනය කරනු වෙනුවට තනි අශ්වයන් මෙන් ධාවනයක යොදවන ලද දරුවන්ට කණ්ඩායම් ක‍්‍රියාකාරකමක ප‍්‍රතිඵල අත්පත් කරගන්නට හුරුවක් නැත.
පාසල් ගීතයත් ජාතික ගීයත් කියන විට දරුවෝ සාමූහිකත්වය ගැන මහ හ`ඩින් ගයති. ඊට අමතරව වටු වැද්දාගේ කතාව හෝ මඝ මානවක කතාවෙන් සාමූහිකත්වය හා පොදු වැඩ ගැන ආකල්පයන් මනසට ගනු ලබන නමුත් ඔවුන්ට ඇත්ත ජීවිතයේදී සාමූහික හැඟීම් අහිමි කර ඇත. ඇත්තටම ඔවුන් පාසලේදී එකිනෙකාට උදව් කරගන්නේ අල්ප වශයෙනි. පාසල් දරුවන් එකිනෙකාගේ නිවෙස්වලට යන්නේ කලාතුරකිනි. දුක සැප බෙදාගන්නේ අඩු වශයෙනි. එය වැඩිහිටි වයසට යත්ම වඩාත් පටු ආකල්ප සහිත මිනිසුන් බිහි කිරීමට රුකුලකි.
එවැනි දරුවන්ගේ මවුපියන් පාසලේ කටයුතුවලට සහභාගි වන්නේද අනිවාර්යයෙන් එන්න කිවහොත් පමණි. පාසල පිරිසිදු කිරීමේ ශ‍්‍රමදානයකට එන්නේද පන්ති භාර ගුරු භවතුන් විසින් නොපැමිණෙන මවුපියන් ගැන විදුහල්පතිට වාර්තා කළ හොත් දරුවන්ට ලැජ්ජාවක් වෙති’යි බිය නිසාය. කොහොමටත් අපේ වැඩිහිටි සමාජයම පටු ආකල්පවලින් කුණු වී ගොසිනි. වැඩිහිටි මිනිසුන් මළගෙදරකට යන්නේ නොගියොත් ජීවතුන් අතර සිටිනවුන්ගෙන් අවලාද අසන්නට විය හැකි නිසාය. මංගල්‍යයකට සහභාගි වන්නේ ඇරයුම් කළ නිසාත් තමන්ට හිමි කෑම බීම පරිභෝජනයට සහ ප‍්‍රදර්ශනාත්මක ඇඳුම් ආයිත්තම් තරගයක් ලෙසය.
අප කුඩා අවධියේදී නිවසක, පවුලක විවිධ උත්සව අවස්ථා ආරම්භ වන්නේම එම නිවසේ පිරිසුදු කිරීම් සහිත ශ‍්‍රමදානයකිනි. නෑයන්, හිතමිතුරන් හා අසල්වාසීන් එකතුව නිවස හා ගෙවත්ත පිරිසිදු කර අලංකාර කරනු ලබයි. උත්සවය දවසට සතුටින් හා විලාසිතාවෙන් පැමිණියත් නැතත් ඒ කාර්යයට සාමූහික දායකත්වය දීමේ තෘප්තිය මිනිස් බැඳීම් සවිමත් කරයි. මිතුරුකම් වඩාත් වැඩි කරන නොහොඳ නෝක්කාඩු සිඳ බිඳ දමන එවැනි මිනිස් සාමූහිකත්වයන් අද නැත. මංගල උත්සවයට ඇරයුම් ලද පසුව සිහිපත් වන්නේ ලියුම් කවරයක දමා කියක් දිය යුතුද යන්නයි. එසේත් නැතිනම් අලූතින් ඇඳගෙන යා යුතු විලාසිතාව ගැනයි. එසේත් නැතිනම් නියමිත දිනයේ නිවාඩුවක් ගන්නට හැකියාව ගැනයි. ලියුම් කවරයේ පිරිනමන මුදලට සරිලන ආහාර වේලක්, මත්පැන් බීමක් ලබාගන්නට පවා ඔවුහු උත්සුක වෙති. උපන්දිනයක්, මල්වර මඟුලක් හෝ විවාහයක් සඳහා සතුටින් සාමුහිකත්වයෙන් එක්වනු වෙනුවට අපේ මිනිස්සු ඒ අවස්ථා සිය පටු අරමුණු වෙනුවෙන් පාවිච්චි කරති. ඒ නිසා සාමූහික ජීවිතයේ අවස්ථා ලෙස සැලකෙන එවැනි සතුටු සාද එක් එක් පුද්ගලයන්ගේ පටු අරමුණු වෙනුවෙන් කුඩා කුඩා අණු බවට බිඳ දමනු ලබයි. අවසන මහා ගෝරි, පරම්පරාගත ගැටුම් ඇති වේ.
මේ නිසා කුඩා අවදියේ සිට සාමූහිකත්වයේ ජීවිතය දරුවන්ට හිමිකර දිය යුතුව ඇත. එසේම සමාජයක් ලෙස සාමූහික ජයග‍්‍රහණ කරා ගෙන යන්නට නම් එක් එක් මිනිසුන් සතු හැකියාවන් සාමූහික අරමුණු වෙනුවෙන් දිශාගත කළ යුතුව ඇත. පටු අරමුණු වෙනුවට සාමූහික අරමුණු බල ගැන්වීම වනාහී අපේ කාලයේ එක තැන පල්වන මිනිස් ශිෂ්ටාචාරය විසින් ඉල්ලා සිටින ගතිකත්වයයි.
වමේ දේශපාලනය යනුවෙන් අදහස් කෙරෙන්නේද එයයි.

දේදුනු විප්ලවවාදීන්ට අසුබවාදී ඇරයුමක්…

pදැඩි ලෙස ගිලන් වූ මොහොතක ආ දුරකථන ඇමතුම සමීප මිතුරකුගෙනි.

විදේශයක සිට දුරකථනයෙන් කතා කළ ඔහු ප‍්‍රකාශ කළේ තමන් මහ මැතිවරණ දවසේ තම ඡුන්දය ප‍්‍රකාශ කරන්නට නැවත ලංකාවට එන බවයි. ඔහු විදේශගත වූයේ රාජපක්ෂ රෙජීමයේ මර්දනය උග‍්‍රතම අවස්ථාවකදීය. ඔහුට මර්දනයේ පීඩාවක් නොවුණද පැවැති තත්වය නිසාම රටේ ඉන්නට එපා වී තිබිණි.

”මේ රටේ ඉඳල මට ඇති වෙලා… මොනවත් වෙනස් වෙන්නෙ නෑ බං…” ඔහුගේ මැසිවිල්ල එසේ විය.

”නෑ බං මේක වැඩිකල් අල්ලලා යන්නෙ නෑ… ටිකක් ඉවසපං.. හෙල්ලෙන්නෙ කොහෙන්ද කියලවත් හිතාගන්න බැරි වෙයි” තවත් මිතුරෙක් ඔහුට පිළිතුරු දෙන විට පවා ඔහු එය ගණනකට නොගත්තේය.

”මේ විදියටම දිගටම වෙයි…උඹලා කොච්චර කීවත් රාජපක්ෂ පවුල තව අවුරුදු තිහ හතළිහකට මෙහා හොල්ලනවා බොරු!”

රාජපක්ෂ පාලනය පලවා හරින ක‍්‍රියාදාමය රාජපක්ෂගේ කැබිනට් සගයකුගෙන්ම ආරම්භ වූ විට මිතුරා විස්මිතව දුරකථනයෙන් මා සමඟ කතා කළේය.

”මොනවද බං මේ වෙන්නෙ?… හිතාගන්නවත් බෑනෙ..!” එවර ඔහු කතා කළේ විමතියට පත්වය. අමාරුවෙන් යුරෝපා රටක රැුකියා අවසරයක් ගෙන සිටි මිතුරා සිය බිරිය සහ දරුවාද එහි ගෙන්වා ගන්නට උත්සාහයක යෙදී සිටින බව දැනගන්නට ලැබුණේ ඔහුගෙන්මය.

එහෙත් එදා මා ඔහුට කීවේ රාජපක්ෂ බලයෙන් පලවා හැරීම දුෂ්කර වන බවයි. රාජ්‍ය බලය අතැතිව ජනාධිපතිවරණයට පිවිස සිටින නිසා වැඬේ ලේසියෙන් අත්හරින බවක් රාජපක්ෂ රෙජිමය තුළ දක්නට නොලැබුණි. එහෙත් බොහෝ දෙනාගේ ව්‍යායාමයක ප‍්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂට විධායක බලය අතහැර යන්නට සිදු විය. මගේ විදේශගත මිතුරා එයින් මහත් අමන්දානන්දයට පත්ව සිටියේය. ඔහු සිය සැලසුම් වෙනස් කරමින් නැවත ලංකාවට එන්නට සූදානම් විය. නමුත් දැන් ඔහු නැවත වරක් සසල වී ඇත.

”රාජපක්ෂ කල්ලියම ආපහු සෙල්ලම පටන් අරගෙන කියන්නෙ ඇත්තද බං?” ඔහු මගෙන් විමසා සිටින්නේ අන්තර්ජාලයෙන් හා සිය සමීපතමයන්ගෙන් ලැබෙන තොරතුරු අනුවය. දැන් ඔහු කියන්නේ මැතිවරණ දිනයේ රාජපක්ෂට එරෙහිව ඡුන්දය දෙන්නට ඔහු විශේෂයෙන් ලංකාවට එන බවකි.

මා මේ මිතුරා ගැන ලියන්නට සිතුවේ ඔහුගේ පෞද්ගලික තොරතුරු ඉදිරිපත් කරන අදහසින් නොවේ. මගේ මිතුරා නියෝජනය කරන්නේ අප ජීවත්වන සමාජයේ එක්තරා සමාජ කණ්ඩායමකි. පුළුල් අර්ථයෙන් අප එය මැද පන්තිය ලෙස හඳුන්වමු. සිය ජීවන අභිලාෂයන් වෙනුවෙන් පමණක් තීරණ ගන්නා ඔවුන්ට අවට ලෝකයේ සිදුවන කිසිවක් ගැඹුරින් විග‍්‍රහ කරගන්නට නොහැකිය. සමාජ දේශපාලන බල තුලනයන් හැසිරෙන ආකාරය ගැන ප‍්‍රමාණවත් අවබෝධයක් ලබාගන්නට හැකි තරම් දැනුමක් තිබුණද ඔවුහු ඒ සඳහා මහන්සි නොවෙති. ඒ වෙනුවට තමන් අවට සමීපව සිටින අයවලූන්නේ අදහස් විමසමින් තමන් කල්තියා සූදානම් කරගත් න්‍යාය පත‍්‍රය සපුරාගන්නට ඔවුන් කැමැතිය. සිදුවන සියල්ලම සිය මතය සනාථ කරනු පිණිස භාවිත කරන්නට ඔවුහු මහත් හපන්කමක් දක්වති.

රාජපක්ෂ පාලනයේ අත්තනෝමතිකභාවය ඔවුන්ට අරහංය. ඒ අතින් ඔවුහු නිදහස සොයා යන්නෝ වෙති. එහෙත් නිදහස යනු ස්වයංව උපදවා ගතයුත්තක් ලෙස කල්පනා නොකරන මෙවැනි සමාජ ස්තර අන්‍යයන් ලවා එම නිදහස උපදවා ගන්නට කැමැත්තෝ වෙති. ඒ අතින් ඔවුහු බළලූන් ලවා කොස් ඇට බාවන වර්ගයේ කැනහිලූන්ය. මා ඒ බව ඔහුගේ මූණටම කියන විට ඔහු ඒ බව පිළිගනී.

නමුත් ප‍්‍රශ්නය ඇත්තේ සමාජ අරමුණු සමඟ බැඳුණු දේශපාලන ව්‍යාපාරද එවැනි තැනකට ඇද වැටුණු විටය. රාජපක්ෂ පාලනය පෙරළා දමා නැවත බලය අත්පත් කරගනු ලබන්නේ කවුරුන්දැයි අප තර්ක කරන විට එයින් මග හැර ගිය බොහෝ දේශපාලන මත දරන්නන් දැන් නැවත වරක් ‘රාජපක්ෂ එනවෝ’ යැයි බිරුසන් දෙති. රාජපක්ෂ පරාජය කිරීමට නැවත එක්වන ලෙස ඔවුහු අපට අඬගසති.

ඇත්ත වශයෙන්ම රාජපක්ෂගේ මර්දනකාරී අත්තනෝමතිකත්වය වෙනත් අතකට හුවමාරු වූ බව පිළිගන්නට ඔවුහු අකැමැති වෙති. ඒ නිසාම ‘ජනවාරි 8 දිනූ දේ රැුකගන්න’ යැයි ව්‍යාජ සටන් පාඨයකට අප දිගේලි කරවන්නට මොවුන් සූදානම්ය.

ජනවාරි 8 දිනුවේ කුමක්දැයි අසන විට ඔවුහු අපට කුහකයන් යැයි අවලාද නගති. තවම ජනවාරි 8 දේදුනු විප්ලවයේ වර්ණ සංයෝජනයෙන් ඇස් නිලංකාර කරගෙන ඉන්න මේ මහත්වරුන්ට අගෝස්තු 17 වැනිදා දක්වා සිය සිහින දකින්නට ඉඩහරිමු. ඉන් පසුව ඔවුන් ස්වකීය යහපාලන සිහිනයෙන් අවදි කිරීම ‘ජනතා ඡුන්දයෙන්ම’ තේරී පත්වන ධනපති බලය විසින් සිදු කරනු ඇත.

මහ මැතිවරණය යනු අප තළා පෙළා දමන්නේ කුමන කණ්ඩායමදැයි තෝරන අවස්ථාවක් බව වටහාගන්නට මෙවරද ඡුන්දය පාවිච්චි කරන ලෙස අපි සියලූ දේදුනු විප්ලවවාදීන්ට ආරාධනා කරමු. අපි මැදහත්ව බලා සිටින්නේ කුහකයන් යැයි අපට අවලාද නඟමින් වුවද රාජපක්ෂ පන්නයේ පාලනය වෙනත් ආකාරයකින් වෙනත් නමකින් භුක්ති විඳින්නට අප සමඟ ඔවුන් එක්වන තුරුය. එය අපේ ප‍්‍රාර්ථනය නොවුණද මුහුණ දිය යුතු යථාර්ථය එයමය.

සටන්කාමී මාධ්‍ය සගයන්ට….!

Dehena“විකල්ප ප‍්‍රකාශනයට හිමි සම්මානය, මහනුවර ශිෂ්‍ය නිර්මාණ මණ්ඩපයට…. ‘දැහැන‘ විකල්ප ප‍්‍රකාශනය වෙනුවෙන්..!“

විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේ පැවති ජනතා සාහිත්‍ය උලෙලට රැස් වූ සහෘදයන් දහස් ගණනකගේ අත්පොළසන් නාදය සමඟ සම්මානය ජනතාව අතින් අත යමින් වේදිකාව වෙත ළඟා වුණා. හේතුපාඨයද ප‍්‍රකාශ වී අවසන් වන තෙක් අපට කිසිවක් හිතාගන්නට නොහැකි වුණා. මහනුවර ශිෂ්‍ය නිර්මාණ මණ්ඩපය වශයෙන් හැඳින් වූ නිර්මාණකරුවන් අතර ප‍්‍රභාත්, සම්පත් සහ මමත් සිටි බව ඇත්ත. ඒත් ඒක සාමුහික නිර්මාණ කාර්යයක්.

අපි එකිනෙකාගෙ මුහුණ බලන අතර සම්මානය පිළිගන්නා ලෙස දෙවැනි වරටත් කැඳවීමක් ලැබුණා. මම සම්පත්ට එය භාර ගන්නා ලෙස දැනුම් දුන්නා. ප‍්‍රභාත් එය අනුමත කළා. ඇත්ත වශයෙන්ම අප අතර සිටි වඩාත්ම සටන්කාමියා ලෙස සම්පත් ඒ සම්මානය ලබාගන්නට සුදුස්සා වුණා.

සම්පත් විසින් ඔල්වරසන් හ`ඩ මැද භාරගත් ඒ ජනතා සම්මානය තවමත් සුරැකිව තිබෙනවා. අද ඒ දෙස බලන විට මා සමඟ විකල්ප ප‍්‍රකාශනයක් වෙනුවෙන් ඒකරාශි වුණු සහෘදයන් සහ ඔවුන්ගේ ජවසම්පන්න භූමිකාව අමතක කරන්න බෑ. පසු කාලයක විවිධ සගයන් මා සමඟ සටන්කාමී පත්තර කලාවක නියැළෙමින් සිය භූමිකාව විශිෂ්ට ලෙස ඉටු කළ බව ඇත්ත. ඒත් විවිධතා රැසක් සහිත ශිෂ්‍ය කණ්ඩායමක් ලෙස අප විසින් තැබූ ආරම්භය කිසිදාක අමතක කළ නොහැකි සැමරුමක් ලෙස පවතිනවා. අසිපතක් බවට පත්වන පෑනක් සහ එය වටා දැවටෙන දම්වැලක් ලෙස ඒ ජනතා සාහිත්‍ය සම්මානය නිමැවූයේ විනී හෙට්ටිගොඩ සහෘදයාගේ සංකල්පයකට අනුවයි. එය සැමරුමක් ලෙස කියන්නට බැරි තරම් ජීවමාන බවක් අදත් මට දැනෙනවා.

ඒ වන විට පත්තර රස්සාවට ප‍්‍රවේශ වී සිටි රෝහිත භාෂණ සහෝදරයා අපගේ කාර්යයට මහත් දිරියක් හා මඟ පෙන්වීමක් ලබා දුන්නා. ‘දැහැන‘ යන නම ශාන්ත කේ. හේරත් සහෘදයා ලවා නිර්මාණය කර දීමද කළේ ඔහු විසින්. අන්වර්ථ නාම හා සත්‍ය නාම යොදමින් අපි ‘දැහැන‘ කලාප තුනක් දක්වා නිර්මාණ මණ්ඩපයේ කටයුතු ඉදිරියට ගෙන ගියා.

ඒ වන විට මාතර ප‍්‍රදේශයේ නිර්මාණකරුවන් ඒකරාශි කරමින් ‘රිද්ම‘ නමින් විකල්ප ප‍්‍රකාශනයක් සංස්කරණය කළේ සහෘද නිලාර් එන්. කාසිම්. මහනුවර සහ මධ්‍යම පළාත පුරා සිටි තරුණ හා වැඩිහිටි නිර්මාණකරුවන් ඒකරාශි කරමින් මාධ්‍ය අධ්‍යයන පර්ෂදය වැඩ කරමින් තිබුණා. එහි මූලික කාර්යභාරයක් ඉටු කළේත් රෝහිත භාෂණ සහෝදරයා. බොහෝ තරුණ නිර්මාණකරුවන් එක් කළ ‘පවුර’ නමැති විකල්ප ප‍්‍රකාශනය රෝහිත විසින් සංස්කරණය කෙරුණේ මෙම විකල්ප සංස්කෘතික සංවිධානයේ ප‍්‍රකාශනයක් ලෙසයි.

90 වසරේ ආරම්භ කෙරුණු ‘ලක්මිණ‘ නමැති විකල්ප ප‍්‍රකාශනයේ අතරමැද නැවතුමත් සමඟ සුනිල් මාධව ඇතුළු ප‍්‍රගතිශීලී මාධ්‍යවේදින් රැසක් එක්ව ‘ලක්දිව‘ පුවත්පත ආරම්භ කෙරුණා. එහෙත් මුදලාලිගෙ පත්තර කලාව ප‍්‍රතික්ෂේප කරපු සුනිල් අයියලා පාරට ආවෙ ජනතාවගෙ ආධාරයෙන් පත්තරයක් කරන බවට අධිෂ්ඨානයකින්. සටන්කාමී පත්තරකාරයන් රැසක් ‘හිරු‘ පුවත්පත සමග එන විට අප එය භාරගත්තෙ මහත් උද්යෝගයෙන්.

බොහෝ විට පත්තරකාරයන්ගෙ නම පිටුවල පළවුණත් පසුබිමේ ඉන්න ඒ හා සමානම සටන්කාමී සහෘදයන්ගෙ නම් කවදාවත් පත්තරවල පළ වෙන්නෙ නෑ. එදා ‘හිරු‘ ගොඩනඟන්න වෙහෙසුණු ඒ සගයන් පසුව දේශපාලන ක‍්‍රියකාරීත්වය තුළ ගිලී ගියා. ඔවුන් තවදුරටත් සිය කාලය හා ශ‍්‍රමය වැයකරමින් ඇත්ත විප්ලවවාදී කාර්ය පත්තරය පමණක් නොව භූමියේ දේශපාලන අරගලය බව සනාථ කළා. ඒ නිසා අදත් පත්තරකාරයන් ලෙස අප කොච්චර ලස්සන වචන හරඹ කළත් ඇත්ත සටන් සිදුවෙන්නෙත් ඇත්ත සටන්කාමීන් ජීවත් වෙන්නෙත් පත්තර පිටු මත පමණක්ම නොවේයි.

ඇත්ත සටන ජනතාව විසින් සිය සැබෑ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ගෙන යන සටනයි. එදා රාජපක්ෂ රෙජිමයට එරෙහිව කටුනායකදිත් හලාවතදිත් රතුපස්වලදිත් එවැනි සටන් ඇවිළුණා. පත්තරකාරයන් නිරීක්ෂකයන් ලෙස නොයෙක් ලස්සන කතා ලිව්වා. ඒත් රාජපක්ෂ පාලනය පෙරළා දමන්න දේශපාලන නායකයන් හා පත්තරකාරයන් විසින් මියගිය මිනිසුන්ගෙ ජීවිත ලන්සුවට තිබ්බා. මාධ්‍ය සටනේ පතාක යෝධයන් අද හොයාගන්නත් නෑ. අද යාපනේදි කහවත්තෙදි ලිප්ටන් වටරවුමෙදි සටන්කාමී ලෙස පෙළ ගැසෙන පීඩිත ජනයා වෙනුවෙන් කතාකරන්න පත්තර වීරයන් නෑ.

ඔවුන්ගෙ පෑන්වල තියෙන්නෙ ධනපතියන්ගෙ මොනර කොළ දිස්නයයි. පහුගිය කාලෙ වීදියෙ සටන් පාඨ කී ඔවුන්ගෙ කටවල් හා අත්වල ලැප්ටොප් හා කාර්වලට දෙන ණය නිසා වැසි ගොස් තිබෙනවා. ජනමාධ්‍ය සටන්කරුවන්ගෙ අවධානය ප‍්‍රවෘත්ති විකිණීම සඳහා වෙන් වෙද්දි ජනතාව තනිවම සටන් කරනවා. විවිධ ධනපති පත්තරවල සේවය පිණිස ගිය ජනමාධ්‍යකරුවන් අතර සිය පෑන මෙහෙයවිය යුත්තේ කුමක් සඳහාද යන්න වටහා ගත් පිරිස අඩුයි. කරට කර සටන් වැදුණු තවත් සමහරු සිය පෑන කුලියට දී තිබෙනවා.

යාපනයේත් කහවත්තේත් මීතොටමුල්ලේ සහ මීරියබැද්දේ ජනතාව සාමූහිකව සටන් කරද්දී ඇතැම් සගයන් විවිධ දේශපාලන මතවාද තුළ හෘදසාක්ෂිය යටපත් කරගෙන නිහ`ඩ වී ඉන්නවා. ධනපති මතවාද වෙනුවෙන් හෝ පඩිපත වෙනුවෙන් හුදෙකලා නොවන ලෙස තවමත් හෘද සාක්ෂියක් ඉතිරිව ඇති, මාධ්‍ය සගයන්ගෙන් ඉල්ලනවා.

Advertisements