Archive for ඔක්තෝබර්, 2021

පාසල් නැවත ආරම්භ කිරීම – පුදන කොටම කාපි යකා!

පාසල් ආරම්භ කිරීමේදී 5 ශිෂ්‍යත්ව හා අ.පො.ස. උසස් පෙළ විභාගවලට මුහුණ දෙන දරු දැරියන්ට ප්‍රමුඛතාව දෙමින් පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කළ යුතු බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල ප්‍රවර්ධන හා දුරස්ත අධ්‍යාපන රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි. මින් පෙර දෙවරක් අධ්‍යාපන ඇමති ධුරය දරා ඇති ඔහු, ඔක්තෝබර් 8 වැනිදා මේ ප්‍රකාශය කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. විපක්ෂ නායකයා විමසා ඇත්තේ කඩිනමින් පාසල් නැවත විවෘත කිරීම හා විභාග පැවැත්වීමට ආණ්ඩුව සූදානම්ද යන්න ගැනය. මේ වනවිට කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසා ඇති පසුබිමක ලක්ෂ 40කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පාසල් අධ්‍යාපනය අඩාල වී ඇති නිසා බැලු බැල්මට මේ ප්‍රශ්නය හා පිළිතුර පිළිගැනීමට කිසිවකු දෙවරක් කල්පනා කරන්නේ නැත. නමුත් මේ ආකාරයට පාර්ලිමේන්තුවේ සිදුව ඇත්තේ අධ්‍යාපනය ගැන හෝ විභාග ගැන හෝ අබ මල් රේණුවක අදහසක් නොමැති සංවාදයක් බව අවධාරනය කළ යුතුව ඇත. මේ රටේ ආණ්ඩුව පමණක් නොව, විපක්ෂය පවා කල්පනා කරන්නේ ලක්ෂ 40කට අධික පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රශ්නය නම් සංවාදය ගත යුත්තේ ‘කඩිනමින්’ පාසල් නැවත පටන් ගැනීම ගැන හෝ ‘විභාග’ කියන පැත්තෙන් නොවේ යැයි අපි කියමු. මේ දේශපාලක දෘෂ්ටිකෝණයෙන් ශිෂ්‍ය පරපුරේ ලක්ෂ සංඛ්‍යාත මව්පියන්ගේ අවධානය දිනා ගැනීමට හා ඡන්ද ආකර්ෂණය කරගැනීමට කෙරෙන ව්‍යාජ ආදරය පෑමකි. අප එසේ කියන්නේ ඇයි?

වසංගතය පළමු වරට ව්‍යාප්තවීම හේතුවෙන් පාසල් පැවැත්වීම නතර වූයේ 2020 මාර්තු මාසයේදීය. නැවත කෙටි කාලයකට පාසල් ආරම්භ වූවද දෙවැනි කොරෝනා රැල්ල සමයේ යලි පාසල් වසා දමන ලදී. මේ වන විට මෙම පාසල් වසා දැමීම් නිසා වයස 6-11ත් අතර ලක්ෂ 7කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනය අහිමි කර ඇත. මේ වන විට වයස අවුරුදු 3-6 දක්වා එවැනිම දරුවන් සංඛ්‍යාවකට පූර්ව ළමාවිය අධ්‍යාපනයත් අහිමි වී ඇත. මේ හේතුව නිසා ආණ්ඩුවේ බලධාරින් විසින් සිසුන් 100ට වඩා අඩුවෙන් සිටින පාසල් 3000කවිවෘත කිරීමට සැප්තැම්බරයේදී තීරණයක් ගෙන තිබිණි. මෙසේ පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබිණි.

පාසල්වල 7-13 පන්තිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කෝවිඩ් වැළැක්වීමේ එන්නත් ලබා දී පාසල් කඩිනමින් විවෘත කිරීමට අවධානය යොමු කර ඇති බවද ඒ වෙනුවෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් අවශ්‍ය බවද අධ්‍යාපන ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබිණි. පළමු වටයේ සිසුන් 100ට අඩු පාසල් විවෘත කරන බව කියැවුණද පසුව ළමුන් 200ට අඩු පාසල් දක්වා එම සංඛ්‍යාව වැඩි කෙරිණි. නමුත් එන්නත් ලබාදීඹ තවමත් නිසි ලෙස ආරම්භ කර නැත.

මේ අතර කෝවිඩ් මර්දන විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් කළ අදහස් විමසීමකදී පාසල් සහ පෙර පාසල් යළි විවෘත කිරීමේදී නිසි සෞඛ්‍ය නිර්දේශ යටතේ කටයුතු කළ යුතු බවත් දෙමාපියන්ගේ කැපවීම සහ සැලකිලිමත් බව එහිදී ඉතා වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. පාසල් පවිත්‍රකරණය සහ විෂබීජහරණයේ දී පළාත් පාලන ආයතනවල සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සෘජු දායකත්වය ලබා ගැනීමට ද තීරණය කෙරිණ.

දරුවන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා කඩිනමින් විවෘත කළ යුතු බව පවසමින් ආණ්ඩුවේ ඇමතිවරු පවසන්නේ ඉදිරියේදී පැමිණෙන 5 ශිෂ්‍යත්ව විභාගය හා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා සාමන්‍ය පෙළ විභාග දෙකට පෙනී සිටින දරුවන් වෙනුවෙන් විශේෂ අවධානයකින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි. මේ කියන වැඩපිළිවෙළ විභාග කේන්ද්‍ර කරගත් පාසල් අධ්‍යාපනයේ නාටකයක් බවට සැකයක් නැත. කොරෝනා වසංගතය නිසා පාසල් වසා දැමීම හේතුවෙන් මෙරට පාසල් වයසේ දරු දැරියන් වසර එක හමාරකට අධික කාලයක් නිවෙස් තුළ ගෙවූ පීඩාකාරී තත්වය පාසල් විවෘත කිරීමෙන් වෙනසක් වන බව නම් සත්‍යයකි. නමුත් පාසල් විවෘත කරන විට අවධානය යොමු කළ යුත්තේ දරුවන් විභාගවලට තල්ලු කර දැමීමට නොවේ. අවම වශයෙන් වසර එක හමාරක් අධ්‍යාපනය අහිමි වූ සහ සමාජයීය ජීවිතය අහිමි වීමෙන් දැඩි මානසික පීඩාවන්ට ගොදුරු වූ ලක්ෂ හතළිහකට අධික දරු දැරියන් අධ්‍යාපනය ලැබීමට සුදුසු සාමාන්‍ය තත්වයට කැඳවා ගැනීමේ ‘පුනරුත්ථාපන’ වැඩසටහනකට යොමු කළ යුතු බව මෙරට පාලකයන් කල්පනා කර නැත. විභාගවලට මුහුණ දීමට සූදානම්වන දරුවන් ලෙස 5 ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා පෙළ ගස්වන දරුවන් දස දහස් ගණනකි. ඔවුන් සෙසු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වඩා අමතර පීඩාවකට මුහුණ දුන්නේ විභාග පැවැත්වෙන දිනයක් හෝ පාසල් පටන් ගන්නා දිනයක් ගැන හෝ නොදැන සිටීම නිසාය. නමුත් දැන් හදිසයේම ‘කඩිනමින්’ පාසල් ඇරඹෙනු ඇත. විභාගවලට දින නියම කෙරෙනු ඇත. ‘සියල්ල සාමාන්‍ය ලෙස’ හෙවත් ‘නිව් නෝමල්’ වශයෙන් යළි ආරම්භ කිරීමට, ලංකාවේ පමණක් නොව, ලෝකයේ සියලු රටවල පාලකයන් තීරණය කර ඇත.

පාලකයන් විසින් සිය රාජ්‍ය පාලන යන්ත්‍රයේ දැති රෝද දිවවීම පිණිස ‘කඩිනමින්’ පාසල් ආරම්භ කිරීමට ‘තීරණ’ ගනිද්දී මේ දරු දැරියන් විඳින පීඩාව ගැන තඹ සතේකට මායිම් කරන්නේ නැත. ආණ්ඩුව පාසල් ආරම්භ කිරීමට ගෙන යන ක්‍රියාදාමය සද්භාවයෙන් සිදුකරන බව කිව නොහැක්කේ ඒ නිසාය. පාසල් විවෘත කිරීමට කඩිනම් ක්‍රියාදාමයකට යාමට උත්සාහ කරන පාලකයන්ගෙන් අප ඇසිය යුත්තේ මේ පාසල් පවත්වන්නේ, විභාග පවත්වන්නේ කා වෙනුවෙන්ද යන්නය. පාසල් අධ්‍යාපනය අහිමි වූ දරුවන් වෙනුවෙන් කළ යුතු ප්‍රධාන කාර්ය කඩිමුඩියේ පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීම නම් නොවේ. මුලින්ම පාසල් ආරම්භ කළ යුතු ආකාරයත් ඉන්පසුව පාසල් දරුවන් පාසල්වලට කැඳවා ගත යුතු ආකාරයත් සැලසුම් කළ යුතුව ඇත. දරුවන් ගැන වගකීම් සහගතව හිතන, වැඩිහිටියන් ලෙස, පාසල් දරුවන් යනු වැඩිහිටියන් යැයි වරදවා ගණන් බලමින් හදන මේ සැලසුම් දරුවන් මත පැටවීම කිසිසේත්ම නුවණට හුරු නොවේ. වැඩිහිටි අපගේ වැරදි තීරණ නිසා අප විඳින පීඩාවට දරුවන්ද ගොදුරු කිරීම දැනටමත් සිදුව තිබේ.

2019 අප්‍රේල් 21 ප්‍රහාරය හේතුවෙන් පාසල් අධ්‍යාපනය අහිමි වීමෙන් දීර්ඝ කාලයක් පාසල් වසා දැමුණේ භීතිය මුසු අවිනිශ්චිතතාවක් දරුවන්ගේ මනසට ඇතුළු කරමිනි. ඉන්පසුව, කෙටි කාලයකට පාසල් ආරම්භ වුවද නැවත 2020 මාර්තු මස වසා දැමූ පසුව දරුවන් මහත් පීඩාවකින් නිවෙස් තුළ කල් ගත කළහ. මේ දක්වා දරුවන් නිවෙස් තුළදී මුහුණ දුන්නේ නිවාස අඩස්සියක ජීවති වනවා හා සමාන තත්වයකටය. මෙම පීඩාව වැඩිහිටියන්ට දැණුන ආකාරය විවිධ ආකාරයෙන් ප්‍රකාශවන අතර දරුවන්ට තම පීඩාව ප්‍රකාශ කරන්නට හෝ පීඩාව සමනය කරගන්නට මගක් නොමැත. ඒ පීඩාවේ සැබෑ ස්වරූපය දැක්වෙන අවස්ථා පසුගිය මාස කිහිපයක කාලය තුළ අසන්නට ලැබුණි. ඉන් එකක් වන්නේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අක්කාට සහ මල්ලීට එකම ජංගම දුරකථනය බෙදා ගැනීමට සිදුව තිබීමත් විභාගයකට සූදානම්වන අක්කාට ප්‍රමුඛතාව හිමි විය යුතු බවට වැඩිහිටියන් නියම කර තිබීම නිසා අධ්‍යාපන පන්තිවලට ඔන්ලයින් සම්බන්ධ වීමට නොහැකිවීමෙන් සිත්තැවුලට පත්ව සිය දිවි නසා ගත් ගැටවර දරුවකුගේ ඛේදජනක මරණයයි. තවත් අවස්ථාවක ගැටවර දරුවකු ඔන්ලයින් අධ්‍යාපනයට ලබාදුන් ජංගම දුරකථනයෙන් ඔන්ලයින් ක්‍රීඩාවලට ඇබ්බැහිවීම නිසා පියාගෙන් පහර කා මිය ගිය අමිහිරි අත්දැකීමය. මේ වාර්තා වන අවස්ථාවක් පමණක් වන අතර වාර්තා නොවූ සිදුවීම් කොපමණදැයි කිව නොහැකිය.

ගැටවර වයසේ දරු දැරියන්ට කොරෝනා වසංගතයේ මානසික බලපෑම මෙවැනි පීඩාවක්ව තිබියදී කුඩා වයස් කාණ්ඩවල දරුවන්ට කුමන ආකාරයෙන් එය බලපා ඇත්දැයි අනුමාන කළ හැකිය. නමුත් පාසල් ආරම්භ කිරීමෙන් හා සුපුරුදු යාන්ත්‍රික අධයාපන තරගයට ඔවුන් ඇද දැමීමෙන් සිදුවන්නේ වඩාත් පීඩාකාරී ඉරණමක් වෙත ඔවුන් ගොදුරු කරවීමය. විවිධ රටවල දරුවන් පාසල් අධයාපනය අහිමි වීමෙන් මුහුණ දුන් ගැටලුවලට ඒ රටවල නායකයන් හා අධ්‍යාපන විශේෂඥයන් ලබා දුන් පිළියම් කුමනාකාරදැයි විමසා බලමින් අපේ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන බලධාරින්ට අයත් වගකීමකි. නමුත් අධ්‍යාපන තරගය සංවිධානය කරමින් වාර්ෂිකව විභාග කාලසටහනකට දරුවන් දුවවන අපේ අධ්‍යාපන පද්ධතිය තුළ එවැනි අවධානයක් නොමැති බව නම් පැහැදිළිය.

ජ්‍යෝෂ්ඨ ඇමතිවරයකු ලෙස සුසිල් ප්‍රේම් ජයන්ත් කියන ආකාරයට, පටන් ගන්නේම දරුවන් තරගයට දුවවන්නට නම් ඔවුන්ට වසංගත සමයේ මුහුණ දුන් පීඩාව දෙගුණ දෙගුණ වන පාසල් ජීවිතයක් හිමි වන බවට සැක නැත. එවැනි ඉරණමක් මිස, මේ මුග්ධ පාලකයන්ගෙන් වෙනත් යහපත් යමක් දරුවන්ට හිමි වේ යැයි අපටද සිතිය නොහැකිය.