ශානි අබේසේකර – රාජපක්ෂ පාලනයේ සංකේතයක් ලෙස!

ජ්‍යෝෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වෙනුවෙන් ඉල්ලීමක් කිරීමට ‘තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ’ සහෝදරවරු අන්තර්ජාල පෙත්සමක් මා වෙත යොමුකර තිබුණා. හිතවත් ලේඛක ගාමිණි වියන්ගොඩත් එය යොමුකර තිබුණා.

පොලිස් නිලධාරියකු ‌ලෙස ඔහු කළ කාර්ය ගැන ඇගයීමක් තිබෙන අය එසේ අත්සන් කරන එක ගැන මගේ විවේචනයක් නෑ. නමුත් මා මේ නිශ්චිත කරුණ ගැන දක්වන අදහස වගේම මෙවැනි සිදුවීම් මිනිස් අදහස්, ස්ථාවරයන් ගොඩනැගීමට දායකවන ආකාරය ගැන සටහනක් තබන්න හිතුවා.

රජයේ මර්දන යන්ත්‍රයේ සාමාජිකයන් මර්දනයට ලක්වන එක සුපුරුදු දෙයක්. 87-89 කාලයේ සන්නද්ධ හමුදාවල සේවය කරමින් සිටි සොල්දාදුවන් අතරින් රජයට ඍජුවම පක්ෂ, අරගලයට පක්ෂ සහ මධ්‍යස්ථ යනුවෙන් වර්ගීකරණයක් කිරීම රහසිගතව සිදුකළ බවත් අරගලයට පක්ෂපාත සොල්දාදුවන් ඉවත් කිරීමේ ක්‍රියාවලියක් සිදු වූ බවත් ප්‍රසිද්ධ කාරණයක්.

ආණ්ඩුවක් පත්වනවිට පක්ෂපාති නිලධාරින් වරප්‍රසාද, උසස්වීම්, ලබද්දි පරාජිත පිළේ නිලධාරින් දඩයමට, හිරිහැරයට ලක්වන අවස්ථා අනන්නයි. ශානි අබේසේකරගෙ දේශපාලන පක්ෂපාතිත්වය කුමක්දැයි මා දන්නෙ නෑ. ඒ කාරණය මෙහිදී අවධානයට ගත යුතු වුත් රෝගි මිනිසකු ගැන කරන ඉල්ලීමක් මානුෂික ලෙස සැලකිය යුතුයි. මා මේ පොලිස් නිලධාරියා ගැන දැනගත්තෙ 2010දි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ මාධ්‍ය මර්දන ක්‍රියාවලියේ මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් හිරිහැරයට, පැහැර ගැනීමට, මරාදැමීමට හා අතුරුදන් කිරීම්වලට ලක් වුණා. එක් අවස්ථාවක් ලෙස, 2010 ජනවාරි 24 ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළා. 2010 ජනවාරි 26 පැවති ජනාධිපතිවරණය අවසානයේ ජනවාරි 29 වැනිදා මා අපරාධ පරික්ෂණ ‌දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ විමර්ශනයක් සඳහා හතරවෙනි තට්ටුවේ රඳවා තබා ගන්නා විට ශානි අබේසේකර, තවත් පොලිස් ප්‍රධානින් යටතේ ඒ සම්බන්ධ කටයුතු කළා. ස්ථානාධිපතිවරයකු ලෙස ඔහු ගැන අදහස් හුවමාරු කරගගන්නා විට සාමාන්‍ය නිලධාරින්ට ගරුත්වයක් තිබුණා. ඒ වගේම ඒ කාලෙය් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සම්බන්ධ ඔවුන්ට තිබුණේ ඒවැනි චිත්‍රයක් නෙවේ. ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවල පවා මා ඔහුට නොපෙන්වන්නට නිලධාරින් කටයුතු කළ බව මට දැනී තිබුණා. මගෙන් විමසනු ලැබුවේ රාජපක්ෂ පවුලේ අය සමග කිසියම් ආරෝවක් තිබෙනවාද කියාය. දින ගණනක් ප්‍රශ්න කිරීමෙන් පසුව, මා සම්බන්ධව ‌චෝදනා නැගීමට කිසිවක් නැති බව නුගේගොඩ මහෙස්ත්‍රාත් ‌වෙත වාර්තා කළේ ඔහු. විශේෂ කරුණක් ලෙස 2010 අප්‍රේල් මාසයේ සිට අගෝස්තු දක්වා ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් සාමාන්‍ය පොලිස් සේවයට මාරු කර තිබුණා. නැවත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ලද ඔහු පසුගිය කාලයකදි ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කළා.

මර්දන යන්ත්‍රයේ සේවය කරන සියලු දෙනා එහි රාජකාරි කරන්නේ ප්‍රසාදයකින් නොවන බව මා දන්නවා. ඇතැමුන් රුදුරු බිහිසුනු චරිතවලට පණ පොවමින් පාලකයන්ට අවශ්‍ය ගහල භූමිකාවට පණ පොවනවා. ඇතැමුන් කිසියම් බල කිරීමක් නිසා ඒ කාර්යයම ඉටු කරනවා. නමුත් තවත් අය හැකි හැම විටම රාජකාරියේ සීමාවන් ආරක්ෂා කරමින් ජීවත් වෙනවා. ඒ නිසාම පාලකයන්ගෙ වරප්‍රසාද හෝ තාන්න මාන්න ඔවුන්ට හිමි වන්නේ නෑ. ඒ වෙනුවට ඔවුන් පසුපස මර්දනකාරී හස්තය පැමිණීමට ඉඩ තිබෙනවා. මා මේ කියන්නේ ශානි අබේසේකර ගැනම නෙවෙයි. පොලිස් සේවයේ මෙන්ම සන්නද්ධ හමුදාවල සේවයේ කෘර අත්දැකීම් පසුකාලයක හෙළි කළ නිලධාරින් ඉන්නවා.

අපගේ කතාවේ කතානායකයා ශානි අබේසේකර, 2020 ජූලි 31 කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව මහර බන්ධනාගාරයේ රඳවා තබනු ලැබූ ඔහු කෝවිඩ් 19 ආසාදිතයකු බවට පත් වුණා. නමුත් මේ වනවිට IDH රෝහලට රැගෙන යනු ලැබ ප්‍රතිකාර ලබනවා. ඔහු කොරෝනා ආසාදිතයකු බවට පත්වීම කුමන්ත්‍රණකාරි පියවරක් බවට සැකයක් මා තුළද තිබෙනවා. කුමන පුද්ගලයකු වුවත් රෝගාතුර වු විට නිසි ප්‍රතිකාර කිරීම මනුෂ්‍යත්වයයි. ඈත ගෝත්‍ර යුගයේ පවා සතුරකු රෝගීව සිටින අවස්ථාවල සටනට කැඳවීම පහත් ලක්ෂණයක් ලෙස අත්හරිනු ලැබ තිබුණා. නමුත් වත්මන් ලෝකයේ එබඳු මනුස්ස ගති පැවතුම් නෑ.

සමාජයක් නීතිය හෝ විනයකට යටත් කිරීමට පාලකයන් උත්සාහ කරන්නේ ජනතාවගේ අවශ්‍යතා, අභිප්‍රායයන් ඉටු කිරීම වුන්ගේ අව්‍ශ්‍යතාව හෝ අභිප්‍රාය නොවන නිසා. කටවල් වසා තබන්න, මාධ්‍ය නිහඬ කරන්න, ජනතා විරෝධය කුඩු පට්ටම් කරන්න වගේම ජනතාව වෙනුවෙන් නැගෙන දේශපාලන ව්‍යාපාර මර්දනය කරන්න ආරක්ෂක අංශ පෙළ ගස්වනු ලබන්නේ නීතියේ, සාමයේ හා විනයේ නාමයෙන්. මර්දන ක්‍රියාදාමයට සහයෝගය දෙන හැම දෙනාම වටහා ගන්න කැමති නැති සත්‍ය ඒකයි. නමුත් ඉතිහාසය පාඩමක් කර ගන්නවා නම්, පාලකයන් සෙල්ලම් දමා විශ්‍රාම ගන්නා විට ඔවුන්ට පරම්පරා ගණනක දේපළ මෙරට හා පිටරට එක්කාසු වෙනවා. රජයේ සේවක නිලධාරින් අතයට වැටෙන ගාණක් එකතු කරගෙන ධනවත් වෙලා කරගත්තොත් මිස, පාලකයන්ගෙ මිනිමරු සෙල්ලම්වල බෝල අහුලන්න වැඩ කළ සියලු දෙනාටම ඒ ආකාරයේ විශ්‍රාම සුවයක් ලැබෙන්නෙ නෑ. මේ වනවිට නඩු හබ තියෙන නිලධාරින් පහුගිය කාලෙ කළ කී දේ ගැන මතකයට ගත්තොත් ඒක වඩා පැහැදිලි වේවි.

හොඳම වැඩේ පාලකයන්ගෙ පැත්තෙ ඉන්නවාද නැත්නම් ජනතාවගේ පැත්තේ ඉන්නවාද කියලා තමන් තීරණය කරන එක. පැත්තක් ගන්න බෑ වගේ කතා තමයි වැඩිපුර ඇහෙන්නෙ. පාඩුවේ රස්සාව කරගෙන ඉන්නවා කියලත් කියනවා. ඒ ඉතින් තමන්වම රවටා ගන්න සූත්‍රයනෙ, ගැලවිජ්ජාවේ ජීවන ක්‍රමයනෙ.

(මෙතැනින් මගේ අදහස් සටහන් කිරීම අවසන්)

ප. ලි. සමාජ අවධානයට ලක් වූ කාරණයක්‌ ලෙස ශානි අබේසේකර අත්අඩංගුවට ගන්නා අවස්ථාවෙදි ඔහු සිදුකරමින් තිබුණු විමර්ශන කිහිපයක් මෙහිදී සටහන් කළ යුතුයි.

  • නාවික හමුදා සාමාජිකයන් විසින් ශිෂ්‍යයන් ඇතුළු කොළම ආසන්න ප්‍රදේශවල පුද්ගලයන් 11 දෙනකු කප්පම් ගැනීමට පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම
  • මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය
  • මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම
  • මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම
  • රගර් ක්‍රිඩක වසීම් තජුඩීන් ඝාතනය
  • වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 26 දෙනකු ඝාතනය කිරීම
  • රතුපස්වල විරෝධතාවයේදී වෙඩි තබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම
  • වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනකු ඝාතනය කර අවි පැහැර ගැනීම
  • පාස්කු ප්‍රහාරය
  • මහබැංකු බැඳුම්කර වංචාව
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: