කලාව අහිංසකද? ‘දෘෂ්ටිවාද’, ‘දේශපාලනය’ වෙනුවට ‘පාරිශුද්ධ’ කලාවක්??

බැද්දගානේ සුපිරි වෙළඳසළක් අසළ නිර්මාණයකර තිබියදී මකා දමන ලද සිතුවම

කලාව සහ විචාරය සම්බන්ධව පවතින විවාදයට අදහස් ඒකතු කරන ලෙස ෆේස්බුක් මිතුරකු යෝජනා කළා. ඔහු ඒ් වෙනුවෙන් මා වෙත ප්‍රශ්නයක් යොමු කළා. පහත සටහන් වෙන්නෙ ඒ ප්‍රශ්නය සහ මා ලබා දුන් පිළිතුර.



කලාව කිසිසේත්ම අහිංසක නැහැ.එහි හැමවිටම කිසියම් දෘෂ්ටිවාදයක් අන්තර්ගව පවතිනවා. මේ දෘෂ්ටිවාදය ඉලක්ක කරගෙන කතා කරන්නට කැමති විචාරකයට චෝදනාවක් එල්ල වෙනවා “අන්න දේශපාලනය කතා කරනවා” කියලා. ඒ තත්වය ඔබ අර්ථකතනය කරන්නෙ කොහොමද? දෘෂ්ටිවාදාත්මක මැදිහත් වීමකින් තොර “අති පාරිශුද්ධ කලාවක්” පිළිබඳ උපකල්පනය කරන්නට පුලුවන්ද?

(කරුණාකර උපුටාගන්නා විට කර්තෘ අයිතිය සුරකින්න)


අපේ කාලයේ කලාව සම්බන්ධ අදහසක් ඇතිකර ගන්න නම්, අපේ කාලයේ ලෝකය, මිනිස් ජීවිතය සම්බන්ධ අදහස් ඇතිකරගන්න වෙනවා. මිනිස් චින්තනය වගේම නිර්මාණාත්මක ප්‍රයත්නයන්, කලා භාවිතයන් පවතින්නේ මිනිස් ජීවිතයේ වෙන් කළ නොහැකි අංගයක් ලෙසයි. අතීත සමාජවල පැවති කලාව ඒ ඒ සමාජ ක්‍රමයේ ස්වභාවය නිරූපණය කරන ඒ ස්වභාවය වෙනුවෙන් පෙනී සිටින තත්වයක් පැවති බව කලා ඉතිහාසය හදාරන අය දන්නවා.

අප ජීවත්වන ලෝකය විස්තර කරන්න වෙන්නෙ ධනේශ්වර ලෝකයක් ලෙස. ධනවාදය විසින් බිහිකර ඇති පරිසරයට අනුව තමයි, උපතේ සිට මරණය දක්වාම අපේ ජීවිත ක්‍රියාත්මක වෙන්නෙ. පවතින සමාජය ආර්ථික හා දේශපාලන වශයෙන් ධනවාදී සබඳතා මත පවතින නිසා අපේ ජීවිත සංස්කෘතික වශයෙන්, ආකල්පමය වශයෙන් ඒ සාමාජයීය, සංස්කෘතියට යටත්. ඒ නිසා කලාත්මක නිර්මාණ එයින් නිදහස්ව පවතින්නෙ නෑ.

ධනවාදී සමාජ ආර්ථික ක්‍රමය ලෝකයේ දිගටම පැවැති ආකාරය නොවේ. මිනිස් ඉතිහාසය පරික්ෂාකර බලද්දි විවිධ සමාජ ආර්ථික ආකෘති මිනිස් සමාජය විසින් පසුකර තිබෙනවා. මිනිසා වානර අවස්ථාවේ සිට වත්මන් දියුණු මිනිසා ලෙස හඳුන්වන අවධියට එද්දි ශාරීරික හා අධ්‍යාත්මික පරිණාමයක් සිදුවු ආකාරයෙන්ම බාහිර වශයෙන් සමාජ ආර්ථික ජීවිතයද ආර්ථිකයේ වෙනස්කම්වලට සාමාජීය වශයෙන් ප්‍රයත්න දැරුවා. මිනිස් සමාජය, ආදිතම ගෝත්‍ර සමාජයේ සිට පසුව වහල් යුගයක පැවතිලා එයිනුත් පසුව, වැඩවසම් හෝ ආසියාතික නිෂ්පාදන ක්‍රමයක පැවතිලා තමයි ධනවාදී සමාජ ක්‍රමයක් කරා පරිණාමය වූයේ. මානව සමාජයේ පරිණාමය සම්බන්ධව දේශපාලන හා ආර්ථික සාධක මත විශ්ලේෂණය කළ විට ඒ ඒ යුගයේ දේශපාලන ආර්ථික ස්වභාවය සහ සබඳතා නැවත සාමාජයීය මෙන් පෞද්ගලික ජීවිතයට ඍජුව බලපා තිබෙනවා.

ධනේශ්වර ක්‍රමය පවතින්නෙ වැඩි වැඩියෙන් ලාභ උපදවන්නට අරමුණු කරගත්, ඒ වෙනුවෙන් මිනිස් හැකියාවන් රුදුරු ලෙස අවභාවිත කරන සබඳතා රාශියකින්. ධනවාදය තුළ පවතින මේ පීඩාකාරී සමාජ ආර්ථික සබඳතා ධනවාදී සමාජයේ මිනිස් ජීවිතයට බලපා තිබෙනවා. ආර්ථික තලයේදී මේ බව වඩාත් හොඳින් හඳුනාගන්න පුළුවන්. ඒ නිසාම මිනිස් ජීවිතයේ පීඩාකාරීත්වය විඳින ජනයා ඒ තත්වය කරුමය හෝ වෙනස් කළ නොහැකි ස්වභාවික තත්වයක් ලෙස වටහා ගන්නවා. නමුත් ඔවුන් ඒ පීඩාව සමානව භාර ගන්නෙත් නෑ. ස මහරු මෙම ධනේශ්වර සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය සම්බන්ධ දැනුවත්වම විරෝධය පළ කරනවා. සමහරු නොදැනුවත්ව ඊට එරෙහි වෙනවා. මිනිස් චින්තනය මිනිස් ආධ්‍යාත්මය ඒ ඒ සමාජ ආර්ථික ක්‍රමයේ නියෝජනයක් දරන අතරම ඒ ක්‍රමයට ඒරෙහි හරයක්ද අඩංගු වෙනවා.

ධනවාදය සමාජ ආර්ථික ක්‍රමයක් ලෙස දරණ ස්වභාවය මෙන්ම මිනිසා ඊට එරෙහිව ගෙන යන විරෝධයද කලාව තුළ අන්තර්ගත වෙනවා. ධනවාදී සමාජ ආර්ථික දේශපාලන ක්‍රමයේ බලපවත්වන අදහස් කලාව තුළ අඩංගු වෙනවා වගේම ඊට එරෙහි අදහස් කලාවට එක් වෙනවා. පවතින සමාජ ක්‍රමයේ අදහස් නිරූපණය කරමින් ඒ වෙනුවෙන් සේවය කරන කලාව, මිනිසාට තමන්ගෙ ජීවිතය වඩා යහපත් තැනකට ඔසවා තබන්න ප්‍රඥාවක් ගෙන එන්න සමත් වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් යහපත් කලා භාවිතයක් ලෙස හඳුන්වන්නෙ පවතින සමාජ ආර්ථික ක්‍රමයේ අත්දැකීම් පීඩාකාරිත්වය හා මානව විරෝධී අංගලක්ෂණ ප්‍රතික්ෂේප කරමින් එය වෙනස් කිරීම හා වඩා යහපත් මිනිස් ජීවිතයක් වෙනුවෙන් පෙනී සිටින නිර්මාණාත්මක භාවිතයටයි. ජීවිතය කලාත්මකව නිරූපණය කෙරෙන හා ඒ ජීවිතයට අදාළව සමාජ ආර්ථිකයේ පවතින සීමාවන් ජයගැනීමට මිනිසාට නව සිතීමක් හා ධෛර්යයක් උපදවන කලා භාවිතයක් මිනිසා දියුණු වෙත්ම බිහි වුණා. නමුත් මේ මානව විරෝධී හෝ මානව හිතවාදි ලක්ෂණ අඩි කෝදුවකින් හෝ තරාදියකින් හෝ වෙනත් මිනුම් දණ්ඩකින් මිනිය හැකි දෙයක් නොවන බව සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙකුට වුවුද තේරුම් ගන්න පුළුවන්. යම් කලාකෘතියක මේ ලක්ෂණ සම්මිශ්‍රණය වී තිබුණත් කලා නිර්මාණයේ අවසාන දිශානතිය කුමක්ද කියන කාරණයෙදි එහි මානවවාදී හරයක් ඇතිද නැත්නම් මානව ප්‍රගමනයට හරස් කපන කෘතියක්ද කියන නිගමනයට ඒන්න පුළුවන්. කලා විචාරය කියන්නෙ මේ ලක්ෂණ නිර්මාණයක පැවැතීම මෙන්ම නිර්මාණයක් නියෝජනය කරන අදහස් සම්බන්ධව අඩු වැඩි වශයෙන් කෙරෙන සාකච්ඡාවක්.

කලා කෘතියක දෘෂ්ටිවාදය යනු පවතින සමාජ ක්‍රමයේ නියෝජනයක් වන තාක් ඒ කලාව අහිංසක දෙයක් වෙන්නෙ නෑ. ඒ ඇයි කිව්වොත් පවතින සමාජය තුළ මිනිසාගේ ජීවිතය කියන්නේ මිනිසාගේ ජීවිතය ගොදුරු කරගන්නා යාන්ත්‍රණයකින් බිහිවන පීඩාවක්ව පැවතීමයි. කලා විචාරය ඒ මානව විරෝධි සමාජ ලක්ෂණ පරයා මිනිසාගේ ජීවිතය යහපත් කිරීමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටිනවා නම්, ඒ අහිංසක නොවන කලා නිර්මාණයේ දෘෂ්ටිවාදී වශයෙන් පවතින අගති සහගතබව අනාවරණය කළ යුතුයි. ඒ කලා විචාරය අහිංසක නැතිවා වගේම ඒක දේශපාලනිකයි කියලා පිළිගන්න වෙනවා. ඒකට හේතුව කලා නිර්මාණ පවා අහිංසක නැති බව ඉහත අපි පිළිගන්න නිසා.

මේ කතාවෙදි පාරිශුද්ධ කාලවක් කියලා යමක් තියෙනව කියලා සමහරු හිතනවා. නමුත් පවතින සමාජ ආර්ථික ක්‍රමය පාරිශුද්ධ නැති පසුබිමක එයින් පැන නගින ජීවිතය, චින්තනය මෙන්ම කලාත්මක නිර්මාණ පාරිශුද්ධ වෙන්නෙ නෑ. නමුත් මේ අගති සහගත මානව විරෝධී සමාජ ආර්ථික පරිසරය වෙනස් කිරීමට සමත් මිනිස් චින්තනයක් සහ භාවිතයක් මිනිසා තුළම අඩංගු වෙනවා. මිනිසා වානර යුගයේ සිට දියුණු තාක්ෂණික යුගයක් කරා ගෙන ආවේ ඒ ප්‍රගතිගාමී චින්තනය හා ක්‍රියාකාරිත්වය නිසයි. ඒ චින්තනය වගේම භාවිතය මොන වගේද? නිසැකවම ඒ පවතින දේ පිළි නොගන්නා, වඩා යහපත් දේ වෙනුවෙන් කෙරෙන මිනිසා පුද්ගලිකව මෙන්ම සමාජමය වශයෙන් මැදිත්වන මානව ශිෂ්ටාචාරමය අරගලයක්. ඒ අරගලය කාලයෙන් කාලයට මන්දගාමි වන විටෙක වේගවත්වන අඛණ්ඩ ක්‍රියාදාමයක්. මිනිසා නිෂ්පාදන ක්‍රියාදාමයේදී බිහිකරන විවිධ නව සොයාගැනීම්, නව දැනුම, නව තාක්ෂණ්‍ය වගේම කලාත්මක නිර්මාණ පවා ඒ ක්‍රියාදාමයේ වෙන් කළ නොහැකි අංග.

යම් නිශ්චිත සමාජමය අවස්ථාවක මිනිස් සමාජයේ බිහිවන කලාත්මක නිර්මාණයක් මිනිසාගේ ජීවිතය යහපත් බවට පත්කිරීමේ අරගලය වෙනුවෙන් කෙරෙන මැදිහත්වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. එවැනි කලාත්මක භාවිතයක් ප්‍රශස්ත කලාවක් වෙනුවෙන් ස්ථානගත කරන්න පුළුවන්. නමුත් ඒයින් ඔබ්බට මානව සමාජය ගමන්කරන අවස්ථාවක අවස්ථාවකදී වඩා ප්‍රශස්ත කලාවක් බිහිවෙන්න පුළුවන්. ඒ් නිසා මේක අඛණ්ඩ ක්‍රියාවලියක්. ‘පාරිශුද්ධ’ කලාවක් කියන ඒ අදහස සාපේක්ෂ වෙන්නෙ අන්න ඒ නිසා.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: