‘මාධ්‍යයේ වසංගතය: ජුගුප්සාජනකයි!

කොරෝනා වසංගතය නිසා සිදුවී ඇති දහසක් ආපදා, අනතුරු මැද්දෙ හිත සනසාගන්න තියෙන එක කාරණයක් හැටියට මම දකින්නෙ මේ රටේ ජනමාධ්‍ය චැනල්, මුද්‍රිත පත්තර මොනතරම් ජුගුප්සාජනකද කියලා අනාවරණය වීම.
මට එහෙම හිතුනෙ ‘විවර’ වෙබ් අඩවියට වත්මන් මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් අදහස් පළ කරන්න කියලා කෙරුණු ඉල්ලීම ගැන හිතන වෙලාවෙ.
අපේ සමාජයේ ඇතැම් තීරණාත්මක අවස්ථා එනවා, ඒවා හරිම තීරණාත්මකයි සහ ඉක්මනින් දේවල් වෙනස්කම්වලට ලක් වෙනවා. සිදුවීම් පෙළ ගැහෙන වේගයට අනුව, මිනිස්සු ප්‍රතිචාර දක්වනවා, හැසිරීම වෙනස් කරනවා. ‘කොරෝනා වසංගතය’ අන්න ඒ වගේ අවස්ථාවක්. මාධ්‍ය විසින් වසංගත තත්වය භාරගත් විදිය සහ ඒ ව්‍යසනය වාර්තා කරන්න, ව්‍යසනයෙන් බැට කන මිනිස්සු ගැන කතාකරන්න පටන් ගත්තා. නමුත් මාධ්‍ය ආයතනවල වැඩකරන අයට වෙනත් අවස්ථාවලදි වගේම මේ වසංගතය ගැන තමන්ගෙම අත්දැකීම් ලැබෙන්නෙ නෑනෙ. යුද්දෙදි නම් අඩුගානෙ හමුදා වාහනයක නැගලා ගිහින් ඔවුන් කියන කරන දේ වාර්තා කරලා මාධය ආයතන ‘රේටිං’ නග්ගා ගත්තා. මේ වගේ වෙලාවකත් කරන්න වෙන්නෙත් එක්කො පොලිසිය, හමුදාව එහෙමත් නැත්නං වෛද්‍යවරයෙක් හෝ වෙනත් සෞඛ්‍ය නිලධාරියෙක් කියන කරුනු අරන් තමන් ඇහුවා දැක්කා වගේ ලියන එක. ඒ නිසා ඔවුන් සංඛ්‍යාලේඛන එහෙම අරන් කොරෝනා වසංගතය ගැන වාර්තා ලියමින් තරගයක යෙදුණා.

පෞද්ගලික මාධ්‍ය හැසිරීම

එක් මාධ්‍ය ආයතනයක කරුණු හොඳින්ම විස්තර කෙරුනොත් අනෙක් ආයතනයට ඒක අවාසියි. මේ නිසා හොයලා හොයලා අලුත්ම දේ වගේ වෙනස් දේ ප්‍රචාරය කළේ නැත්නම් මාධ්‍ය සමාගමේ පාලකයන් සතුටු කරන්න බෑ. ඉතින් තොරතුරු වාර්තාකරණය වෙනුවට වෙනත් කාරනා ඇතුලත් කරලා වාර්තා කෙරෙනවා. වසංගතය මැඩ පැවැත්වීමේ සමාජ අරමුණ වෙනුවට මාධ්‍ය හිමිකාර ධනකුවේරයන්ට තියෙන්නෙ රේටිං වැඩිකරගෙන වැඩිපුර දැන්වීම් ආදායම් ලබාගන්නා ඉලක්ක. විවිධ ප්‍රකට හා අප්‍රකට ව්‍යාපාර කරගෙන යන ධනකුවෙරයන් මේ රටේ පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ධනය වැය කරන්නෙ අත ලෙවකන්නද? නෑ ඔවුන් ‘ප්‍රචාරක මැෂින්’ ලෙස එහෙමත් නැත්නම් දේශපාලකයන්ගෙ කුණු හෝදන ‘වොෂින් මැෂින්’ හැටියට හසුරුවන මේ මාධ්‍ය ආයතන නිසා එකවර ප්‍රාග්ධන බලයක් වගේම, ‘දේශපාලන බලයක්’ හිමි කරගන්නවා. පාලකයන්ට මේ මැෂින් කුලියට දීලා ඔවුන් රාජ්‍ය ආයතනවල දැන්වීම් වගේම වෙනත් ව්‍යාපාරික අවස්ථා හිමිකර ගන්නවා. ඒ නිසා වැඩියෙන් ජනප්‍රිය මුහුණුවරකින් චැනල් සහ පත්තර පවත්වාගෙන යාමේ ඉලක්ක මාධ්‍ය ආයතන හිමි කුවේරයන්ට තියෙනවා.
ඒ ඉලක්ක සපුරන්න මාධ්‍ය ආයතනයේ වැඩකරන පිරිස සමත් නොවුණොත් ඔවුන්ට වැටුප් වැඩිවෙන්නෙ නෑ, උසස්වීම් ලැබෙන්නෙ නෑ, අමතර දීමනා කැපෙන්න පුලුවන්, වෙන අලුත් කට්ටිය අරන් තමන්ගෙ රස්සාව නැති වෙන්නත් පුලුවන්. ඒ නිසා මේ අය ඇත්තටම මාධ්‍යවේදීන් කියනවට වඩා ඔවුන්ම තමන් ‘කුලීකාරයන්’ ලෙස හඳුන්වාගන්න තත්වයට ඇද වැටිලා. ඒ නිසා, අලුත්ම පුවත් හැටියට මොනවා හෝ ආවේගාත්මක, හැඟීම්බර, කුණු රස තොරතුරු චැනල්වල ප්‍රචාරය කිරීමේ අවශ්‍යතාව මොකක්ද? ඒක වාර්තා සපයන අයගෙ අසනීපයක්ම නෙවෙයි. ඒවා ඉල්ලන්නෙ මාධ්‍ය ආයතනවලින්. ඒ වගේ වාර්තා තමයි හොඳින් ප්‍රචාරය වෙන්නෙ. මේ මාධ්‍ය රේටිං තරගය නිසාම රෝගය බෝවන ආකාරයෙන් සහ ඒ ආසාදියන් සම්බන්ධ හෙළිකළ යුතු නොවන අතිශය පෞද්ගලික තොරතුරු, ඔවුන්ගේ ඡායාරූප, දරුවන්ගෙ පින්තූර, පවුලේ විස්තර, ගෙවල්වල ඡායාරූප හෝ වීඩියෝ දර්ශන වැඩි වැඩියෙන් ප්‍රචාරය වුණා.

රාජ්‍ය මාධ්‍ය හැසිරීම

රාජ්‍ය මාධ්‍ය ආයතනවල වැඩකරන අයට සිදුවෙන්නෙ මේ ඉලක්කවලටම යන්න නෙවෙයි. ඔවුන්ට ඒ වෙනුවට කරන්න වෙන්නෙ ආණ්ඩුවේ ප්‍රචාරක අරමුණු ඉටු කිරීමයි. විශේෂයෙන් මහමැතිවරණයක් කැඳවලා තියෙද්දි කොරෝනා වසංගතය වර්ධනය වෙන එක ගැන හෝ ඒක එහෙම වෙන්න බලපාන දුර්වලතා වාර්තා කිරීමට රාජ්‍ය මාධ්‍ය ආයතනවලට බෑ. ඒ වෙනුවට වසංගතය අද හෙටම අවසන්වන බවට තොරතුරු පණ පිහිටුවලා වාර්තා කරන්න වෙනවා. ඇත්ත මොකක් වුණත් රජයේ මාධ්‍ය සාකච්ඡාවල මැති ඇමතිලා කියන දේවල් අරගෙන ඒවාටම සෙට් වෙන රාජ්‍ය නිලදාරින්ගෙ අදහස්, පාර තොටේ හමුවන ජනතාවගේ අදහස් පළ කරන්න වෙනවා. ජනාධිපතුතිතුමගේ නායකත්වයෙන්, අගමැතිතුමාගෙ මග පෙන්වීමෙන් කොරෝනා වසංගතය අවසන් කිරීම සිදුවෙන බව ඔවුන් කියනවා. ඒ වගේම මේ වසංගත මර්දනයට සෞඛ්‍ය සේවකයන් කොච්චර කට්ටක් කෑවත්, ආණ්ඩුව විසින් මුල්තැන දුන්න හමුදාපතිවරයාගේ මූලිකත්වය හා රණවිරුවන් වීරෝදාර කැපකිරීම නිසා වසංගතය පාලනය කළ බව කියන්න ඔවුන් කටයුතු කරනවා.
අපි දන්න විදියට එක නගරයක ආහාර ද්‍රව්‍ය වෙළඳසල් දහයක් දොළහකින් බඩු ගත්ත, ඇඳුම් කඩ, ඖෂධ ශාලා හතර පහකින් අවශ්‍යතා සපුරාගත දස දහස් ගණන් මිනිස්සු ඇඳිරි නීතිය දැම්මම එක කඩේකින්, හොරෙන් හරි ආහාර ද්‍රව්‍ය හා වෙනත් අවශ්‍යතා සපුරාගන්න උත්සාහ කරනවා. තමන්ගෙ සනීපදායක ජීවිතය බිඳවැටුණු නිසා කලබල වෙන මධ්‍යම පන්තික පරිභෝජන මනෝභාවය විසින් ඒ.ටී.එම්. පෝලිම්වල, සුපර්මාකට්වල පොදිකනවා. මාස ගානකින් එළියට එන්න බැරි වෙයි කියලා, මාසෙ ගණනකට බඩු මිලදී අරන් පොදි ගහ ගන්නවා.
නමුත් මේ සිදුවන දේ සම්බන්ධ රජයේ වගකීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයට මේ මාධ්‍ය ක්‍රියාදාමය ඇතුලේ ඉඩ නෑ. මැතිවරණයක් ප්‍රකාශයට පත් වෙලා තියෙද්දි ආණ්ඩුවේ දේශපාලන ප්‍රචාරයට විශාල ඉඩක් හිමි වෙලා. විපක්ෂය කියන ආණ්ඩුවේම පිළිවෙත ගෙනයන අනෙක් කල්ලියටත් අවස්ථා හිමිවන මාධ්‍ය තුල වාමාංශික අදහස්වලට කිසිදු ඉඩක් නෑ. මේ වසංගතය තුළ මිනිස් සමාජයේ අරමුනු වෙන්වෙන්, වසංගතයෙන් බැට කන මිනිසුන් වෙනුවෙන් සටන්කරන මත පළ කරන විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් අරගෙන එන වාම දේශපාලන පාර්ශ්වයන්ට කිසිදු අවස්ථාවක් හිමි වෙලා නෑ.

පීඩාව හා සූරාකෑම වසං කිරීම

එදා වේල හොයාගන්න නැතිව, කඩසාප්පුවලින් එදිනෙදා ආහාර ද්‍රව්‍ය ටික ටික මිලයට ගත්ත මිනිස්සු පිස්සු වැටිලා දුවන කොට, ඇඳිරි නීතිය කඩලා මුලු රටේම වසංගතය පතුරුවන්න හදන දේශද්‍රෝහීන් මෙන්න කියලා මිනිස්සුන්ගෙ මූණු පෙන්වන්න, පොලිසිය ඔවුන් නවත්තවලා බැණ වදින හැටි වාර්තා කරන්න රාජ්‍ය පෞද්ගලික මාධ්‍ය හරිම උනන්දුවක් ගන්නවා.
ඒ නිසා මේවා දකිද්දි අපට හිතෙන්නෙ, කොරෝනා වසංගතය අපව, අපේ සාමාන්‍ය ජන සමාජය මොන තරම් පීඩාවට ඇද දැමුවත්, මේක ජනමාධ්‍ය සම්බන්ධ හොඳම කියවා ගැනීමක් කරන්න ලැබුණු අවස්ථාවක්. ජනසමාජය ඇද වැටී තිබෙන පීඩාව පවා ගසා කමින් රේටිං වැඩිකරගන්න ඔවුන් තරගයක යෙදෙනවා. ආපදා සහන යාත්‍රා පවා ඒ රේටිං යුද්ධයේ අරමුණක්. ඒකෙන් කාට හරි සහන ලැබෙන එක හොඳයි තමයි. නමුත් ඒ සහන පාර්සල් ලැබෙන මිනිස්සුත් චැනල්වලට ප්‍රශස්ති කියන්නො වෙලා මාධ්‍ය ප්‍රචාරණයෙ සහ මාධ්‍ය කුවේරයන්ගේ ප්‍රාග්ධන යුද්ධයේ ගොදුරු ලෙස දරුණු සූරාකෑමකට ලක් වෙනවා.
මේ වෙලාවෙ කොරෝනා වසංගතය ගැන කොතරම් තොරතුරු හුවමාරු වුණත් ඇත්ත තත්වය මොකක්ද? මේ වසංගතය අවසානයේ මොකද වෙන්නෙ? අපි සමාජයක් හැටියට කොහොමද මේ ඇතිවන ආර්ථික හානිය ජය ගන්නෙ, අධ්‍යාපන කටයුතුවලින් ඈත් වුණ දරුවන් මොකද කරන්නෙ? ඔවුන් තුළ ඇතිවන ගැටලු මොනවද? පවුලේ අය එකතු වෙලා ඉන්න එක හොඳයි කියන අතරෙම ඇත්තටම මේ රටේ පවුල් තුළ එවැනි සුන්දර ජීවිත තියෙනවද? මේ කාරනා ගැන මාධ්‍ය අවධානය යොමු වෙන්නෙ ඉතාම අවම වශයෙන්. අඩුම ගානෙ මේ වසංගතය නිසා පීඩාවට පත්වන මිනිස්සු ගැන ඔවුන් සම්බන්ධ වැඩපිළිවෙළක් ගැන මේ මාධ්‍ය තරගයෙදි කතාබහ කරන්න, වාර්තා කරන්න අවධානයක් යොමු වෙන්නෙ නෑ. මේ පසුබිම තුළ විවිධ ආකාරයෙන් හිරිහැරයට ලක්වන අය ගැන පවා වාර්තා කරන්නෙ ජනප්‍රිය වාර්තාවක් ලබා දීමෙන් චැනල් එකේ රේටිං වැඩිකරගන්න පටු අරමුණින්. ඒ වින්දිතයන්ගෙ මූණු පවා පළ කරනවා.
ඒ නිසා අපි වසංගතය නැති කාලෙදි ජනමාධ්‍ය භාවිතය හා මේ අවස්ථාවෙ භාවිතය තුළ ගුණාත්මකව වෙනසක් දකින්නෙ නෑ. ප්‍රමානාත්මකව තමන් කරගෙන ගිය දේ වඩාත් ජුගුප්සාජනක ලෙස කරගෙන යන බව පෙනෙනවා.
මාධ්‍ය ආයතන සමාජමය වගකීමෙන් නිදහස් කරගෙන පටු පෞදගලික අරමුණු ඇති අය අතේ පාලනය වනතුරු මේක වෙනස් කරන්න බෑ. ලාභය මුල්කරගත් සමාජයක පැවැත්ම වෙනුවෙන් දේශපාලන ප්‍රචාරක අරමුණු හා ලාභ උපදවන ධනකුවේරයන්ගේ අරමුණු මිශ්‍ර ලෙස පවතින රාජ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය ආයතන ඔක්කොම මේ වසංගතය තුළ වඩාත් අවලස්සන ලෙස පෙනෙන්න තියෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: