ඇඹිලිපිටියේ කොවුල්ආර සිට එන, සුභ පතන කොවුලකු බදා වැළඳගමි!

(සජිත් චින්තක කවිකාර සහෘදයාගේ ‘රාමු නොකළ පින්තූරය’ කාවය සංග්‍රහය වෙනුවෙන් මා විසින් ලියු පෙරවදන මෙහි සටහන් කරමි)

සජිත් චින්තක යන නම පුවත්පත් කවි පිටු අතරින් හමුවන්නට පටන් ගෙන දිග කාලයකි. පත්තරකාර ජීවිතේ සුන්දර කළේ ඈත ගම් දනව්වල සිට ජීවිතේ ගැන ලියූ උන්මය. එහෙත් ඒ කවිවල ඇති ආත්මීය සමීපකමක් තිබිණි. සජිත්ගේ කවිය මා හඳුනාගත්තේ කවියා පෞද්ගලිකව හඳුනාගන්නට පෙරාතුවය. තවත් කලකින් අගනුවර කවි පොත් දොරට වැඩුම්වලදී සජිත් හමු විය. පොත් දොරට වැඩුමක්, චිත‍්‍රපට උළෙලක් හෝ වෙනත් කලා සාහිත්‍යමය කටයුත්තක් වෙනුවෙන් දුෂ්කර මග ගෙවාගෙන කොළඹ බලා එන සහෘදයන් අතේ ඇගිලි ගණනටය. එහෙත් සජිත් බොහෝ වර එස් හමුවන්නේද නැත. ඔහු නිතර හමුවන්නේ පෙරකී පුවත්පත් කවි පිටුවලින්ය. අතරවාරයේ සජිත් දුරකථනයෙන් කිසියම් දෙයක් ගැන කතාබහට එයි. ඔහු එහිදී කතා කරන්නේද එක්කෝ කවියක් ගැනය. නැත්නම් තමන් විසින් කියවන ලද දෙයක් හෝ ඇඹිලිපිටියේ ස්වකීය ජීවිතයේදී අසන්නට දකින්නට සිදුවූ යමක් ගැනය.

”සදාචාරාගාරෙ
ලොකු සර් මුගටියා
උප හැපින්න දඩයමේ
වල් රබර් යායෙන් නැගිටින කොටම
අටේ පන්තියෙ මාලක්ක
මං ගාව
සිප්පෙක හැදුවෙ
වින්කලේ ගාව
ඉතින් අපි අපේ පාසැල සුරකිමු”

ඇත්ත, කවියා ලෝකය වෙත විවර වූ නෙත්වලින් යුක්ත විය යුතුය. සජිත් සංවේදී මිනිසෙක් බව ඇත්ත. ඒ ඔහු ගැන කියන්නට ඇති සරලම අදහසකි. ඔහුගේ කවිය ගැන පූර්විකාවකට එය අත්‍යවශ්‍ය කතාවකි. නමුත් එහි ව්‍යතිරේකයක් ඇත. සංවේදී ලේබලය ගසාගත් මිනිසුන් මැද සජිත් ඉතා නිහඩ ලෙස එහෙත් කවියෙන් නිහඩතාව බිඳ හෙළන මිනිසෙකි. පුද්ගලයා වනන්නට යාමෙන් මේ පෙරවදන වැනෙන සුලූ අදහසක් වීමේ අනතුර ගැන මා දැනුවත්ය.

සජිත්ගේ කවිය ගැන කතා කළ හැක්කේ සජිත් හා අප සැම ජීවත්වන වටපිටාව මැදය. සංවේදී නායකයන් මේ රට සිය පවුලේ ආහාර වේලක් බවට පත්කරගත් මෑත දසකය තුළ කටහඩ අවදි කළ මිනිසුන් අතර කවි කිවිඳියෝ රැසකි. දිලිප්, ටිමා, ඩොමා, බෙනා, සජිත්,…. නම් කියන්නට ගියහොත් එය දිගු ලැයිස්තුවකි. කවියෙන් සටන් කරන්නට නොහැකි යයි සමහරු කියති. කලාකරුවා නම් සුපේශල ශික්ෂාකාමී රසවතකු වියයුතු යැයි තවත් පිරිසක් තලූමරති. එහෙත්, මිනිස් සමාජය එක තැන පල්වන්නක් නොවේ. එය සිය දුර්ගුණයන් කියවමින්, එකී දුර්ගුණයන්ට එරෙහිව සටන් වදිමින් වඩාත් යහපත් ත්වයන් නිර්මාණය කරගන්නා මිනිස් ක‍්‍රියාදාමයකි. එය එසේ වන්නේ ඇයි? සහජයෙන්මත්, මිනිසා සිය පරිණාම ක‍්‍රියාවලියෙන්මත් ඔප්පුකොට ඇත්තේ තමන් ජීවත්වන පරිසරය මෙන්ම තමන්ට දී ඇති ලෝකය වෙනස් කරගැනුමේ අරගලයක නිරතවන බවයි.

”කිරි අප්පුගෙ හෝටලේ
චන්දරෙත් එක්ක
සිංහල තේ බොනව
දලං හජ්ජියාර්,
උඹලගේ සමහර ටෝච්වලින්
පාර පේන්නෑ නාන
සිග්නල් නොදාම
ස්කූටරේ වමට හැරවුණා
යන්නං චන්දරේ
ඉබේටම කියවුණා”

මිනිසුන් ලෙස අප සතු බොහෝ දුර්ගුණයන් ගැන නිතර නිතර නැවත නැවත කියමින් විවේචනය පමණක් සාධාරණ නොවේ. ඒ නිසාම හෝද හෝදා මඬේ දමන යළි ඒවා කිළිටි යැයි දෙස් දෙවොල් තබන පැවැත්මකට වඩා කිළිටි වූ දේ පිරිසිදුකරනවා මෙන්ම සප‍්‍ර`යෝජනවත් වෙනත් කාරියකට මැදිහත්වීම වැදගත්ය. ඇතැම් දුර්ගුණයන්, කිලිටිව වැරහැලිව ගිය වස්ත‍්‍ර හා සමානය. අත්හළ යුතු දේ අත් හළ යුතුමය. පිළිකෙව් කළ යුතු දේ හඳුනාගන්නට මිනිසාට හැකිය. වැළඳගත යුතු දේ තරව ගන්නටත් එහිදී වැලඳගන්නා දේ පවා විවේචනාත්මකව වටහා ගන්නටත් සමත් වියයුතුය.

කවිය වේවා, වෙනත් කලාකෘතියක අප වැලඳගන්නට උත්සාහ කරන්නේ අප ජීවත්වන සමාජ සංස්කාතික යථාර්ථයට සරිලන යමකි. එක්කෝ අපි පවතින යථාර්ථය අපගේ පැවැත්ම සමග සාධාරණිකකරණය කරගනිමු. නැත්නම් එය අපේ පැවැත්මට හරස්වන දෙයින් කලකිරෙමු, නැතිනම් මුසපත් වෙමු. කලාකරුවා කළ යුත්තේ මේ යැයි නිර්දේශ කළ නොහැකිය. නමුත් එක් දෙයක් පැහැදිලිය. පවත්නා දෙය එසේත් නැතිනම් අප ජීත්වන, අපට දී ඇති සමාජ යථාර්ථය බොහෝ දුර්ගුණයන් උරුම කරගත් සහජයෙන්ම අපගේ මිනිස් ජීවිතය පීඩාවෙන් ආසාදනය කරවන ගති ලක්ෂණවලින් යුක්තය.

අපි හැම දෙනාම අඩු වැඩි වශයෙන් ඒ ගති ලක්ෂණවලින් පීඩා විඳිමු. අපි ඒ ගති ලක්ෂණවලන් පීඩා විඳිමින් එහි ජීවත් වෙමු. නමුත් පීඩාවට එරෙහිව සටන් කරන්නට අවශ්‍යතාවක් තිබේ. ඇතැමුන් කියන ආකාරයට පවතින සමාජ යථාර්ථය නිර්දය ලෙස විවරණය කරවීමත් එයට එරෙහි සටනේ එක් කොටසකි. අපි අමුවට කිවහොත්, අප ජීවත්වන සමාජ ආර්ථික ක‍්‍රමයේ දුර්ගුණ සහ එයින් අප මත පටවන පීඩාව අප වෙලාගන්නට සමත්වන්නේ අප එයට යටත් වුවහොත් පමණකි. අප එම තත්වය වෙනස් කරන්නට ප‍්‍රයත්න දැරිය යුත්තේ එක් අතකින් අප එහි ගිලී යාම වැලැක්වීමටය. අනෙක් අතට පවතින තත්වයන්ට, අපට දී ඇති තත්වයන්ට, අපව පෙළන සමාජ පරිසරයට එරෙහිව සටන් වැදීම මනුෂ්‍යත්වයේ ඓතිහාසික උරුමයකි. අප එයට පිටුපෑම යනු, අප මනුෂ්‍යත්වයෙන් දුරස් කරවන, දී ඇති තත්වයන්ට, අප පෙළන සමාජ පරිසරයට යටත් වීමකි.

”සිපිරි හිමි හා දරු රකින
විජයපත් සිල්ලරේ බැරිම තැන
ඇඟ ඇගුම් බස්සෙකෙන් බසී දම්මි
දුටිමි මට දාව ගැබ්ගත් දාරියක්

වමටත් දකුණටත් නැති
දූලි හුළං කතාවක්
ලියනවා මං තාම
පෙම්පතක් ගානටම නුඹ නොගත්”

ඉතින් එක් දෙයක් පැහැදිලිය. අප සටන් වැදිය යුතුය. සටන් වැදිය යුත්තේ කෙසේද යන්න ගැන අප අතර විවාද තිබිය හැකිය. ඇතැමුන් කියන ආකාරයට සටන් කළ යුත්තේ ස්වාධීන කලාකරුවන් ලෙසය. පවතින සමාජ පරිසරය විසින් දී ඇති ව්‍යුුහයන් සමග එක්ව එවැනි සටනක් තළ නොහැකිය. අප අත්දකින හා අත්විඳින ලෝකයට පිටතින් සිට බලමින් එය කළ යුතුය වැනි සංවාද තිබේ. කලාකරුවා සම්බන්ධ කාරණාවලට අප පිවිසනේනේ එතැනදීය.

එක් අතකින් කලාකරුවාගේ භාවිතය ප‍්‍රඥාව උපයාගැනීමේ ක‍්‍රියාදාමයට සම්බන්ධය. කලාව විඳීම, විචාරය, එන්නේ එතැන් පටන්ය. වෙනත් තලයකින් පිවිසුණහොත් එය කලා කෘතිය, රසිකයා හා විචාරකයා අතර සම්බන්ධය මිනිසා සිය ජිවිතයේ පවතින තත්වයන්ට එරෙහිව සිදුකරන අරගලය හා බැඳී තිබෙන්නකි. පොදු මිනිස් සමාජය පීඩාව විඳිමින් එයට එරෙහිව අරගලයක නිරත වේ. ඇතැම්විට එම අරගලය පෙරලා සමාජයීය පීඩාව පෝෂණය කරන්නකි. කලාකරුවන්ට හිමිව ඇත්තේ ඒ මිනිස් සමාජය වෙත ප‍්‍රඥාව සපයාගත හැකි අරුත් සම්පාදනය කිරීමේ භූමිකාවකි. කුමන තත්වයක් යටතේ වුව ද කලාකරුවන්ට ප‍්‍රකෘතිය ප‍්‍රතිනිර්මාණය කිරීමේ දී එය ස්පර්ශ කිරීම හෙවත් ජීවිතාවබෝධය වැදගත් වේ. එනම් විවිධ අත්දැකීම්, අනුභූතීන් පාදක කරගන්නට සිදු වේ. ලෝකයේ සියලූ මිනිසුන් අත්දැකීම් ලබන නමුත් කලාකරුවා එසේ ලබන අත්දැකීම් සිය නිර්මාණ සඳහා අනුභූතීන් ලෙස යොදා ගනී. නැවත එම කලා කෘති රසවිඳිනවුන්ට නැතහොත් රසිකයන්ට තමන්ම විඳි අත්දැකීමක් කලාකරුවාගේ අනුභූතියක් ලෙස කියවා ගන්නට ලැබේ. එහි දී රසිකයා ප‍්‍රඥා සම්පන්න කිරීමේ ක‍්‍රියාවලිය ඇරඹේ.

”පූසාරි මව්ලවි
එලවා ගුවනින්
රූප පෙට්ටියෙන්
පදලංගලින්
මාවරලින්
රැුව් දේ දිවා ?
දකුණේ ආඩම්බර
වෙඩි බණ සීතලෙන්”

සජිත් මෙම කාව්‍ය එකතුව මුද්‍රිත කෘතියක් ලෙස සහෘදයන් වෙත ලබා දෙමින් කියා සිටියේ ඔහු යෙදී සිටින කාව්‍යකරණය ඉදිරි පියවරක් තබන බවයි. නැවත නැවත ඒ කවි කියවමින් විඳිමින් පද අරුත් ගලපමින් ඔහු විසින් අත් විඳි සමාජ යථාර්ථයේ සියුම් පදාස අප වෙත ළඟා කරවන්නට ඔහු උත්සාහ ගනී. එහිදී ඔහුගේ භාෂාව, කාව්‍යාලංකාර ආදිය ගැන විචාර විවාද තරන්නට හැතියාව තිබේ. ඔහු තුළ පවතින සීමාකම්ද මේ කවි අතර ගැබ් වේ. නමුත් මා අදහස් කරන්නේ එතැනට යාම වෙනුවට සජිත් විසින් පරිහරණය කරන මාර්ගය ඔහුගේ කවි කියැවීමට, රසවිඳිමට හා විචාරයට සීමා නොකර සමස්ත කාව්‍ය ව්‍යාපාරයේ ගමන්මග තුළ කියවා ගන්නටය. අපේ කාලයේ කාව්‍ය ව්‍යාපාරය නිසැකවම වෙනස් පැති මානවලින් සමන්විත, විවිධ මතවාදවලින් හැඩ ගැන්වුණු එහෙත් මානවවාදය හරය කොට ගත්තක් බවට සැක නැත.

කවි පොත් සිය ගණනක් වසරකට පළ වන අතර පුවත්පත් කවි පිටුවල අලූත් කවි කිවිඳියන්ගේ හැඩ තළ මතු වේ. පොදුවේ 70 දසකයෙන් උපන් කිසියම් සමාජ විචාරාත්මක කලා භාවිතයක සෙවණැල්ල වත්මන් කවිය මතද වැටී තිබේ. ඒ අතරම අපේ කාලයේ කලා සාහිත්‍ය කතිකාව නව පැතිමානයන්ගේ ආලෝක ධාරාවලින් සමන්විතය. එයද නැවත කාව්‍යකරණයේ යදෙනවුන්ට බලපෑම් සහගතය. ඒ නිසාම වඩා සුබවාදී අදහසකින් සජිත්ගේ කවි පොත සහෘද පාඨකයන් විසින් පිළිගනු ඇතැයි සිතමි. සජිත් චින්තක කවියා සිය කාව්‍යකරණයේ දක්වන සීමාසහිත තත්වයන් ඉක්මවා යන්නට සමත් කඩඉමක් බවට මෙම කාව්‍ය සංග‍්‍රහයේ පැමිණීම විසින් සටහන් කරනු ඇතැයිද අපේක්ෂා කරමි.

”සිදුහත් වගේ ෆාදර් පල්ලිය හැර ගියත් හනිකට
තන්හා රති රගා තාමත් නටනවා මංගල්ලෙ දවසට
කිසා ගෝතමියක් වගේ ක‍්‍රිස්ටිනා දුවනවා දැක දැක
රාහුලෙක් උපන්නට මං ගරහන්නෙ නෑ ක‍්‍රිස්තු චරිතෙට


පසුව ලියමි

දිලිප් කුමාර කතා කළේ මධ්‍යම රාත‍්‍රියට ආසන්නයේය.
”චන්දන අයියෙ, කවි පොත එනවා. පුලූවන්කමක් තියෙනවා නම් එදාට ඇවිත් යන්න එන්න”
ඔහු කිව් දිනයේ කිසියම් වැඩක් යොදාගෙන තිබුණද නැද්ද යන්න නොතකාම මම ඒ සොඳුරු ඇරැුයුමෙන් ආනන්දයට පත් වීමි.
බෙනාගේ මීළඟ කවි පොත දොරට වැඩුම ගැනද සුභාරංචිය ලැබුණේ ඊයෙ පෙරේදාය. එළඹෙන දින කීපයේ කලා සංස්කෘතික කටයුතු ගැන ආරංචි ලැබෙද්දී පපුව හිරවෙන්නට පටන් ගැණුනි. සජිත්…. සජිත්ගෙ කවි පොත මුද්‍රණය කරන්න සූදානමින් ඇති බව … මට එහි වගකීමක් පැවරී ඇති බව….
”චන්දන අයියෙ, මගෙ වැඬේ කෙරෙනවා නේද?” ඔහු එසේ ඇසූ වාර ගණනද වැඩිය. මා දුන් පොරොන්දුද වැඩිය. සජිත් චින්තකගේ කවි පොතට ලියන පෙරවදන, ඒ පොතටම නැත්නම් කවියටම, සීමා කළ යුතු යැයි නොසිතුවෙමි.
අද රාත‍්‍රියේ එය කෙසේ හෝ ලබා දෙන බවට මම පොරොන්දු වූ විට ඔහුගේ ප‍්‍රතිචාරය කෙටියෙන් ෆේස්බුක් පණිවිඩයක් ලෙස සටහන් විය.
”බදා ගමි”
පොොරන්දුව ඉටු කළ යුතු බවද නිශ්චිත විය. සජිත් පළමු වරට ඒ කවි පොත සදහා කවි තෝරාගෙන සූදානම් වූයේ මීට වසරකට පමණ පෙරාතුවය. එදා මා වෙත එවු කවි පෙළ මා වෙත තිබියදී කල් ඉකුක් විය. එයට එක් හේතුවක් වූයේ මාය. එපමණක් නොවේ. මුද්‍රණය කරගන්නට ඔහු අත මුදල් ප‍්‍රමාණවත් නොවීය. මෑතකදී සජිත් තවත් කවි එක් වී කවි පොතකට පිටු සකසා මා වෙත එවූයේ මේ වතාව නම් පොත ගහනවාමයි කියමින්. නමුත් දැන් මාස දෙකක් තුනක් ගතවී ඇත. මා විසින් පෙරවදනක් ලියා නොදුන් වරදකාරිත්වය මැද මෙය සටහන් කළෙමි.

චන්දන සිරිමල්වත්ත
2017-07-25

පාද සටහනක්-  දිලිප්ගෙ සහ බෙනාගෙ කෘති ජනගතකරන දා ඒහි යන්නට නොහැකවීම ගැන දුක් වෙමි

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: