ඩෙල්රුක්ෂාන් – වැරදුණු පාරක මරණය!

 

mariyadas delrukshan

මරියදාස් ඩෙල්රුක්ෂාන්, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් මට හදුන්වා දුන්නේ හතරවෙනි තට්ටුවේ රදවා සිටියදීය.  ඔහු මරණයට පත් වුයේ මීට සිව්වසරකට පෙර, එනම්, 2012 අගෝස්තු 8වැනිදා ය.

මතකයේ ඇති ආකාරයට මා මුලින්ම ඔහු හමුවූයේ 2010 ජනවාරි 31වැනිදාය. රහස් පොලිසිය විසින් මා අත්අඩංගුවට ගෙන තුන්වැනි දිනයේ දෙල්කද පිහිටි ‘ලංකා‘ පුවත්පත් කාර්යාලයට කැදවාගෙන ගිය පසුව සවස් යාමයේ නැවත හතරවැනි තට්ටුවේ සිරමැදිරියට කැදවාගෙන එන ලදී. සිරමැදිරියට ඇතුළුවනවිටම වෙනසක් මට පෙනුනි. කොණ්ඩය බූ ගෑ ලාබාල තරුණයකු සිරමැදිරියේ වාඩි වී සිටියේය. ඒ වනවිට ප්‍රධාන සිරකුටියේ සිරකරුවන් 11දෙනකු විය. ඔහු ගැන පසුව මට යම් තොරතුරක් දුන්නේ ඒ වනවිට මා හදුනාගෙන සිටි සිරමැදිරි සගයකු වූ සරත් අයියා විසිනි. ඩිල්රුක්ෂාන් ලෙස මට තරුණයා හදුන්වා දුන් පසුව සුහදව කතා කළ ඔහු පසුව මිත්‍ර විය. තමන්ගේ උපන් ගම යාපනේ බවත් එල්ටීටීඊ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් බවත් ඔහු මට කීවේය. සහෝදරයෙක් සහ සහෝදරියන් තිදෙනෙක් සිටි, මරියදාස් ඩෙල්රුක්ෂාන් පවුලේ වැඩිමල් පුතාය. ධීවරයකු ලෙස ජීවිකාව කරන කි‍්‍රිස්ටෝපර් මරියදාස් නේරිස්, ඩෙල්රුක්ෂාන්ගේ පියා ය. යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ, කලා අංශයෙන් උසස්පෙළ විභාගය සමත් වූ ඩෙල්රුක්ෂාන්ට සුලු ලකුණු ප්‍රමාණයක් මද වීමෙන් විශ්ව විද්‍යාලයට පිවිසීමට නොහැකි විය.

සිංහල බසින් කතා නොකරන ඔහුට ඉංග්‍රීසි බසින් යම් යම් අදහස් ප්‍රකාශ කළ හැකි විය. එහෙත් ඔහු තමන්ට අදාල චෝදනා ගැන හෝ එල්ටීටීඊ සබදතා ගැන කිසිවක් පැවසීමෙන් වැලකී සිටියේය. එවැනි පීඩිත තත්වයක සිටියදී ඇත්තෙන්ම ඔහු එල්ටීටීඊයට සම්බන්ධදැයි විමසන්නට නොහැකිකමක් විය. ඒ ගැන හාරා අවුස්සන්නට අවශ්‍යතාවක් මට නොවිනි. අතීත ක්‍රියාකාරකම් කුමක් වුවද දැන් ඔහු හු‍ෙදකලා සිරකරුවෙකි. රාජ්‍ය මර්දනය විසින් තලා පොඩිකර දැමූ ජීවිත ගණනාවක් සම්බන්ධව මෙන්ම එල්ටීටීඊ සැකකරුවන් ලෙස හෝ වෙනත් චෝදනා මත පැහැරගන්නා පුද්ගලයන්ට අත්වන ඉරණම ගැනද මට වැටහීමක් තිබිණි.

ඒ දිනවල විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් මා වරෙක ලංකා කාර්යාලයටත්, තවත් වරක් නිවෙසටත් ඉන්පසුව කඩවත පිහිටි මුද්‍රණාලයටත් මා රැගෙන ගිය දිනවල දහවල් කාලයේ දෙමළ සිරකරුවන් ඇසුරු කරන්නට තිබුණු ඉඩකඩ සීමා විය. කිසියම් හේතුවක් නිසා දහවල් කාලයේ මා සිරකුටියේ රදවා තබා නොගෙන ඉවත ගන යන සිරිතක් තිබිණි. ඒ නිසාම ඔහු අත්අඩංගුවට පත් වූ ආකාරය ගැන කිසිදු තොරතුරක් දැනගන්නට පෙරාතුව ම ඔහු හතරවැනි තට්ටුවෙන් කැදවාගෙන ගොස් තිබිණි. ඔහු ඇතුළු දෙමළ සිරකරුවන් බූස්ස රැදවුම් කදවුරට ගෙන යන ලද බවයි. අර තට්ට කොල්ලා ගැන දන්නවාදැයි නිලධාරියෙක් මගෙන් විමසා සිටියේ ඉන් පසු දවසකය. මම කිසිවක් නොදන්නා බව කී විට ඔහු කීවේ සිය දෙපාර්තමේන්තු සගයන් විසින් පැවසූ විස්තරයකි.

මේ, 2009 ඔක්තෝබර් 29 දීපවාලි දිනය දා සිදුවූවකි. වවුනියාව පොලිසියට හදිසියේ කඩාවැදුණු ත්‍රිරෝද  රථයක් නිසා පොලිස් ස්ථානයේ හුන් නිලධාරීහු කලබල වූහ. යුද්ධය අවසන් කර මාස කීපයක් ගෙවී ගොස් තිබුණද යුද්ධයේදී වැඩිදියුණු කළ සැකය හා බිය තුරන්ව නොතිබුනි. පොලිස් ස්ථානයේ බාධකය විවෘතව තිබුනේ යුද්ධය අවසන් කළ බව තහවුරු කරගත් නිසාය. එහෙත් හදිසියේම වේගයෙන් ඇතුළු වූ රිය රියැදුරා විසින් පාලනය කරගනු ලැබිණි. ඔහුද අන්ද මන්ද වී සිටියේය. පාර වැරදුණු බව වටහා ගන්නා විට ප්‍රමාද වැඩිය. එදින දීපවාලි සතුට බුක්ති විදින්නට සගයන් සමග මත්පැන් බිවු ඔහු වටපිට බැලුවේ තැතිගත් හැගීමෙනි. රිය තුල විනෝදයෙන් කෑගසමින් සිටි සගයන්ද නිහඩවූයේ තමන් පොලිස් ස්ථානය වෙත ඇතුළු වී ඇති බව වටහා ගැනීම නිසාය. ක්ෂණයකින් නැවත රිය හරවාගත් තරුණයා පොලිසියෙන් ඉවතට ගෙන සගයන් සමග වේගයෙන් පළා ගියේය. එහෙත් ඔවුන් දෙස ඇස ගසා සිටි පොලිස් නිලධාරියෙක් වහා දිවවිත් ඔවුන් යන දෙස විමසිල්ලෙන් බලා සිටියේය. ඔහු පිටව යන රිය තුළ සිටි එක් අයකු ගැන විමසිලිමත් විය. හිසකෙස් බූගා සිටියද ඒ මුහුණ කොහේ හෝ දැක ඇති බව කල්පනා කළ නිලධාරියා තමන් වෙත ඇති ඡායාරූප කිහිපයක් දිගහැර බැලුවේ පළාගිය තරුණයන් පසුපස යන්නට අවශ්‍ය බව පොලිස් ස්ථානයේ අදාළ නිලධාරින්ට දැන්වීමෙන් පසුවය. අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ මර්දන ඒකකයේ රාජකාරි කළ ඔහුගේ සැකය තහවුරු කරන සේයාරුවක්  එහි තිබිණ.

ත්‍රිරෝද රිය ගිය ඉසව්වක් සොයා ලුහුබැද ගිය පොලිස් කණ්ඩායමට පහසුවෙන් ඔවුන් වෙත ළගාවිය හැකි විය. පොලිස් ස්ථානයට ප්‍රවේශවීමට ඔවුන්ගේ රිය හරවා තිබුනේ යාබද පටුමග ලෙස වරදවා වටහාගැනීමෙනි. යාබද පටු මාවතට ත්‍රිරෝද රථය යොමුවන ආකාරය පොලිස් ස්ථානයට පිටත හිද ඔවුන් පළායන දෙස බලා සිටි නිලධාරින් දැක තිබුනි. පටුමාවතේ දුරක් ගොස් රිය නවතාගෙන තරුණයන් සිය විනෝදවීම අරඹා තිබුණි. මත්පැන් පානය කළ බවක් පෙණුනු ඔවුන් වෙත කඩාවැදී එහි සිටි විශේෂ පුද්ගලයා කොටුකර ගන්නට ආරක්ෂක නිලධාරින්ට වැඩි වෙහෙසක් ගන්නට අවශ්‍ය නොවීය. 2009 ඔක්තෝබර් මස 29වැනිදා එසේ ආරක්ෂක අංශ විසින් වව්නියාවේදී අත්අඩංගුවට ගත් ඩෙල්රුක්ෂාන් කොළඹ අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට ගෙන ආවේ වැඩිදුර ප්‍රශ්න කිරීමටය. එහෙත් වවුනියාව පොලිසිය මින් ඔහුට විරුද්ධ නඩුවක් පවරා තිබුනේ වවුනියාව අධිකරණයේ නිසා ඔහු මාස කිහිපයකට වරක් වවුනියාව වෙත කැදවා ගෙන ආ යුතු විය. එහිදී දුෂ්කරතාවන්ට මුහුන දුන් නිලධාරින්ට ප්‍රවාහන දීමනා, අතිකාල ආදී දීමනා හිමි විය. එහෙත් තම පුතා බලන්නට යාපනේ සිට කොළඹ යන්නට සිදු වූ ඩෙල්රුක්ෂාන්ගෙ මාපියන් වෙත නීතියේ ඇස ඇරුනේ නැත. දැඩි ආයාචනා මැද අවසානයේ පුත්‍රයා වවුනියා බන්ධනාගාරයට ගෙන එන්නට හැකි වුවත් එයින් පසු අත්වන ඉරනම මේ තරම් ඛේදවාචකයක් යැයි නේරිස් මරියදාස් යුවල නොසිතන්නට ඇත.

වව්නියාව බන්ධනාගාරයේ රදවා තබා සිටියදී ජූනි 29වනදා වව්නියාව බන්ධනාගාරයේ සිදුවීමකදී ආරක්ෂක අංශ විසින් එල්ලකරන ලද ප‍්‍රහාරයෙන් පසු රාගම රෝහලට අතුළත් කරනු ලැබ දින ගණනක් කෝමා තත්වයෙන් සිටියේය. එම ප්‍රහාරයේදී තුවාල ලැබූ නිමලරූබන්ද මරණයට පත්විය. ඒ නිසා ඒවා සාපරාධී මනුෂ්‍ය ඝාතන බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. ආණ්ඩුවේ බන්ධනාගාරයක් තුළ සිදුකළ පහරදීමකින් ඔවුන් ඝාතනය කර වසර 4ක් ගතව තිබේ. එහෙත් උතුරේදී හෝ දකුනේදී එසේ මරාදමන ලද සිය සගයන්ට මෙන්ම ඩෙල්රුක්ෂාන්ට සහ නිමලරූබන්ට තවමත් යුක්තිය ඉටු වී නැත.

delrukshanමේ තරුණයා අත්අඩංගුවට ගත්තේ ඇයිදැයි පසු දිනක මා පෙර විස්තරය කී නිලධාරියාගෙන් විමසා සිටියේ තවත් දින කිහිපයකට පසුවය.

“ඩෙල්රුක්ෂාන් සුපර් එයිට් පොරක්“ ඒ මට ලැබුනු පිලිතුරයි. නිලධාරින් පවසන ආකාරයට ඔහු එල්ටීටීයෙන් මෙන්ම විදේශගතවද සන්නද්ධ පුහුණුව ලබා සිටියෙකි. එල්ටීටීඊ නායකත්වය ආරක්ෂා කරන්නට යොදවනු ලැබූවකු බවට ත්‍රස්ත ඒකකය චෝදනා කරන්නේ ඔහුගේ රුව සහිත එල්ටීටීඊ හැදුනුම්පතක් හමුවී ඇති නිසා බව නිලධාරියා කියා සිටියේය. ඔහු කියන කතාවට අනුව, යුද්ධය අවසන් කාලයේ මාර්ග පරික්ෂාවක යෙදුනු ආරක්ෂක හමුදාවලට වළලා තිබුනු ආයුද හා නිලඇදුම් කිහිපයක් හමු වී තිබේ. එහි තිබුණු හැදුන්ම්පතක තිබී ඇත්තේ මරියදාස් ඩෙල්රුක්ෂාන්ගේ සේයාරුව බව ඔහු කියයි. මේ සියල්ල කියා ඇත්තේ 2009 ඔක්තෝබර් 29 දීපවාලි දිනයේ වැරදීමකින් පොලිස් ස්ථානය වෙත හැරවූ ත්‍රිරෝද රථයේ සිටියේ තමන් සොයන සැකකරුවකු බව හදුනාගත් නිලධාරියා විසිනි.

එහෙත් ඩෙල්රුක්ෂාන් එල්ටීටීඊයේ සිටියේද නැද්ද යන්න සනාථ කර ඔහුට දඩුවම් දියයුතු වන්නේ අධිකරණ ක්‍රියාවලියක් තුලිනි. සැකකරුවකුව සිටි ඔහු ඇතුළු සැකකරුවන්ට ම්ලේච්ඡ ලෙස පහරදුන්නේ රාජපක්ෂ පාලනය යටතේ මිනිමැරීමෙන් හා කෘරත්වයෙන් ප්‍රතිවාදියා දනගස්වන ‘කැලෑවේ යුක්තිය‘ රජ කළ නිසාය. එහෙත් රාජපක්ෂ පාලනයේ වැරදි නිවැරදි කරන්නට කටමැත දොඩවමින් බලය ඩැහැගත් නූතන හවුල් ආණ්ඩුවේ රාජපක්ෂලා දැන් කියන්නේ මොකක්ද? මරාදැමුවන්ට යුක්තිය ඉටුකරනවා තබා, චෝදනා ගොනු කරන්නේද නැතිව වසර ගණන් කොටුකර සිටින මිනිසුන් දේශපාලන සිරකරුවන් ලෙස පිලිගන්නටවත් උන් සූදානම් නැත.

හතරවැනි තට්ටුවේ මා සමග දින කිහිපයක් ගත කළ ඩෙල්රුක්ෂාන්ගේ විචක්ෂණ ඇස් මා ඉදිරියේ බලා සිටී. පාන්දරින් අවදි වී ශාරිරික ව්‍යායාමයේ යෙදී දවස ආරම්භ කළ ඔහුගේ නිරෝගී සිරුරේ ජවය මතකයෙන් බැහැර නොවේ. සිරගත දින කිහිපය තුළ මා වෙත කතා කළේ වචන කිහිපයක් පමණකි. ඔහුගේ ජිවිතයේ තතු දැනගන්නට අවස්ථාවක් නොවීය. එහෙත් ඔහු සුහද ලෙස සෙසු සිරකරුවන් සමග ගෙවු කාලය තුළ යම් දිනක නිදහස් වූ විට ජිවිතය අලුතෙන් අරඹන්නට අධිෂ්ඨානයෙන් සිටි බවට සැකයක් නැත. එල්ටීටීඊයේ නායිකාවක ලෙස සිට අත්අඩංගුවට පත් වූ ‘තමිලිනි‘ හෙවත් සුබ්‍රමනියම් සිවකාමි සිය අත්දැකීම් සටහන් කරමින් ලියූ ‘තියුණු අසිපතක සෙවණ යට‘ ලියමින් තමන්ට කියන්නට තිබුණු බොහෝ දේ සටහන් කර ඇත. අවම වශයෙන් තමන් වෙත එල්ල කළ චෝදනා ගැන යමක් කියන්නට හෝ ඩෙල්රුක්ෂාන්ට හැකි වූයේ නැත.

එළඹෙන ඔක්තෝබරයේ 29 වැනිදාටත් දීපවාලි උත්සවය යෙදී තිබේ. මග වැරදී මර්දනයේ ගොදුරු බවට පත්වනු මිස යමක් වෙනස් ලෙස දකින්නට උතුරේ මෙන් දකුණේ දී තවමත් තාරුණ්‍යයට හැකිව නැත. එහෙත් දීපවාලියේ අරමුණ ආලෝක පූජාවයි. මිනිස් ජීවිතයට ආලෝකයක් උදා කරන්නට අපට හැකි වන්නේ ඩෙල්රුක්ෂාන් වැනි මරා දමන මිනිසුන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නට සූදානම් නම් හෝ ඒ වෙනුවෙන් පෙනී සිටින්නට සූදානම් නම් පමණකි.

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: