සෝමවංශ අමරසිංහ – සිරි අයියා ගැන මතකය

siri

සෝමවංශ අමරසිංහ සහෝදරයා ගැන 1994 ජූලි මාසෙ දවසක මුලින්ම මා දැනගත්තෙ ‘හිරු‘ පත්තර කාර්යාලයෙදි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අතර දිවි ගලවාගත් එකම නායකයා ඔහු බව ඒ දිනවල කියැවුණා. එක්සත් ජාතික පක්ෂ භීෂනයෙන් අලුධූවිලි බවට පත් කළ ජනතා විමුක්ති පෙරමුණේ පුනර්-සම්ප්‍රාප්තිය පිළිබද ආනන්දය සමග අප සූදානම් වුණේ නව දේශපාලන අපේක්ෂා සහිතව අගොස්තු මහමැතිවරණයටයි. මල්බදුන ලකුණ යටතේ ජාතිය ගලවාගැනීමේ පෙරමුණ ලෙස තරග කරමින් 1994 අගෝස්තු 16 වැනිදා පැවති මහමැතිවරණයෙදි ජවිපෙ එක් ආසනයක් ලබාගත්තා.

ඉන්පසුව දිගු කලක් ගෙවී ගියා. 2002 ඔහු ලංකාවට පැමිණෙන බව දැනගන්නා විට මා ‘ලංකා‘ පුවත්පතේ සේවය කරමින් හිටියෙ. ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා අනන්‍ය වෙමින් ගතකළ එම කාලය තුළ සෝමවංශ අමරසිංහ සහෝදරයා පොද්ගලිකව ඇසුරු කරන්නට හැකි වුණා. ඔහු සහභාගි වන විවිධ සමාජයීය හා දේශපාලන වැඩසටහන්වලට සහභාගි වන්නටත් හැකි වුණා. ඔහු නිරහංකාර සරල මිනිහෙක්. ඒ වගේම කියන්නට ඇති දේ කෙළින් කියන කෙනෙක්. දේශපාලන මත දැක්වීම්වලදි ඔහු සිය අදහස තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටියා. ඉංග්‍රීසි භාෂා හැකියාව නිසා ඔහු යම් බටහිර සාහිත්‍ය ඇසුරක්, කලාත්මක ඥානයක් අත්පත් කරගෙන හිටියා. දේශපාලන අරගලයෙදි කලාව, සාහිත්‍ය ඉටුකරන භූමිකාව ඔහු වටහාගෙන හිටියා. ඉංග්‍රීසි සාහිත්‍ය තුළ ඇතැම් ලෙඛකයන්ගේ කෘති විශේෂයෙන් එංගලන්තයේ ධනපති ක්‍රමයේ පැවැති තත්වය සාහිත්‍යයන් නිරූපිත ආකාරය ගැන ඔහු මා සමග සාකචඡා කළා. ඇතැම් කවි පරිවර්තනය කර සිය චරිතාපදානයට එක් කරන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියා. ඒ කවි එංගලන්තයේ සූරාකෑම සිදුවන ආකාරය හා ඇති නැති පරතරය පිළිබද තදින් විවේචනාත්මකව නිර්මාණයවී තිබුණා. එංගලන්තයේ වාසය කළ කාළෙ ඔහු යම් සාහිත්‍ය ඇසුරක සිටි බව වැටහුණා.

නමුත් ඔහු සිය පවුල් පසුබිම තුළ ලබාගත් බොහෝ ලක්ෂණ නිසා ඇත්ත වමේ නායකයකු බවට පත්වීමේ දිශාවෙන් අපගමනය වූ බවක් නිරීක්ෂනය කරන්නට හැකි වුණා. ඒ බව මා තහවුරුකර ගත්තේ ‘ලංකා‘ පුවත්පතේ කතුවරයාව ඉන්න කාලෙදි ‘මගේ කතාව‘ නමින් සිය චරිතාපදානය ලියන්නට කටයුතු කළ කාලයේ. ඉන් පෙර ඔහු ඒ ජීවිත කතාව ලියමින් සිය ළමා කාලයේ විස්තර, පන්සල් පරිසරයක හැදුණු වැඩුණු ආකාරය හා සමාජ අවබෝධය පුලුල් වූ ආකාරය සටහන් කළා. නමුත් අප ඔහුගෙන් අපේක්ෂා කළේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාවලිය තුළ අත්දැකීම් සටහන් කිරීමයි. ඒ වෙනුවට ඔහු සිය ‘සවයංලිඛිත චරිතාපදානයක්‘ ගොඩනගමින් සිටියා. වරක් පක්ෂයේ සගයන්ගෙ විවිධ විවේචන මැද එම දීර්ඝ ලිපි පෙළ අතරමග නතර කළ ඔහු දෙවන වරටත් එම චරිත කතාවේ කොටස් පළ කරන්නට පටන් ගත්තෙ දේශපාලන කාරණාවලට වඩා පොද්ගලික අත්දැකීම් සටහන් කරමින්. ඒ නිසාම ඒ ලිපි පෙළ පළ කිරීම අත්හැර දමන්නට අප තීරණය කළා. එංගලන්තයෙ වාසය කරද්දි පොතපත ඇසුරු කළත් වමේ දේශපාලන සාහිත්‍ය පරිශීලනය කිරීමට උනන්දුවී නැති බව ඔහු පෙන්නුම් කරමින් සිටියා. මා විශ්වාස කරන්නෙ එංගලන්තයෙ ජිවත් වූ ඔහුට ඒ සදහා බොහෝ අවස්ථා තිබුණ බවයි. පශ්චාත් සෝවියට් වාමාංශික සංවාද යුරෝපයෙන් ජවිපෙ වෙත ගෙන එන්නට නොහැකිවීම විසින් ජවිපෙ ඉදිරි ගමන පිළිබද කඩඉමක් සලකුණු වුණු බව බොහෝ දෙනාගෙ අදහසයි. පක්ෂයේ ඉංග්‍රීසි බස හැසිරවූ අතලොස්සක් දෙනාට වගේම ඒ ගැන සෝමවංශ අමරසිංහ සහෝදරයටත් විවේචනයක් එල්ල වී තිබෙනවා.

පසුකාලයක ‘ලංකා‘ පුවත්පතින් මෙන්ම ජවිපෙ මතවාදයෙන් වෙන්ව ගමන් කරමින් මා ඔහු දෙස විවචෙනාත්මකව බැලුවෙ ඔහු සිය දේශපාලන නායකත්ව භූමිකාව තුළින් ඉටුකළ සාධනීය දේ ප්‍රතික්ෂේප කරමින් නොවෙයි. ඇත්ත වශයෙන්ම ඔහු දැඩි කැපකිරීමකින්, අධිෂ්ඨානයකින් වැඩ කළ කාලයක් තිබුණා. ඔහු මාක්ස්-ලෙනින්වාදය ගැන කතා කළා. ඊටත් වඩා ජාතික විමුක්ති අරගලය ඔහුගේ දේශපාලන ගමනේ අවසන් අරමුණක් ලෙස පැවතුණා. ඔහු වමේ දේශපාලනය වෙනුවෙන් මුලුමනින්ම කැපවුණු බව ඇත්ත. ජවිපෙන් ඉවත්වූ පසු ඔහු කීවෙ “මෙච්චර කල් දේශපාලනය කළාට, පක්ෂ නායකයෙක් හැටියට වැඩ කළාට මම මට කියලා කිසිම දෙයක් හම්බ කරගෙන නෑ. මට ඉන්න ගෙයක්වත් නෑ!“ කියලා. ඒක පිළිගන්න පුළුවන් ඇත්තක්. ඒ ගොරවය කිසිදාක අඩු වෙන්නෙ නෑ. එහෙත් ඔහුට තමන් පසුපස එන ජාතිකවාදී දේශපාලන සෙවනැල්ලෙන් ගැලවෙන්නට නොහැකි වුණා.

වරක් ජවිපෙ කොළඹ දිස්ත්‍රික් සහෝදර සහෝදරියන් සංවිධානය කළ කලා සංස්කෘතික වැඩසටහනකදි ඔහු මගේ දියණිය දැක්කා. එදා වේදිකාව ඉදිරිපිට ඈ හිටියෙ වේදිකාවෙන් ඇහෙන ගීත ඛණ්ඩවලට අනුව පාද තබමින් සතුටුවෙමින්. ඇගේ නැටුම් විලාසය දැක ඔහු කීවා ඇයට නර්තනයෙ සහජ දක්ෂකම් තියෙන බව. ඔහු කුඩා දරුවන් කෙරෙහි මහත් ඇල්මක් දැක්වූ මිනිහෙක්. ජවිපෙ සගයන් ඔහුට ‘සිරි අයියා‘ කියද්දි ඔවුන්ගෙ දරුවන් බොහෝ දෙනා ඔහු ඇමතුවෙ ‘සුදු සීයා‘ කියලා. යුද්ධය අවසන් වීමෙන් පසුව ජවිපෙ නියෝජිතයන් පිරිසක් යාපනේ කළ සංචාරයකදි නැවත ඔහු සමග මා එක්වුණා. ඔහු යුද්ධය නිසා අවතැන්වූ තමිල් ජනයාගෙ තාවකාලිකව ඇටවූ තහඩු නිවෙස්වලට ගිය අවස්ථාවල මහත් කම්පාවෙන් ප්‍රතිචාර දැක්වුවා. පැදුරු කඩමාල්වල වාඩි වී දරුවන්ගෙ පොත පත බැලුවා. එහෙත් ඒ වනවිට ඔහු මෙන්ම අප බොහෝ දෙනා එක්ව සාධාරණීකරණය කළ යුද්ධය සම්බන්ධව ඇත්ත චිත්‍රය දකින්න අප පමා වී තිබුණා. වඩාත් නරකම දේ අප අපේ වරද පිළිබද ස්වයංවිවේචනයක් කිරීමට පසුබට වෙමින් සිටියා.

2009 මැයි 18 වැනිදා කිරිබත් කමින් වීදි දිගේ ‘ජයගොස“ නැගූ ඇතැමුන් සමග අපට ඒකාත්මික වෙන්න හැකියාවක් තිබුණෙ නෑ. වමේ දේශපාලනය තුළ නාමිකව හිදිමින් දක්ෂිණාංශයට සහාය වෙමින් අප සිදුකළ වරද පිළිබද ඇස් ඇරෙමින් තිබුණා. 2009 සැප්තැම්බරය වනවිට ‘ලංකා‘ මාධ්‍යෙව්දීන් පසුපස ත්‍රස්ත විමර්ශන පටන්ගත්තෙ ඒ නිසා. 2010 ජනාධිපතිවරණයෙන් පසුව මා හතරවෙනි තට්ටුවට රැගෙන ගියේ ඒ නිසා. එහෙත්ඒ හැම වෙලාවකම සෝමවංශ අමරසිංහ සහෝදරයා අපේ ආරක්ෂාව ගැන විමසමින් සහෝදරාත්මකව කටයුතු කළා. රාජපක්ෂ පාලනයේ මර්දනය ගැන ඔහු ඍජුව විවේචන ඉදිරිපත් කළා. වරක් ‘ලංකා‘ පුවත්පත ගිනිතබන බවට ගෝඨාභය රාජපක්ෂ දුරකතනයෙන් සිදුකළ තර්ජනයක් ගැන ඔහු හෙළිදරව් කළා. ගෝඨාභයලා එවැනි මර්දන බලයක් වර්ධනය කරගත්තේ වමේ ව්‍යාපාරය තුළ අපි නිවැරදි තීරණ ගන්නවා වෙනුවට දක්ෂිණාංශයේ බලයක් වෙනුවෙන් වම දියකිරීමේ ප්‍රථිඵලයක් ලෙසයි. යුද්ධය ආරම්භ කරන්න තියෙන ලබ්බෙන් හෝ පටන් ගමු කියන්න සෝමවංශ සහෝදරයාට හැකි වුණේ දේශපාලනයෙ වැරදි නිසා බව වටහාගන්න අපි ධෛර්යමත් වුණේ නෑ. නමුත් අප විසින් කළ දේශපාලන වැරදි ගැන ඔහු හෝ මා හෝ හමුවූ කිසිදු අවස්ථාවක සාකච්ඡාවක් සිදුකළේ නෑ. ඒ වෙනුවට අප කළේ යුද්ධයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් සහන ලබාදීමේ හඩ නගමින් නිවැරදිවීම අමාරු පාරට හැරෙනවා වෙනුවට හුදෙක් වරදකාරිත්වයේ පීඩාවෙන් මිදීමේ ක්‍රමවේදයයි.

maincity1pic12011 ජූලි මාසයේ පමණ සිට ‘ලංකා‘ පුවත්පතේ වරින්වර නවාංග එකතු කරමින් සහ ඇත්ත වමේ විකල්ප පුවත්පතක් බවට පත් කිරීමේ අරමුණ පිළිබද සාකච්ඡා කරමින් සහ ඒ අනුව වෙනස්කම් කරමින් අප යෝජනා කළේ එම වරද නිවැරදි කිරීමක්. එහෙත් ඒක දරාගන්න ජවිපෙ නායකත්වයට හැකි වුණේ නෑ. සෝමවංශ සහෝදරයා අවසාන වරට මට හමුවුනේ ‘ලංකා‘ පුවත්පතේ ඉරණම ගැන සාකච්ඡාවකට පැලවත්ත ජවිපෙ ‘මූලස්ථානයට‘ ගිය වෙලාවෙ. විවිධ ස්ථානවල නවාතැන් ගනිමින් සිටි ඔහු පක්ෂ මූලස්ථානය සිය කාර්යාලය බවට පත් කරගත්තෙ එදා. ජවිපෙ ප්‍රධාන කාර්යාලයෙ එක් කාමරයක පොත්පත් රාශියක් වනාගෙන ඔහු හිටියා.

“මොකක්ද අයියෙ වෙන්නෙ?“ මම ඇහුවා.

“මොනව වෙන්නද, මොකවත් වෙන්නෙ නෑ.“ ඔහුගෙ ස්වරයෙ තිබුණෙ අවඥාවක්.

“මේ පත්තරවල තියෙන ඒවා?“ මම ඔහුගෙන් උත්තරයක් බාපොරොත්තු වුණා.

“ ඔය ධනපති මාධ්‍යවල එක එක්කෙනා පක්ෂෙ කැඩෙනවා කියලා ලිව්වට මේ පක්ෂෙ කඩන්න බෑ.“ ඔහ මහත් විශ්වාසයෙන් කිව්වා.

“අපේ සමහර අය ප්‍රශ්නවලට මූණ දෙන්න දන්නෙ නෑ. අපිටත් මෙහෙම මෙතනට එන්න වෙලානෙ දැන් තියෙන්නෙ.“ ඔහු මා සමග සිනා සෙමින් කතා කළා.

ජවිපෙ ගොඩනගන්න කටයුතු ක පිරිසක් විසින්ම ජවිපෙ දේශපාලන ගමන්මග නැවත ප්‍රශ්න කරමින් කළ තීරනාත්මක සංවාදයට ඔහු අභිමුඛ වුණේ අවඥාවෙන් හා මගහැරයාමේ ප්‍රවේශයකින්. ජවිපෙ දේශපාලන උපායමාර්ගය ලෙස ‘ජාතික විමුක්ති අරගලය තුළින් සමාජවාදයට‘ යන්න සූත්‍රගත කෙරුණේ 80 දසකයේ රෝහණ විජේවීර සහෝදරයා ජීවත්ව සිටි නවලිබරල් ධනවාදය ලංකා සමාජයට හදුන්වා දුන් වකවාණුවෙ. එ කාලෙ සමාජවාදී අරමුණු වෙනුවෙන් සටන් වැදුණ සොමවංශ අමරසිංහ ධනවාදය තම පරම හතුරා බව විග්‍රහ කරගෙන හිටියෙ. 87-89 අරගලය බිහිසුනු මර්දනයකින් පොඩි පට්ටම් කළ පසුවත් පක්ෂය යළි ගොඩ නගන්න සෝමවංශ අමරසිංහ සහෝදරයා විශේෂ මැදිහත්වීමක් කළ බව අමතක කරන්න බෑ.

නව තත්වයන් වටහාගෙන පක්ෂය කෙළින් හිටුවන්න සමත් විචාරාත්මක ඇසක් තිබුණු ඔහුට වමේ දේශපාලනය හා ජාතිකවාදය වෙන්වෙන සීමාව වටහාගන්න හැකියාවක් නොතිබුණු එක ගැන මට ඇත්තෙ කම්පාවක්. එ් විචාරාත්මක ඇස හිමිකරගන්න අප වසර විසි ගණනක් ගතකර තිබුණා. 2015 අප්‍රේල් 16 ජවිපෙන් ඉවත්වූ සෝමවංශ සහෝදරයා ගතවූ වසරකට වැඩි කාලය තුළ ජවිපෙ විවේචනය කළේ තමන් කළ දේශපාලනය පිළිබද ස්වයංවිවේචනයකින් නොවේ. ජාතිකවාදී දේශපාලනය තුළ මහින්ද බලයෙන් පහවීමෙන් පසුව ඇතිවන ඉඩකඩ පුරවන්න ජවිපෙ මූලික වෙන්නෙ නෑ කියන විවචෙනයයි සෝමවංශ සහෝදරයට තිබුණෙ. එහෙත් ඇත්ත වරද තිබෙන්නෙ ජවිපෙ නායකත්වය දරන කාලය තුළ ඔහු ඇදගෙන ගිය මාවතේම තමයි.

2011 සැප්තැම්බර් මාසෙ දවසක පැලවත්තෙ ජවිපෙ මූලස්ථානයෙන් පිටවෙන්න කලින් ‘ගිහින් එන්නම් අයියෙ‘ කියලා පුරුද්දට කිව්වට ඉන්පස්සෙ ‘සිරි අයියා‘ හමුවෙන්න හෝ වෙනයම් කාරනයකට හෝ එහි යන්න හිතක් දුන්නෙම නෑ. දේශපාලන මතය නිවැරදි කරගන්න අප කළ අරගලයෙදි ඒ යාම අවශ්‍ය වුණෙත් නෑ.

Advertisements
  1. ඔබේ මෙම ලිපිය ඉතා වැදගත් ඉතිහාසමය සටහනක්.

    • Achala Kumarasiri
    • ජූනි 16th, 2016

    හොද සටහනක් ඇත්තටම…

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: