Notes from Gallows Sinhala

මවිසින් කලකට පෙර ‘පෝරකයේ සටහන්‘ නමින් පරිවර්තනය කළ ජුලියස් ෆුචික්ගේ කෘතිය තුළ ජාත්‍යන්තර කම්කරු දිනය ගැන එන සටහනක් මෙහි නැවත පළ කරන්නට සිත් විය.

 

“අද 1943 මැයි පළමුවැනිදාය. විරාමයක් ලැබීමෙන් මා හට ලිවීමට ඉඩ කඩ ලැබුණි. කොතරම් වාසනාවක්ද? නැවතත් මොහොතකට හෝ කොමියුනිස්ට්වාදී කතුවරයකුවීමට හැකිවීම… නව ලෝකයෙහි මැයි දින පෙළපාළියෙහි සටන් ශක්තිය පිළිබඳ කතාවක් ලියමි.

ලෙළදෙන ධජයක් ගැන ඇසීමට සූදානම් නොවන්න. එබඳු කිසිවක් ද ජනතාව ඇසීමට පුල පුලා සිටින ත‍්‍රාසජනක අත්දැකීමක් ද නොවේ. අද වන විට එය එතරම් ම සරලය. මැයි පළමු වැනි දින ප‍්‍රාග් නුවර වීදි අතරින් ගලායන දහස් ගණන් පුපුරු ගසන පෙළපාළිකරුවන්ගේ රළ වේගයක් නොමැත. මොස්කව් රතු චතුරශ‍්‍රයේ පිටාරව ගලනු මා දුටු මිලියන ගණනක් ජනතාවගේ චමත්කාරය නොමැත. මිලියන ගණනක් නොව සිය ගණනක් පවා ඔබට මෙහි දක්නට නොමැත. අතළොස්සක් සහෝදරවරු මෙහි සිටිති.

ඒත් එපමණකින් මෙහි වැදගත්කම අඩු නොවේ. ඊට හේතුව, බිහිසුණු ගින්නක් මැද වුවද අළු බවට නොවී වානේ බවට පන්නරය ලබන නව බලවේගයක චලනය පිළිබඳ මෙම විමර්ශනය ලියැවෙන බැවිනි. යුද බිමෙහි නිල ඇ`දුම් හැඳ යුද අගල්වලදී ලියැවෙන විමර්ශනයක් බැවිනි.

මෙම පරීක්ෂණය සිදු කරනුයේ සුළු සිදුවීම් අතරතුර බැවින්, අරගලයේ ගිනි උදුනෙහි ජීවිතය පන්නරය නෙතැබූ කිසිවකුට කියවීමෙන් එය වටහාගැනීම දුෂ්කර වනු ඇත. ඇතැම් විට, ඔබට එය වැටහෙනු ඇත. විශ්වාස කරන්න, ශක්තිය උපදිනුයේ මෙහිදීය.

අසල්වැසි සිරකුටියෙන් ලැබෙන උදෑසන සුබ පැතුම බිත්තියට තට්ටු කළ බිතෝවන් ගේ සංගීත ඛණ්ඩ දෙකකි. අද දින ප‍්‍රබල උත්සවකාරීත්වයක් තිබේ. බිත්ති පවා ඉහළ නාදවලින් කතා කරයි. අපි අපට ඇති ඉහළම තත්වයේ ඇඳුමින් සැරසී සිටියෙමු.

‘පෝරකයේ සටහන්’ කාතිය පළමු මුද්‍රණයේ මුල් කවරය

‘පෝරකයේ සටහන්’ කාතිය පළමු මුද්‍රණයේ මුල් කවරය

උත්කර්ෂවත් උදෑසනක අහරක් ගනිමු. ‘විශ්වාසවන්තයන්’ කෝපි, ජලය, පාන් රැුගෙන විවෘත කුටි දොරටු වෙත පැමිණෙති. මැයි දින සුබ පැතුම්…! සිය හැඟීම් දැනවීමට සුළු සිදුවීමක් පවා යොදා ගන්නා විපිළිසර ජීවිත ඇත්තන්ගේ සුබ පැතුම්! ආහාර බඳුනට යටින් අපගේ ඇඟිලිවලින් අදහස් පළ කළ හැකිය. එළිමහනේ ජනේලයට පහළින් කාන්තා සිරකරුවෝ සිය ශාරීරික අභ්‍යාස කරති. කම්බිකූරු අතරින් පහළ බැලීම සඳහා මම මේස කබල මත නැග ගතිමි. සමහර විට ඔවුන් ඉහළ බලනු ඇත. ඔවුන් මා දුටුවහොත් සිය මිට මොළවන සුරත ඉහළට ඔසවා ආචාර කරනු ඇත. නැවත නැවතත් එය සිදුවෙයි. පහත මාලය වඩා සකී‍්‍රය වී තිබේ. අන් දිනවලට වඩා එහි උද්‍යෝගිමත් බවක් තිබේ. ආරක්ෂකයා එය නොදනී. නොඑසේනම් දැකීමට උනන්දු නොවේ. එහෙත් එයද මැයි දින සංදර්ශනයේ අංගයක් ව ඇත.

මීළඟට පැමිණෙන්නේ අපගේ වාරයයි. ශාරීරික අභ්‍යාස සඳහා මූලිකයා මම වෙමි. අද මැයි පළමුවැනි දිනයයි.

සොයුරනි, අලූත් වූ යමකින් පටන් ගනිමු. ජේලර් බලා සිටියත් නැතත් පළමු ව්‍යායාමය වන්නේ ‘කුළුගෙඩි පහර’ වේ.
එකයි… දෙකයි… එකයි.. දෙකයි… දෙවැනියට දෑකැත්තෙන් ධාන්‍ය කැපීමයි. මිටිය හා දෑකැත්ත… මිනිසුන් වටහා ගැනීම අරඹති. සිරකරු ඛණ්ඩයන් අතර සිනහව ව්‍යාප්ත වෙයි. එසේවුවත් ඔවුහු ජවයකින් ව්‍යායාමයන්ට නැඹුරු වෙති. මේ මැයි දින සංදර්ශනය මරණය වෙත ගමන් ගනිමින් සිටින අප වෙත පැමිණි ආකල්ප සහ අධිෂ්ඨානය තවදුරටත් තදින් පිහිටුවීමේ ඉඟි නාටකයකි.

නැවතත් සිරකුටි තුළට. ක්‍රෙම්ලිනයේ ඔරලෝසු කණුවේ පෙ:ව: 9.00 නාද වන අතර මැයි පෙළපාළිය රතු චතුරශ‍්‍රය හරහා යනු ඇත.

”තාත්තේ … ඔවුන් ජාත්‍යන්තර ගීතය ගයන හැටි බලන්න.”

ජාත්‍යන්තර ගීතය ලොව පුරා ගැයෙනු ඇත. එය අපේ සිරකුටිය තුළත් රැුව්දිය යුතුය. අපි එය ගයමු… විමුක්ති ගී එකක් අවසන තව තවත් ගායනා කරමු.
අපට හුදකලා විය නොහැක… ඇත්තෙන්ම අප හුදෙකලාවී නොමැත. පිටත ලෝකයේ ගායනා කරන මිනිසුන්ට අපිද අයත් වෙමු. ඔවුහු අරගලයේ නියුතු වෙති. අප ද එසේමය.

”සිරගත සොහොයුරනි…
සීතල පවුරු අතර සිටියත්
අප හා පෙළට නොයා හැකි මුත්
ඔබ සැම අප සමගයි…
ඔබ සැම අප සමගයි”

ඔව් අප ඔබ සමඟයි. අපි අපගේ 1943 මැයි දින සංදර්ශනයේ අවසානය ලෙස එය තෝරා ගතිමු. එහෙත් එය එසේ නොවීය. කාන්තා සිරමැදිරි ‘විශ්වාසවන්තිය’ රතු හමුදාවේ පෙළපාළි රිද්මයට සිවුරුහන් බාමින් සිටියා. ඊළඟට ඇය ‘පාටිසාන්කා’ ඇතුළු අනෙකුත් ගීත වාදනය කරමින් සිරකුටි තුළ වූවන්ට ධෛර්යය ලබා දුන්නාය.
චෙක් පොලිස් නිල ඇඳුමින් සිටි සෙබළකු විසින් මට කඩදාසි හා පැන්සල් ගෙනැවිත් දෙමින් මා ලියන අතරතුර අන් භටයකුගේ කඩා පැනීම වැළැක්වීමට මගේ සිරකුටිය අසල මුර කරයි. මෙසේ මගේ ලිවීමේ කාර්යය ඇරඹූ චෙක් ජාතික භටයා මා ලියන කඩදාසි මුද්‍රණයට සුදුසු අවස්ථාවක් එළැඹෙනතුරු සඟවා තබන්නට ගෙන යයි. මේ කඩදාසි නිසා ඔහු ජීවිතය ම පරදුවට තබයි. අද සිරගත ජීවිතය සහ හෙට නිදහස අතර පාලමක් තැනීම පිණිස ඔහු සිය ජීවිතය ම අවදානමක තබයි. කොතැන සිටියත් කෙබඳු ආයුධ දැරුවත් ඔවුහු එකම අරගලයේ කොටස්කරුවන්. ඔවුන් සිය අප‍්‍රකට කාර්යභාරය පිළිබඳව නොතැවෙන… සරල ලෙස තම කාර්යභාරය දකිනවුන්ය. යුහුසුළුව සිදුවන මෙම කටයුත්ත මරණය දක්වා වන අරගලයක් බව කිසිවකුට කිසිිදිනක නොවැටහෙනු ඇත. එහිදී සිය ජීවිතය පිළිබඳ සිතා බැලීමකට ද ඔවුන්ට ඉඩක් නොමැත.

දස වතාවක්… විසිවතාවක්… විප්ලවකාරී මැයි පෙළපාළියේ සෙබළුන් ඔබ දකින්නට ඇත. එය ශ්‍රේෂ්ඨය. උත්කෘෂ්ටය… එසේවුවත් එහි සැබෑ ශක්තිය සහ අපරාජිත බව වටහාගන්නට හැකිවන්නේ අරගලයකදී පමණි. මරණය ඔබ සිතනවාට වඩා පහසුය. වීරත්වය නිසා හිසවටා දිදුලන රැුස් වළල්ලක් ද නොමැතිය. ඒත් අරගලය ඔබ සිතනවාට වඩා කෲරතර වේ. තදබල ලෙස එරෙහි වී සිටිමින් ජයග‍්‍රහණය තෙක් ගමන් කිරීමට නම් මිනිය නොහැකි ශක්තියක් අවශ්‍ය වේ.”

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: