Archive for පෙබරවාරි, 2016

සමුගැනීමේ සටහන

crucifixion-small‘නුඹත් වෙයන් ස්පාටකස් කෙනෙක්
ඒත් එපා මැරෙන්නට ඒ වගේ’

ස්පාටකස් නමැති වහල් නායකයා වහල් හිමියන්ට විරුද්ධව සටන් කළ හැටි අප කියැවූයේ සිත්තර පත්තරේ ෂෙල්ටන් සහෝදරයාගේ කතාව ලීලාරත්න සහෝදරයාගේ සිතුවමින් පණ ගැන්වුණු ආකාරයටය. පසු කාලයක ස්පාටකස් නවකතාව සහ චිත‍්‍රපට නරඹන්නට හැකි විය. එහෙත් ස්පාටකස්ලා ගැන අප තුළ පළමු සටහන තැබුවේ ෂෙල්ටන්ලා ලීලාරත්නලා විසිනි.
ස්පාටකස් මිය ගිය පසුව ඔහුගේ අරගලය ඉදිරියට ගෙන යන පුතකු ගැන ‘ස්කාගස්’ නමින් ඉදිරිපත් කළ චිත‍්‍රකතාවට හේතුපාඨය වූයේ ඉහත වැකියයි.

ස්පාටකස් අභියෝග කළේ හීනෙන්වත් පරාජය කිරීමක් ගැන හිතන්නට බැරි දැවැන්ත සන්නද්ධ බලයක් හා විශාල ධනස්කන්ධයක් හිමි රෝම අධිරාජ්‍යයටය. වහල් ක‍්‍රමයට එරෙහිව කැරලි ගැසූ වරදට ස්පාටකස් ඇතුළු වහලූන් දහස් ගණනක් කුරුස ගස්වල ඇණ ගසා ප‍්‍රදර්ශනය කරන ලදී. එහෙත් රෝම අධිරාජ්‍යය සමතලා කරමින් වහල් ක‍්‍රමය බිඳ වැටුණේ ස්පාටකස්ලා ඇරඹූ අරගලයේ පසුකාලීන අවස්ථා ජයග‍්‍රාහී අවසානයක් කරා ගෙන යමිනි.
අද වාමාංශික පත්තරකාරයන් ලෙස අප හමුවේ ඇත්තේද ස්පාටකස්ලා කළ අන්දමේ අරගලයකට මුල පුරන්නටය. සියවස් ගණන් පැවැති ධනපති පත්තර හා දැවැන්ත ප‍්‍රාග්ධන මෝගල්වරුන්ගේ ජනමාධ්‍ය ව්‍යාපාර සමඟ තරග කරමින් වමේ පත්තරයක් කරන්නට අපි උත්සාහ කළෙමු. එහෙත් ඔවුන් සමඟ කරට කර තරග කරන්නට තබා ඔවුන්ගේ ප‍්‍රචාරක යන්ත‍්‍රයේ බලපරාක‍්‍රමය හමුවේ කොතරම් බලපෑමක් කරන්නට අප සමත් වූවාදැයි නැවත සිතිය යුතුව ඇත. සතියකට තාප්ප පුරා වසා දමන වෙනත් ජනමාධ්‍ය, පෞද්ගලික අධ්‍යාපන ආයතන, විනෝදාස්වාද ව්‍යාපාරවල ප‍්‍රචාරක පෝස්ටර් යුද්ධයේදී අපට කිසිවක්ම කරගන්නට නොහැකි විය.

එහෙත් ‘ජනරළ’ වරක් නැවතී යළි පටන් ගත්තේ අප කළ නොහැකි දේ පවා කළ යුතුව ඇති බව පිළිගත් නිසාය. ධනපති ප‍්‍රචාරක මාධ්‍ය විසින් ඔසවා තබන මාධ්‍ය යුද්ධයකට කඩාවැදීම ස්වයංනාශක මුග්ධකමක් යැයි කිසිවකු පවසනු ඇත. එහෙත් අපි උත්සාහය අත් නොහළෙමු. වරක් දෙවරක් නොව, කිහිපවරක්ම සනාථ වී ඇති ආකාරයට ධනපති මාධ්‍ය යුද්ධය මැද විකල්ප අදහස් වෙනුවෙන් පෙනී සිටින ජනමාධ්‍ය කෙටිකාලයක් ආයු වළඳා කම් වූ පරදිදෙන් මිය පරලොව ගිය බව ඇත්තකි. නැතහොත් විකල්ප යන අරමුණු අත්හැර සම්මත ජනමාධ්‍ය ආයතන ලෙස ස්ථාපිත වූ අවස්ථාද නැතුවා නොවේ. එහෙත් අපි පරාජය භාරගන්නට සූදානම් නැතිව යළි යළි සටන් බිම වෙත පැමිණිය යුතුව ඇත. ඒ නිසාම 2011 ඔක්තෝබරයේ ආරම්භ කළ අරගලය තවමත් අවසන් යැයි අපි පිළිගන්නේ නැත. එහෙත් එහි යම් තර්කානුකූල විරාමයකට අපව කැඳවා තිබේ.

2013 ඔක්තෝබරයේ හිටි අඩියේ නැවතුණු පසුව මාස කිහිපයක විරාමයක් ගෙන අපි යළි පැමිණියේ දැවැන්ත සාමූහික ශ‍්‍රමයක ප‍්‍රතිඵලයක් වශයෙනි. එහෙත් ආරම්භයක් තබන අවස්ථාවේම සිදු වූ වෙනස්කම් හේතුවෙන් ඉදිරියට යාමේ අපේක්ෂා බොඳ කරන ලද අත්දැකීම් අපට තිබේ. ඒ වෙනස්කම් නිසා ජනරළ නැවත පැමිණීම සිදු වූයේ අපේක්ෂිත ඉලක්ක සපුරා නොගෙනමය. දැන් වසර දෙකක ඇවෑමෙන් අපට යළිත් පාඨකයන් හමුවේ කියන්නට සිදුව ඇත්තේ තාවකාලික පසුබැසීමකට අවස්ථාව එළඹ ඇති බවය.
‘ජනරළ’ විසින් පසුගිය දෙවසර තුළ මෙන්ම ඉන් පෙර දෙවසර තුළද ආරක්ෂා කරන්නට උත්සාහ කළ දේශපාලන සදාචාරයක් විය. එනම් පොදු සාමුහික අරමුණු වෙනුවෙන් සටන්වදින මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිනවා හැර පටු පෞද්ගලික අරමුණු වෙනුවෙන් පෙනී නොසිටීමය. අප වටහාගත් ප‍්‍රමාණයට එම සීමාව ආරක්ෂා කරගන්නට හැකිව තිබේ. අප වචනයට නැඟුවේ සටන්කාමී මිනිසුන් විසින් සහෝදර ජනසමාජය වෙත කිවයුතු අදහස්මය. එවැනි පුළුල් අරමුණු වෙනුවෙන් ‘සටන් කරන අකුරු’ ලියැවුණේ එක් අයකුගේ දෙදෙනකුගේ වෙහෙස මහන්සියෙන් නොවන බව ඔබ දැනගත යුතුය.

සටන් කරන අකුරු, අදහස් පෙළගස්වමින් කර්තෘ මණ්ඩලයේත් ප‍්‍රාදේශීය මාධ්‍ය සගයන්ගේ හා නිදහස් ලේඛකයන්ගේ නම් මේ පිටුමත ලියැවුණද ඔවුන් පළ කළ සටන්කාමීත්වය හා බැඳුණු තවත් නම් සිය ගණනකි. එක්කෝ දුරකථනයෙන් නැතිනම් ලියුමකින් හෝ ඊමේල් මඟින්, එසේත් නැත්නම් හමු වූ අවස්ථාවල විවිධ තොරතුරු දෙමින් සටන් කරන අකුරු සවිමත් කළෝ විවිධ පරාසයක සිටිති. ඔවුන් කිසිදාක ඒ සහයෝගය ‘ජනරළ’ වෙත ලබාදුන්නේ පත්තර පිටුවක සිය නම් පළ කිරීමේ අරමුණකින් හෝ වෙනයම් පටු අරමුණකින් නොවේ. පුවත්පතට ලිපි සැපයීමේ සිට එය මුද්‍රණද්වාරයෙන් වෙළෙඳපොළට යැවීම දක්වා සාමූහික අරමුණකින් ස්වෙච්ඡුාවෙන් ශ‍්‍රමය වැගිරවූවන් මෙහි සටහන් කිරීමට පවා නොඑැකි තරමේ නම් වැලකි.

සෑම බ්රහ්සපතින්දාවකම ‘ජනරළ’ මුද්‍රණය කිරීමේ කාර්යට සම්බන්ධවන මුද්‍රණාල කාර්ය මණ්ඩලයේ සහෘදයන් මෙන්ම බෙදාහැරීමේ පාර්සල් සැකසීම සහ ඒවා ලොරි මඟින් ගෙන යාම දක්වා කායික ශ‍්‍රමයෙන් හා නිදිවර්ජිතව වැඩ කළ සොයුරු සොයුරියන් සිය ගණනකි. ඉන්පසුව පුවත්පතේ අළෙවි අංශය වෙනුවෙන් ස්වෙච්ඡුාවෙන් කැප වෙමින් ඉලක්ක සැපිරීමේ අරමුණින් වැඩ කළ සහෝදර සහෝදරියන් අමතක කළ නොහැකිය.

අගනුවර වීදි මැද විරෝධතා දක්වමින් පහරකමින් ජන අරගලය අවුළුවන සහෝදර ජනයාගෙන් මෙන්ම ඈත ගම් නියම්ගම්වල ජීවිතයේ පීඩාවන්ට එරෙහිව නැඟී සිටින ජනයාගේ කාහල නාදය අසමින් අපට ‘ජනරළ’ නවතා දමන්නට සිදුව තිබේ. ඇත්තෙන්ම මුද්‍රිත මාධ්‍යයක් ලෙස ජනරළ වෙළෙඳපොළෙන් බැස ගියද සැබෑ නිදහස වෙනුවෙන් පැන නැෙඟන ජනරළ රටපුරාම පැනනැෙඟමින් තිබේ. පසුබැසීමේ පීඩාව අබිබවා අප තුළ අපේක්ෂා ඇති කරවන්නේ එයමය. උස් මිනිස් නිදහස වෙනුවෙන් සැබෑ ජනරළ සමඟ එක්වන අදහසින් අපි තාවකාලිකව නවතිමු. එහෙත් අපේ එසැවූ අත්වල ලෙලදෙන පෑන් කිසිදා අත්නොහරින්නෙමු. යළිත් දවසක සටන් කරන අකුරු සමඟ එන අරමුණින් මේ සටහන අවසන් කරන්නට මෙසේ පවසමු.

සහෝදරියනි, සහෝදරවරුනි,
පසුබසින්නට බලකරනු ලැබ තිබේ, එහෙත්…
‘සටන් කරන අකුරු’ තවදුරටත්
සටන් කරන අරමුණින්ය….

සුනිල් මාධවගේ සිට අපේ කාලය දක්වා….

Sunil1සුනිල් මාධව ගැන ලියූ පසු ඒ ගැන විවිධ ප‍්‍රතිචාර ලැබුණා. සමහරු ඒ ලිවීම සුනිල් මාධව පේ‍්‍රමතිලක විවේචනය කිරීමක් ලෙස තේරුම් අරගෙන තිබුණා. තවත් සමහරුන්ට එය සුනිල් මාධව ගැන ඇති මිශ‍්‍ර අදහස් වෙනුවට නිශ්චිත අදහසක් ලෙස සලකුණු කරගත හැකි වුනා. සුනිල් මාධව වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන සොයුරු සොයුරියන්ට මේ සටහන දැණුනේ දිරිමත් කිරීමක් ලෙසයි. ඔවුන් විසින් සුනිල් අයියගේ පත්තරකලාව සහ ලේඛක ජිවිතය පිළිබඳ ඇගැයීම් අවස්ථාවක් සංවිධානය කරන්න කටයුතු යොදමින් ඉන්නවා.

සුනිල් අයියා ජිවත්වන හුදෙකලාභාවයෙන් පිටතට ගන්න හැකි නම් එවැනි උත්සාහයන් අවශ්‍යයි. ඒ අන්දමේ උත්සාහයන් වෙනත් සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ හෝ වෙනත් වැඩිහිටියන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අරභයා සිදු විය යුතුයි. හතු පිපෙනවා වගේ කෙරෙන කලාකරු උපහාර උත්සව වෙනුවට වෙනස් දේවල් තෝරාගන්න වෙනවා. සුන්දර මිනිසකු වූ සුනිල් අයියා වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගනිද්දි එවැනි උත්සාහයන් සමාජමය ක‍්‍රියාවලියක් ලෙස ස්ථාපිත කරන්න හැකි කොහොමද කියලා කල්පනා කළ යුතුයි.
ජීවිතය හැමවිටම ගෙන එන අත්දැකීම් සුන්දර යැයි අපි අපේක්ෂා කරමු. එහෙත් ඇත්තටම සුන්දර වන්නේ කටුක තත්වයන් මැද ගලා යන ජීවන අත්දැකීම්ය. හැමවිටම සුන්දර නොවන ඒ අත්දැකීම් විසින් අපව ඇද දමන්නේ එක්වරම වටහා ගත නොහැකි, එක්වරම සමස්තයක අර්ථ ගෙන නොදෙන හුදෙකලාභාවයටය. පත්තරකාරයන් බවට පත්වූ විට දිනපතා ගෙවෙන්නේ අලූත්වන තොරතුරු මැදය. ඒ තොරතුරු වරෙක සුන්දර වුවද බොහෝ විට අප ඇද දමන්නේ චිත්ත පීඩාවකටය. සමාජ අත්දැකීම් ඇත්තකු වුවද යොමුවන්නේ නිතර අසන්නට දකින්නට ඇති දේ පිටස්තරයකු ලෙස භාරගැනීමටය. එහෙත් වාමාංශික පුවත්පත්කලාව විසින් සාමුහික ජිවිතයක් අරමුණු කළ දැක්මක් වෙත යොමු වූ පත්තරකාරයන්ට එය එසේ නොවේ.

එදිනෙදා සිදුවන දෙයින් කම්පාවට හෝ සතුටට පත්වන සංවේදීභාවයක් ඇතිකරගැනීම පහසුවන්නේ සමාජ අරමුණු ඇති අයටමය. ඒ නිසා පොදු අත්දැකීම්වල තමන්ද ජීවත් වෙමින් එම හැඟීම් බෙදාහදා ගනිමින් පත්තර කලාව කරන්නට වාමාංශික පුවත්පත්කලාවේදියාට පුළුවන. වරදවා තේරුම් නොගතයුතු කාරණය නම් වාමාංශික පුවත්පත්කලාවේදියා යනු හුදෙක් වමේ පත්තරයක පුවත්පත්කලාවේදියා නොවන බවයි.

ධනපති පුවත්පත්වල සේවය කරමින් වමේ අරමුණු වෙනුවෙන් පත්තරකලාව මෙහෙයවූ මිනිසුන්ගේ අත්දැකීම් අපට ඇත. සුනිල් මාධව වැනි සුප‍්‍රකට උදාහරණ වගේම අද තත්වයන් අත්දැකීම් ලෙස තිබේ. කලක් ‘ලංකා’ පුවත්පතේ මෙන්ම පසුව ‘ජනරළ’ සමඟ වැඩ කළ බොහෝ පත්තර මිත‍්‍රයන් දැන් වෙනත් ආයතනවල සේවය කරමින් සිටී. ඔවුන් විවිධ ඉදිරිගාමී අරමුණු හා ප‍්‍රාග්ධන ප‍්‍රහාරයේ පසුබැසීම් සහිත තත්වයන් මැද ඉටුකරමින් ඉන්නේ සමාජ අරමුණු ජයග‍්‍රහණය කරවීමේ පුළුල් ක‍්‍රියාවලියට හැකි පමණින් දායකවීමේ උත්සාහයකයි. සුනිල් මාධව වැනි පත්තර කලාවේ පතාක යෝධයන් ඇද වැටුණු අවස්ථා ගැනත් නොවැටී සටන් කළ අවස්ථා ගැනත් පසු විපරමක් කරමින් අපේ කාලයේ වාම පත්තර කලාවකට සූදානම්වන්නන්ට අවස්ථාවක් තිබිය යුතුය.

පත්තරකාරයන් අත එක්රැුස්වන ජිවන තොරතුරු, සමාජ අත්දැකීම් සියල්ල ප‍්‍රමාණවත් මනුෂ්‍ය ඇගැයීම් පද්ධතියකින් විග‍්‍රහ කළවිට ඔවුන්ගේ දෘෂ්ටි පථය යොමුවනු ඇත්තේ වඩා යහපත් ලෝකයක් වෙතය. හැමදාම අත්විඳින දේ එලෙසින්ම බාර නොගන්නා මිනිස්සු ලෝකය වෙනස් කළ බව අප දන්නා දෙයයි.

පවතින සමාජ ආර්ථික දේශපාලන පරිසරය හමුවේ පෙරලා සටන් වදින හුදෙකලා පුද්ගල පෞරුෂයන් මෙන්ම මිනිස් සාමුහිකයන් අවසානයේ සන්නිවේදනය කරන්නේ ඒවා වෙනස් කරන්නට ඇති ජව බලයයි. ඒ වගේම පත්තරකාරයන් ඒ සන්නිවේදන කාර්යයෙන් පිටතට ඇවිත් සිය ජීවිතයෙන් එකී ක‍්‍රියාවලියට සම්බන්ධ වියයුතුය. හුදු පෑන් ලෙලවමින් සමාජමය අරමුණු ඒකරාහිකරන අප වාමාංශික පත්තරකලාවක සිරගත වියයුතු නැත.

වාමාංශික ජීවිතයක හා වාමාංශික දේශපාලනයක ක‍්‍රියාකාරිත්වයට එක් නොවුනොත් අප විසින් ධනවාදයේ ගොදුරු බවට පත්වීම වැළැක්විය නොහැකියි. මා නැවතත් සුනිල් අයියාගේ ජිවිතය කියවන්නට ආරාධනා කරන්නේ ඔහු පුද්ගලයකු ලෙසින් පෙන්වූ සද්භාවය හා ශක්‍යතාවය පිළිබඳ ඇගයීමකටයි. තනිව නොව, වාම අරමුණු ඇතිව, වාමාංශික ව්‍යාපාරය සමඟ නැගී සිටි පෑන් සමාජයීය ප‍්‍රවාහයක් වියයුතුයි.

වාමාංශික මිනිස් සාමුහිකයෙන් පිටස්තරව ස්ථානගත වූ හැම විටම වමේ මිනිස්සු ප‍්‍රතිගාමී බලවේගවල ගොදුරක් ලෙස පාවිච්චි කිරීමට ලක්වීම වැළැක්විය යුතුයි. එක් එක් තනි තනි සාමාජිකයා මෙන්ම වාම දේශපාලන ව්‍යාපාරය විසින් ඒ බව වටහා ගත යුතුයි. තනිව නැගී සිටින්නට, හැකි වෙන්නේ සීමිත ජිවිත අභිලාෂයන් තුළ පමණයි. ජිවිතයේ අරගලය දේශපාලන අරගලයක් නොවුණු තැන ගොවියාට, කම්කරුවාට, ශිෂ්‍යයාට හෝ වෙනත් අරගලකාරී සමාජ බලවේගවලට මුහුණ දෙන්නට සිදුවන ඉරණමත් ඒකමයි.

ඒ නිසා වාමාංශික පත්තරකාරයන්ට ඒ ඉරණමෙන් ගැලවෙන්න තමන් සතු පෑනේ හයිය විතරක්ම ප‍්‍රමාණවත් නෑ. වාම හෘද සාක්ෂිය යනු හැඟීම්, අදහස් හා සටන් සූදානම ප‍්‍රකාශනයකින් අවසන් නොවන දෙයක්. ඒ නිසා වාම දේශපාලනයේ සාමුහික ඉරණමෙන් පිටස්තරව වාමාංශික භාවිතාවක් හෝ වාම පුවත්පත් කලාවක් පවත්වාගැනීමම අභියෝගයක්.

ජනාධිපති බයිලා

එක්නැලිගොඩ පැහැරගැනීම ගැන කතා කරන්න විශේෂඥ දැනුමක් සන්ධ්‍යා එක්නැලිගොඩට නෑ කියන්න තරම් මෛත්‍රීට තියෙන විශේෂඥ දැනුම මොකක්ද? එයාට එහෙම කියන්නද මේ රට් ලක්ෂ ගණන් ජනතාව ඡන්ද දුන්නෙ?

පසුගිය රාජපක්ෂ පාලනය කාලෙදි විරුද්ධ මතධාරින්ට එරෙහිව සිදු කළ මානව හිමිකම් අපරාධ, පැහැරගෙනයාම්, ඝාතන, පහරදීම්, සැකකරුවන් ඝාතන වැනි පිළිගත නොහැකි තත්වයන් අමතක කරවන්නට කවුරු උත්සාහ කලද ඒවා විඳි අයට ඒ කිසිවක් අමතක නොවේ. ඒ කිසිවක් ගැන ඒවා සිදුවන අවස්ථාවේදී ක‍්‍රියාකාරී ලෙස විරෝධයක් පළ නොකළ ජනාධිපතිවරයා අදවන විට එවැනි කිසිවක් සිදුවූයේ නැති අන්දමින් බයිලා කියන්නට පටන් ගෙන තිබේ.

අතුරුදන් කළ ප‍්‍රගීත් එක්නැලිගොඩ සහෝදරයා සම්බන්ධව ඥානසාර කතා කරන ආකාරය අපට තේරුම් ගන්න පුලූවන්. තමන්ගෙ වූ ජාතිවාදී දේශපාලන ස්ථාවරයක් තුළ ඉඳගෙන එයා කියන්නෙ, ප‍්‍රගීත් එල්.ටී.ටී.ඊ. එකත් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා ඒ නිසා එයත් කොටියෙක් කියලා. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ ප්‍රගීත් කවුරු එක්ක සම්බන්ධකම් පැවැත්වුවත් ඔහුව පැහැරගෙන අතුරුදන් කළ එකයි. ඥානසාර පැහැරගෙන ගියත් කවුරුහරි ඔය කොටි කතාවට සමාන දේවල් කියන්න පුලූවන්. වැරැුද්ද ඒකයි. ඒවැරැුද්දට එරෙහි වෙන්න බැරි වුන මහින්ද ඒක පාවිච්චි කළා. මෛත‍්‍රී කට අරින්නෙ නැතිව හිටියා. අදත් කරන්නෙ ඒකමයි.

ප‍්‍රගීත් විසින් කළාය කියන එක එක අයගෙ ‘ලූ’ කතාවලට වඩා අපිට ඇස් ඉදිරිපිට තියෙන කරුනු ප‍්‍රමාණයක් තියෙනවා. මතුපිටින් නොබලා ගැඹුරින් හිතන්න දේවල් ප‍්‍රගීත් කරලා තියෙනවා. ඒවා එල්.ටී.ටී.ඊ. එකට දායක වෙන්න කළ දේවල් නෙවෙයි. ඥානසාරලාට රාජ්‍ය ආරක්ෂාව ලැබෙන අතරෙ කිසිම ආරක්ෂාවක් නැතිව හිටිය මේ රටේ සාමාන්‍ය ජනතාවට සිදු වුනු අයුක්තිය හා අසාධාරණය ගැන ප‍්‍රගීත් සිය දේශපාලන විරෝධය පළ කළා. රාජපක්ෂ පාලනය කාලෙ ආයුද සන්නද්ධ ආරක්ෂාව ඇතිව හිටිය සුලූතරයට වඩා නිරායුද මිනිස්සු ජිවත්වීමේ ප‍්‍රශ්නය තුළ දුක් වින්දා. අදත් ඒක එහෙමමයි.

නමුත් ජනමාධ්‍යවේදීන් යම් ප‍්‍රමාණයකට මේ ගැන කරුණු ඉදිරිපත් කරන්න උත්සාහ කළා. රාජපක්ෂලාගෙ වලව් පිලිකන්නෙ රිංගගෙන ඉඳුල් කෑව සමහරු ඒ ගැන කතා කරන්න කැමති වුනේ නෑ. ඒ අය ජනමාධ්‍ය කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නෑ. නමුත් ඒ සියල්ල මැද ඇත්තටම ජනතා අයිතිය ගැන වැඩ කරපු පිරිසක් හිටියා. එහෙම වැඩ කරපු අයට රාජපක්ෂ ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙන්න සිදු වුණා.

රාජපක්ෂගෙ තුරුලේ වැඩුනු ජාතිවාදීන් ගැන අපට ඇත්තෙ විරෝධයක් තමයි. ඒත් ඒ අය එදත් ජාතිවාදීන්. අදත් ජාතිවාදීන්. එදත් ඒ අය ප‍්‍රගීත්ලා ගැන මරා දැමුණ වෙනත් සමාජ ක‍්‍රියාකාරින් ගැන අවලාද කිව්වා. ප‍්‍රසිද්ධියේ විවේචන කළා. අදත් ඒ අවලාදය නගනවා. කාරනාව නිරවුල්. අපට ඔවුන් සමග අරගලයක් තියෙනවා. නමුත් රාජපක්ෂගෙ ඇමැති මණ්ඩලේ කකා බිබී කට වහගෙන හිටපු උන් දැන් කියන කතා කොහොමද? මේ කියන්නෙ, රාජපක්ෂ කළ අපරාධවලට විරුද්ධව කට අරින්නෙ නැතිව හිටිය අයට දැන් කිසිම දෙයක් කතා කරන්න බෑ කියන එක නෙවෙයි.

මෛතරිපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් වැඩ කරන්නෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා වෙනුවට බලයේ දිගටම රැුඳී ඉන්න පුලූවන් පාරක් කපාගන්න බව හොඳටම පැහැදිලියි. මෛත‍්‍රී ආව ගමන් ඉඹලා පිළි අරගෙන ඡුන්දෙ දීලා විධායක පුටුවට නග්ගපු උන්ට හොඳ වැඬේ කියන්න දැන් අපට බෑ. මොකද අපි කැමැති වුනත් නැතත් දැන් මෛත‍්‍රීපාලගෙ විධායක බලය අපේ ජිවිතවලට බලපානවා. අපි කැමැති වුණත් නැතත් මෛත‍්‍රී කියන කතා අහන්න, ඒවට අප්පුඩි ගහන්න, එයා කියන දේ හරි කියන්න පිරිසක් ඉන්නවා.

ඒ නිසාම තමයි අපිට දැන් නිහ`ඩව බලාගෙන ඉන්න බැරි. ප‍්‍රගීත් වගේ බොහෝ මිනිසුන් අතුරුදන් කිරීම ගැන පැහැරගෙන ගිහින් මරා දැමීම ගැන කෙලින් කතා නොකර බයිලා කියපු බොහෝ දෙනා එදත් හිටියා. අදත් ඉන්නවා. අලූතින්ම ඒ බයිලා කණ්ඩායමට ජනාධිපති එකතු වෙලා. මහින්ද කියපු බයිලා අහපු අපට ඒක නම් පුදුමයට කාරණාවක් නෙවෙයි. මොකද මහින්ද බයිලා කියන කොට මහින්දට තාල අල්ලලා දුන්න කට්ටය අදත් ආණ්ඩු කරනවා.

ඇඹිලිපිටියෙ ඝාතනය ගැන කටක් ඇරලා කතා කරන්න මෛත‍්‍රිට බැරි වුණේ ඇයි? රටේ සිදුවන ප‍්‍රධාන දේශපාලන චලනයන් වෙනුවට වෙනත් අප‍්‍රධාන කරුණු ගැන කතාකරන ජනාධිපතිවරයා ගැන විශ්වාස කරන්නට ජනතාවට නොහැකිය. අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය සමග සහවාසයක යෙදෙන ශ‍්‍රීලනිප ඇමැතිවරුන් සමග බල ක‍්‍රීඩාවේ යෙදෙමින්ය. ඔහු තවදුරටත් උත්සාහ කරන්නේ සිය ධුරකාලය දිගුකරගන්නටය. ඒ නිසා එක්නැලිගොඩලා, ලලිත් කුගන්ලා ගැන ගැන තබා පොලිස් ඝාතන ගැන පරික්ෂණ කරන්නට හෝ වෙනත් අයිතින් තහවුරු කරන්නට ජනාධිපතිට උනන්දුවක් ඇති නොවීම පුදුමයට කරුණක් නොවේ.