හඬනු මැන නිදහස!

sunil madhawaකිසිවක් කරන්නට නොහැකි කිසිවක් කළත් කිසිදු වෙනසක් නොවන දවස්වල මිනිසුන්ට පෑන වෙනුවට අවි අතට ගන්නට බලකරනු ලැබිණි. එහෙත් අවි දරන මිනිසුන් හුදු ආත්මලාභයෙන් අවි දරන්නේ නම් ඒ ගැන ලියන්නට කිසිදු යමක් ඉතිරි නොවේ. සත්‍ය නම්, අවි දරන්නට තරම් සමාජ ආර්ථික හා දේශපාලන හේතු පවතින විට මිනිසුන් අවි අතට ගන්නා බවය. පෑන වුවද අවියක් ලෙස යොදාගන්නට හේතු ඇති අවස්ථාවක එය පැහැර හැරිය නොහැකි විය. පෑන අතට ගන්නට පොළඹවා ලූ හේතු මත තවදුරටත් තීරු ලිපි ලියන්නට හේතු මට ඇත.

එවකට පෑන අවියක් කරගත් පත්තර කලාවේ සෙන්පතියන් තීරු ලිපි ලිවීමේ කාර්යට මා පොළඹවාලූයේ සිය පත්තර පිටු මතින්මය. ඔවුහු මට අකුරු කරවූයේ සිය තීරු ලිපිවලින්මය. මා ගැන කියනවාට වඩා මගේ සහෝදර පත්තර සගයන් බොහෝ දෙනාටද සමාජ අසාධාරණයට එරෙහිව පෑන අවියක් කරගන්නට මඟපෙන්වූ ආලෝකමත් ආදර්ශය තබා ඇත්තේ දයාසේන ගුණසිංහ, සුනිල් මාධව පේ‍්‍රමතිලක බඳු අතේ ඇඟිලි ගණනින් කිව හැකි හුදෙකලා එහෙත් දැවැන්ත සමාජ බලවේගයක් පුවත්පත් වටා ඒකරාශී කළ පත්තර කලාවේ අදීන සෙන්පතියන් විසිනි. සුනිල් මාධව පේ‍්‍රමතිලක අද ශාරීරිකව දුබලව සිටී. ඔහුගේ පත්තර කලාව වුවද අකාලයේ මිය ගිය බව සටහන් නොකරන්නට හේතු මට නැත. ඔහු එවන් ඉරණමකට පත් කරවූ විවිධ හේතු අතර දේශපාලන වශයෙන් පාවිච්චි කිරීම එකකි. එසේ පාවිච්චි කරනු ලැබීමෙන් වෙන්වන්නට නොහැකි වීම සුනිල් අයියාගේ මෙන්ම මා ඇතුළු ඔහුගෙන් මඟ හසර අසාගත් පත්තරකාරයන්ගේද අඩුවකි.
අදත් සහෘදයන් විසින් සුනිල් අයියාගේ දුක සැප බලන්නට යමින් ඔහු පෙරලා සමාජ සංවාදයේ සලකුණක් බවට පත් කරන්නට දරන උත්සාහයන් තිබේ. ඇත්ත වශයෙන්ම සුනිල් මාධව පේ‍්‍රමතිලක විසින් සිය සලකුණ අපේ පත්තර කලාව තුළ නිශ්චිත ලෙස සටහන් කර අවසන්ය. පෞද්ගලිකව සුනිල් අයියාට ආදර ගෞරවයක් වශයෙන් එය නැවත කැඳවන්නට හෝ සිහිපත් කර දෙන්නට අවශ්‍ය නොවේ. සුනිල් මාධවගේ පුවත්පත්කලාව ඇගයිය යුතු වන්නේ හුදු පුණ්‍ය චේතනාවකින් ඒ අදීන පුවත්පත් කලාවේදියාගේ වර්තමාන ජිවිතය වෙනුවෙන් කරන ආයාචනාවක් ලෙසද නොවේ. ඔහු සිය පෑන අවියක් කර ගත්තේ හුදකලා වන්නට නොවේ. ඔහු සමාජ ව්‍යාපාරයක කොටස්කරුවකුව සිටි, නිරන්තරව ඒ සමාජ ව්‍යාපාරය ගැන ආශ්වාදයෙන් ලියූ, ඒ සමාජ ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය තැබූ තනි මිනිසෙකි.

අද වනවිට සුනිල් අයියා තනිව කිසිවක් කරගන්නට නොහැකි තත්වයකය. ඔහු වැනි වැඩිහිටියකුට අවශ්‍යවන්නේ ආදරය, කරුණාව හා පිළිගැනීමය. එහෙත් අද වැඩිහිටියකුට නොලැබෙන්නේද එයමය. සුනිල් මාධව වේවා අන් කවර හෝ වෘද්ධ මිනිසකුට ඒ ඉරණම අත්විය හැකිය. අප වටහාගත යුතුවන්නේ මිනිසකුට සිය අවසන් කාලයේ ආන්තිකභාවයකින් හුදෙකලාභාවයෙන් තොරව, පරාජිතභාවයෙන් තොරව ජිවත්වන්නට හැකි සමාජයක් බිහි කරන්නට නොහැකි මන්ද යන්න ගැනය. පත්තර කලාවේ අප වැනිවුන් බිහිකරන්නට යම් ආලෝකයක් සැපයූ සුනිල් මාධව පෙනී සිටියේ එවන් සමාජයක් වෙනුවෙනි.

13357800‘පේ‍්‍රමදාස අපි සූදානම්!’ වැනි සිරස්තලයකින් පෙ%්මදාස ජනාධිපතිවරයාගේ අත්තනෝමතිකත්වයට අභියෝග කර පුවත්පතක් පළ කරන්නට සමත් වූයේ ඒ සමාජ ව්‍යාපාරයේ ශක්තියයි. එය හුදකලා ශක්තියක් නොවීය. එය හුදු පුද්ගල ආත්ම විශ්වාසය පිළිබඳ සටහනක් නොවීය. සමාජ අසාධාරණය නිර්දය ලෙස විවේචනයට ලක් කරන දුසිම් ගණනක් පත්තරකාරයන් අතර සුනිල් මාධව පේ‍්‍රමතිලක සලකුණ එයයි. ලංකාවේ සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් සිහින දකිමින් ඒ වෙනුවෙන් වැඩකරන මිනිසුන් අතර එක් මිනිසකු ලෙස සුනිල් අයියා නිසැකව සිය අනන්‍යතාව සටහන් කළේ පුද්ගලයකු ලෙස තනි මිනිසකු ලෙස ඉස්මතු වන්නට නොවේ. ඒ වෙනුවට ආත්මලාභය පමණක් ගරුකරන මුදලින් පමණක් සියල්ල තක්සේරු කරන මනුෂ්‍ය පැවැත්ම පරාජය කරන සමාජ ව්‍යාපාරයක් කෙරෙහි ඔහු විශ්වාසය ලැබීය. ධනය හා බලය වෙනුවෙන් තරගයක යෙදෙන සමාජය තුළ පුද්ගලයකු ලෙස හුදකලා වන්නට සිදුව ඇත්තේ ඔහු ඊට එරෙහිව සටන් කළ තත්වයකය.

ඒ නිසා සුනිල් අයියා ගැන යළි යළිත් ලියන්නට හෝ කතා කරන්නට අවශ්‍ය නම්, කළ යුත්තේ ඇත්තටම සුනිල් මාධව පේ‍්‍රමතිලක පත්තර කලාවේ අදීනයකු ලෙස සිය සලකුණ තැබුවේ කෙසේ දැයි නැවත කියවා බැලීමය. වැරදියට කියවා බැලූවන් කියවනු ඇත්තේ ආදරය හා මනුෂ්‍යත්වය ඉල්ලා සිටි පරාජිත සුනිල් මාධවයන් ගැනය. වැරදියට ගණන් බැලූවන් උත්සාහ කරනු ඇත්තේ සුනිල් මාධව වෙනුවෙන් අරමුදල් තර කරන්නටය. සමාජ ව්‍යාපාරයක් කෙරෙහි තබනු ලැබූ විශ්වාසය බිඳී ගිය සුනිල් මාධවගෙන් ‘හඩනු මැන නිදහස’ වැනි කෘති බිහි  නොවීම තේරුම්ගත හැකිය. දේශපාලන අරගලය ගැන ලියනු වෙනුවට සිය ජීවිතයේ සටන්කාමී සමය අවසාන කරමින් ඔහු පසුකාලයකදී ආදරය හා මනුෂ්‍යත්වය ගැන ලියන්නට පටන්ගත් බව සිහියට නඟනු කැමැත්තෙමි.

මහා සමාජ ව්‍යාකූලතා පැන නඟද්දී තවදුරටත් සමාජ ව්‍යාපාරයක කාර්යභාරය ගැන විශ්වාසයක් නොමැති මිනිසකුට පසුබසින්නට සිදුවන්නේ එවැනි බංකරයක් තුළටය. ඒ බංකරය තුළ හිඳ ලියද්දී ඔහුට ලේක්හවුසියේ වැඩ කරන්නට නැවත අවස්ථාව හිමි විය. දේශපාලකයන්ගෙන් වරදාන හිමි විය. අනුන්ගේ ව්‍යාපෘතිවලට කරගසන්නට සුනිල් මාධව පාවිච්චි කරන තැරුව්කරුවන් පිරිසක්ද බිහි විය. ඔහු එවැනි තත්වයකට පත් කරවූයේ සුනිල් මාධව තදින් විශ්වාස කළ සමාජවාදී විප්ලවය වෙනුවට ප‍්‍රතිසංස්කරණවාදයට යටපත් කළ සමාජ ව්‍යාපාරයේ බිඳවැටීම්ය. ඒ නිසාම සුනිල් මාධව පේ‍්‍රමතිලක නමැති අදීන පත්තරකාරයා සටහන් කළ පුවත්පත් කලාවේ සුවිශේෂ සලකුණ විවිධ අයට විවිධ අරුත් ගැන්වීමට හැකි දෙයක් ලෙස නොසිතමි. එය, ඔහු සිය සටන්කාමී පත්තරකලාව තුළ වෙනත් අරුත්ගැන්විම් කළ නොහැකි ලෙසම තබා ඇත.

අද දවසේත් සුනිල් අයියා ගැන ලෙංගතුව ඔහුගේ ශාරීරික සෞඛ්‍ය හා පවුලේ පැවැත්ම වෙනුවෙන් වැඩ කරන සහෘදයන් පැසසිය යුතුය. එහෙත් මිනිසුන්ගේ දේශපාලන අරමුණු බිඳවැටෙන තරමේ හේතු මත මිනිසුන් විවිධ හුදකලා බංකර්වල ලැඟුම්ගන්නා ඇත්ත හේතු වටහා ගතයුතුව ඇත.

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: