කළු ජනවාරිය!

pen

නිවේදන නිකුත්කරන  ජනමාධ්‍ය සංවිධානවලට සහෝදර ඇරැයුම…

මහින්ද රාජපක්ෂ පාලනය කාලෙ ජනවාරිය එළඹෙන විට තැති ගැන්මක් ඇති විය. ජනවාරිය යනු ලසන්ත වික‍්‍රමතුංග මරා දැමූ මාසයයි. ප‍්‍රගීත් එක්නැලිගොඩ

අතුරුදන් කළ මාසයයි. මේ ජනවාරිය කියන්නේ දෙසැම්බර් 10 වැනිදාවක පැහැරගෙන ගිය ලලිත් හා කුගන් සොයාගන්නට නොහැකිව ගෙවෙන හතරවැනි අවුරුද්දත් ලබන බවයි. අනෙක් අතට මේ ජනවාරිය යනු, රාජපක්ෂ පාලනයට අභියෝග කළ පුවත්පතක කතුවරයෙක් ලෙස මා හතරවැනි තට්ටුවේ කූඩු කළ මතකය අවදි කරන මාසයයි.

2010 ජනාධිපතිවරණය ආසන්නවන විට ප‍්‍රගීත් අතුරුදන් කරනු ලැබ තිබුණා. හරියටම ජනවාරි 24 වැනිදාවක ඔහු පැහැර ගෙන ගියේ කොළඹ නගරයේ මුර කපොලූ මැදින්. එයින් දින පහකට පසු මහ දවාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මා රැුගෙන ගියේ  කට උත්තරයක් ගන්නට අවශ්‍ය බව කියමින්. ඒත් එතැන පැය ගණනක් රස්තියාදු කර ඔවුන් කීවේ මා වෙනුවෙන් රැුඳවුම් නියෝගයක් තිබෙන බවයි. එය අනපේක්ෂිත තත්වයක් නොවුණත් බිය උපදවන අත්දැකීමක්.

සති දෙකක ඇවෑමෙන් මට නිදහස් වෙන්න හැකි වුණේ මා නිදහස් කරගන්න සටන් කළ දේශපාලන ක‍්‍රියාකාරීන්, ජනමාධ්‍ය ක‍්‍රියාකාරීන් හා වෙනත් ජනතා විරෝධයන් නිසාමයි. මා නිදහස් කරගැනීම වෙනුවෙන් අන්තර්ජාතික තලයෙදි සටන් කළ ලාංකික හා විදේශීය මානව හිමිකම් ක‍්‍රියාකාරින් හා ජීවිතාරක්ෂාව වෙනුවෙන් රට හැර ගිය මාධ්‍ය සගයන් අමතක කරන්න බෑ. එදා සිට මහින්ද රාජපක්ෂ බලයෙන් නෙරපා හරින්න කටයුතු සූදානම් කෙරෙන තුරුම ඒ අරගලය සක‍්‍රියව ඉදිරියට ගෙන යන්න සියල්ලන්ම ඒකරාශි වුණු බව මගේ මතකයයි. මාධ්‍ය සංවිධානයක ක‍්‍රියාකාරිකයෙක්  හැටියට එහිදී මා එක් වුණේ ජනමාධ්‍යකරුවන්ගේත් ජනමාධ්‍ය ආයතනවලත් ආරක්ෂාව තහවුරු කරන්න නම් අරගලයක් කළ යුතු නිසාය. ඒ වනවිටත් ජනමාධ්‍ය ක‍්‍රියාකාරිකයන් 44ක් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මරා දමා තිබුණා. මාධ්‍ය ආයතන ඉලක්ක කළ ප‍්‍රහාර, ගිනි තැබීම්, බෝම්බ පිපිරවීම් ගණනාවක් මෙන්ම මර්වින් සිල්වා රූපවාහිනි සේවකයන් දඩයම් කිරීමට උත්සාහ ගැනීමත් අපේ විරෝධයට හේතු වුණා.

ඒ දවස්වල මාධ්‍ය සංවිධාන එකමුතුව හැටියට අප වැඩ කළේ සාමුහිකව එක්රැුස් වී සාමුහික අරමුණු වෙනුවෙන් සටන්කාමී ලෙස මැදිහත්වෙමින්. අනෙක් සංවිධානවල අරමුණු මොනවා වුණත් මා නියෝජනය කළ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය’ උත්සාහ කළේ ජනතාවගේ නිදහසේ ප‍්‍රධාන අංගයක් ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ඇති කිරීමේ කොන්දේසියක් ලෙසත් ජනමාධ්‍යකරුවන්ට හා ජනමාධ්‍ය ආයතනවලට නිදහස් පරිසරයක් උදා කර ගැනීමේ අරමුණ වෙනුවෙන්. රාජපක්ෂ ආණ්ඩුවෙන් තවදුරටත් මර්දනය මිස නිදහස හිමි නොවන බව දැන් සිටි නිසා අපිට ආණ්ඩුව රකින්න හෝ ආණ්ඩු පිහිටුවන්න අවශ්‍යතාවක් තිබුණෙ නෑ. කොහොම වෙතත් ඇතැම් අවස්ථාවල අපේ මහන්සියෙන් පෝස්ටර් ගස්සවා ගන්න වගේ දේවල්වලට ජනමාධ්‍ය සංවිධානවල සමහරු සූදානම් වන බව වැටහෙමින් තිබුණා.

ඒවා ඉවසා මර්දනයට එරෙහි සටන මුවහත් කරන්න අපි නොමැළිව මැදිහත් වූ නමුත් අපව කඬේ යවන්නට සමහර මාධ්‍ය ව්‍යාපාරවලට අවශ්‍යව තිබුණා. අපි මාධ්‍ය සංවිධාන එකමුතුවට සම්බන්ධ වනවිට ජනමාධ්‍ය සංවිධාන හයක් ඊට එක්ව සිටියා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මූලිකත්වයෙන්, වෘත්තිය පුවත්පත්කලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, දෙමළ මාධ්‍ය සංගමය, මුස්ලිම් ජනමාධ්‍ය සංසදය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමය ඒ සංවිධානයි. හත්වැනි සංවිධානය ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් මාධ්‍ය සංවිධාන එකමුතුවෙ මූලික කමිටුව නියෝජනය කරන්නට මා උනන්දු වුණේ එක් පැත්තකින් මහින්ද රාජපක්ෂ පාලනයෙ මර්දනයට කිසිදු ජනමාධ්‍යවේදියකුට තනිවම මුහුණ දෙන්න නොහැකි වටපිටාවක් නිර්මාණය වී තිබීමත් අනෙක් පසින් මා අත්අඩංගුවට පත් අවස්ථා කිහිපයකදීම මා වෙනුවෙන් එම සංවිධාන පෙනී සිටීමත් පිළිබඳ කෘතවේදිත්වය නිසා. මාධ්‍ය නිදහස සහ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් අප ‘කළු ජනවාරිය’ විරෝධතාව පළමුවෙන්ම සංවිධානය කළේ 2012. 2013දි රාජපක්ෂ බත්බැලයො එය කොටුවෙ පැවැත්වීම තහනම් කරන්න කටයුතු කළත් අප මර්දක බලයට අභියෝග කරමින් ලිප්ටන් වටරවුමෙදි කළු ජනවාරිය පැවැත්වූවා.

එහෙත් අවසානයේ 2014 ජනවාරියෙදි කළු ජනවාරිය සංවිධානය කෙරුණේ මාධ්‍ය සංවිධාන නියෝජිතයන් නොදැනුවත්ව. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මූලිකයන් කිහිපදෙනකු ඒ වෙනුවෙන් මහත් කැපවීමෙන් වැඩ කරන්න පටන් ගත්තා. වෙනදා මෙන් එහි සංවිධාන වැඩ බෙදා හදාගෙන කරන්න කරපු යෝජනා වතුරෙ ගියා. අවසානෙට ජනවාරි 28 වැනිදා තිබුණෙ එක්සත් ජාතික පක්ෂය හයිඞ් පිටියෙ පවත්වපු  රැුලියට කළු ජනවාරිය පූට්ටු කරන උද්ඝෝෂණයක්. අප එහි ගියත් ඊට සම්බන්ධවීම ප‍්‍රතික්ෂේප කර පැත්තකට වුණා.

මාධ්‍ය සංවිධාන හතක් වශයෙන් අපි සාමුහික ශ‍්‍රමයකින් වැඩ කළත් සමහරු තුළ තිබුණේ පටු දේශපාලන ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන යාමේ අරමුණක් බව එයින් තහවුරු වුණා. මා කනගාටුවට පත් වුණේ ඒ ගැනයි. එදා මෙදා තුර අවුරුදු දෙකක් මාධ්‍ය සංවිධාන කටයුතුවලට සම්බන්ධ නොවී කිසිවක් හෙළි නොකර ඉන්නට මා කටයුතු කළා. නමුත් ඇත්ත හෙළි කළ යුතුයි. අප දන්නා ඇත්ත පමා වී හෝ හෙළි කළ යුත්තෙ ඒ ඇත්ත, ඇත්ත නිසාම පමණක් නොවේ. ඇත්ත වෙනුවට බොරුව රජකරන අවස්ථාවක ඇත්ත මොකක්දැයි නිරවුල් කරගන්න අප කියන දේ ප‍්‍රයෝජනවත් වනු ඇතැයි සිතන නිසා.

අදත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෝ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෝ මේ රටේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී ඉන්න බව මා ප‍්‍රතික්ෂේප කරන්නෙ නෑ. එහෙත් තමන් ඇත්තටම පෙනී ඉන්නන් තෝරාගත් බල ව්‍යාපෘතියකටද නැත්නම් හැමදෙනාගෙම අදහස් පළ කිරීමේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස භාවිත කිරීමේ නිදහස වෙනුවෙන්දැයි පෙන්විය යුත්තේ ඔවුන්මය.  එසේම එය නිවේදන නිකුත්කිරීමෙන් නොව ක්‍රියාකාරිත්වයෙන් පෙන්විය යුතු දෙයකි.

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: