Archive for ජනවාරි, 2016

හඬනු මැන නිදහස!

sunil madhawaකිසිවක් කරන්නට නොහැකි කිසිවක් කළත් කිසිදු වෙනසක් නොවන දවස්වල මිනිසුන්ට පෑන වෙනුවට අවි අතට ගන්නට බලකරනු ලැබිණි. එහෙත් අවි දරන මිනිසුන් හුදු ආත්මලාභයෙන් අවි දරන්නේ නම් ඒ ගැන ලියන්නට කිසිදු යමක් ඉතිරි නොවේ. සත්‍ය නම්, අවි දරන්නට තරම් සමාජ ආර්ථික හා දේශපාලන හේතු පවතින විට මිනිසුන් අවි අතට ගන්නා බවය. පෑන වුවද අවියක් ලෙස යොදාගන්නට හේතු ඇති අවස්ථාවක එය පැහැර හැරිය නොහැකි විය. පෑන අතට ගන්නට පොළඹවා ලූ හේතු මත තවදුරටත් තීරු ලිපි ලියන්නට හේතු මට ඇත.

එවකට පෑන අවියක් කරගත් පත්තර කලාවේ සෙන්පතියන් තීරු ලිපි ලිවීමේ කාර්යට මා පොළඹවාලූයේ සිය පත්තර පිටු මතින්මය. ඔවුහු මට අකුරු කරවූයේ සිය තීරු ලිපිවලින්මය. මා ගැන කියනවාට වඩා මගේ සහෝදර පත්තර සගයන් බොහෝ දෙනාටද සමාජ අසාධාරණයට එරෙහිව පෑන අවියක් කරගන්නට මඟපෙන්වූ ආලෝකමත් ආදර්ශය තබා ඇත්තේ දයාසේන ගුණසිංහ, සුනිල් මාධව පේ‍්‍රමතිලක බඳු අතේ ඇඟිලි ගණනින් කිව හැකි හුදෙකලා එහෙත් දැවැන්ත සමාජ බලවේගයක් පුවත්පත් වටා ඒකරාශී කළ පත්තර කලාවේ අදීන සෙන්පතියන් විසිනි. සුනිල් මාධව පේ‍්‍රමතිලක අද ශාරීරිකව දුබලව සිටී. ඔහුගේ පත්තර කලාව වුවද අකාලයේ මිය ගිය බව සටහන් නොකරන්නට හේතු මට නැත. ඔහු එවන් ඉරණමකට පත් කරවූ විවිධ හේතු අතර දේශපාලන වශයෙන් පාවිච්චි කිරීම එකකි. එසේ පාවිච්චි කරනු ලැබීමෙන් වෙන්වන්නට නොහැකි වීම සුනිල් අයියාගේ මෙන්ම මා ඇතුළු ඔහුගෙන් මඟ හසර අසාගත් පත්තරකාරයන්ගේද අඩුවකි.
අදත් සහෘදයන් විසින් සුනිල් අයියාගේ දුක සැප බලන්නට යමින් ඔහු පෙරලා සමාජ සංවාදයේ සලකුණක් බවට පත් කරන්නට දරන උත්සාහයන් තිබේ. ඇත්ත වශයෙන්ම සුනිල් මාධව පේ‍්‍රමතිලක විසින් සිය සලකුණ අපේ පත්තර කලාව තුළ නිශ්චිත ලෙස සටහන් කර අවසන්ය. පෞද්ගලිකව සුනිල් අයියාට ආදර ගෞරවයක් වශයෙන් එය නැවත කැඳවන්නට හෝ සිහිපත් කර දෙන්නට අවශ්‍ය නොවේ. සුනිල් මාධවගේ පුවත්පත්කලාව ඇගයිය යුතු වන්නේ හුදු පුණ්‍ය චේතනාවකින් ඒ අදීන පුවත්පත් කලාවේදියාගේ වර්තමාන ජිවිතය වෙනුවෙන් කරන ආයාචනාවක් ලෙසද නොවේ. ඔහු සිය පෑන අවියක් කර ගත්තේ හුදකලා වන්නට නොවේ. ඔහු සමාජ ව්‍යාපාරයක කොටස්කරුවකුව සිටි, නිරන්තරව ඒ සමාජ ව්‍යාපාරය ගැන ආශ්වාදයෙන් ලියූ, ඒ සමාජ ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය තැබූ තනි මිනිසෙකි.

අද වනවිට සුනිල් අයියා තනිව කිසිවක් කරගන්නට නොහැකි තත්වයකය. ඔහු වැනි වැඩිහිටියකුට අවශ්‍යවන්නේ ආදරය, කරුණාව හා පිළිගැනීමය. එහෙත් අද වැඩිහිටියකුට නොලැබෙන්නේද එයමය. සුනිල් මාධව වේවා අන් කවර හෝ වෘද්ධ මිනිසකුට ඒ ඉරණම අත්විය හැකිය. අප වටහාගත යුතුවන්නේ මිනිසකුට සිය අවසන් කාලයේ ආන්තිකභාවයකින් හුදෙකලාභාවයෙන් තොරව, පරාජිතභාවයෙන් තොරව ජිවත්වන්නට හැකි සමාජයක් බිහි කරන්නට නොහැකි මන්ද යන්න ගැනය. පත්තර කලාවේ අප වැනිවුන් බිහිකරන්නට යම් ආලෝකයක් සැපයූ සුනිල් මාධව පෙනී සිටියේ එවන් සමාජයක් වෙනුවෙනි.

13357800‘පේ‍්‍රමදාස අපි සූදානම්!’ වැනි සිරස්තලයකින් පෙ%්මදාස ජනාධිපතිවරයාගේ අත්තනෝමතිකත්වයට අභියෝග කර පුවත්පතක් පළ කරන්නට සමත් වූයේ ඒ සමාජ ව්‍යාපාරයේ ශක්තියයි. එය හුදකලා ශක්තියක් නොවීය. එය හුදු පුද්ගල ආත්ම විශ්වාසය පිළිබඳ සටහනක් නොවීය. සමාජ අසාධාරණය නිර්දය ලෙස විවේචනයට ලක් කරන දුසිම් ගණනක් පත්තරකාරයන් අතර සුනිල් මාධව පේ‍්‍රමතිලක සලකුණ එයයි. ලංකාවේ සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් සිහින දකිමින් ඒ වෙනුවෙන් වැඩකරන මිනිසුන් අතර එක් මිනිසකු ලෙස සුනිල් අයියා නිසැකව සිය අනන්‍යතාව සටහන් කළේ පුද්ගලයකු ලෙස තනි මිනිසකු ලෙස ඉස්මතු වන්නට නොවේ. ඒ වෙනුවට ආත්මලාභය පමණක් ගරුකරන මුදලින් පමණක් සියල්ල තක්සේරු කරන මනුෂ්‍ය පැවැත්ම පරාජය කරන සමාජ ව්‍යාපාරයක් කෙරෙහි ඔහු විශ්වාසය ලැබීය. ධනය හා බලය වෙනුවෙන් තරගයක යෙදෙන සමාජය තුළ පුද්ගලයකු ලෙස හුදකලා වන්නට සිදුව ඇත්තේ ඔහු ඊට එරෙහිව සටන් කළ තත්වයකය.

ඒ නිසා සුනිල් අයියා ගැන යළි යළිත් ලියන්නට හෝ කතා කරන්නට අවශ්‍ය නම්, කළ යුත්තේ ඇත්තටම සුනිල් මාධව පේ‍්‍රමතිලක පත්තර කලාවේ අදීනයකු ලෙස සිය සලකුණ තැබුවේ කෙසේ දැයි නැවත කියවා බැලීමය. වැරදියට කියවා බැලූවන් කියවනු ඇත්තේ ආදරය හා මනුෂ්‍යත්වය ඉල්ලා සිටි පරාජිත සුනිල් මාධවයන් ගැනය. වැරදියට ගණන් බැලූවන් උත්සාහ කරනු ඇත්තේ සුනිල් මාධව වෙනුවෙන් අරමුදල් තර කරන්නටය. සමාජ ව්‍යාපාරයක් කෙරෙහි තබනු ලැබූ විශ්වාසය බිඳී ගිය සුනිල් මාධවගෙන් ‘හඩනු මැන නිදහස’ වැනි කෘති බිහි  නොවීම තේරුම්ගත හැකිය. දේශපාලන අරගලය ගැන ලියනු වෙනුවට සිය ජීවිතයේ සටන්කාමී සමය අවසාන කරමින් ඔහු පසුකාලයකදී ආදරය හා මනුෂ්‍යත්වය ගැන ලියන්නට පටන්ගත් බව සිහියට නඟනු කැමැත්තෙමි.

මහා සමාජ ව්‍යාකූලතා පැන නඟද්දී තවදුරටත් සමාජ ව්‍යාපාරයක කාර්යභාරය ගැන විශ්වාසයක් නොමැති මිනිසකුට පසුබසින්නට සිදුවන්නේ එවැනි බංකරයක් තුළටය. ඒ බංකරය තුළ හිඳ ලියද්දී ඔහුට ලේක්හවුසියේ වැඩ කරන්නට නැවත අවස්ථාව හිමි විය. දේශපාලකයන්ගෙන් වරදාන හිමි විය. අනුන්ගේ ව්‍යාපෘතිවලට කරගසන්නට සුනිල් මාධව පාවිච්චි කරන තැරුව්කරුවන් පිරිසක්ද බිහි විය. ඔහු එවැනි තත්වයකට පත් කරවූයේ සුනිල් මාධව තදින් විශ්වාස කළ සමාජවාදී විප්ලවය වෙනුවට ප‍්‍රතිසංස්කරණවාදයට යටපත් කළ සමාජ ව්‍යාපාරයේ බිඳවැටීම්ය. ඒ නිසාම සුනිල් මාධව පේ‍්‍රමතිලක නමැති අදීන පත්තරකාරයා සටහන් කළ පුවත්පත් කලාවේ සුවිශේෂ සලකුණ විවිධ අයට විවිධ අරුත් ගැන්වීමට හැකි දෙයක් ලෙස නොසිතමි. එය, ඔහු සිය සටන්කාමී පත්තරකලාව තුළ වෙනත් අරුත්ගැන්විම් කළ නොහැකි ලෙසම තබා ඇත.

අද දවසේත් සුනිල් අයියා ගැන ලෙංගතුව ඔහුගේ ශාරීරික සෞඛ්‍ය හා පවුලේ පැවැත්ම වෙනුවෙන් වැඩ කරන සහෘදයන් පැසසිය යුතුය. එහෙත් මිනිසුන්ගේ දේශපාලන අරමුණු බිඳවැටෙන තරමේ හේතු මත මිනිසුන් විවිධ හුදකලා බංකර්වල ලැඟුම්ගන්නා ඇත්ත හේතු වටහා ගතයුතුව ඇත.

Advertisements

සැබෑ යුක්තිය, අධිකරණයේදී ඉටුවන්නේ නැත!

ජනතාවට යුක්තිය ඉටුවන්නේ උසාවිවලදී යැයි මිථ්‍යාවක් නිතරම ධනපති මත සාදන්නන් කියනු ඇසේ. එහෙත් එය එසේ නොවන බවට කිරිගහට ඇන්නා වගේ කියන්නට පුළුවන් සිදුවීම් දෙක තුනක අත්දැකීම් 2016 වසර ආරම්භ වනවිටම ජනතාවට ලැබිණි.

පළමුව, පුද්ගලයන් පැහැරගැනීම ගැන විපක්ෂයේ සිටියදී මහා ඝෝෂාවක් නැගූ වත්මන් ආණ්ඩුවේ නායකයන් යටතේ පැහැරගැනීමේ සිදුවීම් සාමාන්‍යකරණය විය. හිරුනිකා වැනි වරප‍්‍රසාද ලත් පන්තියට අයත් මන්ත‍්‍රීකමේ හයියද ඇති කෙනකු පිළිබඳ තීරණය කරන්නට යුක්තිය ඉටුකරනවා යැයි කියන කිසිවකුට ළඟා විය නොහැකි බව සනාථ විය. මීතොටමුල්ලේදී කසළ ගොඩකිරීමට විරෝධතා දැක්වූවන්ට පහරදුන් නගර සභා සභාපති අත්අඩංගුවට ගෙන පහර කෑ විරෝධතාකරුවන් වූ නුවන් බෝපගේ සහ කීර්තිරත්නද එම චෝදනාවටම අත්අඩංගුවට ගැනීම දෙවැනි අවස්ථාවයි.
එසේම 2012 අපේ‍්‍රල් 7 වැනිදා තමන් විසින් කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැරගත් බව ප‍්‍රසිද්ධියේ පිළිගත් හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව කිසිදු නීතියක් සක‍්‍රිය නොවීම පසුගිය වසර අවසානයේදී දැකගත් තත්වයයි. එහිදී ස්ථිර ලෙසම පෙනීයන්නේ ලලිත්ලා, කුමාර්ලා පැහැරගන්නට, සිරගත කරන්නට සක‍්‍රියවන ධනපතියන්ගේ අවියෙන් රකින නීතියේ බලය මිස පැහැරගැනීම් කළ බව පිළිගත් ගෝඨාභයලාට එරෙහිව ස්වභාවික යුක්තියේ ආධිපත්‍ය වෙනුවෙන් කිසිදු නීතියක් සක‍්‍රිය නොවන බවය.

ජීවිතකාලය පුරා දිවි ගැටගසාගන්නට වෙහෙසවන මේ රටේ සාමාන්‍ය ජනතාවට මෙවැනි විශේෂතා හඳුනාගන්නට නොහැකිය. එහෙත් ඔවුන් කියන කතාවක් මෙහිලා ගෙන හැර දැක්විය යුතුය. එනම්, බලසම්පන්න ලොකු ලොක්කන් කෝටි ගණන් හොරකම් කරද්දි ඇස් නොපෙනෙන ගමේ දුප්පතෙක් කෙහෙල් කැනක් කැපුවාම එය හොඳට දකී. එදා වේල සපයාගන්නට කෙහෙල් කැනක් හොරකම් කරන අයකුට ඉල ඇට බිඳ පොලිසියෙන් ඉටු කරන නීති කෘත්‍යයන්, ගෝඨාභයලාට, හිරුනිකාලට හෝ මැර දේශපාලකයන්ට එරෙහිව ක‍්‍රියාත්මක නොවේ. රාජපක්ෂ ආණ්ඩුවේ වැජඹුණු කම්බා හොරු, පගාකරුවන්, ලිංගික අපරාධකරුවන් ගැන පසුගිය කාලයේ මහා ඝෝෂාවක් කළ ‘යහපාලන’ සර්කස්කාරයන් දැන් ඇමැතිවරුය. ඔවුන්ට හූමිටි තැබුවන් තනතුරු හිමිකරගෙනය. තවත් ස්වාධීන බුද්ධිමතුන් පිරිසක් නම් තවමත් ආණ්ඩුවේ නරිවාදන් සහිත රෙදි හෝදමින් පිළිකනු ගානේ හොරගල් අහුලන බව පෙනේ.
සිදුවන අකටයුතු විවේචනය කරන්නට ඔවුන් තවමත් ප‍්‍රමාද වන්නේ තමන් විසින් බලයට ගෙනා පාලකයන්ට කෙළින්ම චෝදනා නගන්නට ඇති ලජ්ජාව නිසා විය හැකිය. එහෙත් ඔවුන් රාජපක්ෂ පාලනයට එරෙහිව කෙළින්ම පාරට බැස්සේ රාජපක්ෂ පාලනය අවසන් භාගයේදීය. පරාජය නළලේ කෙටු තත්වයකදී රාජපක්ෂ පාලනයට ඇති වෙන්න නෙළුෑ විවේචකයන් තනතුරු ලෝබයෙන් එය කළ බවක් නෙපෙනේ. ඔවුන් සද්භාවයෙන් සටනක් කළ බව අපි තවමත් විශ්වාස කරමු. එහෙත් ‘යහපාලන’ වහන්තරාව යටින් නරිවාදන් ගලන විට ඒවා සෝදන්නට හෝ නොදැක්කා මෙන් ඉන්නට අයිතියක් මේ සටන්කරුවන්ට නැත.

ඒ නිසාම 2016 වසර ආරම්භයේදී නිරුවත් වූ පිළිකුල් සහගත තත්වයන් පිළිබඳ ඔවුන් හ`ඩ නගන්නේ කවදාදැයි මෙරට සිහි බුද්ධිය ඇති ජනතාව බලා සිටී. ඇඹිලිපිටියේදී පොලිසිය ලජ්ජා නැති මැරකමකට ආරූඪ වී එය වසාගන්නට නීති පොතේ පිටු පෙරළන විට එය හෙළා දකින්නට කිසිවකු දෙවරක් සිතිය යුතුද? මරාදැමූ පුද්ගලයා වෙනුවෙන් යුක්තිය ඉටුවන බවක් නොපෙනේ. දැන් මේ ගැන ඕනෑ තරම් පූර්වාදර්ශ ඇත. බඳගිරියේදී පොලිසිය කළ පහරදීම ගැන පාලකයන් යුක්තිය ඉටු කළේ කෙසේද? සේයා ඝාතනයේදී නිකරුණේ පැහැරගෙන ගොස් වධයට ලක් කළ ශිෂ්‍යයා සහ තරුණ පියා වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නට යහපාලකයන් උනන්දු වී නැත. ඒ වෙනුවට සීයක් නීති තර්ක ගෙන එනු ලබයි. එහෙත් ඊනියා ‘ජනවාරි විප්ලවය’ සමරන්නට එක් දේශපාලන සිරකරුවකු වේදිකාවට නංවා මාධ්‍ය සංදර්ශනයක් කරන්නට තරම් යහපාලනයේ ජනාධිපතිවරයා පහත් මට්ටමකට වැටී ඇත. මෛත‍්‍රී සමාව දෙන්නේ තමන් ඝාතනය කරන්නට ආ තැනැත්තාට බව ආණ්ඩුවේ හා පාලක හොරණෑව බවට පත් පෞද්ගලික මාධ්‍ය බොරු ප‍්‍රචාර ගෙන ගියද ජෙනීවන් දුක්වින්දේ ඝාතකයන්ට නවාතැන් දුන් නිසාය. එසේනම්, අනෙකුත් සිරකරුවන්ට සමාව දෙන්නට නොහැකි ඇයි? පාලකයාගේ යුක්තිය සංදර්ශනකාමයෙන් බබලයි. එහෙත් එහි ජනතාවට, පීඩිතයන්ට කිසිදු යුක්තියක් නැත.

රතුපස්වල උද්ඝෝෂණයට සහභාගිවීමෙන්, තුන්නානේ විරෝධතාවයෙන් හා පසුගියදා මීතොටමුල්ලේ විරෝධය නිසා සිරගතවන්නට සිදුව ඇත්තේ පීඩාවට පත් පාර්ශ්වයටමය. පීඩක පාර්ශ්වයේ සමාගම්, දේශපාලන බලවතුන් යෙහෙන් වැජඹෙති. යුක්තිය ඉටුවන්නේ කෙසේදැයි මේ තරම් හොඳින් තහවුරුවන අන් අවස්ථා නැති තරම්ය. නීතියද පොලිසියද අධිකරණයද සිරගෙවල්ද එක දම්වැලක පුරුක් මෙන් යුක්තිය පැහැරගෙන ඇත. පීඩාවට පත්වූවන් යළි යළිත් පැහැරගැනීමට, පොලිස් මර්දනයට හා හිරබතට ඇද දමන රාජ්‍ය ධනපතියන් වෙනුවෙනි. ඒ රාජ්‍යයේ නීති හදන තැන සිට නීතිය බලාත්මක කරන පොලිසියද අවි දරන හමුදාද යුක්්තිය පසිඳලනවා යැයි කියන අධිකරණද පීඩිතයන් කූඩුකරන හිරගෙවල්ද ඇත්ත වශයෙන්ම සේවය කරන්නේ ධනපති බලය වෙනුවෙනි.

ඒ පීඩාකාරී බලය බිඳ දැමීමෙන් තොරව ඇත්තටම යුක්තිය ඉටුනොවනු ඇත.

පරාජිත සටනක ජය ඉතිරි කළ පියකුගේ නික්මයාම

 

penබොහෝ මිනිසුන් ගැන අගය අපට වැටහෙන්නෙ ඒ මිනිසුන් සදහටම අප හැර ගිය දවසකයි. ඒකට හේතුව ජිවත්වන කාලයේදී මිනිසුන්ගේ අගය සාකච්ඡුාවට ගැනීම අප අතින් ගිලිහී යන නිසයි. ඒක වෙන්නෙ පොදුවේ අපේ සමාජ පසුගාමීත්වය නිසාද එහෙම නැතිනම් පුද්ගල කුහකකම නිසාදැයි අපි එක් එක්කෙනා විමසා ගත යුතු වෙනවා.

මේ අදහස ලියන්න හිතුණේ පසුගිය දවසක සිදුවුණු මරණයක් නිසයි. මිය ගියේ ‘ජනරළ’ පාඨකයන් හඳුනන අජන්ත අලහකෝන් සහෝදරයාගේ සහ දිවයින මාධ්‍යවේදී අජිත් අලහකෝන් සහෝදරයාගේ පියා. වත්තල එෙඬ්රමුල්ලේදී පැවැති සිමියොන් අලහකෝන් පියාණන්ගේ අවසන් කටයුතුවලට යන්න හැකි වුණේ නෑ. අසනීපයෙන් ඉන්න අවස්ථාවේ එක්වරක් පමණක් අහම්බයකින් ඔහු බලන්න යන්න හැකිවුණත් මෑතක ඔහු දැඩි ලෙස ගිලන්ව ඉන්න බව දැන දැනත් යන්නට නොහැකි වුණා. ඒ අප එවැනි කටයුත්තකට යොදන ප‍්‍රමුඛතාවය අවම නිසයි. ඒත් ඔහු ගැන කියන විට වාමාංශිකයන් යැයි කියාගන්නා අපේ හෘදසාක්ෂියට පිහි තුඩකින් අනිනවා වැනි වේදනාවක් දැනෙනවා. පුබුදු ජයගොඩ සහෝදරයා පසුගිය දවසක අවමංගල්‍යයෙන් පස්සෙ තැබූ සටහනකින් මිය ගිය මිනිසා පිළිබඳ අදහසක් ගන්න පුළුවන්.

”සිමියොන් අලහකෝන් පියාණන් දිගු කාලයක් වාමාංශික ක‍්‍රියාධරයෙක් ලෙස ලංකා සමසමාජ පක්ෂයට එක්වී කටයුතු කළා. 1980 ජූලි වැඩවර්ජනයේ ඉදිරිපෙළ ක‍්‍රියාධරයකු වූ ඔහුට වර්ජනයෙන් අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තුවේ රැුකියාව අහිමි වුණා. සමාව ඉල්ලා යළි රැුකියාව ලබා ගැනීමේ හැකියාවක් තිබුණත් ඔහු සිය ප‍්‍රතිපත්ති පාවානොදී දුෂ්කරතා ඉදිරියේ නොසැලී සිටියා.”

1980 ජූලි වර්ජනය ගැන කියැවෙන ඒ අදහස අප බොහෝ දෙනාගෙ අත්දැකීම් හා සමපාත වෙනවා. සටන්කාමී ලෙස වර්ජනයට සහභාගි වූ පිරිස නිසා ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව හෙල්ලූණා. ඒ නිසාම ජේආර්ගෙ ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති වූ ලලිත් ඇතුලත්මුදලිට වර්ජනය ගැන තමන්ගේ අදහස කියන්න සිදු වුණා. ඔහු කිව්වෙ වර්ජකයන් වහාම රාජකාරිවලට වාර්තා කළ යුතු බවයි. ආණ්ඩුවෙ නියෝගයට අවනත නොවන වැඩ වර්ජකයන් කනත්තට දක්කා හෝ වර්ජනය අවසන් කරන්නට තමන් සූදානම් බව ඇතුලත්මුදලි කිව්වා. එහෙම කියලා සේවයට වාර්තා නොකළ රජයේ සේවකයන් නෙරපා හැරිය නිසා ජේ.ආර්.ගේ ආණ්ඩුව ජනතා ශාපයට ලක් වුණා. ලක්ෂයක් පමණ රජයේ සේවකයන් වැඩවර්ජනය කළ අතර එයින් 40,000කගේ රැුකියා අහිමි කෙරුණා. ඔවුන්ගෙන් යැපෙන තවත් ලක්ෂ තුනක් පමණ වැඩිහිටියන්, දරුවන් හා කාන්තාවන් අසරණ වුණා. වර්ජනයෙන් උගුල්ලා වීසිකර දැමූ ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය තවමත් මලානික පරඬැලක් වගෙයි. එය නැවත භූමියක සිටුවන්න ලංකාවේ වමේ ව්‍යාපාරය අසමත් වෙලා තියෙනවා. ඒත් අජන්ත සහෝදරයගේ පියා වැනි වර්ජනයේ වීරත්වය සටහන් කළ විශාල පිරිසක් අපට හමු වී තියෙනවා. පසුගියදා අවසන් ගමන් ගිය පියා ගැන අජන්ත සහෝදරයා කී කතාවක් පුබුදු සහෝදරයා සඳහන් කර තිබුණා.

”රැුකියාව නැතිවූ පසු දරුවන් පස්දෙනෙකු ජීවත් කරන්නත් තිබෙන නිසා එක දවසක් ඔහු ටොෆී 100ක පැකට් එකක් අරන් ඒක විකුනන්න ගාලූ මුවදොර පිටියට ගොස් තිබුණා. අවසානයේදී ? බෝ වී ඔහු නිවසට පැමිණෙන විට විකිණී තිබුණේ ටොෆී එකක් පමණයි. 99ක් ඉතිරියි. පසුව ඔහු ඒ ඉතිරි ටොෆී අසල්වැසි දරුවන්ට බෙදාදී තමන්ගේ දරුවන්ට මෙසේ පවසා තිබුණා. ‘මට විකුණන හැටි තේරෙන්නේ නෑ’

ටොෆී පමණක් නොව සිය ජීවිත කාලය මුළුල්ලේම ඔහු තම ප‍්‍රතිපත්ති විකිණුවේ නෑ. හෘද සාක්ෂිය විකිණුවෙත් නෑ. හැමදේම විකුණලා අන්තිමට තමන්වත් විකුණාගන්නා සමාජයක ඔහු විකිණීම නොතේරෙන, එයට එකඟ නැති, ඊට එරෙහි දේශපාලනයක් කළ අයෙක්. ඔහුගේ නම ජීවන ආදර්ශය අපට ඉතිරි කර නික්ම ගියා. අප කවුරුත් සදාකාලික නෑ. හැමදෙනාම කවදා හෝ මිය යනවා. වැදගත් වන්නේ ජීවිතය. ඒ ජීවිතය තුළ සමාජයට ලබාදුන් දේ. අපේ පරම්පරාවන්ට පූර්වාදර්ශ සපයා අපෙන් වෙන්වූ සිමියොන් අලහකෝන් පියාණන්ට අපේ කෘතවේදීත්වය පළ කළ යුතුයි”

වැඩ වර්ජන කියන දේ ගැන අපේ සමාජය කල්පනා කරන්නෙ පටු අරුතකින්. ‘මගෙ ප‍්‍රශ්නය’ ගැන විතරක් හිතන මිනිස්සු සාමූහිකව ‘අපේ ප‍්‍රශ්න’ කියන අරමුණට එන්නෙ නෑ. වෘත්තීය සමිති ව්‍යාපාරය අසාර්ථක වෙන්නෙත් එතැනදි. මිනිස් සාමූහිකයක් ලෙස අප මුහුණ දෙන ගැටලූ වටහාගෙන ඊට පිළියම් සෙවීම වමේ දේශපාලනයේ මූලික  ආකාරයයි. 80 වර්ජනයෙන් පන්නරය ලැබූ සිමියොන් තාත්තලා මරණය දක්වාම ආරක්ෂා කළ පිළිවෙත වර්තමාන සමාජය වටහාගන්නෙ කොහොමද? ඒක වටහාගන්න නම් ඇත්ත සාමූහික අරගලයක අත්දැකීම තිබිය යුතුයි. සටන් ජයග‍්‍රහණය කිරීමෙන් ලබන ආස්වාදය පමණක් අපේක්ෂා කරන වර්තමාන මිනිසාට පරාජිත සටන්වල අභිමානය ආරක්ෂා කරගැනීමේ දේශපාලන පාඩම කියා දිය යුතුයි.

සටනක් පරාජය වෙනවා කියන්නෙ අරමුණ පරාජය වෙනවා කියන එකම නෙවෙයි. අරමුණු ජයග‍්‍රහණය කිරීමට නම් පරාජයන්ගෙන් පසු නොබැස ජිවිතය තුළම සටන පවත්වාගෙන යන මිනිසුන් අවශ්‍යයි. සිමියොන් තාත්තාට අවසන් ගෞරව දක්වන්න නොහැකිවීම ගැන මට කම්පාවක් ඇතිවෙන්නෙ ඒ නිසයි. ඒත් අවසන් වශයෙන් කිවයුතු දෙයක් තියෙනවා. සිමියොන් තාත්තා ඔසවා තැබූ ආදර්ශය මටත් ඔබටත් ජිවත් වෙන්න ශක්තිමත් පදනමක් සපයා තිබෙනවා.

කළු ජනවාරිය!

pen

නිවේදන නිකුත්කරන  ජනමාධ්‍ය සංවිධානවලට සහෝදර ඇරැයුම…

මහින්ද රාජපක්ෂ පාලනය කාලෙ ජනවාරිය එළඹෙන විට තැති ගැන්මක් ඇති විය. ජනවාරිය යනු ලසන්ත වික‍්‍රමතුංග මරා දැමූ මාසයයි. ප‍්‍රගීත් එක්නැලිගොඩ

අතුරුදන් කළ මාසයයි. මේ ජනවාරිය කියන්නේ දෙසැම්බර් 10 වැනිදාවක පැහැරගෙන ගිය ලලිත් හා කුගන් සොයාගන්නට නොහැකිව ගෙවෙන හතරවැනි අවුරුද්දත් ලබන බවයි. අනෙක් අතට මේ ජනවාරිය යනු, රාජපක්ෂ පාලනයට අභියෝග කළ පුවත්පතක කතුවරයෙක් ලෙස මා හතරවැනි තට්ටුවේ කූඩු කළ මතකය අවදි කරන මාසයයි.

2010 ජනාධිපතිවරණය ආසන්නවන විට ප‍්‍රගීත් අතුරුදන් කරනු ලැබ තිබුණා. හරියටම ජනවාරි 24 වැනිදාවක ඔහු පැහැර ගෙන ගියේ කොළඹ නගරයේ මුර කපොලූ මැදින්. එයින් දින පහකට පසු මහ දවාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මා රැුගෙන ගියේ  කට උත්තරයක් ගන්නට අවශ්‍ය බව කියමින්. ඒත් එතැන පැය ගණනක් රස්තියාදු කර ඔවුන් කීවේ මා වෙනුවෙන් රැුඳවුම් නියෝගයක් තිබෙන බවයි. එය අනපේක්ෂිත තත්වයක් නොවුණත් බිය උපදවන අත්දැකීමක්.

සති දෙකක ඇවෑමෙන් මට නිදහස් වෙන්න හැකි වුණේ මා නිදහස් කරගන්න සටන් කළ දේශපාලන ක‍්‍රියාකාරීන්, ජනමාධ්‍ය ක‍්‍රියාකාරීන් හා වෙනත් ජනතා විරෝධයන් නිසාමයි. මා නිදහස් කරගැනීම වෙනුවෙන් අන්තර්ජාතික තලයෙදි සටන් කළ ලාංකික හා විදේශීය මානව හිමිකම් ක‍්‍රියාකාරින් හා ජීවිතාරක්ෂාව වෙනුවෙන් රට හැර ගිය මාධ්‍ය සගයන් අමතක කරන්න බෑ. එදා සිට මහින්ද රාජපක්ෂ බලයෙන් නෙරපා හරින්න කටයුතු සූදානම් කෙරෙන තුරුම ඒ අරගලය සක‍්‍රියව ඉදිරියට ගෙන යන්න සියල්ලන්ම ඒකරාශි වුණු බව මගේ මතකයයි. මාධ්‍ය සංවිධානයක ක‍්‍රියාකාරිකයෙක්  හැටියට එහිදී මා එක් වුණේ ජනමාධ්‍යකරුවන්ගේත් ජනමාධ්‍ය ආයතනවලත් ආරක්ෂාව තහවුරු කරන්න නම් අරගලයක් කළ යුතු නිසාය. ඒ වනවිටත් ජනමාධ්‍ය ක‍්‍රියාකාරිකයන් 44ක් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මරා දමා තිබුණා. මාධ්‍ය ආයතන ඉලක්ක කළ ප‍්‍රහාර, ගිනි තැබීම්, බෝම්බ පිපිරවීම් ගණනාවක් මෙන්ම මර්වින් සිල්වා රූපවාහිනි සේවකයන් දඩයම් කිරීමට උත්සාහ ගැනීමත් අපේ විරෝධයට හේතු වුණා.

ඒ දවස්වල මාධ්‍ය සංවිධාන එකමුතුව හැටියට අප වැඩ කළේ සාමුහිකව එක්රැුස් වී සාමුහික අරමුණු වෙනුවෙන් සටන්කාමී ලෙස මැදිහත්වෙමින්. අනෙක් සංවිධානවල අරමුණු මොනවා වුණත් මා නියෝජනය කළ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය’ උත්සාහ කළේ ජනතාවගේ නිදහසේ ප‍්‍රධාන අංගයක් ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ඇති කිරීමේ කොන්දේසියක් ලෙසත් ජනමාධ්‍යකරුවන්ට හා ජනමාධ්‍ය ආයතනවලට නිදහස් පරිසරයක් උදා කර ගැනීමේ අරමුණ වෙනුවෙන්. රාජපක්ෂ ආණ්ඩුවෙන් තවදුරටත් මර්දනය මිස නිදහස හිමි නොවන බව දැන් සිටි නිසා අපිට ආණ්ඩුව රකින්න හෝ ආණ්ඩු පිහිටුවන්න අවශ්‍යතාවක් තිබුණෙ නෑ. කොහොම වෙතත් ඇතැම් අවස්ථාවල අපේ මහන්සියෙන් පෝස්ටර් ගස්සවා ගන්න වගේ දේවල්වලට ජනමාධ්‍ය සංවිධානවල සමහරු සූදානම් වන බව වැටහෙමින් තිබුණා.

ඒවා ඉවසා මර්දනයට එරෙහි සටන මුවහත් කරන්න අපි නොමැළිව මැදිහත් වූ නමුත් අපව කඬේ යවන්නට සමහර මාධ්‍ය ව්‍යාපාරවලට අවශ්‍යව තිබුණා. අපි මාධ්‍ය සංවිධාන එකමුතුවට සම්බන්ධ වනවිට ජනමාධ්‍ය සංවිධාන හයක් ඊට එක්ව සිටියා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මූලිකත්වයෙන්, වෘත්තිය පුවත්පත්කලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, දෙමළ මාධ්‍ය සංගමය, මුස්ලිම් ජනමාධ්‍ය සංසදය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමය ඒ සංවිධානයි. හත්වැනි සංවිධානය ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් මාධ්‍ය සංවිධාන එකමුතුවෙ මූලික කමිටුව නියෝජනය කරන්නට මා උනන්දු වුණේ එක් පැත්තකින් මහින්ද රාජපක්ෂ පාලනයෙ මර්දනයට කිසිදු ජනමාධ්‍යවේදියකුට තනිවම මුහුණ දෙන්න නොහැකි වටපිටාවක් නිර්මාණය වී තිබීමත් අනෙක් පසින් මා අත්අඩංගුවට පත් අවස්ථා කිහිපයකදීම මා වෙනුවෙන් එම සංවිධාන පෙනී සිටීමත් පිළිබඳ කෘතවේදිත්වය නිසා. මාධ්‍ය නිදහස සහ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් අප ‘කළු ජනවාරිය’ විරෝධතාව පළමුවෙන්ම සංවිධානය කළේ 2012. 2013දි රාජපක්ෂ බත්බැලයො එය කොටුවෙ පැවැත්වීම තහනම් කරන්න කටයුතු කළත් අප මර්දක බලයට අභියෝග කරමින් ලිප්ටන් වටරවුමෙදි කළු ජනවාරිය පැවැත්වූවා.

එහෙත් අවසානයේ 2014 ජනවාරියෙදි කළු ජනවාරිය සංවිධානය කෙරුණේ මාධ්‍ය සංවිධාන නියෝජිතයන් නොදැනුවත්ව. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මූලිකයන් කිහිපදෙනකු ඒ වෙනුවෙන් මහත් කැපවීමෙන් වැඩ කරන්න පටන් ගත්තා. වෙනදා මෙන් එහි සංවිධාන වැඩ බෙදා හදාගෙන කරන්න කරපු යෝජනා වතුරෙ ගියා. අවසානෙට ජනවාරි 28 වැනිදා තිබුණෙ එක්සත් ජාතික පක්ෂය හයිඞ් පිටියෙ පවත්වපු  රැුලියට කළු ජනවාරිය පූට්ටු කරන උද්ඝෝෂණයක්. අප එහි ගියත් ඊට සම්බන්ධවීම ප‍්‍රතික්ෂේප කර පැත්තකට වුණා.

මාධ්‍ය සංවිධාන හතක් වශයෙන් අපි සාමුහික ශ‍්‍රමයකින් වැඩ කළත් සමහරු තුළ තිබුණේ පටු දේශපාලන ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන යාමේ අරමුණක් බව එයින් තහවුරු වුණා. මා කනගාටුවට පත් වුණේ ඒ ගැනයි. එදා මෙදා තුර අවුරුදු දෙකක් මාධ්‍ය සංවිධාන කටයුතුවලට සම්බන්ධ නොවී කිසිවක් හෙළි නොකර ඉන්නට මා කටයුතු කළා. නමුත් ඇත්ත හෙළි කළ යුතුයි. අප දන්නා ඇත්ත පමා වී හෝ හෙළි කළ යුත්තෙ ඒ ඇත්ත, ඇත්ත නිසාම පමණක් නොවේ. ඇත්ත වෙනුවට බොරුව රජකරන අවස්ථාවක ඇත්ත මොකක්දැයි නිරවුල් කරගන්න අප කියන දේ ප‍්‍රයෝජනවත් වනු ඇතැයි සිතන නිසා.

අදත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෝ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෝ මේ රටේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී ඉන්න බව මා ප‍්‍රතික්ෂේප කරන්නෙ නෑ. එහෙත් තමන් ඇත්තටම පෙනී ඉන්නන් තෝරාගත් බල ව්‍යාපෘතියකටද නැත්නම් හැමදෙනාගෙම අදහස් පළ කිරීමේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස භාවිත කිරීමේ නිදහස වෙනුවෙන්දැයි පෙන්විය යුත්තේ ඔවුන්මය.  එසේම එය නිවේදන නිකුත්කිරීමෙන් නොව ක්‍රියාකාරිත්වයෙන් පෙන්විය යුතු දෙයකි.

Advertisements