වීරයන්ගේ ඇස් – වීරත්වයේ දවස්

Memorඑකම නමක් සහිත එහෙත් අහසට පොළොව මෙන් වෙනස්කම් සහිත මිනිසුන්ද ජීවිතයේදී අපට හමු වේ. ඉන් එක් අයකුගේ නමද මහින්ද විය. පාසල් ශිෂ්‍යයකු ලෙස සිටියදී ඔහු මට හමුවූයේ ශිෂ්‍ය සගයකුගේ මැදිහත්වීමෙනි. ඒ දිනවල භීෂණය උත්සන්න වී තිබිණි. එහෙත් මඟහැර යා නොහැකි යුතුකම් තිබේ. මා සමඟ සිය නිවෙස බලා යමින් සිටි ශිෂ්‍ය සගයා මට මහින්ද හඳුන්වා දුන්නේ ධවල මර්දනයට එරෙහිව සක‍්‍රිය අරගලයේ යෙදෙන සගයකු ලෙසයි.
එදා අපි 18වැනි අපේ‍්‍රල් විරු සමරුවට අවශ්‍ය රතු සහ සුදු වර්ණ පොලිතින් ගෙන සැරසිලි සූදානම් කළෙමු. ආරක්ෂක හමුදා සහ පොලිසියට අමතරව නිල නොවන කුලී ඝාතකයන් සැරිසරන ගම් නියම්ගම්වල පවා අරගලයේ වර්ණය සටහන් කළ යුතු විය. වසර 18කට පෙරාතුව දිවි පිදූ පුරෝගාමීන් වෙනුවෙන් කළ යුතු අවම දේ ඉටු කරන්නට මහින්ද යුහුසුලූව ලෑස්ති වෙමින් සිටියේය. මැණික්හින්න නගරයට ආසන්න ගමකදී පළමුවරට හා අවසන්වරට මට ඔහු මුණගැසුනේ
එසේය. දින කිහිපයකට පසුව අපේ‍්‍රල් අරගලයේ සමරුව සඳහා නගර, ගම් සූදානම් කෙරිණි. වීදිවල රතු පටියක් සහිත සුදු කොඩි ලෙළදුන් අතර තාප්පවල විරු සමරු පෝස්ටර් ඇලවිණි. විශාල බිත්තිවල ආකර්ෂණීය අකුරින් සටන්කාමී සමරු කවි ලියැවිණි.
”පිපි මල් පරව විසිරී ඇත දෙරණ මත
විහිදූ සුවඳ ඉදිරියටත් මියෙනු නැත
ඔපවත් කරන්නට එසුවඳ අපරිමිත
සුවහස් ගණන් සුපිපෙන්නට කැකුළු ඇත”
රතු හා කලූ පැහැ අකුරු සහ සිතුවමින් අලංකාර සමරු පාඨ උද්වේගයක් හා සටන්කාමීත්වයක් ජනිත කරවීය. මියගිය පුරෝගාමී සහෝදරවරුන් හා සහෝදරියන් වෙනුවෙන් හුදු රොමැන්ටික් අනුරාගයක් වඩවනු වෙනුවට දේශපාලනික ජවයක් හා විචාරාත්මක ආවර්ජනයක් කරන්නට එම සමරු පාඨ විසින් ප‍්‍රවේශයක් ලබා දෙමින් තිබිණි. අරගලකාරී තරුණයන් විසින් ජනතාව අතර පතුරුවා හරින ලද නියෝගයක් වූයේ අරගලයේ සමරුව වෙනුවෙන් අපේ‍්‍රල් 5වැනිදා රාත‍්‍රියේ සෑම නිවසකින්ම අහස්කූරු 18ක් නිකුත් කළ යුතු බවයි. ඒ සඳහා අහස්කූරු ලබාගැනීමට උදයේ සිට වැඩිහිටියන්, තරුණ තරුණියන් හා බාල දරු දැරියන් යුහුසුලූ වූ බව දක්නට ලැබිණි.
කෙසේවෙතත් දවස උදා වී මඳ වෙලාවකින් ගිනිඅවියෙන් සන්නද්ධ වූ හමුදා සෙබලූන් ගෙයක් ගානේ යමින් අහස් කූරු එකතු කරන්නට විය. බොහෝ දෙනා කීවේ තමන් අහස්කූරු 18ක් ගෙනැවිත් නැති බවයි. එහෙත් නිවසේ ඇති අහස්කූරු සියල්ල තමන් වෙත භාරදෙන ලෙස හමුදා සෙබළු බලකර සිටියහ. රාත‍්‍රියේ අහස්කූරු යැවුවහොත් දරුණු ප‍්‍රතිවිපාක අත්විය හැකි බව ඔවුහු තර්ජනාත්මකව කීහ. ඒ නිසාම අහස්කූරු සඟවාගෙන සිටියවුන්ද ඒවා සවස්යාමයේදී පත්තු කරන්නට මැළි වූහ. නිවෙස්වලින් එකතුකරගෙන ගිය අහස්කූරු එදින රාත‍්‍රියේ හමුදා කඳවුරුවලින් නිකුත් කළ බව අසන්නට ලැබුණි.
මේ අතර ටික දවසකින් අසන්නට ලැබුණේ මහින්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔහු සොයන්නට මවුපියන් හිතවතුන් දැරූ ප‍්‍රයත්නය සාර්ථක වූයේ නැත. දිනපතා මරා දමන ලද දේශපාලන ක‍්‍රියාකාරිකයන්ගේ සිරුරු මහමග ප‍්‍රදර්ශනය කෙරිණි. සම්පූර්ණයෙන් හෝ අඩක් දැවුනු සිරුරු ටයර්සෑවලය. වෙඩි උණ්ඩයෙන් ළය පසා කළ පසු මිය ගිය හෝ තවමත් ගොර හඩින් හුස්ම ගන්නට තතනන මිනිසුන්ගේ පණ ගැහෙන සිරුරු දැක ළය කම්පාවෙමින් එහෙත් මරණභයෙන් නිහ`ඩවන්නට සිදුවුණු මිනිසුන් අතර දැවෙමින් සිටියෙමු. එක් මරණයක් නොව සිය ගණනක් එක දවසකදී අසන්නට ලැබිනි. ගංගාවල සිරුරු පා කෙරිණි. ඇතැම් ස්ථානවල ගොඩ ගසා තිබුණේ මිනිස් හිස්ගෙඩි පමණකි. ප‍්‍රාණවත් යැයි ද සිතිය හැකි ඒ මිනිස් ශීර්ෂයන් ඇස් අයා බලා සිටින ආකාරය කිසි දිනක අමතක කළ නොහැකිය. එක්සත් ජාතික පක්ෂයේ ධවල භීෂණය හමුවේ සියල්ල තලා දමන ලද නිසා කාලයාගේ ඇවෑමෙන් මහින්ද ඇතුළු අත්අඩංගුවට පත් හා පැහැරගෙන ගිය සහෝදර සහෝදරියන්ගේ කතාව යටපත් විය.
අද අපි සූදානම් වන්නේ එදා ජනතා අරගලය වෙනුවෙන් මරණය නොතකා අරගලයේ මාවත තෝරාගත් වරදට අතුරුදන් කරනු ලැබූ මහින්දලා ගැනයි. අරගලයකදී වීරත්වය පිළිබඳ සීමා සටහන්වන්නේ අරගලයේ අරමුණු හා වීරත්වයේ සමාජමය ස්ථානගතවීම තුළින්වීම නොවැළැක්විය හැක්කකි. 1818 මාතලෙන් ඇරඹුණ කැරැුල්ලේ මෙන්ම 1848 ඌව වෙල්ලස්ස කැරැල්ලේ අරමුණ වූයේ ඉංග‍්‍රීසි ආධිපත්‍ය පලවා හැර පැරණි රාජ්‍ය බලය හා රදළ ආධිපත්‍ය යළි පිහිටුවීමය. එබැවින් කැප්පෙටිපොළලා සහ පුරන් අප්පුලා වීරයන් වන්නේ එදා පැවැති අරගලයට සාපේක්ෂවය. එදා වෙල්ලස්සේ පීඩිතයන් සටන් වැදුණේ රදළ නායකත්වය යටතේය. ඒ නිසා පීඩිතයන්ගේ විමුක්තිය වෙනුවෙන් කළ අරගලයක් ලෙස හඳුනාගන්නවාට වඩා යටත්විජිත ආධිපත්‍යයට එරෙහි කැරැල්ලක් ලෙස වටහා ගත හැකිය.
1971 සහ 1987 කළ නැගිටීම් පීඩිතයන්ගේ විමුක්තිය වෙනුවෙන් පීඩිතයන්ගේ නායකත්වයක් වටා පෙළ ගැසුනකි. අවසාන අරමුණ ලෙස තිබුණේ එක් අයකු රජකරවීම නොව සාමූහික ජයග‍්‍රහණ පිළිබඳ අදහසකි, පීඩිතයන් කිසිදු භේදයකින් තොරව පෙළගස්වා ජයග‍්‍රහණ සඳහා කැඳවාගෙන යන සමාජවාදය පිළිබඳ අරමුණකි.
උතුරේ අරගලයේ නායකත්වය මෙන්ම සාමාජිකත්වයද කළේ පීඩනයෙන් මිදීමේ අරගලයක් බව ඇත්තකි. සතුරා හමුවේ වීරත්වය පෙන්වා සටන් වැදුණු උතුරේ තරුණ තරුණියන් පිළිබඳ පුවත් ඉතිහාසයෙන් වළලා දැමිය නොහැකිවනු ඇත. එහෙත් ඔවුන්ගේ අරගලයේ අරමුණ වූයේ පොදු මිනිස් ජයග‍්‍රහණ වෙනුවෙන් කැපවීමට වඩා ජාතික සීමාවක කොටු කළ ජයග‍්‍රහණයකි. අපේක්ෂිත අවසන් ජයග‍්‍රහණය පවා පවතින ධනේශ්වර රාජ්‍ය සීමාවෙන් වටකරනු ලැබ තිබිණි. ඒ නිසා උතුරේ අරගලය සමඟ 1971 හෝ 1987 අරගල සමපාත කිිරීම ‘නිවැරදි කළ හැකි’ වරදකි.

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: