Archive for ඔක්තෝබර් 11th, 2015

පහේ ශිෂ්‍යත්ව උගුලෙන් දරුවන් නිදහස් කළ යුතු

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල නිකුත්වීම නිසා එම විභාගයට මුහුණ දුන් දරුවන්ට හා මවුපියන්ට සතුට හා දුක මුසු තත්වයන් උද්ගත වී තිබෙනවා.

පසුගිය අගෝස්තු 23 වැනිදා ඒ තරගකාරි විභාගයට මුහුණ දුන් තුන්ලක්ෂ හතළිස් එක්දහසකට ආසන්න දරුවන් අතර මගේ දියණියත් සිටියා. ඇය ලැබූ ප‍්‍රතිඵලයත් සමත් යැයි සම්මත ලකුණු සංඛ්‍යාවත් අතර පරතරය නිසා ඇය මහත් කනගාටුවට පත් වුණා. ශිෂ්‍යත්වය කියන්නෙ එක් විභාගයක් පමණක් බවත් ලැබූ ලකුණ ගැන සෑහිමකට පත් වී ඉදිරි ඉගෙනුම් වැඩ කරගෙන යෑම අවශ්‍ය බවත් පන්තියට යන්නට පෙරාතුවම මම ඇයට පැහැදිලි කළා. ඒත් ඇයට දුකක් තිබුණා. ඇගේ පන්තියේ අඩු ලකුණු ලැබූ යාළුවන් කඳුළු පෙරමින් සිටි නිසා ඇගේ දුක තවත් වැඩි වුණා. පාසලේදී ඔවුන් අස්වසමින් කරුණු පැහැදිලි කිරීමක් කෙරුනාද දන්නෙ නෑ. පාසලෙන් පිටතට පැමිණි මට ඇතැම් මවුපියන් මූණ අඳුරු කරගෙන ඉන්න හැටි පෙනුණා.

පාසල අවසන් වී නිවසට ආ දියණිය කීවේ වැඩි ලකුණු අපේක්ෂාවෙන් හිටිය යාළුවන් අඩු ලකුණු ලැබූ නිසා ගෙදර ගියාම ගුටි කයිද දන්නෙ නෑ කියලා. ඇයට එවැනි වදයක් ශිෂ්‍යත්වයට පෙරාතුවත් නොදුන් නිසා විභාග ප‍්‍රතිඵලය ගැන අඩු සැලකිලි නොලැබෙන බව දියණිය දැනගෙන හිටියා. ඒත් මින් පෙර අවුරුදුවලදි දරුවන්ගෙ ප‍්‍රතිඵල අඩුවීම නිසා මවුපියන් තම දරුවන්ට වධහිංසා කළ බව ඇය දන්නවා.  ඔවුන් වැඩි දෙනා තම දරුවන් ජනප‍්‍රිය පාසල්වලට යවන හීනයක හිටි අයයි. ඇත්ත වශයෙන්ම ජනප‍්‍රිය පාසල් ලෙස හඳුන්වන පාසල්වලට හැමදෙනාගෙම දරුවන් යවන්න ඉඩ නෑ. නමුත් සල්ලි බාගෙ අතදිග හැර වියදම් කරන අයට ඒක කජ්ජක් නෙවෙයි. ශිෂ්‍යත්වයෙන් අඩු ලකුණු ලබන දරු දැරියන්ගෙ මවුපියන් ඊළඟට බලන්නෙ යම් මුදලක් වියදම් කරමින් ජනප‍්‍රිය පාසලකට දරුවන් ඇතුළු කිරීමටයි. ඒ මුදල වියදම් වෙන්න, ජනප‍්‍රිය පාසලේ ආදි ශිෂ්‍ය හෝ වෙනත් පදනමකින් ආධාර කිරීමටයි. එහෙමත් නැත්නම් කාර්යාල සේවකයාගේ සිට ඉහළ බලධාරින් ලවා අල්ලස් ලබාදීමටත් මවුපියන් වියදම් කරනවා.

නිදහස් අධ්‍යාපන ක‍්‍රමය ලෙස හඳුන්වන රටාව තුළ ශිෂ්‍යත්ව ක‍්‍රමය ආරම්භ කෙරුණේ අව වරප‍්‍රසාදිත පවුල්වල දරුවන්ට වඩා පහසුකම් හිමි පාසල්වල අධ්‍යාපනය ලැබීමේ අවස්ථා සැලසීමක් හැටියටයි. ලක්ෂ ගණනක් විභාගයට පෙනී සිටියත් රජයෙන් අඩු ආදායම්ලාභීන්ට ලැබෙන ශිෂ්‍යාධාරය හිමි වෙන්නෙ එයින් 10%කට පමණයි. ජනප‍්‍රිය පාසලකට යන්න අවස්ථා ලැබෙන්නෙ එයිනුත් කොටසකටයි. ඒ නිසා ශිෂ්‍යත්ව විභාගයේ මුල් තේරුම ගිලිහී ගිහින්. මේ නිසා පහේ ශිෂ්‍යත්වයට මුහුණදීම සඳහා තම දරුවන් ටියුෂන් පන්ති කීපයකට යවමින් මහා ධාවන තරගයක යොදවන මවුපියන් ලකුණු අඩු වීම ගැන දුර්මුඛ වීම අහන්න දෙයක් නෑ. නමුත් දරුවන් ඒ ධාවනය නිසා හති වැටෙන එකත් දරුවන්ගෙ අයිතිවාසිකම් අහිමි කෙරෙන එකත් ගැන කවුරුවත් වගකියන්නෙ නෑ.

මම පහේ පන්තියෙදි විභාගයට සූදානම් කෙරුණෙත් ශිෂ්‍යත්ව පන්තියකට සහභාගි වෙමින්. ඒ මීට අවුරුදු 33කට කලින්, 1982දි. ශිෂ්‍යත්වයට ඉගැන්වීමෙන් ප‍්‍රතිඵල ලබාදුන් ආචාර්යවරියක් ටියුෂන් පන්තියේ ඉගැන්වුවා. පාසලේදිත් පන්තිභාර ගුරුවරයා පමණක් නෙවෙයි, අනෙක් පන්තිවල ගුරුවරුත් අපට ඉගැන්වුවා. මම ඉගෙන ගන්න කාලෙ පාතදුම්බර මහ විද්‍යාලයේ පහේ පන්ති තුනක් තිබුණා. ඒ පන්ති තුනේම ගුරුවරු සහයා්ගයෙන් අපට ඉගැන්වුවා. හදිසියේ අසනීප වීමකින් එක ගුරුවරයෙක් ආවෙ නැත්නම් අනෙක් පන්තියේ ගුරුවරයා ඒ පන්තියට ඇවිත් පන්ති දෙකටම ඉගැන්වුවා. පහේ පන්තියෙදි, ඒ කියන්නෙ අවුරුදු 10දී ළමුන්ගෙ ක‍්‍රියාකාරිත්වය හිතුවම ඒක එතරම් සරල වැඩක් නෙවෙයි. අපේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 12ක් ඒ වතාවෙ ශිෂ්‍යත්වයෙන් සමත් වුණා. ඒ අවුරුද්දෙ මහනුවර දිස්ත‍්‍රික්කයේ ඉහළම ලකුණු ගත්තෙත් අපේ පන්තියෙ ශිෂ්‍යයෙක්.

අද පහේ පන්තියෙ දරුවන්ගෙ, ගුරුවරුන්ගෙ වගේම මවුපියන්ගෙ ක‍්‍රියාකාරිත්වය ගත්තත් යාන්ත‍්‍රික බවක් මට පෙනෙනවා. ගුරුවරු අතර සහයෝගය නැත්තටම නැති වෙලා කියන්න බෑ. ඒත් තරගකාරිත්වය නිසා අනෙක් පන්තියෙ දරුවන්ට වඩා තමන්ගෙ පන්තිය ගැන හිතන්න ගුරුවරු පෙලඹෙනවා. අසනීපෙන් ගුරුවරයෙක් ආවෙ නැත්නම් උදව් කරන්නත් යනවා. නමුත් අපි ඉගෙන ගත්ත කාලෙ තරම් මානුෂිකත්වයක් පහේ පන්තිවල ඉගෙන ගන්න දරුවන්, ගුරුවරු, මවුපියන් අතර නෑ. ඒක සිදුවෙන්නෙ මුළු සමාජයෙම අවමානුෂිකකරණයේ ප‍්‍රතිඵලයක් ලෙසයි.

මා අසා ඇති එක සිදුවීමකදී දරුවෙක් තමන්ගෙ අම්මා එක්ක හිටියෙ තරහෙන්.  තමන් ශිෂ්‍යත්වය සමත් කිරීම වෙනුවෙන් ඇය විසින් කරන හිරිහැරය නිසා ඔහු හෙම්බත්ව හිටියෙ. පන්තිවලට යවන්න, උදයෙන් අවදි කරන්න, ගෙදර වැඩ කරවන්න අම්මා උනන්දු වුණාට දරුවට ඒක මහා පීඩාවක් වෙලා. ශිෂ්‍යත්වය දවසෙ ඔහු විභාග ශාලාවට ගියේ මෙහෙම කියාගෙන.

”අද තමයි මම අම්මට හොඳ පාඩමක් උගන්වන්නෙ…”

ආරංචි විදියට දරුවා ප‍්‍රශ්න පත‍්‍රයේ එක ප‍්‍රශ්නයකටවත් පිළිතුරු ලියලා නෑ. ඒ දරුවා සහ මව ගැන ඉන්පස්සෙ තොරතුරු මට දැනගන්න ලැබුණෙ නෑ. කොහොම නමුත් මේ වගේ සිදුවීම් අනුව අපේ දරුවන්ගෙ පෞරුෂ වර්ධනයට හානිකර නිදහස් සිතුම් පැතුම් මොට කරන ශිෂ්‍යත්ව විභාග ධාවනය ගැන නැවත හිතා බලන්න අපට සිදු වෙනවා. නැත්නම් අපි හැමෝම එකිනෙකා පරයාගෙන, එකිනෙකා රවටමින් විනාශය කරා යන එක නවත්වන්න බැරි වෙනවා.

අඩුම ගානෙ තමන්ගෙ දරුවන් ගැන හිතලා මේ තත්වය වෙනස් කරන්න අපි හැමෝම කල්පනා කළ යුතු වෙනවා.

Advertisements
Advertisements