අරගලයේදී හුදෙකලා වීමක් නැත…..!

“ෆී එක දෙන්න පුළුවන්ද? අවුලක් නැද්ද….“

එවැනි වචන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. අධිකරණයකදී අමිහිරි අත්දැකීම් අතර එය අපූරු අත්දැකීමකි. උසාවියෙන් නැඟිට එළියට එන්න සූදානම් වන අවස්ථාවේ නීතිඥවරිය මා වෙත ආවේ ඊළඟ නඩුව පිළිබඳ කතාබහ කරන්නටය. ඉන්පසුව මම පසුම්බිය එළියට ගත්තෙමි.
නීතිඥවරිය ඇසූ පැනය අධිකරණ භූමියකදී මා ඇසූ සුන්දරම වචන කීපය බව කිව යුතුය. වසර කිහිපයක්ම අධිකරණයේ පෙනී සිටින මට ඒ අත්දැකීම අලූත්ය. ඒ නිසා කිවහැක්කේ කළුකෝට්කාරයන් ගිනිකන කට්ටිය බවට කියන කතා සියල්ල සත්‍ය නොවන බවය. පුවත්පත් කලාවේදීන් වෙනුවෙන් කෙසේ වෙතත් යුක්තිය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් සටන් කිරීමේ වරදට චෝදනා ලැබූවන් වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකොට පෙනී සිටින නීතිඥවරු සිටිති.

එවැනි මිනිසුන් අධිකරණයේ මෙන්ම පොදු සමාජයේද අඩු බව ඇත්තය. එහෙත් මිනිස් ආධ්‍යාත්මයක් ඇතිව සිය වගකීම ඉටු කරන පිරිසක් සෑම සියලූ ක්ෂේත‍්‍රයකම සිටිති. එහෙත් අපේ යුගයේ වඩා අමිහිරි කාරණය නම් අයහපත් මිනිසුන්ගේ ක‍්‍රියාකාරිත්වය නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාව බවට කියමනක් තිබේ. යහපත් මිනිසුන් සක‍්‍රීය බවෙන් අඩු වුවහොත් මේ ලෝකය නීරස අපායක් වනු ඇත.
පත්තරකාරයෙක් හැටියට වසර දහනවයක කාලය තුළ මා අධිකරණයට කැඳවූ පළමුවැනි අවස්ථාව වූයේ ලේක්හවුස් ආයතනය පිළිබඳ හෙළිදරව් කිරීම් සහිත ලිපි පෙළකි. එහිදී ‘ලංකා’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ හැටියට මට එරෙහිව පළමුවැනි විත්තිකරු ලෙස චෝදනා නඟමින් නඩු තුනක් පවරනු ලැබිණි. දෙවැනි හා තෙවැනි විත්තිකරුවන් වූයේ ප‍්‍රකාශක හා මුද්‍රණකරුය. ඉන්පසුව, අධිකරණයට යන්නට මට සිදු වූයේ රාජපක්ෂ ජනාධිපතිවරයා විවේචනය කළ වරදටය. 2010 වසරේ ජනාධිපතිවරණයට පසු ජනවාරි 28 වැනිදා මා අත්අඩංගුවට ගනු ලැබූවේ රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයෙනි. දින 18ක් තිස්සේ හතරවැනි තට්ටුවේ රඳවා තබනු ලැබූ මා පෙබරවාරි 16 වැනිදා ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිණි. කිසිදු චෝදනාවක් ඉදිරිපත් කරන්නට අදහස් නොකරන බව පවසනු ලැබූ නිසා මා නිදහස් කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා උපදෙස් දුන්නේය. ඉන්පසුව අවස්ථාවක කලූතොට මුල්‍ය ආයතනය සම්බන්ධව විවේචනාත්මකව ලියැවුණු පුවතක් නිසා අධිකරණය වෙත යන්නට සිදු විය.

@seminarමේ ආකාරයට ‘ලංකා’ පුවත්පතට අදාළව නඩු අටකට මුහුණ දෙන්නට මා හට සිදු විය. ඉන්පසුව ‘ජනරළ’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ වශයෙන්ද පවරනු ලැබූ නඩුවක් සඳහා අධිකරණය වෙත ගියෙමි. මෙසේ පුවත්පත් කතුවරයකු වීමෙන් එහි වගකීම යටතේ ලියැවෙන පුවත් හා ලිපි වෙනුවෙන් අධිකරණයට යාමට සිදු වීම නිසා කළුකබාකාරයන්ගේ ඇසුරක් ලැබිණි. ප‍්‍රගතිශීලී මිනිසුන් මෙන්ම අමු කුහකයන්ද ඒ අතර විය. ඒ බොහෝ අවස්ථා ඇත්ත වශයෙන්ම ජීවිතයට අලූත් පාඩම් කියාදෙන අධ්‍යාපනික අත්දැකීම් විය.
දේශපාලන හේතු මත ‘ලංකා’ පුවත්පතෙන් ඉවත්වන්නට තීරණය කළ පසුව නීතිඥ වටගල මා වෙනුවෙන් පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවද එවැනි තවත් අත්දැකීමකි. ‘ලංකා’ පුවත්පත වෙනුවෙන් අධිකරණයට යන්නට සිදු වීම කනගාටු වන්නට හේතුවක් නොවීය. එහෙත් එක්ව සටනක යෙදුණු මිනිසුන් ඒ සටන වෙනුවෙන් පෙනී සිටීමට ප‍්‍රතික්ෂේප කිරීම දරාගන්නට සිදුවන ඇත්ත තත්වයකි.

පත්තරකාරයකුගේ සටන් බිම තුළ ඉන්නේ තොරතුරු මූලාශ‍්‍ර සපයන මිනිසුන්, පත්තර කලාවේ සගයන් හා පාඨක සහෘදයන්ය. පසුගිය සතියේ සටහන් කළ ආකාරයට බැණ වදින්නට, අගය කරන්නට හෝ වෙනත් ප‍්‍රතිචාර දක්වන්නට පාඨක සමාජයක් සිටී. ඔවුන්ගේ අරමුණු වෙනස් විය හැකිය. නමුත් පත්තරකාරයාගේ අරගලය සුබපැතුම් සහිතව ආරක්ෂා කරන්නන් දුලබය.
අධිකරණ භුමියේ කළුකබා යටින් හදවත් ගැහෙන රිද්මය මට ඇසේ. නීතිඥවරුන්ට විශාල මුදලක් ගෙවන්නට හැකියාවක් අපට නොමැත. නමුත් හැකි ආකාරයෙන් ගෙවීමක් කරන්නට අවස්ථාව දෙන නීතිඥවරුද අයකිරීමකින් තොරව ඉදිරිපත් වන නීතිඥවරුද සිටිති. වමේ දේශපාලනය යනු සාමූහිකව කරන අරගලයක් බව ප‍්‍රකට කාරණයකි. එහෙත් දක්ෂිණාංශික දේශපාලනයේදීද ඇත්තේ සාමූහිකත්වය පිළිකෙව් කරන සාමූහික ප‍්‍රයත්නයකි. වමේ දේශපාලනය යනු හුදු සාමූහිකත්වය නොව, සාමූහික මිනිස් ජයග‍්‍රහණ වෙනුවෙන් පෙළගැසෙන මිනිස් සාමූහිකත්වයකි. එය, පීඩිතභාවයට එරෙහිව සහෝදරත්වයෙන් සාමූහිකත්වයෙන් පෙළගැසෙන්නකි. ඒ නිසා වමේ දේශපාලනයේදී පත්තරකලාව පවා සාමූහිකත්වය තුළ පෙළගැසෙන්නකි. වමේ පත්තරකලාවක් නැතැයි කියන පත්තර කලාවේ යෙදෙන වුන් අතර සහෘදයන් මෙන්ම වෙනත් මාවත්වල යන්න වුන්ද සිටී.

කෙසේවෙතත්, අධිකරණයට කැඳවන ලද බොහෝ අවස්ථාවල යන්නට සිදු වූයේ තනිවමය. වෙනකක් තබා ඒ නඩුවට ප‍්‍රස්තුත වූ පුවත හෝ ලිපිය ලියූවන් පවා අධිකරණය වෙත පැමිණියේ නැත. සටන් බිමක හුදෙකලා වීම අමිහිරි යැයි ලිවිය හැක්කේ ඒ අත්දැකීම් හේතුවෙනි. එහෙත්, සාමූහික අරමුණු වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් සටන්බිමේ හුදෙකලා වීම නිතර සිදුවන දෙයකි. එයින්ම අරගලයේ යෙදෙන වුන් පන්නරය ලබයි. සටනේ සාමූහිකත්වය ආරක්ෂා කළද ඒ හුදෙකලා මිනිසුන් තුළද අරගලයක් විය යුතුව ඇත. සාමූහිකත්වය මෙන්ම සාමූහිකත්වය වෙනුවෙන් කොන්දේසි විරහිත අරගලයද වැදගත්ය. නීතිඥවරියකගේ මුවින් පිට වූ ඒ වචන කීපය නිසාම මගේ පීඩිත හදවත තුළ පැවැති මෙවන් අදහස් පෙළක් සටහන් විය. එය කිසිවකුගේ දෝෂයක් ගැන කියන්නට නොව, ලැබූ අත්දැකීම් මෙසේ සටහන් කෙරෙන්නේ මතු දවසේ හෘදසාක්ෂියක් ඇතිව පෑන අල්ලන සගයන්ට මේ අත්දැකීම් පවරා දිය යුතු බැවිනි.

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: