Archive for සැප්තැම්බර්, 2015

‘නරක උන්‘ සහ ‘හොඳ උන්‘ ඇසුරෙහි…

‘මචං මම කවි පොතක් ගැහුවා….’
ඒ සතුටුදායක පුවත මා සමඟ බෙදා ගත්තෙ කාලයක් තිස්සෙ හිතවත් පත්තර මිත‍්‍රයෙක්. පසුගිය දිනවල පොත් සල්පිලේදි එසේ පළ කළ පොත් ගැන බොහෝ සහෘදයන්ගෙන් අසන්නට ලැබුණා.
මවකට පියකුට අලූත දරුවකු ලැබීමට සමාන සතුටක් එයින් උපදවනවා. ඒ පුවත නිසා සතුටක් වගේම කනගාටුවක් මට ඇති කරවනවා. මිතුරා කාලාන්තරයක් වැගිරූ නිර්මාණාත්මක ශ‍්‍රමය එක්තැන් කරමින් පොතක් වශයෙන් පළ කිරීම ගැනයි සතුට. ඒත්, එහෙම කවි පොතක් කරන්න අදහසක් තිබුණත් ඒ සඳහා බර පැන සොයාගන්න බැරිව ළතැවෙන මිතුරන් කිහිපදෙනකු ගැන මම දන්නවා. ඇඹිලිපිටියෙ සජිත් චින්තක කවියා ඉන් එක්කෙනෙක්. ප‍්‍රියන්ත ලියනගේ සහෝදරයා තවත් කෙනෙක්. සාහිත්‍ය මාසෙට සමාන්තරව පොත් පළ කරන්න උනන්දු වන බොහෝ දෙනා ඒ හීනය සඵල කරගන්නෙ ණය වීමෙන්. ඒත් හැමෝටම ඒක කරන්න අමාරුයි.
සමහර සහෘදයන් තමන්ගෙ පොතක් පළ කරන්න උදව් කරන්න පුළුවන්ද කියලා අහනවා. පත්තර කතුවරයෙක් විදියට මාව දන්න නිසා උදව් ඉල්ලන වෙලාවට ඔවුන්ට කියන්න උත්තරයක් හොයාගන්න අමාරුයි. පත්තරයක් කියන්නෙ ප‍්‍රකාශන ආයතනයක් ලෙස ඔවුන් දකින්නෙ. ප‍්‍රකාශන ආයතනයක වගකීමක් දරන කෙනෙක් හැටියට ඔවුන් ඒ ඉල්ලීම කළත් පොතක් පළ කරනවා කියන්නෙ එකවර මුදලක් වැය කිරීමක්. ඒ මුදල හොයාගන්න බැරිව බොහෝ ලේඛකයන් අසරණ වෙනවා. අවුරුදු ගාණක ඉඳලා මමත් එවැනි බලාපොරොත්තුවක් සඟවාගෙන ඉන්නෙ. රාජපක්ෂ පාලනය යටතෙ හතරවෙනි තට්ටුවට ගෙන ගිය අත්දැකීම ගැන මා ලියූ ලිපි එකතුව පළ කරන්නත් කවි පොතක් පළ කරන්නත් හීනයක් තියෙනවා.
මේ කාරණාවෙම තවත් පැත්තක් තමයි පළ කරන පොතක් සඳහා පාඨක සහෘදයන්ගෙන් අවධානයක් හිමිවීම. චූලානන්ද සමරනායක සහෝදරයාගේ ‘නරක උන් ඇසුරෙහි’ කියන පරිවර්තිත කෘතිය පසුගිය දවසක ජනගත වුණා. චූලා සහෝදරයාගෙ සාහිත්‍ය වැඩකට යන එක අපේ යුතුකමක් හැටියට තිබුණත් අගහිඟකම් මැද්දෙ එවැනි තැනකට යන එකට වෙලාව වෙන්කර ගන්න එකයි අමාරු. එවැනි අමාරුකම් මැද පැමිණි බොහෝ දෙනා අතර සිටි රණසිංහ සහෝදරයා චූලානන්ද සමරනායක කියන ලේඛකයගෙ කාර්යභාරය පැසසීමට කවියක් සටහන් කළා. ඒක චූලා අතට දෙන්න සූදානම් වෙමින් රණසිංහ සහෝදරයා කිව්වෙ ‘චූලා වගේ කෙනකුට අපට දෙන්න පුළුවන් මේ වගේ දෙයක් විතරයිනෙ’ කියලා. ඇත්තටම සහෘදයකු පළ කරන පොතක් මිලදී ගන්න පවා අමාරුකම් ඇති පීඩිත පන්තියේ සහෘදයන් තමන් වෙනුවෙන් ශ‍්‍රමය වගුරන ලේඛකයන් ගැන හැඟීමකින් ඉන්නවා. ඒත් ඔවුන්ට ලේඛක සහෘදයන් වෙනුවෙන් කළ හැකි දේ සීමිතයි. ඒ හේතුව නිසාම බොහෝ ලේඛකයන් පොත් ප‍්‍රකාශකයන් ඉදිරියෙ අසරණයි.
ලේඛකයා ණය වෙලා හරි පොතක් පළ කර ගත්තත් ප‍්‍රකාශකයගෙන් කර්තෘභාගය ගන්න හරිම අමාරුයි. ප‍්‍රකාශකයන් කියනවට වඩා පොත් මුදලාලිලා හැටියටයි ඔවුන් හඳුන්වන්න වෙන්නෙ. කාලයක් තිස්සෙ ලිවීමෙන් දුක් මහන්සියෙන් උපයාගන්නා සංකේතීය වටිනාකම පවා එවැනි මුදලාලිලාගෙ ලාභ උල්පතක් බවට පත් වෙනවා. එහෙම නමක් ඇති ලේඛකයකුගෙ පොතක් පළ කිරීම ආයතනික වශයෙන් ලාභදායක බව පොත් මුදලාලිලා දන්නවා. එවැනි ලේඛකයන්ට නිතර නිතර සොච්චමක් දීලා ඔවුන් ඇද බැඳ තබා ගන්න තරම් කපටිකමක් පොත් මුදලාලිලාට තියෙනවා.
චූලගෙ පොත ගැන දැනගන්න රුසියානු මධ්‍යස්ථානයට ආව අය අතර කාලයකින් හමු වුණු සහෘදයන් හිටියා. කුමාරි කුමාරගමගේ සහෝදරී ඒ අතරින් කෙනෙක්.
”චන්දන මං අහන්න හිටියෙ. පත්තරෙත් අමාරුවෙන් හරි කරගෙන යනවා නේද? කොහොමද ඉතින් ජීවිතේ?”
”ජීවිතේ ඉතින් පත්තරේම තමයි… අමාරුයි තමයි ඒත් කරන්න දෙයක් නෑ. අමාරුකම් මැද ගැටගහගෙන යනවා” මං පිළිතුරු දුන්නා.
”අමාරුකම් තියෙන බව දන්නවා. ඔයාගෙ ප‍්‍රශ්නයක් අපිත් එක්කත් බෙදාගන්න බලන්න. අපිටත් මොනවා හරි කරන්න පුලූවන් වෙයි”
ඈ කියපු වචන කාන්තාරයකදි දකින ක්ෂේමභූමියක් වගේ. පත්තරේ අමාරුවෙන් කරගෙන යන බව දන්න බොහෝ දෙනා පත්තරේ ගැන නිතර අහනවා. ඒත් ඒ අයට පවා ලොකුවට ආර්ථික හයියක් නැති නිසා උදව් කරන්න අමාරුයි. කොහොම වෙතත් ඒ අමාරුකම් මැද්දෙ ජීවිතේ පවත්වාගෙන යන්න අපට උදව් කරන්නෙ දිවයින පුරාම විසිර ඉන්න ඒ වගේම විදේශගතව ශ‍්‍රමය වගුරන සහෘදයන්. ඔවුන් නැත්නම් මේ වෙනකොටත් ‘ජනරළ’ නිහ`ඩ වෙලා.
නම් කරලා ඉවර කරන්න බැරි තරම් පිරිසක් පාඨකයන් ලෙස අපේ ජීවිත සමඟ බැඳී ඉන්නවා. ඔවුන් විසින් පත්තරේ මිලදී ගැනීමෙන් වැය කරන මුදල අපට විශාල ශක්තියක්. ඒත් සමහර සහෘදයන් පත්තරේ මුදල විතරක් නෙවෙයි, පත්තරේ කට්ටිය ජීවත් කරවන්නත් යම් දායකත්වයක් දක්වනවා. ඒක කවදාවත් අපේ ලිවීමෙන්, කෘතවේදී වීමෙන් පමණක් පියවන්න හැකි උපකාරයක් නෙවෙයි. ඒ සහයෝගය අගය කරන්න වෙන්නෙ අපේ ක‍්‍රියාකාරිත්වයෙන්මයි. ‘ජනරළ‘ කට්ටියගෙ පෑන්වලට ධෛර්ය සපයන, සටන් කරන අකුරු පණගන්වන වචනයකින් හෝ සුළු මුදලකින් හෝ කියැවෙන්නෙ අප ජීවත්වන විදිය වෙනස් කරන්න ඇති අධිෂ්ඨානයයි.
එහෙම අධිෂ්ඨානයක් ඇති මිනිසුන් අතර උරෙන් උර ගැටෙමින් සටන් කරන්න අපි අපේ පෑන් තව තවත් වේගවත්ව සවිමත්ව අල්ලා ගත යුතුයි. කෲරත්වය, අධමත්වය රජකරන විට ඊට එරෙහිව නැඟී සිටින උන් පවා සමහරවිට වැඩ කරන්නෙ ඒ කෲරත්වයටම දායකත්වය දෙමින්. නගර වීදියේ හෝ පිටිසර ප‍්‍රදේශයක විරෝධතා දක්වන මිනිසුන් සබුද්ධික කරන්න රුධිරයෙන් වුවත් ලියන්න වෙන්නෙ ඒ තත්වය වෙනස් කරන්න කැපවුණු අධිෂ්ඨානයකින්.

Advertisements

අරගලයේදී හුදෙකලා වීමක් නැත…..!

“ෆී එක දෙන්න පුළුවන්ද? අවුලක් නැද්ද….“

එවැනි වචන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. අධිකරණයකදී අමිහිරි අත්දැකීම් අතර එය අපූරු අත්දැකීමකි. උසාවියෙන් නැඟිට එළියට එන්න සූදානම් වන අවස්ථාවේ නීතිඥවරිය මා වෙත ආවේ ඊළඟ නඩුව පිළිබඳ කතාබහ කරන්නටය. ඉන්පසුව මම පසුම්බිය එළියට ගත්තෙමි.
නීතිඥවරිය ඇසූ පැනය අධිකරණ භූමියකදී මා ඇසූ සුන්දරම වචන කීපය බව කිව යුතුය. වසර කිහිපයක්ම අධිකරණයේ පෙනී සිටින මට ඒ අත්දැකීම අලූත්ය. ඒ නිසා කිවහැක්කේ කළුකෝට්කාරයන් ගිනිකන කට්ටිය බවට කියන කතා සියල්ල සත්‍ය නොවන බවය. පුවත්පත් කලාවේදීන් වෙනුවෙන් කෙසේ වෙතත් යුක්තිය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් සටන් කිරීමේ වරදට චෝදනා ලැබූවන් වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකොට පෙනී සිටින නීතිඥවරු සිටිති.

එවැනි මිනිසුන් අධිකරණයේ මෙන්ම පොදු සමාජයේද අඩු බව ඇත්තය. එහෙත් මිනිස් ආධ්‍යාත්මයක් ඇතිව සිය වගකීම ඉටු කරන පිරිසක් සෑම සියලූ ක්ෂේත‍්‍රයකම සිටිති. එහෙත් අපේ යුගයේ වඩා අමිහිරි කාරණය නම් අයහපත් මිනිසුන්ගේ ක‍්‍රියාකාරිත්වය නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාව බවට කියමනක් තිබේ. යහපත් මිනිසුන් සක‍්‍රීය බවෙන් අඩු වුවහොත් මේ ලෝකය නීරස අපායක් වනු ඇත.
පත්තරකාරයෙක් හැටියට වසර දහනවයක කාලය තුළ මා අධිකරණයට කැඳවූ පළමුවැනි අවස්ථාව වූයේ ලේක්හවුස් ආයතනය පිළිබඳ හෙළිදරව් කිරීම් සහිත ලිපි පෙළකි. එහිදී ‘ලංකා’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ හැටියට මට එරෙහිව පළමුවැනි විත්තිකරු ලෙස චෝදනා නඟමින් නඩු තුනක් පවරනු ලැබිණි. දෙවැනි හා තෙවැනි විත්තිකරුවන් වූයේ ප‍්‍රකාශක හා මුද්‍රණකරුය. ඉන්පසුව, අධිකරණයට යන්නට මට සිදු වූයේ රාජපක්ෂ ජනාධිපතිවරයා විවේචනය කළ වරදටය. 2010 වසරේ ජනාධිපතිවරණයට පසු ජනවාරි 28 වැනිදා මා අත්අඩංගුවට ගනු ලැබූවේ රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයෙනි. දින 18ක් තිස්සේ හතරවැනි තට්ටුවේ රඳවා තබනු ලැබූ මා පෙබරවාරි 16 වැනිදා ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිණි. කිසිදු චෝදනාවක් ඉදිරිපත් කරන්නට අදහස් නොකරන බව පවසනු ලැබූ නිසා මා නිදහස් කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා උපදෙස් දුන්නේය. ඉන්පසුව අවස්ථාවක කලූතොට මුල්‍ය ආයතනය සම්බන්ධව විවේචනාත්මකව ලියැවුණු පුවතක් නිසා අධිකරණය වෙත යන්නට සිදු විය.

@seminarමේ ආකාරයට ‘ලංකා’ පුවත්පතට අදාළව නඩු අටකට මුහුණ දෙන්නට මා හට සිදු විය. ඉන්පසුව ‘ජනරළ’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ වශයෙන්ද පවරනු ලැබූ නඩුවක් සඳහා අධිකරණය වෙත ගියෙමි. මෙසේ පුවත්පත් කතුවරයකු වීමෙන් එහි වගකීම යටතේ ලියැවෙන පුවත් හා ලිපි වෙනුවෙන් අධිකරණයට යාමට සිදු වීම නිසා කළුකබාකාරයන්ගේ ඇසුරක් ලැබිණි. ප‍්‍රගතිශීලී මිනිසුන් මෙන්ම අමු කුහකයන්ද ඒ අතර විය. ඒ බොහෝ අවස්ථා ඇත්ත වශයෙන්ම ජීවිතයට අලූත් පාඩම් කියාදෙන අධ්‍යාපනික අත්දැකීම් විය.
දේශපාලන හේතු මත ‘ලංකා’ පුවත්පතෙන් ඉවත්වන්නට තීරණය කළ පසුව නීතිඥ වටගල මා වෙනුවෙන් පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවද එවැනි තවත් අත්දැකීමකි. ‘ලංකා’ පුවත්පත වෙනුවෙන් අධිකරණයට යන්නට සිදු වීම කනගාටු වන්නට හේතුවක් නොවීය. එහෙත් එක්ව සටනක යෙදුණු මිනිසුන් ඒ සටන වෙනුවෙන් පෙනී සිටීමට ප‍්‍රතික්ෂේප කිරීම දරාගන්නට සිදුවන ඇත්ත තත්වයකි.

පත්තරකාරයකුගේ සටන් බිම තුළ ඉන්නේ තොරතුරු මූලාශ‍්‍ර සපයන මිනිසුන්, පත්තර කලාවේ සගයන් හා පාඨක සහෘදයන්ය. පසුගිය සතියේ සටහන් කළ ආකාරයට බැණ වදින්නට, අගය කරන්නට හෝ වෙනත් ප‍්‍රතිචාර දක්වන්නට පාඨක සමාජයක් සිටී. ඔවුන්ගේ අරමුණු වෙනස් විය හැකිය. නමුත් පත්තරකාරයාගේ අරගලය සුබපැතුම් සහිතව ආරක්ෂා කරන්නන් දුලබය.
අධිකරණ භුමියේ කළුකබා යටින් හදවත් ගැහෙන රිද්මය මට ඇසේ. නීතිඥවරුන්ට විශාල මුදලක් ගෙවන්නට හැකියාවක් අපට නොමැත. නමුත් හැකි ආකාරයෙන් ගෙවීමක් කරන්නට අවස්ථාව දෙන නීතිඥවරුද අයකිරීමකින් තොරව ඉදිරිපත් වන නීතිඥවරුද සිටිති. වමේ දේශපාලනය යනු සාමූහිකව කරන අරගලයක් බව ප‍්‍රකට කාරණයකි. එහෙත් දක්ෂිණාංශික දේශපාලනයේදීද ඇත්තේ සාමූහිකත්වය පිළිකෙව් කරන සාමූහික ප‍්‍රයත්නයකි. වමේ දේශපාලනය යනු හුදු සාමූහිකත්වය නොව, සාමූහික මිනිස් ජයග‍්‍රහණ වෙනුවෙන් පෙළගැසෙන මිනිස් සාමූහිකත්වයකි. එය, පීඩිතභාවයට එරෙහිව සහෝදරත්වයෙන් සාමූහිකත්වයෙන් පෙළගැසෙන්නකි. ඒ නිසා වමේ දේශපාලනයේදී පත්තරකලාව පවා සාමූහිකත්වය තුළ පෙළගැසෙන්නකි. වමේ පත්තරකලාවක් නැතැයි කියන පත්තර කලාවේ යෙදෙන වුන් අතර සහෘදයන් මෙන්ම වෙනත් මාවත්වල යන්න වුන්ද සිටී.

කෙසේවෙතත්, අධිකරණයට කැඳවන ලද බොහෝ අවස්ථාවල යන්නට සිදු වූයේ තනිවමය. වෙනකක් තබා ඒ නඩුවට ප‍්‍රස්තුත වූ පුවත හෝ ලිපිය ලියූවන් පවා අධිකරණය වෙත පැමිණියේ නැත. සටන් බිමක හුදෙකලා වීම අමිහිරි යැයි ලිවිය හැක්කේ ඒ අත්දැකීම් හේතුවෙනි. එහෙත්, සාමූහික අරමුණු වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් සටන්බිමේ හුදෙකලා වීම නිතර සිදුවන දෙයකි. එයින්ම අරගලයේ යෙදෙන වුන් පන්නරය ලබයි. සටනේ සාමූහිකත්වය ආරක්ෂා කළද ඒ හුදෙකලා මිනිසුන් තුළද අරගලයක් විය යුතුව ඇත. සාමූහිකත්වය මෙන්ම සාමූහිකත්වය වෙනුවෙන් කොන්දේසි විරහිත අරගලයද වැදගත්ය. නීතිඥවරියකගේ මුවින් පිට වූ ඒ වචන කීපය නිසාම මගේ පීඩිත හදවත තුළ පැවැති මෙවන් අදහස් පෙළක් සටහන් විය. එය කිසිවකුගේ දෝෂයක් ගැන කියන්නට නොව, ලැබූ අත්දැකීම් මෙසේ සටහන් කෙරෙන්නේ මතු දවසේ හෘදසාක්ෂියක් ඇතිව පෑන අල්ලන සගයන්ට මේ අත්දැකීම් පවරා දිය යුතු බැවිනි.

පුවත්පත් කලාවේදී දිනයේ කුණුහරුප සංග‍්‍රහයක්

pen in tears‘අඩෝ — —- පුතා, තෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂෙට —- දෙනවද?’
දුරකථන මාර්ගයෙන් ඒ ප‍්‍රශ්න කිරීම අසන්නට ලැබුණේ පසුගිය 8 වැනිදාය. ජාත්‍යන්තර පුවත්පත් කලාවේදීන්ගේ සහරයෝගිතා දිනය තුළ එවැනි උපහාරයක් ලබාගන්නට පත්තරකාරයකුට හැකිවන්නේ කලාතුරකිනි. මගේ ජංගම දුරකථනය වෙත ඒ ඇමතුම ආවේ උදෑසන 10.30ට පමණය. එවැනි ඇමතුමක් ආවේ හේතුවක් ඇතිවය. ඒ හේතුඵල සම්බන්ධය සටහන් කරමි.
හෝමාගම ප‍්‍රදේශයේ පෝස්ටර් අලවමින් සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සගයකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් හිතවත් මාධ්‍යවේදීන්ට හා වෙනත් දන්නා හඳුනන අයට දැනුම් දීමක් කරන්නට කල්පනා කළෙමි. මෙම අත්අඩංගුවට ගැනීමේ විශේෂත්වයක් තිබේ. එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ව පිහිටුවන ලද හවුල් ආණ්ඩුවෙන් දේශපාලන හේතු මත අත්අඩංගුවට ගැනුණු පළමු පුද්ගලයා ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයාය.
‘අන්දන ඡුන්දේ ඉවරයි, විඳවන ප‍්‍රශ්න බොහොමයි… බලා ඉඳිමුද? සටන් වදිමුද?’ යන අදහස එකී පෝස්ටරයේ සඳහන් විය.
එකී අත්අඩංගුවට ගැනීම විසින් සනාථ කෙරෙන්නේද පෝස්ටරයෙන් කියැවෙන තත්වයමය. මෙම පෝස්ටරය ඇලවීම සඳහා දවසේ වේලාසනින් අලූයමින් අවදි වී අධික ශීතල නොතකා ගමන් කරමින් සිටි සගයකු එසේ අත්අඩංගුවට ලක්වන්නේ නගරයේ පරිසර අලංකාරය විනාශ කිරීමේ චෝදනා මතය. මෙවැනි චෝදනාවක් මින් පෙරාතුව පුරවැසියන්ට එල්ල කළේ මහින්ද රාජපක්ෂ පාලනය විසිනි. කෙසේවෙතත් පසුගිය ජනවාරි 8 වැනිදා පලවා හැරි රාජපක්ෂ යළි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකි. ඔහු බලයේ සිටියදී පැනවූ නීති සක‍්‍රීය කරමින් ඉන්නේ රාජපක්ෂ පලවා හැර බලයට පත් හවුල් ආණ්ඩුවේ පොලිසිය විසිනි.
එදා රාජපක්ෂ හෙළා දකිමින් ඔහු ගෙදර යැවීම දක්වා වැඩ කළ මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදීහු දැන් මේ ගැන කියන්නේ කුමක්දැයි ප‍්‍රශ්නයක් මතු වේ. බොහෝ යහපාලන විප්ලවවාදීන් මෙවැනි සිදුවීම් හමුවේ නිහ`ඩය. ඇතැමුන් කියනු ඇත්තේ ‘නීතිය ඉදිරියේ කවුරුත් සමානය’ වැනි උදාන වාක්‍ය විය හැකිය. රාජපක්ෂ ආණ්ඩුව යටතේ පවා මර්දනය සිදු වන විට කීවේ එයයි.
ශිෂ්‍ය උද්ඝෝෂණවලට පොලිසිය බාධාකරන ලද්දේ මාර්ග අවහිර වීම නිසා ජනතාවට ප‍්‍රවාහන ගැටලූ ඇති වේ, යන තර්කයෙනි. කම්කරු උද්ඝෝෂණවලටද එම තර්කයම ගෙනැවිත් තිබිණි. මහජන සාමයට බාධා විය හැකිය යන පදනමෙන් මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් නියෝග ගෙන ජනතා උද්ඝෝෂණ තහනම් කරන ලදී. එසේ රාජපක්ෂගේ මර්දන නීති ක‍්‍රියාත්මක කරමින් එදා පොලිසිය විසින් ජනතාවගේ රැුස්වීමේ, සංවිධානය වීමේ හා අදහස ප‍්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කර තිබිණි. කෙසේ වෙතත් නීතියට හසුනොවන තෝරු මෝරු කිසිවක් නොවුණු ලෙස වාසය කරති.
දේශපාලන අදහසක් පැවසීමේ අඩු වියදම් ක‍්‍රමය භාවිත කිරීමේ වරදට හෝමාගමදී
අත්අඩංගුවට ගත් සගයා පොලිසිය විසින් අධිකරණයට පමුණුවා රුපියල් පන්දහසක දඩයක් අයකරගෙන නිදහස් කරන ලදී.
එම අත්අඩංගුවට ගැනීම හවුල් ආණ්ඩුවේ පාලනය යටතේ වමේ දේශපාලන ක‍්‍රියාකාරිකයකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව විය. ඒ ගැන එස්එම්එස් පණිවිඩයක සඳහන් කිරීමේ හේතුව මත ලියුම්කරුට ‘තිත්ත කුණුහරුපයෙන්’ සංග‍්‍රහ කළේද අප ජීවත්වන සමාජයේ පීඩාවට පත් සමාජ කණ්ඩායම් අතර එකකු බවට සැක නැත. තමන්ට යම් හානියක් සිදු නොවන තාක් අනෙකාගේ පීඩාව ගැන නොතකා ජීවත්වන්නට අපේ සමාජයේ වැඩි පිරිසක් පුරුදු කරනු ලැබ තිබේ.
මර්දනය තමන් අබියසට තුවක්කු මානාගෙන එන තුරුම අවට සිදුවන පහරදීම්, පැහැරගෙන යාම්, අත්අඩංගුවට ගැනීම් හෝ ඝාතන වැනි මහා මර්දනකාරීත්වයන් නොදැනෙන වුන් සිටී. අපේ සමාජයේ පවතින මෙම කුහක තත්වය වෙනස් කරන්නට පෑන හසුරුවන්නට ගත් තීරණය මෙවැනි බියසුලූ පුද්ගලයන්ගේ තර්ජනයකින් නතර නොකරමි.
මා මෙන්ම බොහෝ පිරිසක් අලූත් පාලනයේ හවුල් මර්දනයට එකඟ නොවන බව දනිමි. ඔවුන් රාජපක්ෂගේ මූණ වෙනුවට රනිල්ගේ හෝ මෛත‍්‍රීගේ මූණ අලවන්නට උත්සුක වූයේ නැති බව දනිමි. ඒ නිසා ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන් පාඨවලට හීලෑ නොවී ඇත්ත ජනතා අරගලයකට යාමේ ශක්‍යතාව සමාජය තුළ ඉතිරිව තිබේ.

මට නොව, අපට පුළුවන්!

පාසල් නිමවී පියා සමඟ යමින් සිටි දැරිය මැසිවිලි නඟමින් යමක් කියයි. දරුවා අස්වසන්නට පියාට නොහැකිය.
”යාළුවො කණ්ඩායමක් හැදිලා මල් හදන්න කිව්වෙ. ඉතින් මගෙ යාළුවො කවුරුත් මල් හදන්න උදව් කළේ නෑ. අන්තිමේට ටීච කිව්වා ගෙදරදි තනි තනිව හදාගෙන එන්න කියලා….”
ඇය දිගටම සිය පන්තියේ මිතුරු මිතුරියන් සමඟ ඇති වූ ආරවුල ගැන පැමිණිලි කරමින් සිටී.
”ඇයි දුව ඔයා දන්නෙ නැද්ද යාළුවො කණ්ඩායමක් එකතු වෙලා කරන වැඩ එහෙම තමයි.. හැබැයි සමගියෙන් ඒ වැඩ කරන්නත් පොඩි කාලෙ ඉඳලම පුරුදු වෙන්න ඕන… ලොකු වුණාමත් සමගියෙන් ඉන්න පුරුදු වෙන්නෙ පුංචි කාලෙදිමයි..”
පාසල් දරුවන්ට සමගියෙන් වැඩ කිරීමට හා සාමූහිකත්වයේ අගය කියාදීමට වටුවැද්දාගේ කතාවත් දරකෝටුව හා දරමිටිය උදාහරණත් යොදා ගනු ලබයි. කොතරම් නිදසුන් සහිතව පාඩම් කළත් සමගිය යනු සංකල්පයක් පමණක් නොවේ. එය කුඩා අවදියේ සිටම වර්ධනය කළ යුතු මිනිස් භාවිතයකි. එහෙත් පංති කාමරයේ ලබන අධ්‍යාපනයේදී සාමූහිකත්වය පලවා හරිනු ලබයි. පන්තියේදී අධ්‍යාපනය ලබන්නේ තනි තනිව සමත්කම් පෙන්වීමටය, තමන් විසින් ලකුණු වැඩියෙන් ගන්නටය, තනිව වෙහෙස වී විභාග ජයගන්නටය.
මා දන්නා ඇතැම් පාසල්වල පංති කාමරයේ ප‍්‍රදර්ශනය කරන උදාන වාක්‍ය පුවරු ඇත.
‘ශැි ෂ ක්‍්බ ෟ’ යන්න එහි සටහන් වේ. කුඩා කාලයේ සිටම පන්ති කාමරයේ උගනින දරුවන් සාමූහිකයක් ලෙස ක‍්‍රියාකාරකම්වලට යොමු කිරීම අධ්‍යාපන මූලධර්මවල සිට එන්නකි. නිවසේදී මම, මගේ යන අදහස හඳුනාගන්නා දරුවාට සමාජ ජීවිතයේ පාඩම කියා දෙනු ලබන්නේ පංති කාමරයේදීය. එහෙයින් ‘මට පුළුවන්’ යන අදහස කියනවාට වඩා ‘අපට පුුළුවන්!’ වැනි අදහසකින් දරුවන් අතර සාමූහිකත්වයේ ආකල්ප වර්ධනය කිරීම අවශ්‍ය වේ.
කණ්ඩායම් කි‍්‍රයාකාරකමක් ලෙස විසිතුරු කඩදාසි යොදාගෙන මලක් නිමැවීමට දුන් අවස්ථාවේ පහේ පන්තියේ දරුවන් කටයුතු කළ ආකාරය ඉහත දැරිය විසින් හෙළිදරව් කළාය. පහේ ශිෂ්‍යත්ව විභාගයට දිවීමක නිරත වූ ඔවුහු දැන් නිපුණතා ක‍්‍රියාකාරකම්වල යෙදෙති. අගෝස්තු මාසය වනවිට විෂය නිර්දේශය අවසන් කර ඇතත් ක‍්‍රියාකාරකම් සහිත අධ්‍යාපන කටයුතුවල යෙදවීම අවශ්‍යය. එහෙත් පසුගිය මාස අටකදී සාමූහිකත්වය හෝ පොදු හැඟීම වර්ධනය කරනු වෙනුවට තනි අශ්වයන් මෙන් ධාවනයක යොදවන ලද දරුවන්ට කණ්ඩායම් ක‍්‍රියාකාරකමක ප‍්‍රතිඵල අත්පත් කරගන්නට හුරුවක් නැත.
පාසල් ගීතයත් ජාතික ගීයත් කියන විට දරුවෝ සාමූහිකත්වය ගැන මහ හ`ඩින් ගයති. ඊට අමතරව වටු වැද්දාගේ කතාව හෝ මඝ මානවක කතාවෙන් සාමූහිකත්වය හා පොදු වැඩ ගැන ආකල්පයන් මනසට ගනු ලබන නමුත් ඔවුන්ට ඇත්ත ජීවිතයේදී සාමූහික හැඟීම් අහිමි කර ඇත. ඇත්තටම ඔවුන් පාසලේදී එකිනෙකාට උදව් කරගන්නේ අල්ප වශයෙනි. පාසල් දරුවන් එකිනෙකාගේ නිවෙස්වලට යන්නේ කලාතුරකිනි. දුක සැප බෙදාගන්නේ අඩු වශයෙනි. එය වැඩිහිටි වයසට යත්ම වඩාත් පටු ආකල්ප සහිත මිනිසුන් බිහි කිරීමට රුකුලකි.
එවැනි දරුවන්ගේ මවුපියන් පාසලේ කටයුතුවලට සහභාගි වන්නේද අනිවාර්යයෙන් එන්න කිවහොත් පමණි. පාසල පිරිසිදු කිරීමේ ශ‍්‍රමදානයකට එන්නේද පන්ති භාර ගුරු භවතුන් විසින් නොපැමිණෙන මවුපියන් ගැන විදුහල්පතිට වාර්තා කළ හොත් දරුවන්ට ලැජ්ජාවක් වෙති’යි බිය නිසාය. කොහොමටත් අපේ වැඩිහිටි සමාජයම පටු ආකල්පවලින් කුණු වී ගොසිනි. වැඩිහිටි මිනිසුන් මළගෙදරකට යන්නේ නොගියොත් ජීවතුන් අතර සිටිනවුන්ගෙන් අවලාද අසන්නට විය හැකි නිසාය. මංගල්‍යයකට සහභාගි වන්නේ ඇරයුම් කළ නිසාත් තමන්ට හිමි කෑම බීම පරිභෝජනයට සහ ප‍්‍රදර්ශනාත්මක ඇඳුම් ආයිත්තම් තරගයක් ලෙසය.
අප කුඩා අවධියේදී නිවසක, පවුලක විවිධ උත්සව අවස්ථා ආරම්භ වන්නේම එම නිවසේ පිරිසුදු කිරීම් සහිත ශ‍්‍රමදානයකිනි. නෑයන්, හිතමිතුරන් හා අසල්වාසීන් එකතුව නිවස හා ගෙවත්ත පිරිසිදු කර අලංකාර කරනු ලබයි. උත්සවය දවසට සතුටින් හා විලාසිතාවෙන් පැමිණියත් නැතත් ඒ කාර්යයට සාමූහික දායකත්වය දීමේ තෘප්තිය මිනිස් බැඳීම් සවිමත් කරයි. මිතුරුකම් වඩාත් වැඩි කරන නොහොඳ නෝක්කාඩු සිඳ බිඳ දමන එවැනි මිනිස් සාමූහිකත්වයන් අද නැත. මංගල උත්සවයට ඇරයුම් ලද පසුව සිහිපත් වන්නේ ලියුම් කවරයක දමා කියක් දිය යුතුද යන්නයි. එසේත් නැතිනම් අලූතින් ඇඳගෙන යා යුතු විලාසිතාව ගැනයි. එසේත් නැතිනම් නියමිත දිනයේ නිවාඩුවක් ගන්නට හැකියාව ගැනයි. ලියුම් කවරයේ පිරිනමන මුදලට සරිලන ආහාර වේලක්, මත්පැන් බීමක් ලබාගන්නට පවා ඔවුහු උත්සුක වෙති. උපන්දිනයක්, මල්වර මඟුලක් හෝ විවාහයක් සඳහා සතුටින් සාමුහිකත්වයෙන් එක්වනු වෙනුවට අපේ මිනිස්සු ඒ අවස්ථා සිය පටු අරමුණු වෙනුවෙන් පාවිච්චි කරති. ඒ නිසා සාමූහික ජීවිතයේ අවස්ථා ලෙස සැලකෙන එවැනි සතුටු සාද එක් එක් පුද්ගලයන්ගේ පටු අරමුණු වෙනුවෙන් කුඩා කුඩා අණු බවට බිඳ දමනු ලබයි. අවසන මහා ගෝරි, පරම්පරාගත ගැටුම් ඇති වේ.
මේ නිසා කුඩා අවදියේ සිට සාමූහිකත්වයේ ජීවිතය දරුවන්ට හිමිකර දිය යුතුව ඇත. එසේම සමාජයක් ලෙස සාමූහික ජයග‍්‍රහණ කරා ගෙන යන්නට නම් එක් එක් මිනිසුන් සතු හැකියාවන් සාමූහික අරමුණු වෙනුවෙන් දිශාගත කළ යුතුව ඇත. පටු අරමුණු වෙනුවට සාමූහික අරමුණු බල ගැන්වීම වනාහී අපේ කාලයේ එක තැන පල්වන මිනිස් ශිෂ්ටාචාරය විසින් ඉල්ලා සිටින ගතිකත්වයයි.
වමේ දේශපාලනය යනුවෙන් අදහස් කෙරෙන්නේද එයයි.

Advertisements