‘පසන් මචං’ගැන අවසන් නොකළ මතකයෙන් 

pasan-kodikara2කලාතුරකින් හමුවන වර්ගයේ නිහඬ මිනිසකු වුවත් ඔහු යම් කාරණාවක් ගැන කතා කිරීමේ දී නිශ්ශබ්ද පුද්ගලයකු වූයේ නැත. අප ඔහු හැඳින්වූයේ ‘පසන් මචං’ හැටියටයි.

පරිවර්තකයකු ලෙස බොහෝ දෙනා හඳුන්වන නමුත් ඔහු සාහිත්‍යකරුවකු වශයෙන් කොටු කරනවාට වඩා යම් ජීවිත දර්ශනයක් ඇතිව සමාජ අරමුණකින් වැඩ කළ මිනිසකු ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. මිතුරන් අතර ඔහු ගැන කියැවෙන විවිධ රසකතා මැද වුවද ඔහු පෙන්වන්නේ යම් කාර්යයකට අත ගැසූ විට වගකීම් සහගතව වැඩ කිරීමේ ගුණයක් සහිත ජව සම්පන්න මිනිසකු බවයි. 53 වැනි වයසේ දී ජීවිත වේදිකාවෙන් බැස ගිය පසන් කොඩිකාර සහෝදරයා පළමුවෙන්ම මට මුණ ගැසුණේ කොතැනදැයි කිව නොහැකිය. එහෙත් කොළඹ නගරයේ ජීවිතයට පැමිණි 90 දශකයේ මැද භාගයේ දී ඔහු රුසියානු ශාස්ත‍්‍රීය අධ්‍යාපන කටයුතු අවසන්කොට මෙරටට පැමිණ කලක් ගත වී තිබිණි. වරින්වර පුවත්පතක ලියූ ලිපියකින් අපගේ සාකච්ඡුාව ආරම්භ විය. නැතිනම් විදේශීය චිත‍්‍රපට උළෙලකදි ඔහු නිතර මුණ ගැසුණි. නිරහංකාර මිනිසකු වූ පසන් කිසිවිටක තමන් විසින් උපයාගත් ශාස්ත‍්‍රීය දැනුම හෝ වෙනත් පෞද්ගලික ආකල්පයක් මත අදහස් කොටුකර තැබීමට සූදානම් නොවීය.
ඔහු මාක්ස්වාදය පිළිබඳ වෙහෙස වී ලබාගත් දැනුමකින් යුතුව සෙසු දාර්ශනික මතවාද පිළිබඳ අධ්‍යයනයක් සහිත වූ විද්වතකු විය. ඔහු දැනුම ආභරණයක් කර නොගත් නිසාම දාර්ශනික සාකච්ඡුාවල පන්න පන්නා යන මිනිසකු නොවීය. එහෙත් ‘පසන් මචං’ සතු වූ දැනුමක් මෙන්ම මැදිහත්වීමේ සාධනීය බවක් තිබිණි. ඔහු තමන් ඉගෙන ගත් දැනුම මෙරට ජන සමාජය වෙනුවෙන් යොදවන්නට තීරණය කළ අයෙකි. එහි එක් ආකාරයක් ලෙස ඔහු පරිවර්තන කාර්යයන් වෙත යොමු විය. නාට්‍ය කලාව වෙතද ඔහුගේ විශේෂ නැඹුරුතාවක් තිබිණි. නාට්‍ය වැඩමුළු, කලා සාහිත්‍ය කටයුතුවල නිරතවීමෙන් ඔහු විශේෂ තෘප්තියක් ලැබුවේ ඒවා පෞද්ගලිකව යමක් උපයන්නට පාදක කර නොගත් පිරුණු මිනිසකු ලෙසයි.
සෝවියට් දේශයේ අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනා කියන්නට කැමැති කාරණයක් නම් තමන් මාක්ස්වාදය ඇතුළු දේශපාලන දාර්ශනික සංකල්පවල පරප‍්‍රාප්තවූවන් බවයි. විජේවීර මෙරට සිදු කළ ඓතිහාසික මැදිහත්වීමෙන් පසුව සෝවියට් දේශයේ හෝ ලන්ඩනයේ ඉගෙනගෙන මෙහි පැමිණි ඇතැම් පුද්ගලයන් කියූ ‘පොර ටෝක් කතා’ හාස්‍යජනක තත්වයට පත් විය. සෝවියට් රජය බෙලහීනවෙමින් පැවැති 80 දශකය අවසානයේ ලූමුම්බා මිත‍්‍රත්ව සරසවියෙන් අධ්‍යාපනය ලැබීමට ඔහුට අවස්ථාව සැලසුණේ කොමියුනිස්ට් පක්ෂයේ මැදිහත්වීමෙන් මෙරට තරුණ ක‍්‍රියාකාරිකයන්ට හිමි වූ ශිෂ්‍යත්ව ක‍්‍රමය නිසාය. 89 සෝවියට් බලය බිඳවැටීමෙන් පසුව රුසියානු වෛද්‍ය අධ්‍යාපනය සාරවත් ආයෝජනයක් වුවද ඉන් පෙරාතුව මෙරට තරුණ තරුණියන් සෝවියට් සමාජ ජයග‍්‍රහණ බෙදා හදාගැනීමේ ක‍්‍රමයක් යටතේ ඇත්ත සමාජ හිතකාමී අධ්‍යාපනයට යොමු කරවන ලද බවට හොඳම සාධකයක් ලෙස ගෙනහැර දැක්විය හැක්කේ පසන්ගේ භූමිකාවයි.

එහෙත් පසන් සෝවියට් නිලධාරිවාදයේ මර්දනය ගැනද සිය අත්දැකීම් අප සමඟ බෙදාහදා ගත්තේය. මාක්ස් ලෙනින්වාදය විකෘති කරන ලද සෝවියට් පරිහාණි යුගයේ දී තමන් විසින් එක්තරා මාක්ස්වාදී සංවිධානයකට සම්බන්ධ වීමේ කතාව ඔහු වරින්වර කියූ කතාවලින් වටහා ගන්නට පුළුවන. එවකට මාක්ස්වාදී කණ්ඩායමක් ලෙස සංවිධානය වූවන් රහසිගතව කටයුතු කළ යුතු විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ශිෂ්‍යත්වයක් හිමි වුවද සෝවියට් පාලනයේ විකෘතිය ප‍්‍රශ්න කළ විජේවීරට යළි ලූමුම්බා මිත‍්‍රත්ව සරසවියේ අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට එරට බලධාරීන් ඉඩ දුන්නේ නැත. පසන් ඇතුළු කණ්ඩායමක් විසින් උත්සාහ කළ කාර්යය සපුරා ගන්නට නොහැකි වූයේද කේජීබියෙන් මත වූ බලපෑම්ය. වරක් එම සංවිධානය වෙනුවෙන් ලියන ලද කඩදාසි කිහිපයක් නිසා පසන් මාරකයකින් බේරී ඇත්තේ අනූනවයෙනි.

‘යාඩ්‍රො’ නමින් හඳුන්වන එම සංවිධානය පටන්ගෙන තිබුණේ මාක්ස්වාදී අධ්‍යයන කණ්ඩායමක් ලෙසයි. ‘න්‍යෂ්ටිය’ යන තේරුම ඇති මෙම කණ්ඩායමේ සංවිධාන ව්‍යවස්ථා ලියැවිල්ලක් ලිවීමේ වගකීම ගෙන තිබුනේ පසන් විසිනි. මාක්ස්වාදය විසින් ඉදිරිපත් කළ සමාජ වෙනස්කම් ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගයක් බවට පත් කළ රාජ්‍යය පිරිහී ගිය පසුව ජීවිතය නතර කළ හැකිද? දෙවොල හිසමත කඩා වැටුණු සමයක සියල්ල අවසන් වූයේ යැයි සිතන්නටත් අත් පොරවා හිඳින්නටත් අකැමැති මිනිස්සු සෝවියට් පරිහාණි යුගයේ ජීවමානව සිටියහ. ඒ සියල්ලගේ අරමුණ සමඟ එකතු වූ පසු මර්දනයට හසු නොවී මාක්ස්වාදී සංවිධානයක් වෙනුවෙන් වැඩකිරීමේ අරමුණින් ඔහු එය සටහන් කළේය. එය සෙසු සගයන්ට කියැවීමට දීමේ අරමුණින් ගෙනයන්නට ඔහු තෝරාගත්තේ කිසිදු ආවරණයක් නැති සාමාන්‍ය කවරයකි. සැකයක් ඇති නොවන ආකාරයෙන් අතේ ගෙන ගිය කඩදාසි මිටිය අතැතිව ඔහු මොස්කව් නගරයේ ගමන් ගත්තේ අධික ලෙස කැකෑරුණු ශීත කුණාටුවක් ඇති මොහොතකයි. එක් තත්පරයකදී කවරයෙන් මිදුණු කඩදාසි හිම තලා ඉහළින් සුළගට ගසා යන්නට විය. කඩදාසි එකතු කිරීමේ කාර්යයට එළඹුනහොත් සැකයක් ඇතිවීමට හා නගරයේ නිතර සැරිසරන කේජීබී ඔත්තුකරුවකුගේ ඇසට හසුවීමේ අවදානම තිබිණි. කිසිවක් නොවූ ආකාරයෙන් එතැනින් ඉවත්ව පලායන්නට පසන් තීරණය කළේ ඉන්පසුවයි.

පසන් ලූමුම්බාවෙන් පසුව ගොර්කි සාහිත්‍ය කලා අධ්‍යයනායතනයේ අධ්‍යයනය සඳහා යොමු විය. සිය ආචාර්ය උපාධිය අවසන් කිරීමෙන් පසුව ඔහු ලංකාවට පැමිණියේය. එහෙත් ඔහුගේ දැනුමෙන් නිසි ප‍්‍රයෝජනයක් ගන්නට මෙරට විශ්වවිද්‍යාල සූදානම් වූයේ නැත. කාලයක් ඔහු නොසැලකිල්ලට භාජනය වෙමින් ආරාධිත කථිකාචාර්යවරයෙක් ලෙස සිය දැනුම සරසවි ශිෂ්‍ය ප‍්‍රජාවට දෙන්නට උත්සාහ කළේය. ශාස්ත‍්‍රීය අධ්‍යාපනයට වඩා යාන්ත‍්‍රික ක‍්‍රියාදාමයක කොටු කෙරුණු ඇදුරු ශිෂ්‍ය නිලධාරි ලෝකයක ඔහුගේ වටිනාකම තහවුරු කරන්නට ප‍්‍රමාද විය. පසුගිය දා අවසන් ගමන් යනවිටත් ඔහු හොරණ ශ‍්‍රීපාලි මණ්ඩපයේ කථිකාචාර්යවරයකු ලෙස සිටියද ඔහුට ඇත්ත වටිනාකමින් සිය දැනුම සහ සක‍්‍රීය මැදිහත්වීම කරන්නට ඉඩක් සපයා තිබුණේ නැත. ඒ ගැන සරසවි ප‍්‍රජාව අතර ද ඇත්තේ නොපහන් හැඟීමකි.

අතෘප්තිමත් භූමිකාවක ඇදුරකු ලෙස කටයුතු කළද ඔහු ඉඩ ලද හැමවිටම ලේඛන කාර්යයට යොමු විය. මාස්ටර් සහ මාගරිටා, අර්බාත් දරුවෝ, ඔහු කළ විශේෂත්වයක් සහිත රුසියානු සාහිත්‍ය පරිවර්තනයන් අතර වේ. වැදගත් වන්නේ ඉංගී‍්‍රසියට නඟන ලද විදේශ සාහිත්‍ය කෘති නැවත සිංහලයට නැඟීමෙන් වන ගුණ හානිය වැළැක්වීමට ඔහු විසින් කළ මැදිහත්වීමයි. රුසියානු බස මැනවින් උගත් ලාංකිකයන් අතර පරිවර්තනයට යොමු වූවන් හිඟය. දැදිගම වී රුදිරිගු, සිරිල් සී පෙරේරා වැන්නවුන්ගෙන් පසුව ඔහු රුසියානු කෘති සිංහලයට නැඟීමේ කාර්යයට යළි පණ දුන්නේය. ඒ සියල්ලට නොදෙවෙනි ලෙස ඔහු මෙරට සිංහලෙන් කියවන ජනයාට එක් කළ කෘතිය නම් චාල්ස් ඩාවින් විසින් 1859 දී ලියූ On the Origin of Species කෘතිය පරිවර්තනය කිරීමයි. 2011 වසරේ හොඳම පරිවර්තනය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද ‘සත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය’ කෘතිය අපට වැදගත් වන්නේ එය මිනිස් ජීවිතයේ සම්භවය හා පරිණාමය ගැන කියැවෙන නිසාය.

මාසයකට දෙකකට පෙරාතුව අවසන්වරට ඔහු මට හමුවූයේ කොට්ටාව දෙසට යන බස් රියකදීය. විවිධ මාතෘකා කීපයක් ගැන අප අතර ඇති වූ කෙටි කතා බහ නිරායාසයෙන් යොමු වූයේ ලේඛක කාර්යයන් පිළිබඳවය. ප‍්‍රකාශන ආයතනවල කම්කරුවකු ලෙස මෙරට ලේඛකයන්ට මුහුණදෙන්නට සිදුව ඇති පීඩාව ඔහු හොඳින් දැන සිටියේය. ‘නමක් හදාගත්තම ප‍්‍රකාශන ආයතන ලේඛකයන්ව විකුණාගන්නට පොර කරනවා. ඒත් ලේඛකයන් වෙන්න උත්සාහ කරන මිනිස්සුන්ට දහදුක් විඳින්න වෙනවා. මේක වෙනස් වෙනකම්ම ලංකාවෙ සාහිත්‍යයට අලූත් යමක් නම් වෙන හැඩක් නෑ.’ ඔහුගේ අදහස වූයේ එයයි. සමකාලීන සමාජ දේශපාලන අත්දැකීම් පිළිබඳ කතාබහෙන් අපගේ හමුව කෙළවර කරන්නට සිදුවිය. රාජපක්ෂ පාලනයේ දුෂ්ටත්වය ගැන කියන ගමන් ඔහු පලවා හරින්නට සූදානම් වෙන්නේ කවුදැයි පසන් ඇහුවේ දිගුව වැවුණු සිය ගන රැුවුල් ගස් අතරින් සාවඥ සිනාවක් මදෙස හෙළමිනි.

ඒ කතාබහෙන් කෙටි කාලයක් තුළ නොසිතූ ලෙස මේ නිහ`ඩ සාන්තුවර මිතුරා නික්ම යතියි මම සිතුවේ නැත. ඔහුගේ දේහය කොළඹ කනත්ත ඉදිරිපස මල් ශාලාවේ දී දකින විට පසන් සිය සුපුරුදු මුහුණින් වැතිර සිටියේය. ඔහු පසෙකින් ජනාධිපතිවරයාගේ ශෝකය පළ කෙරෙන මල්වඩමක් ද සුපුරුදු ලෙස තැන්පත්ව තිබිණි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද පසන් ඉගෙනගත් ගෝර්කි අධ්‍යයනායතනයේ ඉගෙන ගත්තකු බව මා අසා තිබේ. පසන්ගේ සාවඥ සිනාව මට මැවී පෙනෙන්නට විය. පසන් වෙනුවෙන් කෙටි සටහනක් තබා මම එතැනින් නික්ම ආවෙමි.
“නිහඬ මිතුරෙක්
වචනයේ අරුතින්ම විද්වතෙක්
‘පසන් මචං’ අපි ඔහුට දුන් නමයි.
ඇත්තෙන්ම ඔහු එවැනි සරල චරිතයක් විය.”

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: