සුන්දර සහෝදරත්වය වෙනුවෙන්…

Image

1996 අවුරුද්දෙ එක්තරා දවසක මහනුවර නගරයේ වැව රවුමෙන් බැහැලා පැරණි කාගිල්ස් ගොඩනැගිල්ල ඉදිරියෙන් ගමන් කරමින් හිටියා මම. විවිධ මිනිස්සුන්ගෙ මූණු ශරීර හැඩතල පහුකරගෙන යද්දි එකවරම මට හමුවුනේ වෙනස් මිනිස් රූප දෙකක්.

තාප්පය අයිනේ පාප්ප බාල්දියක් සහ පොස්ටර් මිටියක් අරගත් ඒ දෙන්නගෙන් එක්කෙනකේ හඳුනාගත්තා මම දුටු විගසින්. දිමුතු, ගිනි රස්නෙ අව්වට යටින් සගයෙක් එක්ක අරමුණක් වෙනුවෙන් කරණ කැපකිරීම. කම්පනයක් ඇති කළා මගේ හිත තුළ. වීරත්වයක් දැක්කා ඒ කුඩා සිරුරු දෙක තුළ. එක්වරම ඇදී ගියා මගේ හිත, අවුරුදු කීපයක අතීතෙට.

චමිත්, දිමුතු, මම ධර්මරාජෙ එකම පන්තියේ අකුරු කරපු කාලයක් තිබුණා. චමිත් හයේ පන්තියේ ඉඳන්ම මිතුරන් වෙලා හිටියා වගේම අපි දෙන්නට තරගයක් තිබුණා. එක වාරයක පළවෙනියා චමිත්, ඊළඟ වාරෙ මම, ඉන් පස්සෙ ආපහු පළවෙනියා වෙන්න තරගයක්. වෙනත් සිසුවකු මේ අතර ඉදිරියට ආවත් බොහෝ වෙලාවට මේ තරගය තිබුණෙ අප දෙදෙනා අතර. මේක පුරසාරමකට වඩා ඒ අතීතයෙ සුන්දරත්වය කියැවීමක්. දිමුතු රගර්, පාපන්දු වගේ ක‍්‍රීඩාවලට ඇලූම් කරද්දි චමිත් විවිධ ක‍්‍රීඩා ඉසව්වල හිටියා. ශාරීරික අභ්‍යාස කාලෙඡ්දයෙදි හැර, ක‍්‍රීඩා පිටිය මගහැර යාමටයි මම නිතරම උත්සාහ කළේ.
දිමුතු, චමිත්… වගේම බන්දු, තිලකෙ, ෂිහාන්, ඩයස් වගේ ක‍්‍රීඩා පිටිය ආක‍්‍රමණය කරපු සගයන් පන්තියට ආවෙ දාඩිය නාගෙන, ඒත් ප‍්‍රීතිමත් මූණෙන්. එක පන්තියේ හිටිය ඒ සජීවි මිතුරන් අතරනි පන්ති යුතුකම වෙනුවෙන් එකතු වුනේ එහෙමත් කෙනෙක්.

ඒ වෙනකොට අපි උසස් පෙළ විභාගයට යාන්ත‍්‍රික තරගයක යෙදෙන කාලෙ. කලා, වානිජ, විද්‍යා, ගණිත විෂය ධාරාවන්ට වෙන් වී අපි වේගවත් ධාවනයක යෙදුණත් අප අතර හිටි කෙනෙක් ආපහු හැරිලා බලන්න, එහෙමත් නැත්තනම් හාත්පස බලන්නත් සමත් වුණා. චමිත් කියන්නෙ ඒ වගේ කෙනෙක්. සෝවියට් සාහිත්‍ය කියවපු අපිට ඒවා තුළ පණ ගැහෙන චරිත ජීවමාන අත්දැකීම් සමග සංසන්දනය කරන්න හැකි වුණා. පාසල් භූමියේ අපේ ගුරුවරු අතර දුයිෂෙන්ලා හොයන අතර දවිදීව්ලා පාවෙල්ලා වීමේ පරමාදර්ශ අපට තිබුණා.

එක්තරා දවසක් මට මතකයි, චමිත් එක්ක මම කතා කළා පාවෙල් කොර්චාගින් චරිතය ගැන. වානේ පන්නරය අත්පොතක් බවට පත් වුණු කාලයක් ඒක.
‘මචං මං උඹෙන් එක ඉල්ලීමක් කරනවා. කියපන් ඒක ඉෂ්ට කරනවද කියලා.’

‘මොකක්ද ඉල්ලීම?’
‘පාවෙල්ලා ගැන දවිදීව් ගැන, දුයිෂෙන් ගැන මොකද හිතෙන්නෙ කියපං… මට මෙහෙම හිතෙනවා.. ඒ මිනිස්සු මහ කැපකිරීම් කළානෙ… කවදා හරි ලෝකය වෙනස් කරන්න ඕන බං…’

මම ඔහු අනුමත කරමින් හිස සැලූවා. පිළිතුරක් බලාපොරොත්තුවෙන් චමිත් මා එක්ක කතා කළා.
‘කවදා හරි මේ අසාධාරණ ලෝකය වෙනස් කරන්න එකතු වෙනවා කියලා උඹ මට පොරොන්දු වෙයං….’ පාසල් මිතුරාගේ උණුසුම් අත මගේ අතින් අල්ලා ගත්තා.

මම ඔලූව වැනුව.. පොරොන්දු වුණා. ඉන් පස්සෙ අපි නැවතත් පාසලේදී සියවතාවක් හමු වෙන්න ඇති. බිහිසුණු සමය ඇවිත් අප අතර ජීවත් වුණු සගයන් එකා දෙන්නා… සමහර විට කිහිප දෙනා රැුගෙන ගියා. දවසක් දා චමිත් මට කතා කළා.
‘මචං, දිමුතු… දිමුතුලා මාට්ටු වෙලා බං’

ඒ දිමුතු ගැන කැක්කුමක් මා තුළ ඇති වූ පළවෙනි අවස්ථාව නෙවෙයි. හයේ පන්තියෙ ඉඳලම පන්තියෙ නායකයා දිමුතු. ඉන් පස්සෙ හැම අවුරුද්දකටම සැරයක් පන්තියෙ නායකයා පත් කරද්දි දිමුතුට ඒ වගකීම පැවරුණා. නවයෙ පන්තියට යනතුරුම වෙනසක් කරන්න, වෙනත් නායකයෙක් පත්කරන්න අපි තීරණය කළා නම් එකම එක් වතාවක් වෙන්න ඇති. වැඩි දෙනාගෙ කැමැත්තෙන්. දිමුතු ඒ වගේ මිනිහෙක්. පන්තියෙ හිටිය මැරයන්, මරිසිකාරයන්, නගරංකාරයන් වගේම තමන්ගෙ පාඩුවෙ හිටිය හැමදෙනාටත් නායකයා වුනේ දිමුතු. ඒ ගෞරවය දිමුතුට අපි දුන්නා. කලාතුරකින් වෙච්ච අතපසුවීමක් හැරුනාම දිමුතු ඒ ගෞරවය රැුක්කා. ඒ අපේ දිමුතු.

කාලය හා ජීවිතය අපෙන් උදුරාගෙන අවුරුදු ගානක් ගෙවුණා. ඉන් පස්සෙ එක්තරා දවසකත් ඔහු අපේ පන්තියෙ නායකයෙක් හැටියට මට හමු වුණා. එදා ඔහු හිටියෙ පාප්ප බාල්දිය අරගෙන වෙනස් මිනිස් ඇසුරක් වෙනුවෙන් පාරට බැස්ස මිනිහෙක් විදියට, වෙනසක් නෑ. වෙනස් ලෝකයක් වෙනුවෙන් වෙහෙසෙන බොහෝ සුන්දර සගයන් සුදු අයියා, සුදු අක්කා, වගේ තවත් බොහෝ සුන්දර මිනිස්සු, ඔහු අපට මුණගැස්සුවා. ඒ තමයි දිමුතු….

ඊටත් පස්සෙ අපේ පන්තියෙ නායකයා පන්තිය වෙනුවෙන් පාර්ලිමේන්තුවට ගියා…. සිරුරින් මිස සිතිවිල්ලෙන් වෙනසක් නැතිව හිටිය දිමුතු අපේ දිමුතු…
මහනුවර ජිවිතයට තිත තියලා, පත්තර කාරයෙක් හැටියට කොළඹ එද්දි හමු වෙලා මඳ සිනාවෙන් සුබ පැතුවා මට අමතක නෑ. චමිත්ලා දිමුතුලා වෙනුවෙන් කෘතවේදි වෙන්න විතරක් නම් මම මේ සටහන තියන්නෙ, ඒකෙන් වැඩක් නෑ, මගේ පෑන. සගයන්ගෙ ජිවිත රිදී කාසිවලට මිල කරලා අතීත අත්දැකීම් වමාරා කන්න නම් ධනපති පත්තර අයිතිකරුවන් සල්ලි ගෙවනවා. එහෙමත් නැත්නම් අතීතකාමය වෙනුවෙන් හෝ හුදු පුරසාරම වෙනුවෙන් ලියන්න මට ඕන නෑ. ඒත් මගේ හෘද සාක්ෂිය විසින් ඉල්ලන සටහනක් මම ලියන්න ඕන. ඒ නිසා මම ලිව්වා.

ඒත් වේදනාවකින් මේ සටහනේ අවසානය ලියන්න වෙන්නෙ. මොකද, ඒ දිමුතුලා දැන් කොහෙද දන්නෙ නෑ. කවුරු කොහේ හිටියත් ඇත්ත මිනිස් ඇසුරක් එක්ක, සුන්දර සහෝදරත්වය ඇති තැනක විතරක් ජීවත් වෙන්න මම කැමැතියි.

Advertisements
    • kandy jeppa
    • නොවැම්බර් 11th, 2013

    මේක කියවනකොට තනි ඇහැට ඇඩෙනවා ඕයි . චන්දන සිරිමල්වත්ත කාටද මේ කොළ කඩා පාන්නේ අනේ මන්ද අපිනම් ගහ ගැන හොදට දන්නවා , හැබැයි මේක කියවනකොට අපිට හිතෙන්නේ දිමුතු ගැන චන්දන දන්නේ ටිකයි කියලා ඒක නිසා මෙන්න මේ ටිකත් දන ගන්න ,
    1 ) 2001 පාර්ලිමේන්තු මැතිවරණයට අඩුම ගානේ දිමුතුගේ ගෙදර තාත්තා වත් දිමුතුට චන්දෙ දුන්නේ නැහැ , හැබැයි එහෙම මන්ත්‍රී කම ගත්ත දිමුතු තමන්ගේ පක්ෂේ , ගමේ , පන්තියේ මිනිස්සුන්ට කොකා පෙන්නලා මන්ත්‍රී කම පාවිච්චි කරලා දරුවෝ 03 දෙනාවම නුවර හයිස්කුල් එ‍කට දැම්මා .( සිරුරින් මිස සිතිවිල්ලෙන් වෙනසක් නැතිව හිටිය දිමුතු අපේ දිමුතු…) හිරිකිතයි චන්දන

    2 ) 2009 සබරගමුවේ චන්දෙට ගිහිල්ලා කෑගල්ලේ සහෝදරියක් හෝටල් ගානේ අරන් ගිය එ‍ක ගැන චන්දන දන්නේ කොහොමද , ච්නදනලා හිටියේ ලංකා එ‍කේ පත්තර පිටු අතරෙනේ .( සිරුරින් මිස සිතිවිල්ලෙන් වෙනසක් නැතිව හිටිය දිමුතු අපේ දිමුතු…) ලැජ්ජයි

    3) චන්දන දන්නේ නැතිව ඇති පන්තිය ගැන කතාකළ දිමුතුගේ දැන් හැසිරීම ගැන , තමන් ඉගෙනගත්තු පක්ෂය කඩා දමලා පෙරටුගාමී කියලා මගුලක් හැදුවේ තමන්ගේ ඉදිරි ගමන ගැන හිතලා මිස පන්තිය ගැන හිතලද ? එහෙනම් මන්තී‍්‍ර කමේ විශ්‍රාම වැටුප , මන්ත්‍රී කමට ලැබුන වාහනය පාවිච්චි කරන්නේ පන්තියේ වැඩ වලට වෙන්ඩ ඇති . වරුණ එක්ක එකතුවෙලා දිමුතු දැන් කරන වැඩ ගැනත් චන්දන ලියන්න . වරුනලා දිමුතුලා ජ.වී.පෙ. කඩලා කලේ තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගන්න ඒක බව තේරුමි ගන්න බැරි පත්තරකාරයා (මගුලක් කතා කරනවා )

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: