ෆුචික්ගේ පෑන

panhindaපසුගිය උපන් දිනය දා ‘ජනරළ’ පත්තරේ සහෝදර සහෝදරියන් විසින් තිළිණ කළ පෑන මට නැවත හමු වූයේ ‘පෝරකයේ සටහන්’ පොත සොයන විටය. මේ ‘මිල කළ නොහැකි’ පෑනෙන් ලියන්නට මේ දක්වා අකැමැති වූයේ එහි තීන්ත අවසන් වේ යැයි ලෝභයක් නිසාය. ඒත් එය තීන්ත පිරවිය හැකි පෑනක් බව මට සිහිපත් විය. එහෙයින් එයින් ලියන්නට අද මම තීරණය කළෙමි.

පෑනකින් මේ සටහන ආරම්භ කෙරුණේ අපූර්ව පෑනක් ගැන එසේත් නැතිනම් පෑනකින් ලියූ මිනිසකු සිහිපත් කළ යුතු නිසාය. ‘පෝරකයේ සටහන්’ ඔහුගේ විශිෂ්ටතම ලේඛනයයි. ඒ මිනිසා ජූලියස් ෆුචික්.

ඔහු ගැන පාඨක සහෘදයන්ට සිහිපත් කරන්නට සිත් වූයේ සැප්තැම්බර් 8 වැනිදාට යෙදෙන ‘ජාත්‍යන්තර පුවත්පත්කලාවේදීන්ගේ සහයෝගිතා දිනය’ විසින් අවදි කළ මතකය නිසාය. ‘සුනිල් මාධව’ සහෝදරයා විසින් 80 දශකයේ දී අටවෙනි පිටුවට ලියා ඉන්පසුව බිහිසුණු සමයක අහම්බයෙන් පණ රැුකගත් පරපුරකට ‘ලක්මිණ’ පත්තරෙන් නැවත අවදි කළ ඒ මතකය අප පුවත්පත් කලාවට කැඳවූ ගුරුත්ව බලයක් විය. අසීමිත වද වේදනා මැද දී මිනිසකු විසින් සිඳ නොගත් ආත්ම ධෛර්යය පිළිබඳ හරියටම කියවන්නට මට හැකි වූයේ ‘පෝරකයේ සටහන්’ පරිවර්තනය කිරීමේදීය. 1997 සැප්තැම්බරය ආසන්නයේ එය ඉටු කිරීමේ දී එය මට හිට්ලර්ගේ අලූගෝසුවන් විසින් පාලනය කළ චෙක් අගනුවර පැන්ක‍්‍රැට්ස් වධකාගාරය වෙත යාමක් මෙන් විය.


1903 පෙබරවාරි 23 වැනිදා චෙක් දේශයේ ප‍්‍රාග් නගරාසන්නයේ උපන් ජූලියස් ලේඛක ජීවිතයේ අත්පොත් තැබුවේ ශිෂ්‍යයකු වශයෙනි. පළමුවැනි ලෝක යුද සමය අවසානයේ සිය දේශයේ දුක්බර අත්දැකීම් හා කියැවූ පත පොත නිසා මිනිසකු ලෙස ජීවිතාවබෝධය ලබා දුන් බව පසු කාලයක ඔහු සිහිපත් කළේය. සමහර පොත් ඇත්ත කතා කරන බව හා සමහර පොත් බොරු කියන බව ඔහු වටහාගෙන තිබුණි. සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නට ශපථ කළ නව යොෟවනයකු වශයෙන් ඔහු පාසලේදීම සඟරාවක් ප‍්‍රකාශයට පත් කළේය. පරිණත තරුණයකු බවට පත් වෙමින් චෙක් කොමියුනිස්ට් පක්ෂය හා එක් වූ ජූලියස් 1939 නාසි ආක‍්‍රමණයත් සමග ඊට එරෙහිව රහසිගත දේශපාලනයේ යෙදුණි. නාසි විරෝධී බුද්ධිමතුන් ඒකරාශී කරමින් සිටිය දී ඔහු ගෙස්ටාපෝව විසින් පැහැර ගනු ලැබුවේ 1942 අපේ‍්‍රල් 24 වැනි දාය.

Imageඑහෙත් වධකාගාරය තුළ දී පවා ඔහු අරගලය අත්හැරියේ නැත. ලේ ගලන තුවාල සහිතව මිනිස් ඇටසැකිලි බවට පත් වෙමින් සිටිය දී පවා දේශපාලන අරගලයේ නිවැරැුදි දිශාව හඳුනාගෙන කටයුතු කරන්නට එදා ඔහු සමග සිටි අතළොස්සක් කොමියුනිස්ට්වාදීන් කටයුතු කළ බව පෝරකයේ සටහන් තුළින් ජූලියස් ෆුචික් බාහිර ලෝකයට හෙළිදරව් කළේය. කිසියම් මොහොතක තමාගේ මරණය උදාවන බව දැන දැනම හොර රහසේ සිගරට් දවටන හා සනීපාරක්ෂක කඩදාසි මත පැන්සලයකින් ලියූ එම සටහන් පෙළ මරාදුමූ විප්ලවවාදියකුගේ ජීවමාන චරිතාපදානයක් වනු ඇති බව කිසිවකු සිතන්නට නැත. චෙක් ජාතික රැුකවලකුගේ උදව්වෙන් පිටතට ගෙන ගොස් රැුකගත් එම සටහන් අංක හා සංකේත සහිතව පිළිවෙළකට සකස් කර ඇති බව ෆුචික්ගේ බිරිඳ ඔගස්ටිනාට දක්නට ලැබුණි. ඇය ද නාසි වධකාගාරයේ හිඳ කටුක අත්දැකීම් ලද ගැහැනියක ලෙස එම කටු සටහන් මුද්‍රිත කෘතියක් ලෙස ජනතාව අතට පත් කිරීමට උනන්දු වූවාය.

වඩාත් හුදෙකලා කරනු ලැබූ සහ වඩා පරාජිත අත්දැකීම් සහිත විප්ලවවාදියකු විසින් ජිවිත ආදර්ශයන් අවසානය දක්වා රැුකගත් ආකාරය පෝරකයේ සටහන් තුළ කියවා ගත හැකිය. ජූලියස් ෆුචික් මරාදැමුව ද එම අපූරු කෘතිය භාෂා තිස් ගණනකට පරිවර්තනය වී නැවත නැවත මුද්‍රණය කෙරෙමින් ලොව පුරා රටවල් සිය ගණනක මිනිසුන් ලක්ෂ ගණනකගේ අතට පත් කෙරුණි. එදා මෙදා වාමාංශික විප්ලවවාදීන්ගේ අරගල යනු, වරෙක තීව‍්‍ර වෙමින් වරෙක බොඳව යමින් වුව ද අනාගතය වෙත අපේක්ෂා දල්වන අඛණ්ඩ ක‍්‍රියාදාමයකි. දුර්වල කරනු ලැබූ ශාරීරික හා අධ්‍යාත්මික තත්වයන් නිසා ඇදවැටෙන්නට නියමිත මිනිසුන් වෙත අනුප‍්‍රාණයක් වෙමින් මනුෂ්‍යත්වයේ දෘෂ්ටියෙන් ලියූ ෆුචික්ගේ ලේඛනය විප්ලවවාදීන්ට අත්පොතකි. මනුෂ්‍යත්වය වෙත ජයග‍්‍රහණ ළඟා කරවිය හැක්කේ පසු නොබසින උත්සාහයකින් සටන් වදින මිනිසුන් අත බව එයින් අවධාරණය කරයි.

ෆුචික්ගේ මරණයෙන් පසුව ‘අන්තර්ජාතික පුවත්පත්කලාවේදීන්ගේ සංගමය’ විසින් සිය හතර වැනි සමුළුවට 1958 බුකාරෙස්ට් නගරයේ පවත්වමින් ඔහු මියගිය දිනය ලොව පුරා පුවත්පත්කලාවේදීන්ගේ සහයෝගිතා දිනය ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී.
අද දවසේ ලංකාවේ පුවත්පත් කලාවේදීන් සහ පොදුවේ ජනමාධ්‍ය වෘත්තිකයන් මුහුණ දෙන දුෂ්කර අභියෝග හමුවේ පවා මනුෂ්‍යත්වයේ නාමයෙන් පෑන හසුරුවන්නට වගකීමක් අප හමුවේ ඇත. පෑන අතට ගන්නා සෑම ලේඛකයකුගේම අධිෂ්ඨානය විය යුත්තේ එය ඔබට ගන්න කියා බල කරන මිනිස් වර්ගයාගේ උවමනාවන් වෙනුවෙන් ලිවීමය. ඒ ඉටු කළ හැක්කේ අන් කිසි ආකාරයකින් නොවේ, වඩා යහපත් මිනිස් සමාජයක් වෙනුවෙන් මිනිස් හෘද සාක්ෂිය ඇතිව පන්හිඳ හැසිරවීම තුළින්මය.

 

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: