ජීවිතය විඳින්න වරෙල්ලා…

panhindaබස් එකේ ආසනයක වාඩි වෙලා කවුළුවෙන් පාර දිහා බලාගෙන ගිය ගැටවරයාට මම කියපු දේ ඇහුනෙ නෑ. ඔහු එක්ක ඒ ආසනේ හිටියෙ අම්මෙකුයි එයාගෙ ඔඩොක්කුවේ පුංචි පුතෙකුයි. ගැටවරයාට මම කිව්වෙ කවුළුව ළඟ ආසනය මේ අම්මටයි පුතාටයි දෙන්න කියලා. පුතාට වගේම එයාගෙ අම්මට සනීප නැති බව බැලූ බැල්මට පෙනෙනවා. ඒත් ගැටවරයා එයාගෙ ජංගම දුරකථනය අතේ තියාගෙන කන් දෙකේ ඇබ ගහගෙන එයාගෙ ලෝකෙ.

බස් එකේ හිටිය කිහිප දෙනෙක් කටුකුටු ගෑවත් කළ යුතු දේ ගැන කියන්න ඉදිරිපත් වුණේ නෑ. ඒ එක්කම පුතා ‘ ඕක්’ ගාලා වමනෙ කරන්න පටන් ගත්තා. පුතාගෙ කකුල්, අම්මගෙ ඇඳුමත් තෙමාගෙන වමනය ගලා ගියා. අල්ලපු ආසනේ හිටිය ගැටවරයගෙ ගමන් මල්ලෙත් ඩෙනිම් කලිසමෙත් වමනය තැවරුණා. අම්මා ඉක්මනට ලේන්සුව අරගෙන දරුවගෙ කකුල් පිහදාන්න ගත්තා.

‘‘අපෝ… මේ මොකක්ද කළේ ? දැන් ඉතින් කොහොමද මං ආව ගමන යන්නෙ?’’ පිළිකුල සම`ග නොරිස්සුම්සහගත විදියට මවත් දරුවාත් දිහා බැලූ ගැටවරයා ඉක්මනින් නැගිට්ටා.
‘‘පුතේ ඕක වෙන්න කලින් ඔය අම්මටයි රුවටයි ජනේලෙ ළඟට යන්න ඉඩ දෙන්නනෙ තිබුණෙ. මං කතා කළාට ඔයාට ඇහුණෙ නෑනෙ… ඕක කනේ ගහගෙන ඉන්නකොට වෙන්නෙ මොනවද කියලා පෙනෙන්නෙ නෑ’’ මම කොලූවට කිව්වා. මගෙ දිහා කේන්තියෙන් බැලූ ගැටවරයා සීනුවත් ගහගෙන බස් එකේ ඉදිරියට ගියා. බස් එකේ වේගය අඩුවෙනකොටම එළියට පැන ගත්තා.

මේ පුංචි ජවනිකාව ඒ විදියටම නොවුණත් පොදු මගී බස් රථවල ඕනැ තරම් නැවත නැවත රඟ දැක්වෙනවා. තරුණ පරම්පරාවෙ නොසැලකිලිමත්කම හෝ ආත්මාර්ථය කියලා විතරක් මේක සරලව ගන්න බෑ.

එක කාලයක් තිබුණා බස්වල යන්නෙ දන්න අඳුනන මිනිස්සු. එක ආසනේ ඉඳගන්නකොට අඳුරන්නෙ නැති මිනිස්සු, ළමයි ගමන අවසානෙට බැහැලා යන්නෙ අතවනලා ආපහු දවසක හමුවෙන අදහසින්. ඇතැම් තරුණ තරුණියන්ට තමන්ගෙ ජීවිතේ සහකාරයා හෝ සහකාරිය හම්බ වෙන්නෙත් ඒ වගේ අහම්බයකින්. එහෙම කාලයක් තිබුණා තමයි. දැන් එහෙම නෑ. දැන් බස් එකේ එකට වාඩි වෙලා යන්නෙ දේශ සීමා හදාගෙන. පොඞ්ඩක් තදබද වෙනකොටත් අල්ලපු ආසනේ මිනිහට රවන ගොරවන මගී ජනතාවක් ඉන්නෙ. දේශ සීමා යුද්ධ කරගෙන බස් එකේම ඉන්න අනෙක් අයට සටන් ජවනිකා පෙන්වන ගැහැනු පිරිමි මම දැකලා තියෙනවා.
මේක ආත්මාර්ථය විතරක්ම නෙවෙයි. දැන් ජීවත් වෙන්නෙ මොන වගේ මිනිස්සුද? එදාට තමන්ට තියෙන වැඩ ටික කරගෙන ගෙදර ඇවිත් තමන් විසින් හදාගත් පිටකටුව ඇතුළෙ හැංගෙන ජීවියෙක්. උදේට නැගිටින්නෙ දාහක් ජාති කරන්න හිතාගෙන. ඒ දැකපු හීන එකක්වත් ඉටු කරගන්න බැරි වෙලාවල් එනවා. ඉතින් ඊළඟ දවසෙ තියෙන්නෙ පහුගිය දවසෙ සිහින දාහයි අලූත් සිහින දාහකුයි එක්ක ‘ටාගට්’ කවර් කරන මහා තරගයක්. හිතන පතන හැමදේම කරන්න අවස්ථාව නෑ. ඒක කරන්න පුළුවන් දෙයක් නොවන බව දැනගෙනම අපි ඒ තරගෙ දුවනවා. අපි හැමෝම එක්තරා විදියක විෂම චක‍්‍රයක කැරකෙනවා.

අපේ පරම්පරාවට වඩා වෙනස් ගැටවර වයසෙ තරුණ තරුණියන් මේ විදියට අපි වගේම හීන දකින එක සාධාරණයි. ඒත් අපි වගේම ඒ අයටත් හීන හඹාගෙන යන්න වෙලා. ඉටුවෙන හීනවලට වඩා ඉටු නොවන හීන වැඩියි. ඒ අයගෙ සුන්දරම ළමා කාලෙ පාසල් අධ්‍යාපනය කියන්නෙ ටියුෂන් සහ විභාග පාස්වෙන එක.

ඉගෙන ගන්න කාලෙ තරගය ඉවර වෙලා රස්සා හොයන තරගෙ…. ඉන් පස්සෙ රස්සාවෙන් ජීවිත හීන හැබෑ කරගන්න තරගෙ…. ඒ අය ජීවත් වෙන ලෝකෙ පටන් ගන්නෙ උසස් පෙළ කාලෙම ලියලන විවිධ හැඟීම් හා ආශාවන් එක්ක. ඒ ආශාවන් තෘප්ත කරන්න සැදී පැහැදී ඉන්න පරිභෝජනය සඳහා ආකර්ෂණීය වෙළෙඳපොළක් තියෙනවා. ඉතින් හිරිමල් වයසෙ ඉන්නවා කියන අපේ ගැටවර තරුණ තරුණියන්ගෙ කාලය ගෙවෙන්නෙ අන්තර්ජාලයේ ගැවසීමෙන්. පීසී, ලැප්ටොප්, ඩොන්ගල්, ෆේස් බුක්, අයි පොඞ්, බ්ලූ ටූත්, හෑන්ඞ් සෙට්, හෙඞ් ෆෝන්… මේවා නිසා ඒ අයට තමන් ජීවත්වෙන ඇත්ත ලෝකෙ අමතකයි.

පොඩි දරුවා වමනෙ දාලා ඇත්ත ලෝකෙට කැඳෙව්වත් තමන් ගිලෙමින් ඉන්න හීන ලෝකෙන් මිදෙන්න තරම් මනුස්සකම් අපේ අලූත් පරම්පරාවට නැති තරම්.. පාසල් කාලෙ ඉගෙන ගන්න තරගෙ දිව්ව මේ ගැටවර කොල්ලන් කෙල්ලන්ට විඳින්න ජීවිතයක් නෑ. ඉතින් ජීවිතය විඳීමෙන් ඉගෙන ගත්ත දෙයක් නෑ.

කවුද මේක වෙනස් කරන්නෙ? කවුද මේ ගැටවර වයසෙ උන්ගෙ කොටු පවුරු කඩා දමන්න ඉදිරිපත් වෙන්නෙ? උන්ගෙ හදවත්වලට තට්ටු කරලා මෙහෙම කිව්වොත්, ‘‘යාළුවනේ හැබෑ ලෝකෙට වරෙල්ලා… තනි වෙලා විඳවන්න එපා….උඹලට ජීවිතයක් තියෙනවා….!‘‘

එහෙම කියන්න පුළුවන් කෙනෙකුට අප හැමදාම දකින අත්විඳින මේ නරුම ජීවිත අත්දැකීම් වෙනස් කරන්න පුළුවන්.

Advertisements
    • ranjith
    • අගෝස්තු 18th, 2013

    aththata minussu hari bayai.

  1. ආත්මාර්ථකාමීත්වයෙන් මුලු සමාජය ම වෙලී ගිහින්.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: