ආගමේ සේවයත් දේශපාලකයන් වෙනුවෙනි

panhindaබසයක ගමන් කරමින් සිටින විට එක්තරා ගුවන්විදුලි නාලිකාවකින් විකාශය වූ ධර්මදේශනාවක කොටසක් අහම්බයකින් අසන්නට හැකි විය.

දේශක හිමිනම කියමින් සිටියේ අනේපිඩු සිටුවරයා බුදුන්ගේ දහම අසා නොනවත්වා දන් පින් කිරීම නිසා දිළිඳුභාවයට පැමිණි බවයි. එහි දී සිටුවරයාගේ නිවසට අධිපති දේවතාවා විසින් දුන් අවවාදය වූයේ නිකරුණේ ධනය නැති නාස්ති නොකර කර්මාන්තයක් සඳහා යොදවන ලෙසයි. මේ උපදේශය ඇසූ සිටුවරයා දේවතාවාට නිවසින් පිටව යන ලෙස නියෝග කළ බවත් එයින් යන එන මං නැතිව ගිය දේවතාවා සිදු වූ අවනඩුව ‘පුරාධිපති’ දෙවියකුට පැමිණිලි කළ බව භික්ෂුව විසින් පවසන ලදී. ඉන් පිළිසරණක් නොවූ තැන ‘හතරවරම්’ දෙවියන්ට ද පැමිණිලි කළත් විසඳුමක් නොවූ බවත් අවසානයේ සක් දෙවිඳුන් ළඟටම යන්නට දේවතාවාට සිදු වූ බවත් කතාන්දරය දිගටම කියන ලදී.

හිමිනම දෙසූ ආකාරයට සක්දෙවියාගේ උපදේශය වූයේ අනේපිඬු සිටුවරයාගේ ලේකම්වරයා ලෙස වෙස්ගෙන, සිටුවරයාගෙන් ණය අරගෙන නොගෙවා සිටින ධනවතුන් හමුවී ඒ ණය නැවත පියවා ගන්නට කටයුතු කිරීමෙන් සිටුවරයාගේ සිත් දිනා ගන්නට හැකි බවලූ.

ඉන් පසුව කුමක් දෙසුවාදැයි අසන්නට නොහැකි වුවත් මගේ නිරීක්ෂණය සටහන් කරන්නට මේ දෙසුම වුවත් සෑහේ. මේ ලියන කරුණු බෞද්ධ විරෝධී යැයි ද විජාතික බලවේගවල හෝ එන්ජී ඕ මුදලින් යැපෙමින් ලියන ලද්දක් යැයි ද වෛරී ප‍්‍රතිචාර ලැබිය හැකි වුවත් මට වැටහෙන දේ ලිවීම කළ යුතුමය.

බුදුන් ඉගැන්වූ දහම ගැන මා දන්නා තරමට එය සමකාලීන ඉන්දියාවේ පැවැති බහුදේවවාදයට හා ඒකදේවවාදයට අයත් ආගමික මත පරාජය කරමින් ඉදිරියට ආවකි. ලෞකික දුක පිළිබඳ දෙසමින් එය නැති කරගන්නට විඥානය දියුණු කිරීමෙන් ම හැකිය යන්න බුදුන්ගේ ඉගැන්වීම විය. විවිධ මිථ්‍යාවන් ඔස්සේ එවකට ඉන්දියාවේ පැවැති ආගමික ඉගැන්වීම් නිසා බෙදී වෙන් වුණු භාරත ජනසමාජය ඒකත්වයකට ගෙන ඒමේ ප‍්‍රගතිශීලී කාර්යයක් සිදු වූ බව ඉන්දියානු ඉතිහාසය පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වේ. එහෙත් අද පවතින බුදු දහම යනු දෙවියන් පමණක් නොව, වෙනත් විවිධ මනඃකල්පිත ආත්ම කරළියට කැඳවන නිසා බුදුන් කළ ඉගැන්වීම පවා විකෘති කරවයි. දේවවාදය, ආත්මවාදය හා වෙනත් යල්පැන ගිය ස්ථාවරයන් ඔස්සේ පටු පෞද්ගලිකත්වය ජනිත කරවමින් පවතින බුද්ධාගම හේතුවෙන් පිරිහීමට කරුණු සාදන්නේ ද බෞද්ධයන් හා බුද්ධ පුත‍්‍රයන් යැයි කියන සියල්ලගේම දායකත්වයෙනි. එහෙත් එය කනගාටු විය යුතු දෙයක් නම් නොවේ. මිනිස් ශිෂ්ටාචාරය වඩා හොඳ සමාජ සබඳතාවන් පෙරට ගැනීම වෙනුවෙන් යල්පැන ගිය ශික්ෂණය ඉවත දමන බව පිළිගත යුතුව ඇත. මේ වන විට ලාභය මුල් කරගෙන ජනිත වූ ගෝලීය ව්‍යාප්තියක් සහිත නව වාණිජකරණ රැුල්ලට යට වුණු අපේ සමාජයේ බුදුන්ගේ අනුගාමිකයන් ද වාණිජවාදයට නතුව තිබේ.

හෙළ උරුමය, බොදු බල සේනා, සිංහල රාවය, රාවණා බලය වැනි සංවිධාන හිස ඔසවන්නේ එවැනි වටපිටාවක පුද්ගලවාදී ඉලක්ක ජය ගන්නට තැත් කරන භික්ෂූන්ගේත් ෆැසිස්ට්වාදී ඉලක්ක හඹායන දේශපාලන කණ්ඩායම්වලත් ඒකත්වයෙනි. මේ වන විට බුද්ධාගම හැර අන් ජාතික ප‍්‍රජාවන් පහත් කරමින් වැඩ කරන මොවුන්ගේ පිළිවෙත් ගතානුගතික බෞද්ධ සම්ප‍්‍රදායට පිටුපාන්නකි. ඒ නිසා, ආගමික සහනශීලිත්වය, අවිහිංසාව, සමානාත්මතාව වැනි පැරණි බෞද්ධ සංකල්ප පමණක් නොව, ‘කිසිවකු උපතින් බමුණකු හෝ වසලයකු නොවේ. ක‍්‍රියාවෙන්ම යමෙකු උසස් හෝ පහත් බව හිමි කරගනී’ (නඡච්චා වසලෝ හෝති….) යන සාම්ප‍්‍රදායික බෞද්ධ ඉගැන්වීම් අර්බුදයට යයි.

එහෙත් බලසම්පන්න රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආණ්ඩුවේ අනුග‍්‍රහය ඇතිව මේ සිංහල-බෞද්ධ ලේබලය සහිත කල්ලි කණ්ඩායම් පැනනඟී, වර්ධනය වේ, ව්‍යසනයකට අත වනයි. ආගමික නිකායන් සියල්ල ගතානුගතික මත සමඟ එකට කලතා තමන්ගේම කාල්පනික මතවාද වපුරමින් ජනතාව මුළා කරන අතරතුර මහ පොළොවේ ආගම වැඩ කරන්නේ දේශපාලන උවමනාවන් වෙනුවෙනි.

අවුරුදු 2500ක ඉතිහාසයේ වාගාඩම්බරය කොතරම් වැමෑරුවත් අපි, පාලක උවමනාවන්ට අනුව අපේම සමාජයේ බෙදුම් රේඛා ඇඳෙන අයුරු නරඹමින් සිටිමු.

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: