දිනක් එළඹෙනු ඇත!

panhinda‘මං ඔහේගෙ කතාව ලියනවා…’
මාධ්‍යවේදියා පවසන විට පීඩාවට පත් මිනිසා විමසිලිමත් වෙයි.

‘ඔයා ලිව්වම අපි විඳවන එකේ වෙනසක් වෙයිද’? ඔහු එක එල්ලේම අසයි.
‘ඔව්’ හෝ ‘නෑ’ යන දෙකෙන් එක් පිළිතුරක් ලබා දී කතාව අවසන් කළ හැකිය. එහෙත් එයින් වෙනසක් අපේක්ෂා කරන මිනිසා සෑහීමකට පත් නොවේ.

රැකියාව අහිමි වූ කම්කරුවා අපේක්ෂා කරන්නේ පුවත්පතේ හෝ වෙනත් ජනමාධ්‍යයකින් සිය ගැටලූව ඉදිරිපත් කළ වහාම බලධාරීන්ගේ අවධානය යොමු වී සහනයක් ලැබේය යන්නයි. තමන්ගේ නිෂ්පාදනයට සාධාරණ මිලක් අහිමි නිෂ්පාදකයා විශ්වාස කරන්නේ සාධාරණ මිලක් නියම කිරීමට ලොකු ලොක්කන්ගේ ඇස් ඇරෙන්නේ පත්තරේක ලිපියක් ගියවිට බවයි. ගොවීන් හීන මවන්නේ තම උද්ඝෝෂණය ගැන පත්තරවල මුල් පිටුවේ පුවතක් පළ වීමෙන් හෝ විiුත් මාධ්‍යයේ පුවතක් පළ වීමෙන් පසු බලධාරීන් ඉක්මනින් මැදිහත් වේවි කියාය. එහෙත් ජනමාධ්‍යකරුවකුට නිශ්චිතව කිවහැක්කේ එසේ අවධානය ලැබීමෙන් පමණක් වෙනසක් නොවන බව පමණකි. වෙනසක් නොවන නිසාම අප පීඩිත මිනිසුන්ගේ ඇත්ත ජීවිතය ජනමාධ්‍ය තුළින් අනාවරණය නොකළ යුතුද?

පොළොන්නරුවේ ගොවීන් වස බී මිය යන පුවත අප විසින් පළ කළේ 2012 සැප්තැම්බර් මාසයේය. එහෙත් දසමාසයකට පසුවත් රහස් පොලිසිය ඒ පුවත පසුපස හඹා එන්නේ වස බොන ගොවි ජනයා වෙත පහළ වූ අනුකම්පාවෙන්ද? ඔවුන්ට උපදෙස් දෙන ආරක්ෂාව භාර දේශපාලකයන් උත්සාහ කරන්නේ වස බිව් ගොවීන් කවුරුන්දැයි දැනගෙන ඔවුන්ගේ පවුල්වලට වන්දි ගෙවන්නට යැයි වරදවා තේරුම් නොගත යුතුය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ගොවීන් වස බොන බව කී ජනමාධ්‍යකරුවන් නිහඩ කරලීමය. ගොවියාගේ අස්වනු විකිණීමේ දී සාධාරණ මිලක් නොලැබෙන නිසා ඔවුන්ට ණය ගෙවා ගන්නට පවා නොහැකිය. අවසානයේ සිය අඹු දරුවන් ජීවත් කිරීමේ මඟක් නොමැතිව සිය දිවි නසා ගන්නවා හැර විසඳුමක් ඔවුන්ට දෙන්නේ කවුද? රහස් පොලිසිය උත්සාහ කරන්නේ ඔවුන් සිය දිවි නසා ගැනීමෙන් වළකනු පිනිස, ‘සියල්ල වන්නේ යහපතටය’ කියා හිතන ලෙස, ධනාත්මක චින්තනය උගන්වන්නටද?

එසේ නම් ඔවුන් කළ යුත්තේ ගොවීන් වස බී මියයන බවට පුවත් පළ කළ ජනමාධ්‍යකරුවන් සොයමින් මංමාවත්, කාර්යාල හෝ පිළිකනු ගාණේ රස්තියාදු වීම නොවේ. ගොවි ජනපදවල වස බී මිය යන ගොවි පවුල්වල සාමාජිකයන් කවුරුන්දැයි දැන ගැනීම දුෂ්කර නැත. එක්කෝ රෝහල්වල ඒ ගැන වාර්තා සටහන්ව තිබෙණු ඇත. නැතිනම් රහස් පොලිසියටම තොරතුරු සපයන බුද්ධි සේවා නිලධාරීන්ගෙන් තොරතුරු සොයා ගන්නට පුළුවන. කෙසේ වෙතත් පසුගිය ජූලි 03 වැනිදා ‘ජනරළ’ කාර්යාලයට පැමිණි නිලධාරීන් දෙදෙනෙකු විමසා සිටියේ පොළොන්නරුවේ ගොවීන් සිය දිවි නසා ගැනීමේ පුවත ‘ජනරළ’ වෙත සැපයූවේ කවුරුන්දැයි යන්න මිස ඒ ගොවීන් කවුරුන්ද යන්න නොවේ. ඔවුන්ට වැදගත් වූයේ මේ ප‍්‍රවෘත්තිය ලියුවේ කවුද? යන්නයි.

අපට කියන්නට ඇත්තේ එක් දෙයකි. එම පුවතට තොරතුරු සැපයූවන් හෝ එය වාර්තා කළ කවුරුන් වුවත් ඔවුන් පවසා ඇත්තේ සත්‍යයකි. ඒ සත්‍යය පැවසූ පුද්ගලයන් කවුරුන්දැයි සොයනවාට වඩා එම පුවතින් කියැවෙන ව්‍යසනයේ වගඋත්තරකරුවන් සෙවීම රහස් පොලිසිය විසින් කළ යුතු නොවේද? ජනතාවගේ මුදලින් වැටුප් ලබන නිලධාරීන් රාජකාරි වෙලාවේ නිකරුණේ රස්තියාදු නොකළ යුතුය. ඒ නිසා රහස් පොලිසියේ ලොක්කාටත් ඔහුට නියෝග දෙන ආරක්ෂක ලොක්කාටත් ආරක්ෂක ඇමතියාටත් කිවයුතු එක් දෙයක් තිබේ. මේ ආකාරයට රහස් පොලිසිය යොදවන්නේ නැතිව වුවත් ජනතාව මරමින් ගෙනයන පාලනයට වරදකරුවන් කවුරුන්දැයි හෙළිකරන්නට හැකියාව ඇතත් ඊට අවශ්‍යතාවයක් නැති බව ඇත්තකි. හැබැයි රහස් පොලිසිය නොකළත් ජනතාව විසින් යම් දවසක ඒ වරදකරුවන් කවුරුන්දැයි සොයා ගන්නවා ඇත.

ගොවීන් පමණක් නොව, රැුකියා විරහිතයන් සිය දිවි නසා ගන්නේ ඇයි? මව්වරු පියවරු දරුවන් සමඟ සිය දිවි නසා ගන්නේ ඇයි? විභාග සමත් නොවීමෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිවි නසා ගන්නේ ඇයි? මේ කරුණු ගැන හොයන්නට රහස් පොලිසිය අවශ්‍ය නැත. මේවා සමාජ විද්‍යා පර්යේෂකයන් විසින් දැනටමත් අනාවරණය කර ඇති කාරණාය. දරුවන්ට කන්න බොන්න දෙන්නට නොහැකි විට, මව්පියන්ට හොරකම් කර ඔවුන් පෝෂණය කරන්නට නොහැකි නම් සිය දිවි නසාගන්නවා හැර වෙන උත්තරයක් නැත. රැුකියා විරහිතයෙක්, දුප්පතෙක් හොරකමේ යන්නේ සෙලින්කෝ අයිතිකාරයා මෙන් මහා මාළිගා තනන්නට නොවේ. පාලක පන්තියේ උන්ට මෙන් විදේශ බැංකු ගිණුම් තර කිරීමේ උවමනාවක් හෝ හැකියාවක් ද ඔවුන්ට නැත. බොහෝ මිනිසුන් අතින් සුළු සොරකම් සිදුවන්නේ එදා වේල ගැටගහගන්නටවත් ඔවුන්ට නොහැකි තැනය. පොලිසියත්, හමුදාවත්, රහස් පොලිසියත්, හමුදා බුද්ධි අංශයත් යොදාගෙන එවැනි සොරකම් අල්ලාගනු ලබන නිසා එයින් පීඩිතයන්ට ගැලවිය නොහැකිය. දේශපාලකයන්ව නඩත්තු කරන කුවේර පෙළැන්තියේ කම්බා හොරුන්ට රහස් පොලිසියේ නොව, මැස්සෙකුගෙන්වත් හිරිහැරයක් නැත. ඔවුහු යහතින් සිය මන්දිරවල ලගිති. බැරිවෙලාවත් හිරගෙදර ගියත් විශේෂ වරප‍්‍රසාද ලැබ කෙටි කලකින් සමාව ලබා ගෙදර එති. දේශපාලන බලය සහිත මිනීමරුවන්ට මහ දවාලේ මිනී මරා පාර්ලිමේන්තුවටත් යා හැකිය.

එහෙව් රටේ පීඩිතයන්ට විකල්පය ඇත්තේ සිය දිවි නසා ගැනීම් තීරණය තුළය. එහෙත් එය පවා රට අයිතිකරගෙන ඉන්න උන්ගේ නීතිය යටතේ වරදකි. එපමණක් නොව, එවැනි සිය දිවි නසා ගැනීම් ගැන හේතු සහිතව හෙළිදරව් කරන ජනමාධ්‍යකරුවන් සොයා රහස් පොලිසිය එවන්නේද පාලකයන්ය. එසේ වන්නේ, තමන් පුරසාරම් කියන ආශ්චර්යවත් පාලනයේ ඇත්ත හෙළිවීමෙන් තම රෙදි ගැලවෙන බව පාලකයන් දන්නා නිසාය. එහෙත් අපි එක් දෙයක් දනිමු. පාලක නිරුවත හෙළිවන දවසක පීඩිතයන් සිය දිවි නසා ගැනීමේ මායාවෙන් මිදෙනු ඇත. පාලකයන් බිය වන්නේද ඒ නිසාය. පාලක පෙළැන්තියේ උකුණන්, මකුණන්, හා කිනිතුල්ලන් බිය වන්නේ එක් පැහැදිලි කරුණක් නිසාය. එනම්, මිය යායුත්තේ තමන් නොව, තම රුහිරු මාංස උරා බොන පාලක පෙළැන්තිය බව පීඩිතයන් වටහා ගන්නා දවසක් ළඟා වීම ගැනයි. අපි ලියන්නේ ඒ දවස ඉක්මන් කරලීම පිණිසය. මගේ ප‍්‍රශ්නයට විසඳුමක් ලැබේදැයි අසන හැමදෙනාටම අපි කියන්නේ එක් දෙයකි. අපේ ප‍්‍රශ්නය විසඳෙනේනේ කවදා ද එදාට ඔබේ ප‍්‍රශ්නය විසඳන්නට ඔබට ම හැකිවනු ඇත.

ඒ නිසා අපේ ප‍්‍රශ්න විසඳීම වෙනුවෙන් පන්හිඳම කගපතක් කරන්නෙමි.

 

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: