තැන්නෙකුඹුර පාලම මතදීය

panhindaතැන්නෙකුඹුර පාලම යටින් රොන් මඩ සහිත ජල ධාරා ගලයි. දියණිය සමඟ පාලම මතින් ගමන් කරන මගේ සිරුර එක් වරම වෙවුලා යන මතකයක් දිය මතුපිටින් මතුව එයි.

ඒ තවත් බිහිසුණු මතකයකි. උණ බම්බුවකට ඇමිණූ මිනිස් සිරුරු දෙකක් මේ පාලම යට දියේ පා වෙමින් තිබුණු ආකාරය මට කිසිදාක අමතක නොවේ. මම දියණිය දෙස බලමි. ඇයට මගේ වෙනසක් නොපෙන්වමින් සිනාසෙමි. එහෙත් මගේ දෑස් තෙත්ව තිබේ. මා හදිසියේම ඈ තුරුලූ කරගන්නේ ඇයිදැයි සිඟිත්තියට නොවැටහේ. යම් දිනක ඇය ඒ අමානුෂික සිදුවීම් ගැන දැනගත යුතුය.

එදා විසිහතර වසරකට පෙර දිනක පාලම යටින් දිස් වුණු සිරුරු යොවුන් වියේ කාන්තාවන් දෙදෙනකුගේ බව ඔබට කිව යුතුය. පෙරදින රාත‍්‍රියේ ඒවා මෙහි දමා ගොස් ඇත්තේ කොළ පාට ආණ්ඩුවේ ගහලයන් විසින් බවට සැක නැත. දේශපාලන හේතු මත අත්අඩංගුවට ගත් පසුව ඔවුන්ට ඉන් මෙපිට නිදහසක් හිමි වේද? මේ ගමනාන්තය වෙත එන්නට පෙර ඔවුන් කොතරම් වද වේදනා විඳින්නට ඇත්ද?

මා අසා ඇති ආකාරයට කාන්තාවන් දේශපාලන අරගලයට සම්බන්ධ වූයේ සමසමාජ පක්ෂයේ බිහි වීමත් සමඟමය. ඔවුන් සූරියමල් ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටි බවත් 53 හර්තාලයේ සටන්කාමී සෙබළියන් වූ බවත් ඉතිහාසයේ සටහන් විය. එහෙත් ඔවුන්ට 1971 සහ 80 දශකය අවසානයේ මේ රටේ දේශපාලන අරගලයට එක් වූ සහෝදරියන් තරම් මානසික හා ශාරීරික වේදනාවන් විඳින්නට සිදු වූයේ නැත. වෙනස් මාවතක ගමන් කිරීමේ වරදට සාමාන්‍ය සමාජයේදීත් නින්දා අපහාසයන්ට මුහුණ දුන් ඔවුහු පේ‍්‍රමවතී මනම්පේරි මෙන් අනාරක්ෂිතව මර්දනයට මුහුණ දුන්හ.

වධකාගාරවලදීත් සහෝදර සගයන් හා එක්ව සිය අරගලයේ වගකීම විඳ ගත් සහෝදරියන් දෙතිස් වධයට අමතරව ලිංගික වධයට කැප කරනු ලැබූහ. එදා තැන්නෙකුඹුර පාලම යට පාව ගිය දෙදෙනාගේ මවුපියන් කවුරුන්ද, සහෝදර සහෝදරියන් සිටියාද යන වග සොයන්නට ඇති හැකියාව අල්පය. එහෙත් එක් දෙයක් පැහැදිලිය. ඒ, මේ රටේ පීඩිත ජනතාවට පේ‍්‍රම කිරීමේ වරදට එවැනි ඉරණමකට පත් වූ සහෝදරියන් දෙදෙනකු බවට සැක නැත.

අපේ සමාජයේ කාන්තාවෝ පොදු වශයෙන් සුවිශේෂ ඉරණමකට මුහුණ දෙති. එක්කෝ පවතින ගතානුගතික සමාජ සම්මතයන් විඳදරාගත යුතුය. නැති නම් සමාජ ආර්ථික පීඩාවට එරෙහිව සටන් වදින සහෝදර කැල හා එක්ව සටන් කළ යුතුය. මගේ ජීවිතය තුළ හමු වූයේ එවැනි දේශපාලන ක‍්‍රියාකාරිනියන් අතේ ඇඟිලි ගාණටය. තරුණ වයසේ සිටි කා හටත් මරණය සෙවණැල්ලක් මෙන් පසුපසින් හඹා යමින් පැවැති කාලයේ එවැනි අපූරු ධෛර්යයක් තිබුණු කාන්තාවන් තිදෙනෙක් මට හමු විය.

එයින් එකියක් කිවිඳියක් ලෙස පවතින සමාජ අසාධාරණයට එරෙහිව ලියමින් උන්නාය. සහෝදර ජනයින් ගෙන යන අරගලයට එක්ව පන්හිඳෙන් සටන් කරන කවි ඇගේ නිරාමිස ආත්ම තෘප්තිය විය. පසු කාලයක දැක ගන්නට ලැබුණේ කුටුම්බය තුළ ඇය සාම්ප‍්‍රදායික ගැහැනියගේ භූමිකාව දක්වා පල්ලම් බැස ගිය ආකාරයකි. දෙවැනියට මට හමු වූයේ අරගලය වෙනුවෙන් කැප වුණු සටන්කාමී ගැහැනියකි. සිය පෞද්ගලික ජීවිතයේ උවමනා එපාකම් අමතක කරමින් ඇය අපමණ දුක් වේදනා විඳ ගත්තාය. දිවා – රාත‍්‍රී වෙනසක් නැතිව ඇගේ ක‍්‍රියාකාරීත්වය වේගවත් විය. අඳුරු සමයක සහෝදර ජනයින් සමඟ රාත‍්‍රිය පහන් කරමින් අරුණෝදය විශ්වාස කළ ඇය අවසානයේ විදුලියක් මෙන් අතුරුදන් වූවාය. අවසන් වරට මට ඇය හමු වූයේ එක්තරා විරෝධතා ව්‍යාපාරයක යෙදී සිටියදීය.

තුන් වැනි කාන්තාව මවක වූවාය. සිය පුත‍්‍රයා රහසිගත දේශපාලනයට එක් වීම ගැන මුලින්ම දැඩි විරෝධයක් පෑ ඇය ඉන්පසුව ඔහුගෙන් කරුණු විමසා දැන ගත්තාය. එවිට ඇය මහත් උදේ්‍යා්ගිමත් ලෙස සිය පුතුට අනුබල දුන්නාය. අරගලයේ යෙදී සිටි විවිධ තරාතිරමේ තරුණ – මහලූ සටන්කාමීන්ට විවිධාකාරයේ ඇප උපස්ථාන කරමින් උපරිම ධෛර්යය සැපයූ ඇය සිය යොවුන් පුත‍්‍රයා අතුරුදන් වූ පසුව පොලිසි ගාණේ, රැුඳවුම් කඳවුරු ගාණේ ඇවිද්දාය. එහෙත් ඇයට ඔහු හමු වූ බවක් දැන ගන්නට ලැබුණේ නැත. තවත් කෙටි කාලයක දී ඇය සිය යෞවන දියණිය ද සමඟ ගම හැර ගියාය. එදා සිට ඔවුන් ගැන විවිධ කටකතා මිස තහවුරු කළ පුවතක් මට ලැබී නැත. මව සහ දියණිය ඈත ප‍්‍රදේශයක දී අත්අඩංගුවට පත් වූ බව කියැවෙන කතා මෙන්ම වෙනත් ආකාරයේ අවසානයක් ගැන කියැවෙන කතා ද ඒ දිනවල පියඹා ගියේය.

‘‘අප්පච්චි, ඇයි පාලම උඩින් යද්දි මාව තුරුලූ කරගත්තෙ?’’

පසුව දියණිය අසන ප‍්‍රශ්නයට පිළිතුරක් දෙන්නට තවමත් මට නොහැකිය. ඇගේත් සෙසු දරු දැරියන්ගේත් අත්දැකීම් අතරට එවන් අවාසනාවන්ත මතකයන් එක් නොවේවා යන්න හුදු ප‍්‍රාර්ථනයක් පමණකි. එහෙත් ඉන්පසුව, මගේ මතකය තුළ රැුඳුණු තවත් සොයුරියන් ගැන මම සටහන් කරමි. අරගලය වෙනුවෙන් සිය ජීවිතය සපුරාම කැප කළ ඔවුහු ඇතැම් විට අමිහිරිතම අත්දැකීම් විඳ දරා ගනිමින් අරගලය මුවහත් කරති. ඇතැම් විට දේශපාලනය වෙනුවට කුටුම්බය තෝරා ගැනීමෙන් පොදු අරමුණ අමතක කරන පිරිසක් නැතිව ද නොවේ. එහෙත් සහෝදරවරුන් අතර ප‍්‍රමුඛ දේශපාලන අභියෝග භාර ගනිමින් වැඩ කරන්නට සමත් සහෝදරියන් වැඩිම කැපවීමක් සිදු කරන්නේ පොදු සමාජයෙන් බැහැරව ජීවත් වීමෙනි. සිය මවුපියන් හෝ සහෝදර සහෝදරියන් සමඟ ජීවත් වීමට වඩා එකම අරමුණක සහෝදරත්වය ප‍්‍රිය කරමින් ඔවුහු සාම්ප‍්‍රදායික ගැහැනියගේ භූමිකාවෙන් ඉවත් වෙති. එහෙත් ඒ සහෝදර පිරිස අතර පවා ඔවුහු කාන්තාවන් වීම නිසා පීඩාවට පත් වන අවස්ථා විරල නැත. දේශපාලන විග‍්‍රහයේ දී සහෝදරියන් පවා හඳුන්වනු ලබන්නේ ආසියාතික අගතීන් පිරි අපගේ සමාජයේ පසුගාමීත්වය සහිත පිරිසක් ලෙසයි. ඒ අතරම එම පසුගාමීත්වයම සහෝදරවරුන් විසින් සහෝදරියන් පෙළනු ලබයි. පීඩිත මිනිස් සමූහයා වෙනුවෙන් ඉදිරියට එන ඉදිරිගාමී කාන්තාවන් පවා එසේ සමස්ත පීඩාවේ ගොදුරු බවට පත් වීම පුදුමයක් නොවේ.

එහෙත් තැන්නෙකුඹුර පාලම මතින් ගමන් කරන හැම අවස්ථාවකදීම සිහිපත් වන එකම කරුණක් මට මහත් පීඩාවක් වේ. එනම්, දේශපාලන හේතු මත පීඩාවට හා නරුමකම්වලට මුහුණ දෙන සහෝදරියන් ගැන ඉවතලිය නොහැකි වගකීමක් සෙසු සමාජයට මෙන්ම මටත් ඇති බවයි.

‘‘අප්පච්චි මට කොයි තරම් ආදරේද?’’ නිහඬතාව බිඳිමින් දියණිය විමසන විට මම පියවි ලොවට පිවිසෙමි.

‘‘මොකද අප්පච්චි, ඔයාට තවම මතක් වෙන්නෙ අර පාලම උඩින් යනකොට මම වැටෙයි කියලා තුරුලූ කරගත් එකද?’’

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: