ළිං කපන්න – බදු ගෙවන්න

දැන් ඉතින් මහ පොළොවෙන් ලැබෙන වතුර ටිකටත් මුදලක් ගෙවන්න වෙන පාටයි’ ආණ්ඩුව භූගත ජල මූලාශ‍්‍ර සඳහා බදු අය කරන්න යන ආරංචිය ඇසූ හැමදෙනාගෙම අදහස වුණේ එයයි. මේ ගැන ජනමාධ්‍ය තුළින් කතාව ඇදුණෙ වාරිමාර්ග ඇමැතිවරයා ගෙන ආ අදහසට ජලසම්පත් ඇමැතිවරයා විරෝධය මතු කිරීම නිසයි. ඒත් ඊටත් වඩා ලොකු අවුලක් මේ උත්සාහය තුළ තියෙන බව අමතක නොකළ යුතුයි.
ආණ්ඩුවට දැන් අවශ්‍ය වෙන්නෙ මෙතෙක් ස්වාභාවිකව ලැබෙන ජලසම්පත් ආර්ථික භාණ්ඩ බවට පත්කරලා ඒවායෙන් මුදලක් උපයන්න බව පැහැදිලි වෙන්නෙ ආණ්ඩුවේ මැති ඇමැතිවරු උත්තර දෙන විදියටයි. මේ රටේ ජල සම්පත් හි`ගයකින් තොරව තියෙන නිසාම ජලය ආර්ථික භාණ්ඩයක් ලෙස වෙළෙඳපොළේ විකුණන්න හැකියාවක් තිබුණේ නෑ. ඒත් ‘ජල සම්පත් ආර්ථික උවමනාවන් අනුව යෙදවීම’ එහෙමත් නැත්නම් ජලය විකිණීමේ තත්වයට ගෙන ඒමේ වෑයම කියන්නෙ 1960 දශකය තරම් අතීතයට යන උත්සාහයක්. කොහොම වෙතත් මේ ආකාරයට ජලය විකිණීමට හැකි භාණ්ඩයක් බවට මෑතක දි සංවාදය ගෙනාවෙ 1996 වසරෙ දි ලෝක බැංකු ව්‍යාපෘතියක් තුළින්. ‘වැවිලි නොවන අංශ සඳහා ප‍්‍රතිපත්තිමය විකල්ප’ නම් වූ එම ව්‍යාපෘතියේ අරමුණ වූයේ රජයේ බදු යටතට ජල සම්පත පත්කර ගැනීමයි. කතාව පටන් ගත්තෙම ජලයේ අයිතිකරු රජය බවටත් ජලය භාවිත කරන අය රජයට බදු ගෙවිය යුතු බවටත් බැලූ බැල්මට අසාධාරණ කතාවකින්. කොහොම වෙතත් 2005 ජනාධිපති ධුරයට පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ‘මහින්ද චින්තන – දස අවුරුදු සැලැසුම’ ඉදිරිපත් කළේ ජල සම්පත් ස්වදේශික ජනතාව සතු විය යුතු බව කියමින්. එහෙම වුණත් 2007 වයඹ පළාත් සභාවට ඉදිරිපත් වූ ‘වයඹ පළාත් වාරි ජල කළමනාකරන ප‍්‍රඥප්තිය’ නමැති යෝජිත ව්‍යාපෘතිය තුළින් ජලසම්පත් පෞද්ගලික අංශය වෙත විකිණීම සඳහා ආණ්ඩුවේ උත්සාහය මුලින්ම කල එළි දැක්කා. ඒක සම්මත කරගන්න බැරි වුණාට පළාත් සභාවෙ ආණ්ඩුවේ බලය තියෙන නිසා තවමත් උත්සාහය අතහැර නෑ. ඉන්පස්සෙ උතුරුමැද පළාත් සභාවට ඉදිරිපත් වූ එවැනි යෝජනාවක් පරාජය කරනු ලැබුවා.
පළාත් සභා වශයෙන් මේ ආකාරයට සම්මත කරගන්න උත්සාහ කෙරුණේ වාරි ජලය වාණිජ භාණ්ඩයක් බවට පත් කිරීමේ නීතියක් බව පැහැදිලියි. ඒ උත්සාහය සාර්ථක වුණා නම් පෞද්ගලික සමාගම් සහ ගොවි සමාගම් සම්බන්ධ කරගෙන ජලය වාණිජ භාණ්ඩයක් ලෙස පරිහරණය කරන්න ආණ්ඩුවට හැකි වෙනවා. මතක තියාගන්න මේ ව්‍යාපෘති ඉදිරියට ගන්න හැදුවෙ ලංකාවෙ වී ගොවිතැන ඇතුළු වාරි ජලයෙන් වගා කෙරෙන ප‍්‍රධානම කලාපයක් වන වයඹ හා උතුරුමැද පළාත්වල. තවම ඒ උත්සාහය සම්පූර්ණයෙන් නැවතිලා නැහැ. ඒත් රට පුරා ගොවි ජනතාවත් සාමාන්‍ය ජනයාත් ජලය පෞද්ගලිකකරණයට විරෝධය පළ කළ නිසා ආණ්ඩුව වෙනස් පියවර අනුගමනය කරමින් ඉන්නෙ.
සමස්තයක් හැටියට ජල සම්පත් පෞද්ගලිකකරණය කිරීමේ උවමනාව තිබුණත් ජනතා විරෝධයට එකවර මුහුණ දීමට ආණ්ඩුව අසමත්. ඒ නිසාම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැන් දැල එළන්නෙ පොඩි පොඩි සැලැසුම් මගින් ජලය වෙළෙඳ භාණ්ඩයක් හා රජයට ආදායම් උපදවන සම්පතක් ලෙස තහවුරු කරගන්නයි.
මේ නිසා තමයි, ජල මූලාශ‍්‍රවලට එහෙමත් නැත්නම් භූගත ජලය භාවිතයෙ දි බදු අය කරන්න ආණ්ඩුව නීති ගෙන එන්න හදන්නෙ. මේ ක‍්‍රමයෙ දි ආණ්ඩුව යෝජනා කරන්නෙ වාර්ෂිකව ලීටර ලක්ෂයක් ලබාගත හැකි ළිංවලින් රු.7,500.00ක් බැගින් වාර්ෂික බදු මුදලක් අයකර ගැනීමයි. දිවයින පුරාම ළිංවලින් සාමාන්‍යයෙන් මෙවැනි ජල පරිභෝජනයක් සිදුකරනවා. තෙත් කලාපයෙ දි නම් අඩි පහක් හයක් කැපූ ළිඳකින් වුවත් මෙවැනි ජල ප‍්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා ආණ්ඩුවේ මේ උත්සාහය රට පුරාම ළිං ජලයට බදු අය කිරීම බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ලීටර ලක්ෂයකට වැඩි ජල පරිභෝජනයක් සඳහා මෙම යෝජිත බදු මුදල රු. 15,000ක් වෙනවා. මෙවැනි යෝජනාවක් නීතිගත වුණොත් මොකද වෙන්නෙ? මෙතෙක් තමන්ගෙ ගෙවත්තෙ තියෙන, තමන් කපාගත් ළිඳෙන් ජල පරිභෝජනය කළ ගැමි ජනතාවට සිදුවෙන්නෙ තමන්ගෙ ළිඳ වෙනුවෙන් ආණ්ඩුවට බදු ගෙවන්නයි. මෙහෙම අසාධාරණ බදු අය කිරීමක් මින් පෙර සිදුවුණේ ඉංග‍්‍රීසි ආණ්ඩු කාලෙ. මෙතෙක් බදු අය කරන්න නොහැකි වුණු වතුරටත් බදු ගහන එකේ ළඟදිම හුස්ම ගන්න වාතයටත් බදු ගෙවන්න වෙයි කියලා ඔබට හිතෙනවා ඇති.
ඇත්තටම අපි මේ ජීවත් වෙන්නෙ ධනවාදී සමාජයක බව සිහිපත් වෙන්නෙ මේ වගේ කතන්දර එළියට එනකොටයි. මහින්දලා දේශපේ‍්‍රමය ගැන, අපේකම ගැන වෛවාරණ සුරංගනා කතා කිව්වත් අපි ඉන්නෙ හැම දෙයක්ම මුදල් වටිනාකමින් මනින සමාජ ක‍්‍රමයක. ඒත් ඒ සමාජයෙ වුණත් මේ දක්වා හිරු එළිය, වාතය, ජලය වගේ සොබාදහමෙන් ලැබෙන දේ සහ මහජන මුදලින් ලබාදෙන අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සේවාවන්ට මිලක් නියම කෙරුණෙ නෑ. ඒ වුණත් නව ලිබරල් ධනවාදය යටතේ මේ සියල්ලට මිලක් නියම වෙනවා. ඕසෙට තියෙන වතුර අපේ රටට සම්පතක් කියලා අපි හිතුවට ධනය හා බලය තුළින්ම ලෝකය දකින පාලකයන්ට ඒවා පේන්නෙ ධන උල්පත් හැටියට.
ආදරය, සතුට, වගේ අතිසරල මිනිස් උවමනාවන්, ආශාවන් හැමදෙයකම දැන් හි`ගයක් ඇති වෙලා. ධනපති සංවර්ධනය තුළ ඒ සියල්ල අහෝසි වෙලා. ඒ නිසා මේ මිනිස් උවමනාවන් මුදලට හුවමාරු කරගන්න ධනපති ක‍්‍රමයේ නරුම ස්වභාවය හැබෑවටම හෙළිදරව් වෙලා. ලෝකය පුරා හැමතැනම තියෙන වතුර වුණත් මුදලට විකුණන සංවිධිත ව්‍යාපාරික සමාගම් ක‍්‍රමය පෙන්නුම් කරන්නෙ ඒ සත්‍යය තමයි. වතුර වැඩි නිසාම තමයි දැන් වතුරට මිලක් නියම කරන්න හැකිවෙලා තියෙන්නෙ. බඩගින්න වැඩි නිසාම තමයි බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ගෙන් ධනය උපයන ක්ෂණික ආහාර ව්‍යාපාර පවත්වාගෙන යන්නෙ. පමා වෙලා හරි අපේ පාලකයන් සූදානම් වෙන්නෙ ඒ නරුම මිල නියම කිරීමේ ක‍්‍රමයට එකතු වෙන්නයි.
භූගත ජල සම්පත් මූලාශ‍්‍ර සඳහා වාණිජ වටිනාකම් නියම කරන්න යන බවට ජනමාධ්‍ය තුළ කෙරෙන මේ සාකච්ඡුාව හමුවේ වාරිමාර්ග ඇමැති නිමල් සිරිපාල කියන්නෙ ‘ආණ්ඩුව හදන්නෙ ළිංවලට බදු ගහන්න නෙවෙයි’ කියලයි. ළිංවලට බදු ගහන කතාව ගැන එහෙම කිව්වත් ජලය වාණිජ භාණ්ඩයක් බවට පත් කිරීමේ අරමුණ ගැන ඇමැතිවරයා මොකුත් කියන්නෙ නෑ. මොකද ආණ්ඩුවේ පළමු වැනි පරමාර්ථය ඒක නිසයි. මේ දක්වා ජලය විකිණීමේ මහා පරිමාණ උත්සාහයන් ආවෙ පනත් කෙටුම්පත් සහ ව්‍යාපෘති වශයෙන්. මේ රටේ ප‍්‍රගතිශීලී ගොවි සංවිධාන, දේශපාලන පක්ෂ සහ බහුජන විරෝධය මැද ඒ සියලූ උත්සාහයන් පරාද වුණා.
ඒ නිසාම දැන් ආණ්ඩුව හදන්නෙ පොඩි ජිල්මාට් ක‍්‍රමයකට ‘ජලය වාණිජ භාණ්ඩයක්’ කියන නීතිමය පදනම ඇතිකර ගන්නටයි. ‘අපොයි අවුරුද්දකට 7,500ක් වැඩියි, අසාධාරණයි කියලා ජනතාව විරෝධය පෑවොත් ආණ්ඩුවට බදු මුදල අඩු කරන්න පුළුවන්. විරුද්ධ විය යුත්තේ බදු මුදලට නෙවෙයි, ස්වාභාවික සම්පතක් වශයෙන් සුලබව තියෙන ජල සම්පත් වාණිජ වටිනාකමක් ලබාදී ඒ සඳහා අතරමැදියෙක් හැටියට රජය කරන මැදිහත් වීමටයි. අද ආණ්ඩුව කරන්නෙ ‘ජලය වෙළෙඳ භාණ්ඩයක් ලෙස’ යොදාගෙන ලාභ උපයන්න බලාගෙන ඉන්න ‘නව ලිබරල්වාදී උවමනාවන්ට’ ගැළපෙන පරිසරයක් හදන්න අතරමැදියෙක් හැටියට නීති ගෙන එන එකයි. ජනතාවට බලපාන මූලික නීතිමය විධාන තියෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ මොන ප‍්‍රශ්න තිබුණත් ඉඩම්, ජලය ගැන කියැවෙන්නෙ ජනතාවට, හිමිවිය යුතු මූලික අයිතීන් ලෙසයි. ඒ තත්වය වෙනස් කරලා ජලය, ඉඩම්, වාතය වගේ ස්වාභාවික සාධක වාණිජ වටිනාකම් බවට පත් කරන්න නම් ව්‍යවස්ථාවෙ වගන්ති පවා වෙනස් කරන්න වෙනවා. ඒක එක පාරට කරන එක ලේසි නෑ. ආණ්ඩුව හෙමින් සූදානම් වෙන්නෙ ඒ වෙනස්කම් කරන්නයි.
මේ ‘ජල බදු ක‍්‍රමය’ ගැන ආණ්ඩුව මොන කතා කිව්වත් මේ ඇත්ත තත්වය මිස වෙන කියන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. ඇත්තටම නව ලිබරල් ධනවාදය යටතේ මොන තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන දෙසුවත් ආණ්ඩුවකට ප‍්‍රායෝගිකව සිදුවෙන්නෙ ඒ ‘ව්‍යවස්ථාමය පිම්පිකම’ කරන්න තමයි.
————————————————————————————————
ජල සම්පත් පෞද්ගලිකකරණය කිරීමේ උත්සාහය – මෙතෙක් කතාව
1994
– ජලසම්පත් පෞද්ගලිකකරණය කිරීමේ යෝජනා ඉදිරිපත් වීම (රනිල් වික‍්‍රමසිංහ – එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව)
1995 ජූලි 12
– ඉදිරිපත් කළ ලෝක බැංකු ව්‍යාපෘතිය (චන්ද්‍රිකා බණ්ඩාරනායක – පොදු පෙරමුණු ආණ්ඩුව)
1996
– ජල සම්පත් පනත (චන්ද්‍රිකා බණ්ඩාරනායක – පොදු පෙරමුණු ආණ්ඩුව)
අපේ‍්‍රල් – පෞද්ගලික අංශයේ සාමාජිකයන් 17ක් සහිත ජල සම්පත් සභාවක් පිහිටුවීම
ඔක්තෝබර් – ජල සම්පත් ලේකම් කාර්යාලයක් පිහිටුවීම
– ජල සම්පත් කළමනාකරණය සඳහා ආසියානු සංවර්ධන බැංකුව, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව ඉදිරිපත් කළ ව්‍යාපෘතිය
2000 මාර්තු 28
– ‘ජාතික ජල කළමනාකරණ ප‍්‍රතිපත්තිය’ සම්මත කිරීම (චන්ද්‍රිකා බණ්ඩාරනායක – පොදු පෙරමුණු ආණ්ඩුව)
2001 නොවැම්බර් 26
– ජාතික ජල සම්පත් ප‍්‍රතිපත්තිය යටතේ ජල අධිකාරියක්, ජල සම්පත් මණ්ඩලයක් හා ජල සම්පත් විනිශ්චය සභාවක් පිහිටුවීම (චන්ද්‍රිකා බණ්ඩාරනායක – පොදු පෙරමුණු ආණ්ඩුව)
2002 දෙසැම්බර් 16
– නැවත වරක් ‘ජාතික ජල සම්පත් ප‍්‍රතිපත්තියක්’ සඳහා යෝජනා කිරීම (රනිල් වික‍්‍රමසිංහ – එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව)
2003 ඔක්තෝබර් 13
– පානීය නළ ජලය වාණිජ සේවාවක් කිරීම අරමුණු කරගත් ජල සේවා ප‍්‍රතිසංස්කරණ පනත (රනිල් වික‍්‍රමසිංහ – එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව)
2004 – ජුනි 22 – මින් පෙර වාණිජ පදනමකින් සම්මත කරගනු ලැබූ ජල සම්පත් කළමනාකරණ පිළිවෙත් වෙනුවට දේශීය ජල සම්පත් පරිහරණය, සංරක්ෂණය හා සංවර්ධනය සඳහා ප‍්‍රතිපත්තිමය සැලැස්මක් නිර්දේශ කිරීම සඳහා කෘෂිකර්ම ඇමැති අනුර දිසානායකගේ මූලිකත්වයෙන් වියත් මණ්ඩලයක් පත් කිරීම
– අගෝස්තු 16 එම කමිටුවේ නිර්දේශ සහ යෝජනා සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම
– දෙසැම්බර් 31 සංශෝධිත ජල සම්පත් ප‍්‍රතිපත්තිය (චන්ද්‍රිකා බණ්ඩාරනායක – ශ‍්‍රී ලං. නි. ප. -ජ.වි.පෙ. සන්ධාන ආණ්ඩුව)
– 2005 අපේ‍්‍රල් 18 වාරිමාර්ග, මහවැලි හා ගංගා නිම්න අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ ‘ජාතික ජල කළමනාකරණ ප‍්‍රවර්ධන ව්‍යාපෘතිය’ සඳහා ලෝක බැංකු අනුමැතිය ලැබීම (චන්ද්‍රිකා බණ්ඩාරනායක – ශ‍්‍රී ලං. නි. ප. -ජ.වි.පෙ. සන්ධාන ආණ්ඩුව)
2006
උතුරුමැද පළාත් ජල කළමනාකරණ ප‍්‍රඥප්තිය පරාජය කෙරිණි (මහින්ද රාජපක්ෂ – සන්ධාන ආණ්ඩුව)
සැප්තැම්බර් 12
– වයඹ පළාත් ජල කළමනාකරණ ප‍්‍රඥප්තිය ඉදිරිපත් කිරීම (මහින්ද රාජපක්ෂ – සන්ධාන ආණ්ඩුව)
ඔක්තෝබර් 9
– ජාතික ජල කළමනාකරණ ප‍්‍රතිපත්තිය පිළිබඳ මහජන අදහස් විමසීම (මහින්ද රාජපක්ෂ – සන්ධාන ආණ්ඩුව)
2008
– පානීය ජලය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය (මහින්ද රාජපක්ෂ – සන්ධාන ආණ්ඩුව)

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: