රිචඩ් ඝාතකයෝ තවමත් ගොදුරු සොයති

කැමරාවේ ඇස වෙමි
නිහ`ඩව පටිගත කරමි
ජීවිතය, මරනය සහ යථාර්තය
පිලිකෙව් නොකරමි
සත්‍ය, ගවේශනය කරමි
(රිචඞ් ද සොයිසා Poet – The Other Eden
කාව්‍ය සංග‍්‍රහයෙනි)

රිචඞ් ද සොයිසා නමැති අදීන ජනමාධ්‍යවේදියා මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ලියූ වරදට ඝාතනයට ලක්වූයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉහළම නායකයන්ගේ අනුදැනුම ඇතිවය. 1990 පෙබරවාරි 18වැනිදා අලූයම රොනී ගුණසිංහ නමැති පේ‍්‍රමදාසවාදී පොලිස් අධිකාරිවරයා විසින් අත්අඩංගුවට ගෙන දවස පුරා වධදීමෙන් පසුව ඝාතනයට ලක් වූ මෙම අසහාය ජනතා වීරයාගේ මළසිරුර 19වැනිදා උදයේ මොරටුව කොරළවැල්ල වෙරළට ගොඩගසා තිබිණි.
කොළ කොටි, නිල් කොටි, කලූකොටි, කහකොටි, උකුස්සා ස‍්‍රා, ප‍්‍රා ආදී මිනිමරු කල්ලි විසින් තරගයට මිනීමැරූ යුගයක ඒ මරණය කිසිදු විශේෂතාවයක් ගෙනාවේ නැත. එහෙත් එහි විශේෂත්වයක් තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ලේ වැකි මර්දනයෙන් සටන්කාමී තරුණ ක‍්‍රියාකාරිකයන් ඝාතනයට ලක්වන ආකාරය ලෝකයට වාර්තා කිරීම නිසා ඔහු කොළ මිනිමරුවන්ගේ දඩයමට ඉලක්ක වූ බව නොරහසකි. ජනමාධ්‍යවේදියකු ලෙස සාම්ප‍්‍රදායික සීමාවේ හිඳිමින් සහ සිය මධ්‍යම පන්තික පවුල් පසුබිමට මුවාවෙමින් ආරක්ෂාව ඇතිව හා සුවපහසු ජීවිතයක් ගෙවීමට හැකිව තිබුණු රිචඞ් ඒ වෙනුවට යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ඉදිරිපත් විය. ඒ නිසාම තමන් ජීවිතය අනතුරේ දමාගන්නා බව දැන දැනම, සිය සමාජ ස්ථරයේ අන්‍යයන් ඒ බව අනතුරු අඟවා සිටියදී ඔහු සීතල මරණයට එරෙහිව පෑන මෙහෙයවූයේය. පාලක ඝාතකයන්ගේ ආධිපත්‍යයට අභියෝග කරමින් දෙපයින් සිටගන්නට තරම් ඔහුගේ හෘදසාක්ෂිය සවිමත් විය. දිනපතා මංමාවත්වල, ගංගාවල නිහඬකරවනු ලැබ වැතිරෙන යහපත් ප‍්‍රාර්ථනා කැටිකරගත් තරුණ තරුණියන්ගේ සටන්කාමී ජවය ඔහු ජනමාධ්‍යවේදියකු ලෙස පණගැන්වීය. භීෂණය හමුවේ අතපය වකුටුකරගෙන ඉන්නවාට වඩා හ`ඩ නගන්නට ඔහු තීන්දු කළේය.
රිචඞ්ගේ මේසය මත තිබුණු ගුවාතමාලා විප්ලවවාදියකු විසින් ලියන ලද කවිය, ඔහුගේ ජිවිතයේ පුරුෂාර්ථ පිළිබඳ ඉ`ගියක් ලෙස සැළකිය හැකිය. මේ එහි කොටසකි.
”යම් දිනෙක…
අප රටේ වසන
දේශපාලනයෙන් තොර බුද්ධිමතුන්
ජනතාව අතර ද අන්ත දිළින්දන් විසින්
ප‍්‍රශ්න කෙරෙනු ඇත!

ඔවුන්ගේ සමාජය
හුදකලා ගිනිදලූවක් නිවාලන ලෙස
තුරන් කර දමන තුරු ඔවුන්
කළේ කුමක් දැයි විමසනු ඇත”
(ඔටෝ රෙනෙ කැස්ටිලෝ නමැති ගෝතමාලානු විප්ලවවාදී කවියා විසින් මෙම Apolitical Intellctuals කවිය රචිතය. 1967 මාර්තු 19 දින රාජ්‍ය හමුදා විසින් ඔහුව මරා දමන ලදී)
1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඉදිරියට ගෙනගිය වෙළෙඳපොළ ආර්ථිකයත් ඒ වෙනුවෙන් ගෙනගිය මර්දනකාරී පාලනයත් ජනතාව පෙළමින් තිබිණි. 80 දශකය අවසානයේ තරුණ අරගලයක් ලෙස ඇවිල ගියේ ඒ මර්දනයට එරෙහි කෝපයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තිබිය යුතු ජනමාධ්‍ය නිදහස වළලා දැමිණි. විරුද්ධ දේශපාලන බලවේග දුබලකරමින් කුමන්ත‍්‍රණ හා පාවාදීම් සිදු කෙරිණි. ඒ සියල්ල විසින් ජනතා වුවමනාවන් වෙනුවෙන් හ`ඩ නගන කිසිවකුට ආරක්ෂාවක් ඉතිරි වුයේ නැත. දයාසේන ගුණසිංහ වැනි අදීන පුවත්පත්කලාවේදීන් පත්තර රස්සාවෙන් එළියට ඇද දමනවිට පාලකයන්ගේ වතගොත හෙළිකරන ජනමාධ්‍යවේදීන් අබිරහස් ලෙස මරා දමන ලදී. විමල් සුරේන්ද්‍ර, එච්.ඊ. දයානන්ද වැනි මාධ්‍යවේදින් ඒ ආකාරයට දඩයමට ලක් විය.
එහෙත් රිචඞ් වැනි මධ්‍යම පන්තික සමාජ පසුබිමක් ඇති අයකු කරා ඝාතකයන් හඹා එතැයි කිසිවකු සිතුවේ නැත. එහෙත් පේ‍්‍රමදාස පාලනයේ ඝාතකයන්ට ඔහු ඉලක්ක කරගන්නා ලෙස නියෝග ලැබිණි.
බාහිර සමාජය විසින් රූපවාහිනී නිවේදකයකු ලෙස පමණක් හඳුනාගෙන සිටි ඔහු සතු විභවයන් රාශියකි. ඒ සියල්ල ම යහපත් සමාජයක් අපේක්ෂාකළ තරුණයකු විසින් ස්වෝත්සාහයෙන් හා යහපත් මිනිසුන්ගේ ඇසුරෙන් වර්ධනය කරගත් ප‍්‍රතිභාසම්පන්න ලක්ෂණ විය. සමාජ විවේචනය සහිත කවි ලියමින් මෙරට ඉංග‍්‍රීසි සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ විකල්ප ධාරාවක් බිහි කළ ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සිනමාවේ පතාක යෝධයන් ගුරුකොටගත් රංග ශිල්පියකු ද විය. ඒ සඳහා සිය පාසල් අධ්‍යාපනයට සමාන්තරව ඉංග‍්‍රීසි නාට්‍යකරණයෙන් හිමිකරගත් රංග කලා පරිඥානයක් ඔහු සතු විය. ඊට අමතරව ඔහු දේශපාලන සංවාදයන්ට සම්බන්ධවූ මත දක්වන්නකු විය. ‘විකල්ප සමාජයකට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක්’ (Manifesto for an Alternative Society)යන මැයෙන් පෙබරවාර් 11වැනිදා ඔහු ‘අයිලන්ඞ්’ පුවත්පතට ලියුවේ අවසන් ලිපිය යැයි කිසිවකු සිතුවේ නැත.
මනෝරාණි සරවනමුත්තු මහත්මිය පසුකාලයක හඳුනාගත් පරිදි රොනී ගුනසිංහ රිචඞ් සිය නිවසින් පැහැරගෙන යන්නට පැමිණි කණ්ඩායම මෙහෙයවීය. නොසිතූ ආකාරයට පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මියයන විට ඔහු අසල හිඳ අවසන් හුසුම හෙළුෑ පොලිස් නිලධාරියා රිචඞ් ඝාතනයේ චෝදනා ලැබ සිටියේය. තවමත් අබිරහසක්ව පවතින එම ඝාතනය පිළිබඳ පවතින තත්වයන් යටතේ සාධාරණයක් අපේක්්ෂා කළ නොහැකිය. රිචඞ්ගෙන් පසුව ජනමාධ්‍යවේදීන් දුසිම් ගණන් මරාදමා තිබේ. ඒ කිසිදු මරාදැමීමක් පිළිබඳ සාධාරණ පරී්ෂණයක් සිදු නොවන බව අප නිගමනය කරන්නේ රිචඞ්ගේ මරණය හමුවේ හ`ඩ නැගූවන් පවා අද රිචඞ් ගෙනගිය මෙහෙවර වෙනුවෙන් සාධාරණය ඉටුකරන්නට සමත් නොවන නිසාය.
අප රිචඞ්ගේ මරණය සිහිකරන්නේ මැදපන්තික මානවහිමිකම් ක‍්‍රියාකාරිකයන් හෝ සිවිල් සමාජය විසින් සිය සමාජ ස්ථරයේ එකකු ලෙස සලකමින් රිචඞ් ගැන සමරනවාට වඩා වෙනස්කමකිනි. ජනමාධ්‍යවේදියා තවමත් ඝාතකයාගේ ඉලක්කයකි. රිචඞ් මරා දමා වසර විසි එකකට පසුවත් වත්මන් පාලකයන් සිය අංක එකේ සතුරන් ලෙස අදීන ජනමාධවේදීන් ලැයිස්තුගතකර ඇති බව නොරහසකි. ජූලියස් ෆුචික් ස්වකීය මරණය අබියස ලියූ ‘පෝරකයේ සටහන්’ කෘතියේ එන මේ වදන් අප මතකයට එන්නේ එබැවිනි.

”එබඳු චරිත පැන්ක‍්‍රැට්ස් බන්ධනාගාරයේ අඳුරු කොරිඩෝර තුළින් එළිමහන් ආලෝකයට ගෙනහැර පෑමට මම ආශාකරමි. ඒ, ඔවුන්ගේ ජයක් සඳහා නොව, අන්‍යයන්ට ආදර්ශයක්, ධෛර්යයක් වනු පිණිසය. මෙම අරගලය තුළ පමණක් නොව, මිනිසා සැබෑ ලෙසම මිනිසෙක්වන තුරු කරන දිගුකාලීන අරගලයට වීරත්වය අවශ්‍ය වේ.”

(පෝරකයේ සටහන් Notes from Gallows- පිටුව 92 – පළමුවන මුද්‍රණය 1997 – සිතිජය මාධ්‍ය සංසදය)

රිචඞ් ගැන අප සිහිපත් කරන්නේ මරණය දැක දැක සිය වගකීම ඉටුකරන්නට මැලි නොවූ මාධ්‍යවේදියකු හා ජනතා වීරයකු ලෙසය. සත්‍ය දැක දැක අඳුරු අහුමුළුවල රිංගන අපේ කාලයේ ඇතැම් පුද්ගලයන් රිචඞ්ගේ ආදර්ශය ඉදිරියේ ලජ්ජා වියයුතු එබැවිනි. එසේම පහරදීම්, තර්ජනය කිරීම් මැද නොසැලී සිය වගකීම ඉටුකරන අතලොස්සක් වූ ජනමාධ්‍යවේදීන්ට සැබෑ ගෞරවය හිමිවියයුතු එබැවිනි.

Advertisements
    • minod
    • අප්‍රේල් 5th, 2011

    “adheshapalanika buddimathun” fatta trnslation 1k..1 of my favrts

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: