Archive for මාර්තු 13th, 2010

හතරවෙනි තට්ටුවේදී – 1

This slideshow requires JavaScript.

ඔවුන් මා කූඩුවට දමා ඉබි යතුරු දමන විට මධ්‍යම රාත‍්‍රිය පසුවී තිබිණි. අධික වෙහෙස නිසා මට හාත්පස බලා සිටින්නට උවමනාවක් නොවීය. අඩනින්දේම මම කූඩුවේ දොර අසලම තිබුණු පැදුරු ගොඩක් අත පත ගාගෙන ඉන් එකක් දිගහැර ගත්තෙමි. කොට්ටය වෙනුවට ඉතිරි පැදුරු මිටිය මත හිස තබා නිදන්නට උත්සාහ කළෙමි. නින්ද මවෙත ළඟාවන්නට පෙර එදින සිදුවූ සියල්ල චිත‍්‍රපටයක් සේ මගේ මනසේ දිගහැරෙන්නට විය.
පුවත්පත් කාර්යාලයේ වැඩ නිමකර පිටත්වන විට මා හට දුරකථන ඇමතුමක් ඇති බව ලාල් කී ආකාරය එවේලේ මතකයට නැගුණි. ජනවාරි 28 වැනි බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී වනවිට 31දා පුවත්පත් කටයුතු ද අවසන් කර තිබිණි. කාර්යාලයේ රැුඳී සිටියේ මමත් දයාත් අසංකත් ලාලූත් පමණි. දුරකථනය අතට ගත් මාහට දැනගන්නට ලැබුණේ කොළඹ අපරාධ පරීක්ෂණ මූලස්ථානයේ පොලිස් පරීක්ෂක ‘පී’ දුරකථනයේ රැුඳී සිටින බවයි. ඔහු මාවෙත දැනුම් දුන්නේ පුවත්පතේ පළවූ ලිපියක් පිළිබඳව ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට මා අපරාධ පරීක්ෂණ මූලස්ථානයට පැමිණිය යුතු බවයි.
”මට ලිඛිත දැනුම්දීමක් කරන්න. මම එන්නම්” මගේ පිළිතුර විය.
”හරි මම මිරිහාන පොලිසිය මාර්ගයෙන් මැසේජ් එකක් එවන්නම්” නිලධාරියා එසේ පවසද්දී මම ඔහුට ස්තූති කොට දුරකථනය විසන්ධි කළෙමි. පසුදින කාර්යාලයේ වැඩ කටයුතු කරන අතර අපේක්ෂා කළ දුරකථන ඇමතුම ලැබිණි. එහෙත් එයින් කියැවුණේ අමුතුම කතාවකි.
”මිස්ටර් චන්දන 10.00ට එනවා කියල අපි බලාගෙන හිටියා. මොකද ආවෙ නැත්තේ.” උප පොලිස් පරීක්ෂකවරයකු වූ ‘කේ’ මගෙන් විමසා සිටියේය.
”මට මෙහෙම වෙලාවක් කිව්වෙ නෑ. මම කොහොමද දන්නෙ 10.00ට එන්න කියලා තියෙන වගක්.” මම පුදුමයෙන් පිළිතුරු දුන්නෙමි.
”ඇයි ඊයේ කීවෙ නැද්ද? ඊයේ අපි මිස්ටර් චන්දනට කිව්වනෙ” මෙය ඉවසීම ඉක්මවා යන තත්වයකි. එහෙත් ඔවුන්ගේ උගුලට මා අසුවිය යුතු නැත. ඒ නිසා මමත් ආවේගය පාලනය කරගෙන පිළිතුරු දුන්නෙමි.”
”මිස්ටර් නෙවෙයි ඊයේ කතා කළේ. අයි.පී. කෙනෙක්. මම එයාට කිව්වා මට ලිඛිතව දැනුම්දීමක් කරන්න කියලා.”
”ඉතිං මිරිහානෙන් මැසේජ් එක එව්වෙ නැද්ද?”
”නෑ… මට තවමත් එහෙම දැනුම්දීමක් නෑ. කරුණාකරලා මට ලිඛිතව දැනුම්දීමක් කරන්න. මම ආයතනයක වගකීමක් දරන කෙනෙක්. හිතූ මතේට වැඩ කරන්න මට බෑ.” මම මගේ සීමාව ඔහුට පැහැදිලි කළෙමි.
”හරි මට කියන්න එන්න පුළුවන් කීයට ද කියලා” පොලිස් පරීක්ෂකවරයා මගෙන් විමසීය.
”මගේ වැඩ කටයුතු ඉවර වෙන කොට 2 විතර වෙනවා. මම 3.00ට එන්නම් හැබැයි මට මැසේජ් එක එවන්න.”
”මැසේජ් එක එවන්නම් දන්නවනෙ පොලිසියෙ වැඩ. ඒක පමා වෙන්න ඇති. කොහොමටත් මම දැන් වෙලාවක් කිව්වනේ. ඒ වෙලාවට එන්න.” කනිෂ්ඨ නිලධාරියාගේ ස්වරය පැහැදිලිය.
”ඒත් මම දන්නෙ නෑ ඇයි මට එන්න කියන්නෙ කියලා. මොකක් ද මගෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න හේතුව.” මම විමසා සිටියෙමි.
”හේතුව මේකයි මිස්ටර්ගෙ පත්තරේ පසුගිය 26 වෙනිදා පළකරල තියෙනවා ගෝඨාභය මහත්තයා කතරගම මන්දිරයක් හදනවා කියල…. අන්න ඒක ගැනයි ස්ටේට්මන්ට් එකක් ගන්න කියල අපිට උපදෙස් ලැබිල තියෙන්නෙ.”
”හරි මට තේරෙනවා. මම තුනවෙනකොට එන්නම්. කාවද හම්බවෙන්න ඕනැ.”
”ඉන්ස්පෙක්ටර් ‘පී’ හම්බවෙන්න කෝ.” දුරකථනය විසන්ධි විය.
මේ අතරතුර කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ පියාගේ මළගමට සහභාගි වීමට කාර්යාලයේ සියලූ දෙනා සූදානම් වෙමින් සිටියහ. මට එම ගමනට සහභාගි විය නොහැකි බව දන්වමින් මගේ වැඩ කටයුතු කරගෙන ගියෙමි. 12.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් කාර්යාලයට පැමිණියහ. පොලිස් පරීක්ෂක ‘පී’ සිනාමුසු මුහුණින් තමා හඳුන්වා දෙමින් මට අත දිගු කළේය. අතට අත දුන් මම ඔවුන්ට අසුන් ගන්නා ලෙස ඇරයුම් කළෙමි. එහෙත් මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවාගෙන ගොස් ප‍්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස තමන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ගෙන් නියෝග ලැබී ඇති බව පැවැසූ ඔහු තමන් කැටුව එනලෙස මගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මම කාර්යාලයේ ත‍්‍රිරෝද රථයෙන් පැමිණෙන බව ඔහුට දැනුම් දී පිටතට පැමිණියෙමි. මළගෙදර යාමට සූදානම් වී සිටි දයාත් මහේෂුත් මා සමග යාමට කැමැත්ත පළ කළහ. අප කොළඹ දෙසට යන අතරතුර ජනමාධ්‍ය සගයන් කිහිප දෙනෙක්ම දුරකථනයෙන් කතා කොට මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ ඇයිදැයි විමසූහ. මම ඔවුන්ට කාරණය පැහැදිලි කළෙමි.
”චන්දන අයියේ දැන්මම වොයිස් කට් එකක් දෙනවාද? නැත්නම් එන ගමන් දෙනවාද” වී එෆ්.එම් නාලිකාවේ හිතවත් මාධ්‍යවේදියෙක් මගෙන් විමසා සිටියේය.
”මල්ලි එළියට ඇවිත් ඔයාගෙ ෆෝන් එකට රිං කරන්නම්.” මා එසේ කීවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රශ්න කිරීම්වලට මුහුණදීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණු නිසාය. මෙවර මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්නේ පස්වන වතාවට බව මා සමග ගිය සගයන්ට මතක් කළ මම ඔවුන්ට මා එනතුරු පැය කීපයක් රස්තියාදු වීමට සිදුවිය හැකි බවද කීවෙමි. ඔවුන් සිනාමුසු මුහුණින් එය පිළිගත්හ.
ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ආණ්ඩුව විවේචනය කළ අප පුවත්පතට අනතුරක් වියහැකි බව දැන සිටියත් මෙම ‘කැඳවීම’ අපට විස්මයක් ගෙන දුන්නේ නැත. මේ වගේ ආයතනවල සගයන්ගෙන්ද අපට අවවාද ලැබී තිබිණි.
”ඉස්සෙල්ලා පරිස්සම් වෙයල්ලා. අපි හිතන්නෙ නැති වුණත් ලසන්තට වෙච්ච දේ දන්නවනේ. බලය අතට ආවාම මිනිස්සු සත්තු වෙනවා. ඔක්කෝටම කලින් කට්ටියට කියන්න ජීවිත ආරක්ෂාව අංක එකට තියන්න කියලා. තනියම නම් කොහෙවත් යන්න එපා. යන එන වෙලාවල් වෙනස් කරන්න.”
ප‍්‍රවීණ මාධ්‍යවේදියකුගෙන් ඒ සහෝදර අනතුරු ඇඟවීම ලැබී තිබුණේ මැතිවරණ ජයග‍්‍රහණය ප‍්‍රකාශ වී පැය කීපයක් ඇතුළතදීය.

චන්දන සිරිමල්වත්ත

දිගටම කියවන්න