හුස්ම ගන්නත් වෙලාවක්

කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර කරන්නද හිතා ගන්න බැරි වැඩ කන්දරාවක ඉන්න කොට මට ඇගේ මූණ පෙණුනා. ඇය මා එක්ක හිනා වෙනවා දැක්කා.
ඒත්, මම සුපුරුදු විදියට කරමින් හිටිදේට අවධානය යොමු කළා. ඒක දුෂ්ටකමක් බව යටි හිත කියද්දිත් මම ඒ තීන්දුවේ හිටියා. අන්තිමට මගේ වැඩ අතරෙ ඇගේ මූණ අමතක වෙලා ගියා. පැයකට විතර පස්සෙ මගේ කටයුතු අහවර කරලා වටපිට බැලූවම මම වගේම තවත් අය වැඩකරන හැටි දැක්කා. ඒ අයටත් හුස්ම ගන්න වෙලාවක් නැහැ. වැඩවලටම ගිලිලා. කරවටක් ගිලූණාම හුස්ම ගන්න දඟලන කෙනෙක් වගේ මම පොඞ්ඩකට එතැනින් ඉවත් වුණා.
ඒත් මට මතක් වුණා ඇගේ හුරතල් මූණ. ඒ වනවිට ඒ මූණ බෙරි වෙලා. කඳුළු කැට ගලා හැලෙනවා. මගේ පපුව පිච්චිලා ගියා. ඇයි මම ඇයට එහෙම කළේ? මම මගෙන්ම ඇහුවා. ඒත් ඒකට උත්තරයක් හොයාගන්න නතර නොවී ඈ ඉන්නවද බැලූවා. පැත්තකට වෙලා ඈ තමන්ගෙම වැඩක යෙදෙනවා. කවදාවත් නැති විදියට ඈ හුදකලා වෙලා. මට ඉබේම වගේ දිග හුස්මක් පිට වුණා. අපි හැමෝම මේ විදියට වැඩ වැඩ වැඩ. අපිට හුස්ම ගන්නත් වෙලාවක් නැහැ.
ඒ වුණත් මම තීරණය කළා මේ විදියට ගිලිලා මැරෙන එක වෙනස් කරන්න. මම ඈ ළඟට ගියා. මම ළඟට ආ බව දැනිලා ඈ හිස ඔසවලා මා දිහා බැලූවා. ඒත් ඈ කිසිම සැලකිල්ලක් දැක්වුවෙ නැහැ. ඈටත් ගොඩක් වැඩ.
‘‘මොකක්ද රත්තරනේ ඔය කරන්නෙ?’’ මම මෘදු ලෙස ඇහුවා.
ඈ නිහ`ඩයි. මගෙ දිහා බලන්නෙත් නැතිව ඈත දිහා බලාගෙන තමන්ගෙ පාඩුවෙ හිටියා.
‘‘ඇයි ඔයා මාත් එක්ක තරහද?’’ මම ආපහු ඇහුවා. ඒත් දැන් මගෙ ඉවසීම ඉවර වෙන්න කිට්ටුයි.
‘‘ඔයා ඉතින් වැඩවලනෙ. මම කතා කෙරුවට බැලූවෙවත් නෑනෙ.’’
ඉවසීම ඉවරයි. මම ඈ වටා අත් විහිදලා වඩා ගත්තා.
‘‘මගෙ රත්තරන්, අප්පච්චිට වැඩ ගොඩක් තියෙනවනෙ. ඒත් ඔයාට මම ආදරෙයි.’’ මම සිඟිති මුහුණට හාදුවක් දෙමින් කිව්වා.
‘‘මම තරහ නෑ අප්පච්චි’’ ඈ කඳුළු පුරවාගෙන මට තුරුළු වුණා.

කණගාටුයි, අපේ පුවත්පත් කලාව නතර කළ නොහැකිය!


‘‘ජනතාව වෙනුවෙන් ලියන්න, තවතවත් ලියන්න. සහෝදරයගෙ පෑන ඉවරවුනොත් අපි ලේ වුණත් දෙන්නම්, ලියන්න’’

සටන් කරන අකුරු නමින් ප‍්‍රකාශයට පත් වූ ‘ලංකා’ පුවත්පතේ පසුගිය සංවත්සර අතිරේකයට ලිපියක් ලියමින් ඒ ප‍්‍රකාශය සඳහන් කළෙමු. එය, ‘ජනතා සාහිත්‍ය උළෙලකදී කම්කරුවකු විසින් තම ආදරණීය පුවත්පත්කලාවේදීන් දිරිමත් කිරීමට කී අදහසකි.  ඉතින්, ඒ ධෛර්ය අප වෙත ආරක්ෂා වී තිබෙන නිසාම ජනතාව වෙනුවෙන් ලියන මිනිසුන් ලෙස අපි ‘ජනරළ’ ගොඩනැඟීමට සමත් වූයෙමු. අප විසින් සංවත්සර අතිරේකයේ එම සටහන අවසන් කළේ මේ ආකාරයෙනි.

‘ලේඛක අපගේ හදවත් ගැහෙන්නේ ඒ මිනිස් ශිෂ්ටාචාරයේ ජයග‍්‍රහණ වෙනුවෙන් පෑන් නිවැරදිව හැසිරවීමටය. සැබෑ මනුස්සකම් ඇති හැ`ගීම් දැනීම් ඇති මිනිසුන් ලෙස අපගේ පෑන් හසුරුවන්නට අප සමත්වන තාක් ලේ වැගිරවීමෙන් තොරව පවා අපගේ පෑන්වලට රුධිරය වැනි උණුසුම් අදහස් ගලා එනු ඇත. ඒ සජීවි බව රැුක ගන්න. මනුස්සකම මරාදැමූ හෘදසාක්ෂිය අහිමි පුද්ගලයන් ලෙස මියගිය පෑන්වලින් පාලකයන්ට අවැසි දේ නොලියන්නට පවා අප වඩාත් ප‍්‍රවේශම් වියයුතු බව දැනට ලියා තබමු.

මාස කිහිපයකට පෙර එසේ ලියු දේ වෙනුවෙන් නැවත නැවතත් පෙනී සිටින පුවත්පත්කලාවේදීන් වෙමු. එදා අප සටහන් කළේ පීඩිතයන් වෙනුවෙන් පෑන අතට ගන්නට බොහෝ කලකට පෙර අප ගත් තීන්දුව කිසිදා ආපස්සට හැරවිය නොහැකි නිසාය. ඒ තීරණය ගෙන ගෙවී ගිය දීර්ඝ කාලය තුළ අප පීඩිත මිනිසුන්ගේ සටන්කාමිත්වය මෙන්ම ඔවුන් තුළ ඇති සදාචාරය ඉගෙන ගතිමු, පවත්වාගෙන ගියෙමු, එසේම ඒ ගුණය ආරක්ෂා කළෙමු.

අවසන් වරට 2011 ඔක්තෝබර් 02වැනිදා පුවත්පතේ පළ වූ ‘සටන් කරන අකුරු’ තුළ පවා ඉහත කී සදාචාරය රැුක තිබෙන බව කිවයුතුය. ඉදිරියේත් ජනතාවාදී පුවත්පත්කලාවේ සටන්කාමීත්වය මෙන්ම සදාචාරය රකින්නට අපි බැඳී සිටිමු. එහෙත්, එක බත්පත බෙදාගෙන කෑවත් පටු වුවමනාවන් සහිත මිනිසුන් විසින් ‘සටන් කරන අකුරු’ ගැන ගල්කිස්ස පොලිසියට ඔත්තුව දෙන ලදී. අවසානයේ ගල්කිස්ස උසාවියට අප රැුගෙන යන ලද්දේ එකම ගමන්මගේ ගිය එහෙත් පටු අරමුනු සහිත ඒ මිනිසුන් විසිනි.
‘එහෙත් ගල්කිස්ස උසාවියෙන් ඉතිහාසය නතරවන්නේ නැත’

එහෙත් අප සිදුවීම් විනිශ්චය කරන්නට ඉක්මන් වන්නේනැත. මක් නිසාද යත් ජනතා ව්‍යාපාරයක කාර්යභාරය පිළිබඳ අවසන් තීරකයා වන්නේ ඉතිහාසය වන බැවිනි. කෙසේ වෙතත් මේ සියල්ල කෙසේ සිදුවිණිදැයි පාඨක ජනතාව වෙත කියන්නට අපි තීරණය කළෙමු.

———————————–

සියල්ල ආරම්භ වන්නේ පසුගිය 22වැනිදා පුවත්පත් කාර්යාලයට පැමිණි ‘ලංකා’ අධ්‍යක්ෂ මහතුන් දෙදෙනකු විසින් එහි පළවන දේ පිළිබඳ ප‍්‍රශ්න කිරීමෙනි. අප අනුගමනය කරන පුවත්පත් කලාවේ ගෞරවය හා සදාචාරය දිගටම රැුකින බවත් මෙතෙක් රැුකගත් දේ ඉදිරියේදී බිඳදමන්නේ නැති බවත් ඔවුන්ට පැවසුවෙමු. එහෙත් ඔවුන්ට ඒ විශ්වාසය නොතකා පිටුවල අන්තර්ගතය දැනගන්නට අවශ්‍ය වූයේ අප කෙරෙහි වූ සැකය නිසා වියයුතුය.

ජනතාවාදී දේශපාලන ධාරාවේ බෙදුම් රේඛා නිර්මාණය වූයේ යම් කාලයක් තුළ වුවත් ඒවා විස`දාගත යුතුවන්නේ එකී ව්‍යාපාරය විසින්ම ගෙනයන ක‍්‍රියාවලියකින් මිස වේදිකා, පත්තර පිටු හෝ රූපවාහිනි කුකුල්පොරවලින් නොවන බව අපගේ ස්ථාවරය විය. කෙසේවෙතත් මෑතකදී සිදුවූයේ විස`දාගතයුතු ගැටලූවෙනුවෙන් ධෛර්යමත්ව අරගලකිරීම වෙනුවට හන්දි ගානේ ඇඳිවත උනාදැමීමය. හෙළිකළයුතු සියල්ල ජනතාවට සඟවා රැුකියයුතු සදාචාරය නොතකා හන්දිගානේ කෑ ගසන චොප්පෙ අයියලා ජනතා ව්‍යාපාරයක ගැටලූවක් විසඳන්නට සමත් වන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ ජනතාව වෙනුවෙන් වැඩකරන, හ`ඩ නගන මිනිසුන් පෝරකය වෙත ගෙනයාමට සහායවීමයි. එය, ජනතා ව්‍යාපාරයේ ගෙල සිඳීමට ජනතා සතුරන්ට අවිසැපයීමකි. එවැනි ද්‍රෝහී වුවමනාවන් වෙනුවෙන් පුවත්පත භාවිත කිරීමට අප කිසිදු ඉඩක් ලබාදුන්නේ නැත.

එහෙත්, පුවත්පත් කාර්යාලයට පැමිණි ‘ලංකා’ අධ්‍යක්ෂ මහතුන් දෙදෙනා කටයුතුකරන්නේ කල්තබා කළ සැලසුමකට අනුව බව පසුව පැහැදිලි විය. පළමු අවස්ථාවේදී දැඩි වාද විවාදකිරීමකින් පසුව, ලිපිවල අන්තර්ගතය පිළිබඳ සෑහීමකට පත්වන බව පවසමින් ඔවුහු සිනාමුසුව පිටව ගියහ. ඉන්පසුව පුවත්පත නතරකිරීමේ පටුවුවමනාව නිසා දෙවැනි පියවරකට යමින් ඔවුන් මුද්‍රණාලයට ලිඛිතව දන්වා තිබුනේ සැප්තැම්බර් 25 ‘ලංකා’ පුවත්පතේ අන්තර්ගත ලිපි පිළිබඳව තමන් වගකීමක් නැති බැවින් එය මුද්‍රණයකිරීම නතරකරන ලෙසයි. ඒ වනවිටත් පුවත්පත මුද්‍රණයකර අවසන් නිසා දෙවන පියවර විසින්ද ජනතාව වෙනුවෙන් අප ලියු දේ නතරකිරීමේ අරමුණ ජයගන්නට ඔවුහු අසමත් වූහ. ඉන්පසු ඔවුන් නතර වූයේ ‘ග‍්‍රෑන්ඞ්පාස්’ පොලිසියේය. රාත‍්‍රියේ බෙදාහැරීමට සූදානම්කළ ‘ලංකා’ නතර කිරීමට ඔවුහු කුමන්ත‍්‍රණකාරී ලෙස කටයුතු කළහ. ඒ නතර කළේ පුවත්පතේ අන්තර්ගතයට තමන්ගේ විරෝධයක් නැතැයි කියමින් පිටව ගොස් පැය කිහිපයක් තුළය. ඔවුන් විසින්ම කළ බාධාකිරීම් අභිබවන්නට කි‍්‍රයාකිරීමේදී අප අතින් සිදුවූ ප‍්‍රමාද දෝශයක් නිසා මුද්‍රණ වගකීම සඳහන් වී නොතිබුණු හේතුව පෙන්වමින් පුවත්පත එක්දිනකට නතරකරන්නට ඔවුහු සමත් වූහ. එනම් කුමන්ත‍්‍රණයේ තුන්වැනි පියවර ජයගන්නට ඔවුන්ට හැකි විය.

එහෙත් වෙළෙඳ පොළේ පුවත්පත නොමැතිවීම නිසා පසුදින ‘ලංකා’ කාර්යාලයට ලැබුණු දුරකතන ඇමැතුම් දුන් පාඨකයන්ට පවා ඇතිව තිබෙන ගැටලූව හෙලිකරන්නට අප උත්සාහ කළේ නැත. අප විසින් අද දක්වා සිටින ස්ථාවරය වන්නේ වෙනත් ජනමාධ්‍යලින් ගෙනයන ප‍්‍රචාරවලට අලගු තබන්නට පුවත්පත යොදාගතයුතු නැති බවයි. පාඨක සහෘදයන්ට අප පොරොන්දු වූයේ ‘මුද්‍රණය’ ප‍්‍රමාද නිසා පුවත්පත ප‍්‍රමාදවුවත් ඊළඟ උදයේ පුවත්පත ලබාදෙන බවයි. මුද්‍රණයවන පුවත්පත පිළිබඳ වගකියන්නට නොහැකි පුද්ගලයන් ඒ වගකීමෙන් නිදහස්කරමින් මුද්‍රිත සෑම පුවත්පතකම කර්තෘවරයාගේ මුද්‍රණ වගකීම දැක්වෙන මුද්‍රාවක් සලකුණු කරමින් අප ඒ අභියෝගය ජයගතිමු. සැප්තැම්බර් 23වැනිදා වෙළෙඳපොළේ නොතිබුණු ‘ලංකා’ 24වැනිදා ජනතාව අතට පත් විය.

කෙසේවෙතත් සිය කුමන්ත‍්‍රණකාරී පියවර අසාර්ථකවූ බව දැනගත් කුමන්ත‍්‍රණකරුවන් විසින් ‘සටන් කරන අකුරු’ දුබලකිරීමේ පියවරකට මාරු වී තිබිණි. 26වැනිදා නුගේගොඩ, දෙල්කඳ පිහිටි ‘ලංකා’ කාර්යාලයට පැමිණි පෙරකී අධ්‍යක්ෂවරන් දෙදෙනා සිය පටු වුවමනාවන් සැඟවූ වෙනත් කරුණු ඉදිරිපත්කරමින් සහ ප‍්‍රධාන කර්තෘවරයාට අභූත චෝදනා නගමින් කර්තෘ මණ්ඩලය බේදකරන්නට ඔවුහු සමත් වූහ. බරපතල මවිසින් විශ්වාසය කඩකර ඇති බවත්, බරපතල විෂමාචාර සිදුකර ඇති බවත් පැවැසුවද ඒ මොනවාදැයි කියන්නට ඔවුහු අසමත් වූහ. තවද කතුවරයාගේ හැසිරීම තනතුරට නොගැලපෙන්නක් හා ආයතනයේ කීර්තිනාමයට හානියක් බවද දක්වා තිබිණි. ‘ලංකා’ පුවත්පත නවතාදැමියයුතු බවට වූ ඔවුන්ගේ අරමුණ පළමු බාධාකිරීමේදී ප‍්‍රකාශ කෙරිණි. ඒබව ඔවුන් ඉදිරිපත්කළ කුමන්ත‍්‍රණකාරී ලිපියේ ද සටහන් වී තිබිණි.

ප‍්‍රධාන කර්තෘවරයාගේ සේවය අත්හිටුවන්නට තීරණය කළ බව කියමින් කිසිදු නිල වලංගුභාවයක් නැති පරිගනකයෙන් ටයිප්කළ ලිපියක් ඉදිරිපත්කරන ලදී. අවම වශයෙන් කරුණු වශයෙන් චෝදනා පත‍්‍රයක් නැතිව, මූලික විමසීමක්වත් නොමැතිව එවැනි පියවරකටයාම විසින්ම ඔවුන්ගේ කුමන්ත‍්‍රණකාරි බව හෙළි විය. ‘ලංකා’ කාර්යාලයේ දසවසරක් කළ කැපකිරීම් ඔවුන්ට එක රැුයකින් අමතක කරන්නට හැකි නම්, සෙසු සදාචාරයන් රකින්නට මේ අයට හැකිදැයි පළමුවරට අවබෝධ විය. ලිපිය භාරගැනීම කතුවරයා වශයෙන් මා ප‍්‍රතික්ෂේප කළේ සියලූ අවස්ථාවන්හි විධිමත්භාවයකින් කටයුතුකරන්නට කැමැති බව පවසමිනි.

පුවත්පත නතරකිරීමේ වුවමනාව දැඩිව අවධාරණය කරගෙන ඔවුන් විසින් කටයුතුකරන බව එසේ සනාථ විය. ‘සටන් කරන අකුරු’ වෙනුවෙන් වැඩකල සාමුහිකත්වය මරා දමා ඇති තත්වයක බේදභින්න කරන ලද ‘ලංකා’කාර්යාලය අමුසොහොනක් මෙන් විය. තවදුරටත් එහි රැුඳී සිටිමින් ‘සටන් කරන අකුරු’ රැුැකගන්නට නොහැකි බව බොහෝ දෙනාගේ අදහස විය. ඉන්පසුව ඉදිරි ‘ලංකා’ පුවත්පත වෙනුවෙන් වැඩකිරීමේ කාලය උදා විය. සැබැවින්ම එය ධෛර්යවන්ත පිරිසකගේ සාමුහික කැපවීමේ ක‍්‍රියාදාමයක් විය. පරිගණක ශිලිපීන් විසින් තම නිවෙස්වල හා හිතවතුන්ගේ නිවෙස්වල පරිගණකවලින් ලිපි ටයිප්කර ඊමේල් මගින් ලබාදෙන ලද අතර පිටුසැකසීම ද එලෙසම අන් ස්ථානයක සිදු කෙරිණි. මේ සියල්ල ඉටුකිරීමේදී  කර්තෘ මණ්ඩලය මෙන්ම සෙසු කාර්ය මණ්ඩලවල සොයුරු සොයුරියන් දිවා ? හෝ ආහාර වේල ගැනවත් නොබලා වෙහෙසුණහ. ඔක්තෝබර් 02වැනිදා ‘සටන් කරන අකුරු’ පනගැන්වුනේ එවැනි මහා ව්‍යයාමයක ප‍්‍රතිඵලයක් ලෙසිනි. එය කිසිවකුගේ පටු අරමුණක් වෙනුවෙන් ගත් වෙහෙසක් නොවීය. ඒ වෙනුවට එය, ‘සටන් කරන අකුරු’ නොනැසී පැවතිය යුතුයැයි නිවැරැුදිව වටහාගත් පිරිසකගේ දැනුවත් අරගලයක් විය. ජනතාව වෙනුවෙන් හ`ඩනගන්නට අප විසින් සාමුහිකව ගොඩනැඟූ පුවත්පතේ අකල් මරණයක් දකින්නට අකැමැති වූ ඔවුහු මහා දාර්ශනික න්‍යායන් හෝ හැඟුම්බර විලාපයන් වෙනුවට, දවසේ කාර්යභාරය වෙනුවෙන් එක් තීන්දුවකට පැමිණියහ.

එහෙත්, එවර ඔවුහු ‘සටන් කරන අකුරු’ නතරකරන්නට ගලකිස්ස පොලිසියේ සහාය ලබාගත්හ. බොහෝ ධෛර්යයෙන් හා දුෂ්කරතා විඳිමින් සටහන් කළ ‘සටන් කරන අකුරු’ 29වැනිදා රාත‍්‍රියේ පොලිස් අත්අඩංගුවට පත් විය. බල්ලො මරා හෝ සල්ලි හොයන සමාජයක, තරු පටි ගැසු නිලධාරින් ඉදිරියේ පුවපත්කලාවේ ගෞරවය හෑල්ලූකරන්නට උත්සාහ දරන ලදී. එහෙත් ඒ මධ්‍යම රාත‍්‍රියේ වුවද අප දරන මතය වෙනුවෙන් පෙනීසිටීම සඳහා පොලිසිය වෙත යන්නට පැකිලීමක් ‘ලංකා’ කර්තෘ මණ්ඩලයට තිබුනේ නැත. පොලිසි, උසාවි හෝ සිරගෙවල් පමණක් නොව, ටයර් සෑය හමුවේ පවා තම මතය වෙනුවෙන් නොසැලී පෙනී සිටි ආදර්ශයන් අප ඉදිරියේ පවතී.

පසු දින එනම් 30වැනිදා අධිකරනයේදී කල්තබා සූදානම්කරගත් කරුණු  මත තර්ක ඉදිරිපත් කරමින් ඔවුහු පුවත්පත ජනතාව අතට පත්වීම වැලැක්වීමේ අවශ්‍යතාවය ඉටුකරගත්හ. ඉන් පසුව, 5වැනිදා සිදුවූයේ ‘සටන් කරන අකුරු’ සඳහා යුක්තිය ඉටුවීම දෙසැම්බර් 14 දක්වා කල්යාමය.

දැන් කාරණය පැහැදිලිය. එහෙත් අපි පසුබා යන්නට සූදානම් නැත. ජනතාව වෙනුවෙන් ලියූ අපේ පෑන ඉදිරියටත් ලියන සෑම අකුරක්ම ජනතා අරගලයේ වුවමනාවන් වෙනුවෙන්මය. අපි නැවත කියමු. පොලිසි, උසාවි හෝ සිරගෙවල් පමණක් නොව, මියයන මොහොත දක්වා පත්තරකාරයන් වශයෙන් අපට ඒ හැර තෝරාගන්නට විකල්පයක් ඉතිරිව නැත. ‘සත්‍ය ලේ සාගරයක ගිල්වා වුව මරාදැමිය නොහැකිය’ මක්සිම් ගෝර්කිගේ කියමන සනාථ කරමින් අපි වැඩකරමු.

‘ජනරළ ඉරිදා සංග‍්‍රහය’ ඔබ අතට පත්කරන්නේ තවතවත් ධෛර්යමත් වූ අපේ හෘද සාක්ෂිය සමගය. මේ අලූත් සටන් සගයා ඔබ වෙත එන්නේ ‘සටන් කරන අකුරු’  ජනතා අරගලයේ පෙරමුනු සගයකු ලෙස නොසැලී සිටිනු ඇති බවට ශපථ කරමිනි.

සාප නොකරන්, මහත්වරුනේ !

‘‘ළමුන් දෙදෙනා යොදවා සොරකම් කළ වටිනා භාණ්ඩ අතර සෙල්ලම් කාර් දෙකක්’’

-    පුවතක්

රට ගැන හිතන, ටීවී බලන
මහත්වරුනි, කරුණාවන්ත
සාප නොකරනු මැන
අපේ මවුපියන්ට….
නොදරුවන් සොරකමේ යැවු වරදට

සමාජ ශෝධකයිනි,
රහසින්වත් පවු නොකරන
පේන නොකියන්
‘අපොයි මේ මුං පුංචි කාලෙනෙ
තව ලොකු වුනොත් රටම කයි’
දැනටම අපට කන්න දෙයක් නැතුවා

පත්තරකාර මහත්වරුනේ
නොඅසන් මයික් අල්ලා
‘‘ඇයි සොරකම් කළේ නුඹලා?’’
උපන් ගෙයි හොරුන් මෙන්
මානනු එපා කැමරා අප වෙත

අහන්න බැරිද ඔබට
‘ඇයි දරුවනේ නුඹලාට
සිද්ද වුනේ සොරකම් කරන්න ?’
අහන්න බැරි ඇයි
‘මේ තත්වයට ඔබ
ඇද දැමුවෝ කවුරුන්ද?’

සොයන්න බැරිනම් උත්තර
අහන්න ඒවා….
පාඨකයන්ගෙන්
පේ‍්‍රක්ෂකයන්ගෙන්
එස්එම්එස් ගෙන්වන්න නොව,
ඔවුන්ටම හිතන්න !

ජූලියස් ෆුචික් – ‘ජාත්‍යන්තර පුවත්පත්කලාවේදීන්ගේ සහයෝගිතා දිනය’

චෙකොස්ලොවැකියානු පුවත්පත්කලාවේදියකු හා කොමියුනිස්ට්වාදියකු වූ ජූලියස් ෆුචික්, නාසිවාදීන් විසින් අත්අඩංගුවටගෙන මාස ගණනක් වධ දී මරාදමනු ලැබුවේ සැප්තැම්බරයේ අද වැනි දිනකය.
ඔහු ගැන දැනගන්නට හැකි හොඳම දේ වධකාගාරයේ හිඳ ඔහු විසින් ලියූ දේ කියැවීම ප‍්‍රයෝජනවත්ය. සිරකුටියේදී රහසින් ලැබූ සටහන් ඇතුළත් කෘතියක් පසුකාලයක Notes from Gallows නමින් පළ කෙරිනි. පහත සඳහන් උධෘත, සිතිජය මාධ්‍ය සංසදය විසින් එය පරිවර්තනය කර 1997දී පළ කළ ‘පෝරකයේ සටහන්’ කෘතියෙන් උපුටා ගත්තකි.
ෆුචික් එල්ලා මරාදමනු ලැබුවේ 1943 සැප්තැම්බර් 8වැනිදාය. ඒ වෙනුවෙන් ‘ජාත්‍යන්තර පුවත්පත්කලාවේදීන්ගේ සහයෝගිතා දිනය’ ලෙස සැප්තැම්බර් 8වැනිදා නම්කරන ලදී.

අපගෙන් කී දෙනෙකු උගුලට හසුකොටගෙන ඇත්දැයි මුලදී මම නොදැන සිටියෙමි. සැළසුම් කර තිබුණු පරිදි අන්‍යයන්ගේ පණිවුඩයක් ලැබෙනතුරු බලා සිටීමට තීරණය කළෙමි. ඒ බලා සිටීම නිශ්ඵල විය. මසක් ගතවන විට වඩා දුරදිග යන කිසියම් දෙයක් සිදුව ඇති බව පැහැදිලි විය. පිටතින් පණිවුඩ ලැබෙනතුරු පමණක් බලා සිටීම ප‍්‍රායෝගික නොවේ. එහෙයින් ඇතුළත සිට සම්බන්ධකම් ගොඩනගා ගැනීමට උත්සාහ දැරුවෙමි. අන්‍යයන් ද එයට එකතු විය. පළමුවෙන්ම මා හඳුනාගත් සාමාජිකයා වූයේ මධ්‍යම බොහිමියානු කලාප නායක ‘හොන්සා විස්කොසිල්’ය. ආරම්භක පියවරයන් ගණනාවක් ඔහු සතුව පැවැති අතර ඒවන විට ‘රතු අයිතිය’ පුවත්පත නැවත ප‍්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය එක් රැුස්කර තිබිණ. එවිට ක්ෂේත‍්‍රයට පුවත්පතක් අහිමිව කි‍්‍රයාත්මක වීමට සිදුනොවනු ඇත. ආරම්භක කර්තෘ සටහන මා විසින් ලියන ලදුව, මෙතෙක් එකතුකර තිබුණු ලිපි ‘රතු අයිතිය’ නාමය යටතේ ප‍්‍රකාශනය නොකොට ‘මැයි පුවත්පත’ යන නාමයෙන් පළකිරීමට තීරණය විය. අන්‍ය දේශපාලන පක්ෂ විසින් ද එබඳුම තනි කලාපයේ ප‍්‍රකාශන නිකුත්කර ඇත්තේ ක‍්‍රමානුකූලව පුවත්පතක් සංස්කරණය කරමින් පවත්වාගෙන යාමට නොහැකි වූ නිසාය.

මීළඟ මාසයත් පක්ෂ වැඩකටයුතු සඳහා යොදවනු ලැබීය. කොපමණ දරුණු වුවද එම ප‍්‍රහාරයෙන් පක්ෂය මරා දැමිය නොහැකි විය. පහර කා ඇද වැටුණු කම්කරුවන් අතින් ගිලිහෙන පක්ෂ ධජය අතට ගැනීමට සිය ගණන් කම්කරුවෝ පෙළ ගැසුණහ. ඔවුන්ගේ ජීවගුණය සහ කැපවීම නිසා පක්ෂය තුළ අකර්මන්‍යබවක්, පරාජිතවාදී හැඟීමක් හෝ මූලික සංවිධානවල පරිහානියක් සිදු නොවන්නට වග බලාගත හැකිවිය. මධ්‍යම සංවිධානය අතුරුදහන් වී තිබිණ. පක්ෂ කණ්ඩායම්වල වැඩ කටයුතු අනතුරුදායක අඩියක තිබිණ. ඉතා වැදගත් අවස්ථාවෙහි නායකත්වය අහිමි වී තිබි. සතුරා විසින් සෝවියට් දේශයට පහරදීම නිසා එය එසේ විය.

——————————————————————————–

අපගේ බරපතල පරාජයන් සෑම දෙනාම පරීක්ෂාකාරී ස්වභාවයට පත්කර ගොදුරු බවට පත්වීම වලකාගැනීමට මග පාදා තිබිණි. පෙර පැවති මධ්‍යම කමිටු සාමාජිකයන් දෙදෙනකු පමණක් විවිධ පරීක්ෂාකිරීම් සිදුකර කිසිවකුත් පාවාදීමට ද්‍රෝහීවීමට ගොදුරුවී නැති බව සැක හැර ගත යුතු වීය. කිසිවකු උපක‍්‍රමිකව ඔවුන් භාවිතා කරනවාද විය හැකිය. ප‍්‍රධානතම අවයව හානිය වූයේ මා සම්බන්ධකම් තබාගත යුතු පුද්ගලයා කවරකු දැයි නොදැන සිටීමයි.

අවසානයේ අප දෙදෙනා අතර කි‍්‍රයාත්මක විය හැකි පණිවිඩවලට මැදිහත්කරුවකු ලෙස යෙදවිය හැකි පුද්ගලයකු හමුවිය. ඔහු දොස්තර ලොෂ් නෙඞ්වෙඞ් නම් තරුණයාය. 1941 ජූනි මාසයේ මම අසනීපවීමෙන් මිලොෂ්ව, මා සැඟවී සිටි බැක්සා නිවෙස වෙත කැඳවීමට ලිඩා යවනු ලැබිණ. ඔහු ඉක්මනින්ම පැමිණියේය. ප‍්‍රවේශමෙන් කළ කතාබහේදී ඔහු කීවේ ‘රතු අයිතීන්’ පුවත්පතේ කර්තෘ සටහන ලියූ පුද්ගලයා සොයා ගන්නා ලෙස ඔහුට දැනුම් දී තිබෙන බවයි. ඒ මා බවට සැකයක් නොවීය. ඒත් සෑම සහෝදරයකුම විශ්වාස කළේ මා අත්අඩංගුවට ගෙන මරා දමා ඇති බවකි.

1941 ජූනි 22වැනිදා හිට්ලර් සෝවියට් දේශයට පහර දුන්නේය. චෙකොස්ලෝ-වැකියාවේ අපට එහි බලපෑම පිළිබඳ සඳහන් කරමින් හොන්සා විස්කෝසි සහ මම මුල්වී පත‍්‍රිකාවක් පිට කළෙමු. මා මෙතෙක් කල් හමුවීමට බලා සිටි පුද්ගලයා ජූනි 30 වැනිදා හමුවීමට හැකි විය. ඔහු හමුවිය යුත්තේ කවුදැයි දැන සිටි නිසා මා යවා තිබූ ලිපිනය වෙත පැමිණියේය. කෙසේ වුවත් මම ඔහු කවුරුන්දැයි දැන නොසිටියෙමි. ඒ වසන්ත රාත‍්‍රියකි. අකාසියා මල්, සුළඟ සුවඳවත් කළේය. එය පෙම්වතුන්ගේ හමුවකට උචිත රැුයකි. අපගෙන් කිසිවකු කතා කිරීමට පෙරාතුව අපි ජනේලය ආවරණය කළෙමු. මම විදුලි බුබුල දැල්වූ පසුව එකිනෙකා වැළඳගත්තෙමු. ඔහු හොන්සා සිකා ය.

1941 පෙබරවාරියේදී මුළුමහත් මධ්‍යම කමිටුවම අත්අඩංගුවට ගෙන නොතිබිණි. එක් තනි සාමාජිකයෙක් තාමත් පුළුල් වශයෙන් කි‍්‍රයාකාරී විය. මම ඔහු ගැන බොහෝ කලක් දැන සිටි අතර ඉමහත් ඇල්මකින් පසුවූයෙමි. එහෙත් අපට හමුවීමට හැකි වූයේ මෙසේ කි‍්‍රයාකාරී වීමේදී පමණි. තවදුරටත් අප එක්ව කටයුතු කළෙමු. ඔහු මිටි, ගෝලාකාර මිනිසෙකි. නිතර සිනා මුසු, මාමා කෙනෙකුගේ චරිතය ඇති ඔහු පක්ෂ කටයුතු වලදී හුදෙක් සාකච්ඡුාවෙන් එකඟ නොවන, තීරණාත්මක හා කැපවූ මිනිසෙකි. කළයුත්ත මනාව දැන සිටි එහෙයින්ම ඊට අමතරව කිසිවක් නොසැලකූ හෙතෙම සිය වගකීම වෙනුවෙන් හැම දෙයක්ම සැක කරමින් කිරා මැන බැලීය. ජනතාවට ආදරය කළ හෙතෙම ජනතාවගේ ආදරයට පාත‍්‍ර විය. එහෙත් කිසිවිටෙක ඔවුන්ගේ දුර්වලකම් කවටකමින් හෝ ඉච්ඡුාවෙන් අමතකකර ඔවුන් දිනා ගැනීමට උත්සාහ නොකළේය.

——————————————————————————–

මම, පුවත්පත් කලාවේදියා වීමි. දේශපාලන උද්ඝෝෂකයකු ලෙස දේශපාලන ඉව මත රඳා පැවතීමට මට සිදුවිය. එක්සත් බව හා සමබරතාවය රකින්නකුගේ චරිතය ද මට හිමිවිය. අපගේ වගකීම් බෙදාගැනීම සිදුවූයේ හුදෙක් වැඩ පිළිබඳව නොව, වැඩවලට අදාළ වගකීම් පිළිබඳවය. අපි හැමදෙනාම අත් අල්ලාගෙන එකිනෙකාගේ වගකීම් අතු අතු විහිදී ගිය ස්වභාවය අල්ලා ගන්නට නිදහස් වශයෙන් වන අරගලයන් විය. පෙබරවාරියේදී පක්ෂය මත පතිත වූ ප‍්‍රහාරයත් සමඟ කඩා බිඳ වැටුණු සම්බන්ධකම් කිසිවිට නැවත ඒ තත්වයෙන්ම ගොඩනැගීමට අපට නොහැකි විය. පක්ෂයේ ඇතැම් ශාඛා සංවිධාන මුළුමනින්ම කුඩුපට්ටම්කර දමා තිබිණි. අන් කොටස් නැවත ගොඩනංවන ලද නමුත් ඒවා නැවත පූර්ණ ලෙස ගොඩනැගිය හැකි දේවල් නොවීය. ඇතැම් කම්හල්වල හෝ ප‍්‍රදේශවල පවා කම්කරු සංවිධාන හුදකලාව දිගු කලක් කි‍්‍රයාත්මක වෙමින් පැවතුණි. අපට කළ හැකිව තිබුණේ පක්ෂයේ මධ්‍යම ප‍්‍රකාශන ඔවුන් වෙත ලැබෙන්නට සැලැස්වීම සහ ඒ අනුව දේශපාලන තීරණ ගැනීමට මගපෙන්වීම පමණි.

යන්තමින් හෝ ජීවත්වීමට පවා නිශ්චිත ස්ථානයක් නොතිබීම නිසා වැඩකටයුතු දුෂ්කර විය. මීට පෙර යොදාගත් නිවෙස් ඒ සඳහා යොදාගන්නවාට වඩා එම ප‍්‍රදේශයේ පොලිස් ඇසට ලක්වීම පිළිබඳව යමක් කළ යුතු විය. එසේ වුවත්, සෝවියට් දේශයත් පහරදීමෙන් පසුව අරගලය එයට එරෙහිව කි‍්‍රයාත්මක කිරිමද අවශ්‍යතාවයකි. ආක‍්‍රමණිකයාට එරෙහි අරගලය ගෙනයාම, අපගේ වගකීමක් විය. කඩාකප්පල් කිරීම මඟින් ද සතුරා බිඳ දැමිය හැකිය. ඒ සඳහා අපගේම බලවේග යෙදය යුතු නොවේ. එහෙත් මුළුමහත් චෙක් ජාතියම එතැනට යෙදවිය යුතු නොවේ. 1939 සිට 1941 දක්වා රහසිගත දේශපාලනයෙහි සූදානම් වීමේ අවධිය ලෙස සැලකීම දැන් පවතින දැඩි මර්දනය තුළ සම්පූර්ණ සංවිධාන ශක්තිය ජය ගැනීම දුෂ්කරය. එහෙයින් පවතින සංවිධාන ශක්තිමත් කර අතරතුර පක්ෂයට අයත් නොවන ජනතා අතරට යාම ද පවතින තීරණාත්මක තත්වය තුළ අරගලයට දායක වන ලෙස ඉල්ලීම ද සිදුකෙරුණි. එමගින් ජාතියම අරගලයට බද්ධ කිරීමටත්, එමගින් අරගලයට ප‍්‍රචාරයක් ලබා ගැනීමත් සිදුවිය.

1941 සැප්තැම්බරයේ ඇරඹෙන විට අපට පක්ෂ සංවිධානය ගොඩ නගාගත නොහැකි වුවද හොඳින් සංවිධිත වූ අභ්‍යන්තර සංවිධාන ගොඩනගා ගත හැකි විය. පක්ෂ කටයුතුවලට ප‍්‍රසිද්ධියක් ලැබෙන්නට විය. කඩාකප්පල්කිරීම් සහ වැඩ වර්ජන පැන නැගුණි. සැප්තැම්බරයේ ‘හෙඞ්රිච්’ ලබා නැවත පක්ෂය වැනසීමට කි‍්‍රයාකිරීම ඔවුන්ට සිදුවූයේ එනිසාය.

——————————————————————————–

අපි සංකීර්ණ, දිගින් දිගට ඇදෙන පක්ෂයේ පණිවිඩ ක‍්‍රම වෙනුවට නව උපක‍්‍රම භාවිතා කළෙමු. ඒවා තිබියදීම 1941 පෙබරවාරියේදී පක්ෂ කමිටුව ආරක්ෂා විරහිත විය. එසේම, පාවාදීම් හා පුද්ගලයන් ලෙස හෙළිදරව්වීම සිදුවිය. එහෙයින් අපි පක්ෂ මූලස්ථානය ආරක්ෂා සහිත ස්ථානයකට ගෙනගියෙමු.

පෙබරවාරියේදී මෙන් කිසිදු අනාගත ප‍්‍රහාරයකින් පක්ෂය අඩපණ කළ නොහැකි විය.

මා අත්අඩංගුවට ගන්නා විට ද මධ්‍යම කමිටුව සාමාන්‍ය ආකාරයෙන් කටයුතු කරගෙන ගියහ. මගේ අනුප‍්‍රාප්තිකයා මා වෙනුවට පැමිණි අතර කිට්ටු සගයන්ට පවා කිසිදු වෙනසක් නොදැනුනි. 1942 මැයි 27 රාත‍්‍රියේදී ‘හොන්සා සිකා’ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ද සම්පූර්ණ අහම්බයකි. ඒ, ‘හේඞ්රිච්’ ඝාතනය කරන ලද දිනට පසු දිනයයි. ප‍්‍රාග් නුවර පුරා වැටලීම් සිදුවිය. සිකා රහසිගතව නැවතී සිටි ස්ට්‍රෝෂෝවිස්ගේ නිවසට පැමිණියහ. ඔහුගේ ලියකියවිලි නිවැරදි ලෙස, ව්‍යාජ තොරතුරු මත සකස්කර තිබුණි. ඔහු සාමාන්‍ය ලෙස හැසිරුනේ නම් ඔවුන් ඔහුව හඳුනාගන්නේ නැත. කෙසේවෙතත් සත්කාරකරුවන්ගේ ආරක්ෂාව ද අවදානමට ලක්වූයේ ඔහු දෙවන මහලේ කවුළුවකින් පැන යාමට උත්සාහ ගන්නා විට ය. පහළට ඇදවැටීමෙන් ඔහුගේ කොඳු ඇට පෙළ මාරාන්තික අන්දමින් තුවාල වී බන්ධනාගාර රෝහල වෙත ගෙන යන ලදී. තමන් අත තැබුවේ කවරකුගේ සිරුරටදැයි ඔවුන් දැන සිටියේ නැත. දින 18ක් තිස්සේ කරන ලද ඡුායාරූප සැස`දීමෙන් හා සොයාබැලීම්වලින් පසු එය සොයාගනු ලැබිණි. ‘පෙට්චෙක්’ ගොඩනැගිල්ලේ වධබන්ධනය සඳහා ගෙන එන ලදුව, මා ඔහු වෙත ගෙනයන ලදී. අපි අතට අත දීමු. ඔහු සිය පුළුල්, කාරුණික සිනාව මා වෙත හෙලීය.

‘‘උඹ ප‍්‍රවේශම්වෙයන්… ජුලෝ…!
ඔවුන් ඔහුගේ මුවින් පිටවනු ඇසූ එකම වචන පෙළ එයයි. අන් කිසිදු වචනයක් ඔහුගෙන් පිටකර ගැනීමට අසමත් වූහ. මුහුණට එල්ලකරන ලද ප‍්‍රහාර කීපයකින් ඔහු විසඥ විය. පැය කීයකින් ඔහු මියගියේය.

——————————————————————————–

1942 වසන්තයේදී හොන්සා චර්නි අත්අඩංගුවට ගැනුණි. එය අහම්බයක් නොවීය. ජාන් පොකොර්නිගේ පක්ෂ විනයට පටහැනි හැසිරීමක් ඊට හේතු විය. හොන්සා සමඟ ඍජු සම්බන්ධකම් තිබුණු පොකොර්නි, කණ්ඩායමේ නිළධාරියකු ලෙස වගකීමෙන් කි‍්‍රයා කළේ නැත. පැය කීපයක් වධදීමෙන් පසුව, (ඒවා තදබල වධදීම් විය හැකිය* නමුත් අප අන් යමක් බලාපොරොත්තු වී නොමැත… වධදීමෙන් තිගැස්මට පත් හෙතෙම, හොන්සා තමන්ට හමුවන ස්ථානයේ ලිපිනය ගෙස්ටාපෝවට හෙළිකළේය. එතැන් සිට ඔවුන් හොන්සා චර්නි ගැන සෙවීම ඇරඹුහ. දින කිහිපයකින් ඔහු අල්ලාගත හැකි විය.

ඔහු අල්ලා ගත් විගසම හඳුනාගැනීම පිණිස මා ඇද ගෙන යන ලදී.
‘‘උඹ දන්නවාද මූව?’’
‘‘නෑ’’
ඔහු ද මා දන්නා බවක් හෙළි නොකළේය. කිසිදු ප‍්‍රශ්නයකට පිළිතුරු දීම ද ඔහු විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. ඔහුගේ පැරණි තුවාලය වධ වේදනාවෙන් ඔහුව ගලවා ගන්නා ලදී. ඉක්මනින්ම ඔහු විසඥ විය. දෙවැනි වධබන්ධනයකට පෙර ප‍්‍රෙවේශමෙන් කළ දැනුම්වත්කිරීම් මගින් ඔහුට මඟ පෙන්වීමට හැකි විය.

ඔවුන්ට ඔහුගෙන් කිසිවක් හෙළිකරගත නොහැකි විය. දිගු කලක් හොන්සා සිරගෙදර තබාගත් ඔවුන් අපේක්ෂා කළේ ඔහුගේ නිහඬතාවය බිඳ දැමීමට යම් සාක්ෂියක් සපයා ගැනීමටය. එහෙත්, කිසිදිනෙක ‘හොන්සා චර්නි’ බිඳහෙලීමට ඔවුහු අසමත් වූහ.
බන්ධනාගාර ජීවිතය ඔහු වෙනස් නොකළේය. නිතරම ධෛර්යය සම්පන්න මිනිසකු වූ හෙතෙම, සිය නිසැක මරණය හමුවේත් නිරන්තරව අන්‍යයන්ට අනාගතය පෙන්වා දෙන සගයෙකු විය.

1943 අපේ‍්‍රල් මස අගදී, හදිසියේම දිනෙක ඔවුන් විසින් ‘හොන්සා’ ඉවතට ගෙන යන ලදී. ඒ කොහේටදැයි නොදනිමි. මෙබඳු හදිසි අතුරුදහන්වීම් වලින් සැමවිටම සිදුවෙන දේ පිළිබඳ ඉඟියක් අපට ලැබේ. මා වැරදි විය හැකිය. ඒත්, නැවත ඔහු හමුවීමට හැකිවේයැයි අපේක්ෂාවක් මා වෙත ඉතිරිව නැත.

මරණය විසින් නිතරම අප පරදුවට තබයි. ගෙස්ටාපෝව අතට පත්වීම යනු අවසානය බව අපි දනිමු. එහෙයින්ම, හසුවීමෙන් පසුවත් පෞද්ගලිකව මෙන්ම අන්‍යයන් හා ගනුදෙනු කිරීමේදීත් ඊට උචිත ලෙස කටයුතු කළෙමු. මගේ නාටයකය අවසන්වීමට ආසන්නය. එම අවසානය ගැන සටහන් කළ නොහැකි වනු ඇත. එය කෙබඳු අවසානයක්වනු ඇත්දැයි මම තවමත් නොදනිමි. මෙය තවදුරටත් නාටකයක් නොවේ. මේ සැබෑ ජීවිතයයි.

අවසන් ජවනිකාව ර`ගදැක්වීම සඳහා තිරය එසැවෙයි. මම නුඹලාට ආදරය කරමි. මිත‍්‍රවරුනි, ආරක්ෂා වන්න!

ජූලියස් ෆුචික්

‘පෝරකයේ සටහන්’

සිතිජය මාධ්‍ය සංසදය

ජූලියස් ෆුචික් සැමරෙන වෙනත් ලිපියක්

YA TV interview

Chandana Sirimalwatte from Young Asia Television on Vimeo.

සුළෙඟ් දැවටෙන තතු – Blowin in the wind

කෙතරම් දුරක් මග ගෙවා යායුතුද
මිනිසකු බව ඔහු ඔබ පිලිගන්නට
කෙතරම් දුර සුදු පරෙවියකු යායුතුද
වාලූකාවේ ඉසිඹුවක් ලබන්නට
වෙඩි උණ්ඩ සදහට නිහ`ඩ කරන්නට
කොපමණ වෙඩි අපි මුදාහරිමුද
පිළිතුර ඇත්තේ මගෙ මිතුරේ
හමන සුළෙඟ පමණයි

කන්දක් සේදී යනු පෙර මුහුදට
තිබියුතුද කොපමණ කාලයක්
නිදහස ලබනා දින එළඹෙන තෙක්
මිනිසුන් කොතරම් කලක් දිවි රැුකගන්නද
කොපමන දවසක් හිස හරවන්නද
කිසිවක් නොපෙනෙන බව අඟවන්නට
පිළිතුර ඇත්තේ මගෙ මිතුරේ
හමන සුළෙඟ පමණයි

අහස කුසම හරිහැටි දැක ගන්නට
මිනිසකු කොපමන හිස ඔසවන්නද
කොපමණ කන් මිනිසකුට අවැසිවෙද
මිනිසුන් හ`ඩනා බව දැනගන්නට
කොපමන පිරිසක් මිය යාතු වෙද
මිනිසුන් මියයන බව දැනගන්නට
පිළිතුර ඇත්තේ මගෙ මිතුරේ
හමන සුළෙඟ පමණයි

——————————————————————————

‘Blowin in the wind’ on YouTube

මෙහි පළවන්නේ
බොබ් ඩිලන්, Bob Dylan (Robert Allen Zimmerman) නමැති අමෙරිකානු ගායකයා විසින් ලියා ගායනා කළ , “Blowin’ in the Wind“,  නමැති ජනප‍්‍රිය ගීතයේ පරිවර්තනයයි. ඔහු ගැයු මෙම ගීතය සහ  ‘The Times They Are a-Changin’ යන ගීතය, අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයටත්  ‘වියට්නාම යුද විරෝධී ව්‍යාපාරයටත් මහත් ජවයක් ගෙන දෙන ලදී.

අප රටේ ‘වීදියේ සටන්කරුවා’ යැයි විරුදාවලි ලද ආචාර්ය ගාමිණි හත්තටෙුවේගම විසින් මෙය මින් පෙර පරිවර්තනය කර සිය වීදි නාට්‍ය සඳහා යොදාගත්තේය. ඔහු විසින් මෙම ගීතය සුගායනීය ලෙස පරිවර්තනය කර තිබුණේ,
‘මිනිසකු වන්නට සුදුසකු වන්නට
මහමං කීයක් තරන කරන්නද’
යනුවෙනි.

කුසගින්නේ සිටිනවුන්ගේ තීන්දුව

තනාපති නිවහනකින් කොස් ගෙඩියක් සොරකම් කළ වරදට දස දහසක් ශරීර ඇප
කොස්ගෙඩිය විනාශ කරන්නට නියෝග

-    අගනුවර අධිකරණයෙන් ඇසුනු පුවතක්

කුස ගිනි ඇවිලෙන විට
සිහිපත් නොවේ නීතිය
මහපුටුවල උත්තමයන් උත්තමාවියන්
කෙසේ නම් වටහාගන්නද
කුසගින්නේ රඟ?

පිටස්තරයන්ය දැන්
ජිවත්වන බිමේ අප…
තානාපතිවරුන් පමනක්ද
විදේශ කොම්පැනිකරුවන්
සූරාගෙන යති අපේ හිමිකම්

වියරුව නැගෙන විට කුසගිනි
නිවනට ආයාචනා කරමු
එවිට….
මුනිවත රකිති නායකයෝ
නිවාගන්නට තැත්කරමු
අපි අපිම කුසගිනි
එවිට….
නීතිය පැමිණේ එරෙහිව

අමාරුවෙන් සොයාගත්
කොස්ගෙඩියද අහිමිය
එයයි නිතියේ පිලිතුර…
මගේ උන් කුසගින්නේ
විනාශ කරති උන් ආහාර
එයයි උන්ගේ යුක්තිය

ඉල්ලා සිටිමු වැඩි වැටුප්
නාස්ති කරති උන් රටේ ධනය
අයිතිවාසිකම් අහිමිව
සුරසැප විඳිති උන් රිසි ලෙස
මේ අවනඩුව විසඳන්නට
සොරකම් කළ යුතුය
උන් අත ඇති බලය

සබඳ අපි කඳු නොවෙමු

‘‘සළන සුසුම සැඩ සුළඟයි
ගලන කඳුළු වැහි වතුරයි
දුකින් වෙලී අන්ධකාරයේ
යන මේ ගමනේ….
අපේ පැතුම් නැවුම් ලොවට
පාර කියනවා….’’
1990 වසරේ කටුගස්තොට ශාන්ත අන්තෝනි ශාලාවේදී ඒ ළයාන්විත ස්වරය සජීවි ලෙස ඇසුවේ ශිෂ්‍යයකු ලෙසය. පේ‍්‍රක්ෂක සමූහය මීයට පිම්බාක් මෙන් නිහ`ඩ කරමින් එහෙත් රසික රසභාව කම්පනය කරමින් ‘කම්පන’ පැමිණියේය. එතෙක් අසා තිබුණු ගුණදාස කපුගේ නම් ගායකයාගේ විශේෂත්වය තුළම නැවුම් හා හෘදයංගම සලකුණක් එදා දැකගත හැකි විය.
සීතල සඳ එළියේ, උන්මාද සිතුවම් ආදී කැසට්පටවලින් ඇසු කපුගේ නම් අපූර්ව ගැඹුරු කටහ`ඩ මේ තරමින් අපගේ මනුෂ්‍ය සිත් ප‍්‍රකම්පනයට ලක්කරවූයේ කෙසේද? ශිෂ්‍යයන් ලෙස අපගේ හදවත්වල විශේෂත්වයක් සටහන් කළ ඔහුගේ පූර්ව ගායනයන් අදත් කපුගේ ගායන අනන්‍යතාවය තුළ ඉන්ද්‍රඛීලයන් බඳුය.
‘‘විදුලි මිණි පහන් දිලී
බොළඳ ගී සිනා රුළි
නිලංකාර අඳුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ….’’
එවකට පාසලේ මිතුරන් අතර ගැයුණු ඒ පදවැල් සමාජ අසාධාරණය පිළිබඳ අප උගත් දෛනික ජීවන අත්දැකීම් විනිවිදිමින් ගැඹුරු මානුෂීය චින්තනයක් කරා අප මෙහෙයවූ සංඥා එළි වූයේය. විශේෂත්වයක් සහිත ගී පදවැල් ඇසෙන මේ රළු එහෙත් ළයාන්විත ගායනය අපගේත් විවිධ වයස් කාණ්ඩවල රසික රසිකාවන්ගේත් ආදර ගෞරවය දිනා සිටින බව පළමුවරට දැකගන්නට ලැබුනේ ‘කම්පන’ ප‍්‍රසංගය රටවටා යන අතරතුරදීය. ඒ වනවිටත් කපුගේගෙන් පළිගන්නට ඔහු ගුවන්විදුලියෙන් ඉවත්කළවුන් පරාජය වී තිබිණි.
එහෙත් ඒ බව පිළිගන්නට අසමත්කම නිසා කම්පන රටපුරා රසිකයන් අතර ඒකපුද්ගල ගී ප‍්‍රසංගයක් ලෙස මිස එවකට රාජ්‍ය ඒකාධිකාරය සහිත වූ ගුවන්විදුලි මාධ්‍යයෙන් අසන්නට නොලැබිණි. කැසට් පටයක් ලෙසින් කම්පන අප අතරට පත්වනවිට රසික සමූහය සිය දහස්ගණනින් වැඩිවී තිබිණි. බිහිසුණු අත්දැකීම්වල භීතියෙන් මුසපත්ව තිබුණු නිසා එවකට නිද්‍රොපගතව සිටි මිනිස් සමාජය දේශපාලනික පෙලගැසීම ඔස්සේ යළි පනගසන්නට විය.
එහෙත් ගුණදාස කපුගේ වඩ වඩාත් මානුෂීය ගායනා විලාසයක් ඔස්සේ වඩා දේශපාලනික නිර්මාණ අප අතරට පත්කර තිබිණි.
‘‘බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු
නිම්න භූමියේ මනරම් මාළිගාව කෝ’’

‘‘අහස උසට නැගගියාට නැහැනෙ අහසෙ රැුඳෙන්නේ
අහසෙ මාළිගා හැදුවට අප පොළොවෙයි සිටින්නේ’’

‘‘සබඳ අපි කඳු නොවෙමු උන්නු පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන’’

‘‘වියළි ගිය දෙතනේ නැත කිරිබිඳුවක් එරුනේ
වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් තැනුනේ’’
මේ ගීත සමුචචය විශේසයෙන් යොව්න වයසේ ලාංකීය මිනිස් ප‍්‍රජාව මුහුණ දෙන ඉරණම විනිවිද දකින්නට ගෙන තිබුනු උත්සාහය සමාජ අසාදාරණයට එරෙහි යොවුන් පරපුරේ අවදානයට ලක් විය. නිසැක වහයෙන්ම එය හුදු තරු උන්මාදයක් නිසා ගීත කලාව පසුපස යන වර්තමාන තරුන තරුණියන්ගේ ප‍්‍රවනතාවයට වඩා අතිශය ගැඹුරු රසිකත්වයක් තරුන පරපුර තුළ ඇතිකරවීය. ඒ නිසා ම ගුණදාස කපුගේ ගායනා කළ ගීතවල සාහිත්‍යමය හා හෘදයංගම බව වින්දනය කළ තරුණ තරුණියන්ට හිමිවූයේ ව්‍යාජ රසිකත්වයක් නොව ජිවිතාවබෝධයකි.
‘‘දුක හාදු දෙන රැුයේ සිත පතුලට ම වලා
යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා’’

‘‘වැරහැලි හැඳ අඩු කුලියට සළු මසන කුමාරි
ඉඳිකටුව අතේ ඇණුනාදෝ නිදන කුමාරී’’

‘‘සීත පිනිබිඳු කඳුළු සලනා මළානික තරු වැලපෙනා
පාලූ මාවත තනිවෙලා
නැගෙණියේ නුඹ කා පතාදෝ මගබලා ඉන්නේ’’

මේවනවිට වාණිජවාදයට යටවුනු පුරුෂාර්ථයන් නිසා පටු හා පැතලි පරිභෝජනවාදයක ගිලී සිටින අපේ සමාජයට එකී ගොහොරුවෙන් මිදෙන්නට යම් ශක්තියක් උපදවන්නට හැකිවන්නේද ගීතය, සාහිත්‍ය බඳු කලා මාධ්‍යයන් තුළින් බව අපගේ හැඟිමයි. දැනුවත්ව සාහිත්‍ය කලාව පෝෂණය කිරීමත් රසවින්දනයට යොමුකරවීමත් අපේ කාලයේ ජනමාධ්‍යකරුවාට හිමි වගකීමක් වන්නේ එබැවිනි.
ගුණදාස කපුගේ ඉතිරිකර තබා ගිය දෙයක් තිබේ. එසේම අපේ කාලයේ විකල්ප ගීත අභ්‍යාසයන්හි යෙදෙන නැවුම් තරුණ ගායක ගායිකාවන් කලාතුරකින් හෝ යම් දැක්මක් සහිතව වැඩකරනු දැකගත හැකිය. එවැනි උත්සාහයන් දිරිමත් කිරීමත් වැඩි වැඩියෙන් සමාජ අවධානයට පත්කිරීමත් අවශ්‍යය. වසර අටකට පෙර අප අතරින් නික්ම ගිය ගුනදාස කපුගේ සම්බන්ධව ලියැවුණු මේ සටහන තුලින් එවැනි යමක් කරන්නට ඔබ ධෛර්යමත් වූවා නම් එසේ වූ කපුගේ සැමරුම හරයාත්මක වටිනාකමක් සහිත කටයුත්තක් වනු ඇත.

රිචඩ් ඝාතකයෝ තවමත් ගොදුරු සොයති

කැමරාවේ ඇස වෙමි
නිහ`ඩව පටිගත කරමි
ජීවිතය, මරනය සහ යථාර්තය
පිලිකෙව් නොකරමි
සත්‍ය, ගවේශනය කරමි
(රිචඞ් ද සොයිසා Poet – The Other Eden
කාව්‍ය සංග‍්‍රහයෙනි)

රිචඞ් ද සොයිසා නමැති අදීන ජනමාධ්‍යවේදියා මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ලියූ වරදට ඝාතනයට ලක්වූයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉහළම නායකයන්ගේ අනුදැනුම ඇතිවය. 1990 පෙබරවාරි 18වැනිදා අලූයම රොනී ගුණසිංහ නමැති පේ‍්‍රමදාසවාදී පොලිස් අධිකාරිවරයා විසින් අත්අඩංගුවට ගෙන දවස පුරා වධදීමෙන් පසුව ඝාතනයට ලක් වූ මෙම අසහාය ජනතා වීරයාගේ මළසිරුර 19වැනිදා උදයේ මොරටුව කොරළවැල්ල වෙරළට ගොඩගසා තිබිණි.
කොළ කොටි, නිල් කොටි, කලූකොටි, කහකොටි, උකුස්සා ස‍්‍රා, ප‍්‍රා ආදී මිනිමරු කල්ලි විසින් තරගයට මිනීමැරූ යුගයක ඒ මරණය කිසිදු විශේෂතාවයක් ගෙනාවේ නැත. එහෙත් එහි විශේෂත්වයක් තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ලේ වැකි මර්දනයෙන් සටන්කාමී තරුණ ක‍්‍රියාකාරිකයන් ඝාතනයට ලක්වන ආකාරය ලෝකයට වාර්තා කිරීම නිසා ඔහු කොළ මිනිමරුවන්ගේ දඩයමට ඉලක්ක වූ බව නොරහසකි. ජනමාධ්‍යවේදියකු ලෙස සාම්ප‍්‍රදායික සීමාවේ හිඳිමින් සහ සිය මධ්‍යම පන්තික පවුල් පසුබිමට මුවාවෙමින් ආරක්ෂාව ඇතිව හා සුවපහසු ජීවිතයක් ගෙවීමට හැකිව තිබුණු රිචඞ් ඒ වෙනුවට යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ඉදිරිපත් විය. ඒ නිසාම තමන් ජීවිතය අනතුරේ දමාගන්නා බව දැන දැනම, සිය සමාජ ස්ථරයේ අන්‍යයන් ඒ බව අනතුරු අඟවා සිටියදී ඔහු සීතල මරණයට එරෙහිව පෑන මෙහෙයවූයේය. පාලක ඝාතකයන්ගේ ආධිපත්‍යයට අභියෝග කරමින් දෙපයින් සිටගන්නට තරම් ඔහුගේ හෘදසාක්ෂිය සවිමත් විය. දිනපතා මංමාවත්වල, ගංගාවල නිහඬකරවනු ලැබ වැතිරෙන යහපත් ප‍්‍රාර්ථනා කැටිකරගත් තරුණ තරුණියන්ගේ සටන්කාමී ජවය ඔහු ජනමාධ්‍යවේදියකු ලෙස පණගැන්වීය. භීෂණය හමුවේ අතපය වකුටුකරගෙන ඉන්නවාට වඩා හ`ඩ නගන්නට ඔහු තීන්දු කළේය.
රිචඞ්ගේ මේසය මත තිබුණු ගුවාතමාලා විප්ලවවාදියකු විසින් ලියන ලද කවිය, ඔහුගේ ජිවිතයේ පුරුෂාර්ථ පිළිබඳ ඉ`ගියක් ලෙස සැළකිය හැකිය. මේ එහි කොටසකි.
”යම් දිනෙක…
අප රටේ වසන
දේශපාලනයෙන් තොර බුද්ධිමතුන්
ජනතාව අතර ද අන්ත දිළින්දන් විසින්
ප‍්‍රශ්න කෙරෙනු ඇත!

ඔවුන්ගේ සමාජය
හුදකලා ගිනිදලූවක් නිවාලන ලෙස
තුරන් කර දමන තුරු ඔවුන්
කළේ කුමක් දැයි විමසනු ඇත”
(ඔටෝ රෙනෙ කැස්ටිලෝ නමැති ගෝතමාලානු විප්ලවවාදී කවියා විසින් මෙම Apolitical Intellctuals කවිය රචිතය. 1967 මාර්තු 19 දින රාජ්‍ය හමුදා විසින් ඔහුව මරා දමන ලදී)
1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඉදිරියට ගෙනගිය වෙළෙඳපොළ ආර්ථිකයත් ඒ වෙනුවෙන් ගෙනගිය මර්දනකාරී පාලනයත් ජනතාව පෙළමින් තිබිණි. 80 දශකය අවසානයේ තරුණ අරගලයක් ලෙස ඇවිල ගියේ ඒ මර්දනයට එරෙහි කෝපයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තිබිය යුතු ජනමාධ්‍ය නිදහස වළලා දැමිණි. විරුද්ධ දේශපාලන බලවේග දුබලකරමින් කුමන්ත‍්‍රණ හා පාවාදීම් සිදු කෙරිණි. ඒ සියල්ල විසින් ජනතා වුවමනාවන් වෙනුවෙන් හ`ඩ නගන කිසිවකුට ආරක්ෂාවක් ඉතිරි වුයේ නැත. දයාසේන ගුණසිංහ වැනි අදීන පුවත්පත්කලාවේදීන් පත්තර රස්සාවෙන් එළියට ඇද දමනවිට පාලකයන්ගේ වතගොත හෙළිකරන ජනමාධ්‍යවේදීන් අබිරහස් ලෙස මරා දමන ලදී. විමල් සුරේන්ද්‍ර, එච්.ඊ. දයානන්ද වැනි මාධ්‍යවේදින් ඒ ආකාරයට දඩයමට ලක් විය.
එහෙත් රිචඞ් වැනි මධ්‍යම පන්තික සමාජ පසුබිමක් ඇති අයකු කරා ඝාතකයන් හඹා එතැයි කිසිවකු සිතුවේ නැත. එහෙත් පේ‍්‍රමදාස පාලනයේ ඝාතකයන්ට ඔහු ඉලක්ක කරගන්නා ලෙස නියෝග ලැබිණි.
බාහිර සමාජය විසින් රූපවාහිනී නිවේදකයකු ලෙස පමණක් හඳුනාගෙන සිටි ඔහු සතු විභවයන් රාශියකි. ඒ සියල්ල ම යහපත් සමාජයක් අපේක්ෂාකළ තරුණයකු විසින් ස්වෝත්සාහයෙන් හා යහපත් මිනිසුන්ගේ ඇසුරෙන් වර්ධනය කරගත් ප‍්‍රතිභාසම්පන්න ලක්ෂණ විය. සමාජ විවේචනය සහිත කවි ලියමින් මෙරට ඉංග‍්‍රීසි සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ විකල්ප ධාරාවක් බිහි කළ ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සිනමාවේ පතාක යෝධයන් ගුරුකොටගත් රංග ශිල්පියකු ද විය. ඒ සඳහා සිය පාසල් අධ්‍යාපනයට සමාන්තරව ඉංග‍්‍රීසි නාට්‍යකරණයෙන් හිමිකරගත් රංග කලා පරිඥානයක් ඔහු සතු විය. ඊට අමතරව ඔහු දේශපාලන සංවාදයන්ට සම්බන්ධවූ මත දක්වන්නකු විය. ‘විකල්ප සමාජයකට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක්’ (Manifesto for an Alternative Society)යන මැයෙන් පෙබරවාර් 11වැනිදා ඔහු ‘අයිලන්ඞ්’ පුවත්පතට ලියුවේ අවසන් ලිපිය යැයි කිසිවකු සිතුවේ නැත.
මනෝරාණි සරවනමුත්තු මහත්මිය පසුකාලයක හඳුනාගත් පරිදි රොනී ගුනසිංහ රිචඞ් සිය නිවසින් පැහැරගෙන යන්නට පැමිණි කණ්ඩායම මෙහෙයවීය. නොසිතූ ආකාරයට පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මියයන විට ඔහු අසල හිඳ අවසන් හුසුම හෙළුෑ පොලිස් නිලධාරියා රිචඞ් ඝාතනයේ චෝදනා ලැබ සිටියේය. තවමත් අබිරහසක්ව පවතින එම ඝාතනය පිළිබඳ පවතින තත්වයන් යටතේ සාධාරණයක් අපේක්්ෂා කළ නොහැකිය. රිචඞ්ගෙන් පසුව ජනමාධ්‍යවේදීන් දුසිම් ගණන් මරාදමා තිබේ. ඒ කිසිදු මරාදැමීමක් පිළිබඳ සාධාරණ පරී්ෂණයක් සිදු නොවන බව අප නිගමනය කරන්නේ රිචඞ්ගේ මරණය හමුවේ හ`ඩ නැගූවන් පවා අද රිචඞ් ගෙනගිය මෙහෙවර වෙනුවෙන් සාධාරණය ඉටුකරන්නට සමත් නොවන නිසාය.
අප රිචඞ්ගේ මරණය සිහිකරන්නේ මැදපන්තික මානවහිමිකම් ක‍්‍රියාකාරිකයන් හෝ සිවිල් සමාජය විසින් සිය සමාජ ස්ථරයේ එකකු ලෙස සලකමින් රිචඞ් ගැන සමරනවාට වඩා වෙනස්කමකිනි. ජනමාධ්‍යවේදියා තවමත් ඝාතකයාගේ ඉලක්කයකි. රිචඞ් මරා දමා වසර විසි එකකට පසුවත් වත්මන් පාලකයන් සිය අංක එකේ සතුරන් ලෙස අදීන ජනමාධවේදීන් ලැයිස්තුගතකර ඇති බව නොරහසකි. ජූලියස් ෆුචික් ස්වකීය මරණය අබියස ලියූ ‘පෝරකයේ සටහන්’ කෘතියේ එන මේ වදන් අප මතකයට එන්නේ එබැවිනි.

”එබඳු චරිත පැන්ක‍්‍රැට්ස් බන්ධනාගාරයේ අඳුරු කොරිඩෝර තුළින් එළිමහන් ආලෝකයට ගෙනහැර පෑමට මම ආශාකරමි. ඒ, ඔවුන්ගේ ජයක් සඳහා නොව, අන්‍යයන්ට ආදර්ශයක්, ධෛර්යයක් වනු පිණිසය. මෙම අරගලය තුළ පමණක් නොව, මිනිසා සැබෑ ලෙසම මිනිසෙක්වන තුරු කරන දිගුකාලීන අරගලයට වීරත්වය අවශ්‍ය වේ.”

(පෝරකයේ සටහන් Notes from Gallows- පිටුව 92 – පළමුවන මුද්‍රණය 1997 – සිතිජය මාධ්‍ය සංසදය)

රිචඞ් ගැන අප සිහිපත් කරන්නේ මරණය දැක දැක සිය වගකීම ඉටුකරන්නට මැලි නොවූ මාධ්‍යවේදියකු හා ජනතා වීරයකු ලෙසය. සත්‍ය දැක දැක අඳුරු අහුමුළුවල රිංගන අපේ කාලයේ ඇතැම් පුද්ගලයන් රිචඞ්ගේ ආදර්ශය ඉදිරියේ ලජ්ජා වියයුතු එබැවිනි. එසේම පහරදීම්, තර්ජනය කිරීම් මැද නොසැලී සිය වගකීම ඉටුකරන අතලොස්සක් වූ ජනමාධ්‍යවේදීන්ට සැබෑ ගෞරවය හිමිවියයුතු එබැවිනි.

චිදම්බරම් පිල්ලේගේ පිළිතුර

අපේ ම දේශයේදී

වහළුන් වන්නට නොහැකිය අපට

නිදා වැටෙමින්…

තවත් භීතියෙන් නොසැලෙමු

නිවට වූවොත්

මේ මිහිම`ඩල මත

අයුක්තිය තවත් වැඩෙනු ඇත

මවිබිමට අපි දිවිය කැපකරමු

සතුටින්….

සදහට ම මිය යා යුතුද අපි

තව තවත්

අපටම දුක කියමින්?

නැතිනම්

මේ සුන්දර දිවිය

අවදානමට නොහෙළිය යුතුද

නැවත නිදහසේ උපදින්නට?

මරණය තෙක්…

නිදහසට ආදරය කිරීමත්

පාපයක්ද?

අපේ දුක අවසන්කිරීමත්

පාපයක්ද?

එහි වෛරයක් ඇතිද

අප උගෙන ඇති එකම මාවත සම`ගියයි

සැන්දෑව දවස ගැන හො`දින් දැන සිටී

අපි තවත් විස්මයට පත් නොවෙමු

බෙදී වෙන් වී නොයන්නෙමු

ඔබේ කෲරත්වයෙන්

අපේ අරමුණ

නොසැළෙයි

මගේ මස පෙතිගැසූ විට

අප කෙරෙහි ඔබගෙ භීතිය

අවසන් වේද?

පළිගැනීමේ ආශාව

සංසිදෙනු ඇතිද?

ඔබේ උවමනාව

ඉටු වේද?

මා සිරුර දැවී ගියද

හදවත උණුවන්නේ නැත.

මන්ද… එහි තිබේ අතෘප්තව

මගේ ජීවන පැතුම, නිදහස

සුබ‍්‍රමනියා භාරතී (Subramania Bharathi*)කවියා විසින් රචිත ‘චිදම්බරම් පිල්ලේගේ පිළිතුර’ (Chidambaram Pillai’s Reply) නමැති කවියේ පරිවර්තනයකි.

    * Mahakavi Subramania Bharathiar was one of the greatest Tamil poets, a prolific writer, philosopher and a great visionary of immense genius. He was also one of the most prominent leaders of the Indian independence movement. His national integration songs earned him the title “Desiya Kavi” (National Poet). His patriotic songs emphasize nationalism, unity of India, equality of men and the greatness of Tamil language.
Follow

Get every new post delivered to your Inbox.